Connect with us

විශේෂාංග

පොලිසියේ මහ පුටුව නිලන්තට? දේශබන්දුට?

Published

on

පොලිස්පති චන්දන වික්‍රමරත්න මාර්තු 26 වන දින සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිතය. ඊට හේතුව එදිනට ඔහුට වයස අවුරුදු හැටක් සම්පූර්ණ වීමය.

කෙසේ නමුදු 2021 අයවැය ලේඛනය ඉදිරිපත් කළ අවස්ථාවේ එවකට මුදල් අමාත්‍ය ධුරය හෙබවූ බැසිල් රාජපක්ෂ රාජ්‍ය සේවයේ විශ්‍රාම ලැබීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කළේය. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රාජ්‍ය සේවය විශ්‍රාම වයස නැවත අවුරුදු 60 දක්වා රිවස් කෙරුණි. එසේ බලන විට 2028 මාර්තු 26 වන දින දක්වා තවත් පුරා වසර පහක් පොලිස්පති ධුරය හෙබවීමට වර්තමාන පොලිස්පතිවරයාට තිබූ අවකාශය ගිලිහී ගියේය.

එමෙන්ම වැඩබලන පොලිස්පතිව සිටි චන්දන වික්‍රමරත්න 2020 නොවැම්බර් 27 වැනිදා පොලිස්පති ධුරයට පත්කරන ලද්දේ එවකට සිටි ජනපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

එනමුත් දැන් ජනාධිපතිවරයාගේ තනි මතයට පොලිස්පති ධුරයට තමාට කැමැති අයෙක් පත්කර ගැනීමට නොහැකිය. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඊට වැට බැඳී තිබේ.

ඒ අනුව මාර්තු 26 වන දින විශ්‍රාම ලබන 35 වන පොලිස්පතිවරයා වෙනුවට 36 වන පොලිස්පතිවරයා පත් කිරීමේ බලය නව ව්‍යවස්ථා දායක සභාවට පැවැරෙන්නේය. ඔවුන්ගේ අනුමැතිය ලැබෙන පොලිස්පතිවරයා ජනපතිවරයා විසින් පත්කරනු ලැබ ඇත්තේය.

මෙවර පොලිස්පති පුටුව සඳහා තරග වැදීමට මේ අනුව දැනට ජ්‍යෙෂ්ඨත්වය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනකු පෙළගැසී සිටී. ඔවුන් පොලිසියට බැඳුණු සහ වර්තමාන තනතුරට උසස් කරන ලද දිනයන් අනුව ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුපිළිවෙළින් මෙසේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන්, ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු, එම්. ඩී. ආර්. එස්. දමින්ද, අජිත් රෝහණ, කමල් සිල්වා සහ මහින්ද ගුණරත්නය. මෙතෙක් පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව අනුගමනය කරන ලද ක්‍රමවේදය අනුව නම් පොලිස්පති ධුරය සඳහා නාමයෝජනා යැව්වේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන්ම සිටින නිලධාරීන් තිදෙනාගේ නම්ය. ඔවුන් තිදෙනා සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගයයි.

මේ අනුව දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම සිටින නිලධාරීන් තිදෙනා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලෙස කටයුතු කරන නිලන්ත ජයවර්ධනත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයඹ පළාත ලෙස කටයුතු කරන ලලිත් පතිනායකත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත භාරව කටයුතු කරන දේශබන්දු තෙන්නකෝනුත් මෙම සටනට මුලින්ම ඉදිරිපත් වන නිලධාරීන් වේ. මෙම නිලධාරීන් තිදෙනා සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස එකම දින සේවයට බැඳුණු අයය. එහෙත් ජ්‍යෙෂ්ඨත්වය සකස් කිරීමේදී මුලින්ම නිලන්ත ජයවර්ධනත් දෙවනුව ලලිත් පතිනායකත් තෙවනුව දේශබන්දු තෙන්නකෝනුත් මේ වන විට පොලිස්පති තරගය සඳහා ඉදිරිපත් වීමට මුලින්ම සුදුසුකම් සපිරූ නිලධාරීන් ලෙස සැලකිය හැක. එනමුත් ඔවුන් තිදෙනාටම පොලිස්පති ධුරයට පත්වීමට සුදුසුකම් ලැබීමට නම් පසුකර යුතු ලොකු බාධකයක් ඇත්තේය.

දේශබන්දුට හා ලලිත්ට පාස්කු ප්‍රහාර චෝදනා සමානයි

2019 අප්‍රේල් මස 21 වන දින පාස්කු ප්‍රහාරය වන විට රාජ්‍ය බුද්ධි සේවාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වූයේ නිලන්ත ජයවර්ධනය. ඔහුට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව චෝදනා එල්ල විය. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් තම මූලික අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව පවරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ නඩුවක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු නිලධාරීන් පාස්කු වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීරණය කර ඔවුන්ට වන්දි ගෙවීමට නියෝග කළහ. එම පිරිස අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ද ඉදිරියෙන්ම සිටීම ඔහුට පොලිස්පති පුටුවට තරග කිරීමට පවතින ප්‍රධාන බාධාවක් ලෙස සැලකිය හැක.

මීට අමතරව පාස්කු ප්‍රහාරය වන අවස්ථාවේ බස්නාහිර කොළඹ දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ලලිත් පතිනායකටත්, ඒ අවස්ථාවේ බස්නාහිර උතුර දිසාව භාරව කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ටත් පාස්කු ප්‍රහාරය අලළා රාජකාරිය පැහැර හැරීමේ චෝදනා එල්ල වූ අතර මෙම සිද්ධි අරභයා ඔවුන් දෙදෙනාටම චෝදනා පත්‍ර සකස් කෙරුණි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම අවසන් වන තුරු එම චෝදනා පත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇත. එහෙත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය අවසන්ව ඇති බැවින් එම නිලධාරීන් වෙත ඕනෑම අවස්ථාවක එම චෝදනා පත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් පවතී.

මුල් තුනට මිස්වුණොත් IGPකම ප්‍රියන්තට, සංජීවට හෝ මැදවත්තට

යම් හෙයකින් මෙම නිලධාරීන් තිදෙනාම හෝ අයකු ඔවුන්ට එරෙහිව පවතින චෝදනා හේතුකොට පොලිස්පති තනතුරට පත් කිරීමට නුසුදුස්සකු හෝ නුසුදුස්සන් බවට පත්වුවහොත් ජ්‍යෙෂ්ඨත්වය අනුව ඊට පහළින් සිටින නිලධාරීන් තිදෙනා වන දැනට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියත්, සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නත්, පොලිස් ප්‍රවර්ධන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන සජීව මැදවත්තත් යන නිලධාරීන් අතරින් එක් අයකු හෝ සියලුදෙනා ඒ සඳහා සුදුසුකම් ලබන නිලධාරීන් ලෙස සැලකිය හැක.

1999 මාර්තු 05 වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පොලිස් සේවයට එක් වූ මෙම නිලධාරීන් තිදෙනාගෙන් කිසිවකුට මේ වන විට කිසිදු බරපතළ ගණයේ විනය හෝ අපරාධමය චෝදනාවන් මෙතෙක් එල්ල වී නොතිබීම එම නිලධාරීන්ට පොලිස්පති පුටුව සඳහා තරග කිරීමට ලැබී ඇති අතිරේක සුදුසුකමක් වනු ඇත. එබැවින් 2023 මාර්තු මස 26 වන දින හිස්වන 36 වන පොලිස්පති ධුරය සඳහා බොහෝ විට මෙම නිලධාරීන් තිදෙනා අතරින් යමකු පත්වීමේ අවස්ථාව ද අපට පහසුවෙන් බැහැර කළ හැකි කරුණක් නොවේ.

පොලිස්පති චන්දන වික්‍රමරත්න 2023 මාර්තු මස 26 දින පොලිස්පති තනතුරෙන් විශ්‍රාම ලැබීම වන්නේ ඔහු එදිනට 60 වන වියට එළැඹීම හේතුවෙනි. පොලිස්පති සහ නීතිපති ධුර දරන්නන් වයස අවුරුදු 60ට එළැඹීමත් සමගම අනිවාර්ය විශ්‍රාම ලැබිය යුතු බව 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිලිව සඳහන්ය. එහෙත් පසුගියදා බලගන්වන ලද විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනයේ මෙම කරුණු සම්බන්ධව කිසිවක් සඳහන් නොවේ. 21 වන සංශෝධනය ඇති කර ඇත්තේ 19 වන සංශෝධනය තුළ අන්තර්ගතව තිබී 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලරහිත කරන ලද කරුණු ප්‍රතිස්ථාපනය කිරීමක් බව නීති විශාරදයන් අර්ථ දක්වයි. එබැවින් 21 වන සංශෝධනය ඔවුන් සලකන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දිගුවක් ලෙසය. මෙම නීති තර්කය ක්‍රියාත්මක වුවහොත් එළැඹෙන මාර්තු 25 වන දින වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න අනිවාර්යයෙන් විශ්‍රාම ලැබිය යුතුය. එහෙත් මේ සම්බන්ධව තවත් නීති විශාරදයන් තර්ක කරන්නේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ පොලිස්පතිවරයා හෝ නීතිපතිවරයා වයස අවුරුදු 60 එළැඹීමත් සමගම විශ්‍රාම ලැබිය යුතු බවට කිසිවක් සඳහන්ව නොමැති බැවින් ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට අවශ්‍ය නම් වර්තමාන පොලිස්පතිවරයාට සේවා දිගුවක් දීමේ හැකියාවද ඇති බවය. මෙම තර්කයද අපට පහසුවෙන් බැහැර කළ නොහැකි තර්කයකි. 19 වන පොලිස්පතිවරයා ලෙස 1988 අගෝස්තු මස පළමුවන දින පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබූ අර්නස්ට් පෙරේරාට එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් වසරකට වැඩි කාලයක සේවා දිගුවක් ලබාදීමේ ඉතිහාසයක්ද අප සතුව පවතී. නව පොලිස්පතිවරයා පත්කිරීමේ අවකාශය ව්‍යවස්ථාදායක සභාව වෙත ලැබෙන්නේ වර්තමාන පොලිස්පතිවරයා සේවයෙන් විශ්‍රාම ලැබුවහොත් පමණි.

එහෙත් යම් හෙයකින් ඉහතින් සඳහන් කරන ලද නෛතික තර්කය අනුව වර්තමාන පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් සේවා දිගුවක් දුනහොත් පොලිස්පති තනතුර හිස්වීම නොවන බැවින් නව පොලිස්පතිවරයකු පත් කිරීමේ අවකාශය වර්තමාන ව්‍යවස්ථාදායක සභාව වෙත නොලැබීමේ හැකියාවක්ද පවතී. මේ වකවානුවේ රට තුළ සිදුවන පාලන තන්ත්‍රයේ උඩු යටයටිකුරු වීම් ගැන සැලකීමේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවනු ඇතැයි කිසිවකුට තර්ක කිරීමේ හැකියාවක් ද නොපවතී. මේ අනුව එළැඹෙන සති කීපය තුළ මේ ප්‍රශ්නය රටට සුබවාදී ලෙස විසඳීමේ පරම වගකීම කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව වෙත පැවරෙනු ඇත. එම ප්‍රශ්නයට අවතීරණය වීම රටේ නීතිය, නීතියේ ආධිපත්‍යය සුරැකීමට මහඟු බලපෑමක් එල්ල කරන තත්ත්වයක් බැවින් එම ක්‍රියාවලිය සම්බන්ධව මහජනතාව වන අප ඉතා උනන්දුවෙන් බලා සිටින බව අවසාන වශයෙන් සඳහන් කර සිටිමු.

– ප්‍රියන්ත ජයකොඩිහිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

විශේෂාංග

සුබ උපන්දිනයක්  Wikipedia

Published

on

By

අද විකිපීඩියා දිනය (Wikipedia Day) යි.

දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ භාවිතා කරන විකිපීඩියාව , බොහෝ අය තම එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන අන්තර්ජාල සම්පතක් බවට පත්ව ඇත.

2001 ජනවාරි 15 වැනි දින ජිමී වේල්ස් තම සගයින් පිරිසක් සමඟ විකිපීඩියා විශ්වකෝෂය ආරම්භ කලේය.

න් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක්ෂයකට ආසන්නය.

මේ වනවිට විකිපීඩියා යනු ලොව ජනප්‍රියතම වෙබ් අඩවි අතර පසුවන්නකි.

විකිපීඩියා යනු සෑම දෙයකටම විශ්වාසදායක නොවිය හැකි වුවද, විකිපීඩියාව ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට නොමිලේ සහ ප්‍රවේශ විය හැකි තොරතුරු සහිත දැවැන්ත පුස්තකාලයක් නිර්මාණය කර ඇත.

අද (15) දිනට යෙදෙන විකිපීඩියා දිනයේදී එහි උපන්දිනය සෑම වසරකම විකිපීඩියා දිනයේදී සමරනු ලැබේ!

Continue Reading

විශේෂාංග

රාජ්‍ය සේවක කප්පාදුව ලඟයි

Published

on

By

ලංකාවේ ලක්ෂ 17 ක් වන රාජ්‍ය සේවකයින් රටට බරක් බවත් ඔවුන් ගේ ප්‍රමාණය ලක්ෂ 7 ක් හෝ අවම වශයෙන් ලක්ෂ 10  දක්වාවත් අඩු කළ යුතු යැයි මේ වන විට රජය පාර්ශවයෙන් යෝජනා  ඉදිරිපත් වී ඇත. රාජ්‍ය සේවයේ සේවක අතිරික්තය, එලදායීත්වය හා නාස්තිය ප්‍රමාණය පිළිබඳ ගැඹුරු සංවාදයක් රට තුල නැත. රාජ්‍ය සේවයේ ප්‍රතිසංවිධානයත්, වියදම් පාලනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා බැඳුණු ක්‍රියාවලියකි.

මුදල් අමාත්‍යාංශයේ, කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අද වන විට අනුමත කර ඇති රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 17 කි.  2017 දී මංගල සමරවීර අමාත්‍යවරයා විසින් බඳවා ගැනීම් සඳහා යම් සීමාවන් පැනවූ අතර, කෝවිඩි අර්බුදය, ආර්ථික අර්බුදය හේතුවෙන් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම අවම වී ඇත. අද වැටුප් ලබන සැබෑ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 14 ට මදක් වැඩිය. එය රටේ ශ්‍රම බලකායෙන් 15% කි.  1990 දී ලක්ෂ 6.5 ක් රාජ්‍ය සේවක සංඛ්‍යාව අද, ලක්ෂ 17 ක් දක්වා වැඩිවූයේ සේවක අවශ්‍යතාවයට වඩා දේශපාලනඥයින් හා නිලධාරීන් විසින් රැකියා රජයේ රැකියා සහනාධාර වශයෙන් ලබාදීම නිසාය. 

රටක්, සමාගමක් නැත්තම් කර්මාන්ත ශාලාවට පවා අවශ්‍යවන සේවක සංඛ්‍යාව හා සේවකයින් වර්ග මොනවා ද යන්න වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව ගණනය කරනු ලබයි.  රාජ්‍ය සේවයේ වසර 5 කට වරක් කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කළ යුතුය.  2013 වසරට පසු මේ දක්වා ලංකා රාජ්‍ය සේවයේ කාර්‍ය මණ්ඩල සමාලෝචනයක් සිදුකර නැත. සරළව, වසර 12 කින් රාජ්‍ය අංශයේ සේවා ප්‍රසාරණය වීම්, ව්‍යුහාත්මක වෙනස්වීම් අධ්‍යයනය කරමින් රටේ එලදායී කාර්ය සාධනය සඳහා සිටිය යුතු කාර්‍ය මණ්ඩල සමාලෝචන සිදුකර නැත. 

මේ නිසාම, ආණ්ඩුවේ උපදේශකවරයෙකු ලෙස කටයතු කරන   හුලංගමුව මහතා රාජ්‍ය සේවකයින් ලක්ෂ 7 දක්වා අඩු කළ යුතු යැයි කියන විට, හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ගේ කමිටු වාර්තාවේ එය ලක්ෂ 10 ක් විය යුතු යැයි දැක්වේ. තවත් පැත්තකින්, රාජ්‍ය සේවය සැබෑ ඩිජිටල්කරණයකට යොමු වන්නේ නම්, ලක්ෂ 2 ක රාජ්‍ය සේවාවක් ප්‍රමාණවත් බව ද අදහසක් ඇත.  

සැබවින්ම රාජ්‍ය සේවය කුමන ප්‍රමාණයකට කපා දැමිය යුතුද, නැතිනම් සීමා කළ යුතු ද යන මේ කතා එකකටවත් කිසිදු විද්‍යාත්මක, තාක්ෂණික පදනමක් නැත. එක් එක් පුද්ගලයාගේ හිතට දැනෙන ඉලක්කම් ඔවුහු මයික්‍රෆෝන් ඉදිරිපිට පවසති. 

ඇත්තමට ගැටළු මොනවාද? 

රාජ්‍ය සේවක සංඛ්‍යාව එලදායී වන්නට නම්, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව මහ පොලොවේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. වරින් වර සේවා අවශ්‍යතා මත පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සිදු කරන ඉල්ලීම් කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් නෑ. මම දකුණු පළාත් ආණ්ඩුකාරවයා ලෙස කටයුතු කරන සමයේ දී, දැනට පළාත් සභාවලට NBT බදු අය කිරීමක් සිදු නොවන නිසා බදු නිලධාරීන් (tax officers) ගේ අවශ්‍යතාවයක් නොමැති බව හදුණාගනු ලැබූවේය. නමුත්, පළාත් සභාව වැඩි වැඩියෙන් ‘මත ප්‍රකාශ ලබා දී ආදායම් ලබාගැනීමට’ තක්සේරුකරුවන් වැඩි කරගත යුතුයි. නමුත්, වසර 6 ක් ගතවී ඇතත් බදු නිලධාරී තනතුරු යටපත් කර තක්සේරු තනතුරු ලබා දෙන්නැයි කළ ඉල්ලීමටවත් කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉටු වී නැත.  

ලංකාවේ කේෂ්ත්‍ර නිලධාරීන් වර්ග 103 ක් පවතී. 2023 ජනාධිපති කාර්යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණයෙන් මේ බව හෙළිකර ගන්නා තෙක් මෙම වර්ග සංඛ්‍යාව ගැන හෝ අවබෝධයක් තිබුණේ නැත.  මෙයින් අඩකට වඩා යල්පැනගිය, අවශ්‍ය නොවන තනතුරු බව කාර්ය මණ්ඩල සමාලෝචනයකින් තහවුරු වනු ඇත.  

අනෙක් අතට රටට අදායම් ලබා ගත හැකි පළාත් පාලන, ඉඩම් ආදී අංශයන් හි අවශ්‍ය සේවක සංඛ්‍යා නැත. රාජ්‍ය සේවය දේශපාලනඥයින් හා බලධාරීන් විසින් රටට බරක් කර ඇත්තේ එලෙසිනි.  

රාජ්‍ය ප්‍රතිපත්තියේ ඩිජිටල්කරණය (digitalization) ට ලොකු අගයක් ලබා දී ඇත. එයට අනුරූපව රාජ්‍ය සේවයේ විශාල ව්‍යුහාත්මක වෙනස්වීම් අවශ්‍ය වනු ඇත.  රටේ පවතින අප්‍රමාණ වූ දත්ත, භාවිතයට ගත හැකි ඩිජිටල්කේතකරණයට ලක් කිරීමට විශාල සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වනු ඇත.  අනෙක් අතට, එහි වාසිය ලබා දැනට සේවයේ සිටින විශාල පිරිසක් වඩාත් එලදායී කටයුතු සඳහා යෙදවිය හැකිය. 

ඉහළ තනතුරු (ලේකම්, දිසාපති) වලට තෝරා ගැනීමේදී ඔවුන්ගේ දක්ෂතා මත පදනම්වූ නිර්ණායක අනුව තෝරා ගැනීම් කළ යුතුයි. අද ඉහත තනතුරු සඳහා පත්වන බහුතරය ජ්‍යෙෂ්ඨත්වය හා දේශපාලන ලැදියාව මත පත්වීම් ලබති.  ලොක්කන් දක්ෂයන් නොවන තැන්වල දෙවන පෙළක් ගොඩ නැගෙන්නේ නැත. 

රාජ්‍ය සේවය දීප ව්‍යාප්ත සේවා ඛාණ්ඩ රැසක ඉහළ තනතුරු රැසක් පුරප්පාඩු වී ඇත. පසුගිය ජනවාරි 1 දින 2013 ජුනි 26 දින හා අංක 1816/12 දරණ රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ‘පරිපාලන සේවයේ’ නිලධාරියෙකු රජයේ මුද්‍රණාලයාධිපති ධූරයට පත් කරනු ලැබීය. මුද්‍රණ සේවයේ මුල් පිටු 6 ම මේ වන විට පුරප්පාඩු වී ඇත. මුද්‍රණ සේවයේ ඉහළම නිලධාරියා ‘දෙවන සේවයේ’ අයෙකි. නිලධාරීන්ට කලට වේළාවට සේවා උසස්වීම් ලැබෙන්නේ නැත. නැතිනම්, ඒවා ලබාදීම සුක්ෂම ලෙස වලක්වනු ලබයි. රාජ්‍ය සේවයේ ‘කුල’ හෙවත් ‘සේවා’ අතට ගැටුම බරපතල තැනකට පැමිණෙමින් ඇත. 

ජාතික හෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය ද මෙලෙසම පරිපාලන සේවයේ නිලධාරියෙකු විසින් දරනු ලබයි. මේ පත්වීම් රැසක්ම සිදු කර ඇත්තේ පුද්ගලික හිතවත්කම් මතය. 

සබරගමුව කෘෂිකර්ම අමාත්‍යාංශයට ආණ්ඩුකාරතුමිය විසින් ක්‍රමසම්පාදන සේවයේ නිලධාරියෙකු පත් කිරීමට විරුද්ධව පරිපාලන සේවය බලහත්කාරී විරෝධයක් පළ කර එම පත්වීම වැලක්වනු ලැබීය. රාජ්‍ය සේවයේ ඉහළ සිට පහලටම ඉංජිනේරු, කෘෂිකර්ම සේවාවන් හි ද මෙවැනි ගැටුම් උත්සන්න වෙමින් ඇත. 

රාජ්‍ය සේවක පිරමිඩයේ ඉහළම කොටසට වඩා, දෙවන කොටස කුඩා වීම සිදුව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවටය.  එය වහා නිවැරදි කළ යුතු තත්වයකි. 

රාජ්‍ය සේවයේ, ආයතනයක, අමාත්‍යාංශ සඳහා වරින්වර අවිධිමත් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීම නිසා රාජ්‍ය සේවයේ පිරමිඩය විකෘති වී ඇත.  අද එය පිරිමීයක් නොව, ‘කලයක’ නැතිනම් ‘බඩ තඩි මුදලාලි’ රූපයක් (රූපය බලන්න) ගෙන ඇත. මේ සේවක පිරමීඩයේ මැද කොටස ඌණ සේවා නියුක්ති උපාධිධාරීන්ගෙන් පිරී ඇත. ඔවුන්ට නිශ්චිත වැඩ ලැයිස්තුවක් තබා වාඩිවෙන්නට පුටුවක් හෝ නැත. රාජ්‍ය සේවයේ සේවක පිරමිඩය ස්ථාපනයකින් තොරව කිසිදු මානව සම්පත් කලමනාකරණයක් යථාර්ථවාදී විය නොහැකිය. 

තමන්ට ලැබෙන රාජ්‍ය නිලධාරීන්ගේ දක්ෂතා, කුශලතා, දුබලතා හඳුණා ගැනීමක් බොහෝ විට රාජ්‍ය සේවයේ සිදුවන්නේ කලාතුරකිනි. පිහිනන්නට දක්ෂයා, රස්සාවට ගස් නග්ගවන ස්වරූපයක් රාජ්‍ය සේවයේ ඇත. 
මේ වන විට මධ්‍යම රජය සහ පළාත් සභාවල ‘කාර්ය මණ්ඩලය සමාලෝචනයක්’ සිදු කරමින් ඇත. එමගින් සැබෑ ලෙසම රාජ්‍ය සේවයේ සිටිය යුතු සංඛ්‍යාව හා තනතුරු ප්‍රමාණය තීරණය කිරීමට ‘රාජ්‍ය සේවයට’ හැකියාව පැවතිය යුතුය. 

රජයේ ප්‍රතිපත්තිය රාජ්‍ය සේවක සංඛ්‍යාව 50% කට  ආසන්නව පහළ දැමීම නම්, අනිවාර්යයෙන්ම වත්මන් රජයට කෙටි කාලීන පීඩනයක් එල්ල විය හැකි නමුත් රටක් ලෙස දිගු කාලීන වාසි අත්කර ගත හැකිය. අනෙක් අතට එවැනි යෝජනාවකට එරෙහිවිය හැකි වෘත්තීය සමිති සියල්ලම වත්මන් රජයට සහාය දක්වන අතර ඒවායේ නායකයින් රජයේ තනතුරු දරමින් සිටී.

 
නිදහසින් පසු පලමුවරට රාජ්‍ය සේවය කුඩා කිරීම සඳහා පාලකයින්ගේ අවධානය යොමුව තිබීම ප්‍රශංසා කටයුතුය. එයට බාධා නොකර සිටීම විපක්ෂයේ වගකීමකි. 

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading

විශේෂාංග

මාධ්‍ය හැසිරවීම ගැන ඩලස්ගෙන් නිවේදනයක්

Published

on

By

වර්තමාන ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තීන් සහ ක්‍රියාමාර්ගවලට අදාළව නිදහස ජනතා සභාවේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. 

එහි සම්පූර්ණ ලිපිය පහත දක්වා ඇත.

සොහොන් ලකුණ, හොල්මන් සහ ආණ්ඩුව.

පැරණි ගැමියන් සොහොන් භූමියක් ළඟින් රාත්‍රී කාලයේ ගමන් කිරීමට දක්වන්නේ අනියත බියකි. “හොල්මන්”, එම බියට මුල් වූ ග්‍රාම්‍ය සංකල්පයයි. සරම මඳක් ඔසවා ශබ්ද නගා කුණුහරුපයක් කියමින් එම සොහොන් භූමියේ සීමාවන් පසු කිරීම එම අභ්‍යන්තර භීතිය සහ චකිතය මගහරවා ගැනීම සඳහා අනුගමනය කළ ආදි ගැමියා ගේ පුරුද්දය.

වත්මන් ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තීන් සහ ක්‍රියාමාර්ග දෙස බැලීමේදී උක්ත ග්‍රාමීය අභ්‍යාසය නිතැතින්ම අප සිහියට නැගේ. 2024 සැප්තැම්බර් 23 දින සිට ගැනීමේදී ගත වූ දින 107 තුළ ජනමාධ්‍යයට අදාළව එලෙස ආණ්ඩුවේ අනියත බිය හා තිගැස්ම ප්‍රකාශ වූ අවස්ථා, ආණ්ඩුව ගෙවා දමන ලද දින ප්‍රමාණයෙන්, දහයෙන් එකකට, 1/10 වඩා වැඩිය.

ජනමාධ්‍යයට ප්‍රති ප්‍රහාර ආරම්භය ලබා දුන්නේද අනෙකෙකු නොව ජනාධිපතිවරයාමය. ඇතැම් මාධ්‍ය නම් කරමින් ඔවුන් වැරදි හදාගත යුතු බවට දැවැන්ත නමුත් අප්‍රකාශිත තර්ජනයක්, ආරම්භක පිතිකරුවා ලෙස මාතර උයන්වත්ත පිටියේ දී ඔහු සමාජයට මුදාහලේය. ඊයේ, 08 පාර්ලිමේන්තුවේදී මාධ්‍ය දෙකක් නම් කරමින් ගරු අග්‍රාමාත්‍යතුමිය ගෙන් ඇසුණේද පැරණි “මාලිගාවත්ත ලී මෝලේ” හඞමය.

හම්බන්තොට වරායේ ගල ගැන, කොළඹ වරාය නගරය වෙනුවෙන් මුහුද ගොඩ කිරීම සඳහා කැඩිය යුතු සීගිරියට වඩා විශාල ගල් ප්‍රමාණය ගැන, උගන්ඩා වේ සඟවා ඇති මුදල් ගැන ආදී වශයෙන්, වර්තමාන ආණ්ඩු නායකයන් එදා කරනු ලැබූ ප්‍රකාශ එලෙසින්ම ප්‍රචාරණය කරනු ලැබුවේ ද චූදිත මාධ්‍ය ප්‍රමුඛ මාධ්‍ය ඇණියම බව අද ඔවුනට අමතකව ඇති සේය. වෙනසකට ඇත්තේ එදා පාලක පක්ෂය, එම ප්‍රවෘත්ති ප්‍රචාරණයෙන් උරණව, එම මාධ්‍ය ආයතන දංගෙඩියට දැක්කීම සඳහා සරම් කැසපට ගසාගත් ගමේ චණ්ඩීන් මෙන් කෑ නොගැසීම පමණි.

මා මතකය නිරවුල් 1970 පසුව බිහිවූ සෑම ආණ්ඩුවක්ම තම පාලනයේ සොහොන් ලකුණ නියම කරවා ගත්තේ මෙලෙස මාධ්‍ය භීතිකාවෙන් ඔත්පලව, ඊට නියම ඖෂධ බවට විශේෂ නාමධාරී හොර වෙදුන් නිර්දේශ කළ ගොඩ බෙහෙත් පානය කිරීමෙනි.

ලැබුණු බලයේ ප්‍රමාණය කොතරම් විශාල වුවද පාලක සිතිවිලි කුඩාවන්නේ නම් දේශපාලන බුන්වත්භාවය, මෙලෙස ස්වයංව ප්‍රදර්ශනය වීම වැළැක්විය නොහැකි බව දේශපාලන විද්‍යාවේ එක් ශාස්ත්‍රීය උපකල්පනයක් වේ. නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන්නාගේ ද ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කරදීම බව නූතන නිර්වචනයයි. එය, අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද භාෂණයේ නිදහස ලෙස තුන්වෙනි පරිච්ඡේදය නමින් අවධාරණය කොට තිබේ.

අසූව දශකයේ අග, පාලකයින්ගේ දින රහිත මරණ සහතික සාක්කුවේ තබාගෙන ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස වෙනුවෙන් පෑන අතටගත් මාධ්‍යවේදියෙකු ලෙස මෙන්ම, ඉතාම කෙටි කාලයක් තුළ හෝ වෘත්තියේ පෞරුෂය වෙනුවෙන් පෙනී සිටි ජන මාධ්‍ය අමාත්‍යවරයෙකු ලෙස මෙය මෙලෙසින්ම සටහන් නොකරන්නේ නම් එය, ඉතිහාසයට අකාරුණික වීමක් වනවා නිසැකය. ඒ අනුව, සහෝදරත්වය පෙරදැරිව අප පෙන්වා දෙන්නේ පසුගිය මැතිවරණ වලදී “හඳ” පෙන්වමින් ජනතාවට දිගු කළ පොරොන්දු වෙනුවට, ඔබගේ “ඇඟිලි” දෙස බැලීමේ උවමනාවක් ජනමාධ්‍යයට නැති වග තේරුම් ගැනීම, ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට හිතකර වන්නට පුළුවන් බව පමණි. එමෙන්ම, “ලබ්බට තැබූ අත පුහුලටද දික්වීම නියතයක්” බව මේ මොහොතේ දබර ඇඟිල්ල එසවී නැති අනෙකුත් මාධ්‍ය ආයතන ද සිහිපත් කර ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බව ද කිවමනා නොවේ.

මිත්‍රවරුනි, කලෙක මා මෙන්ම ඔබ ද ගුරු කොටගත් දේශපාලන න්‍යායන් නැවත පීරා බැලීමට කාරුණික වුව මැනවි. එවිට, “න්‍යාය ටොන් එකකට වඩා, භාවිතාව අවුන්සයක් වටිනා බව” ඔබට වැටහෙනු ඇත. ඒ සඳහා දැනුදු ප්‍රමාද නැත.

ඩලස් අලහප්පෙරුම
නායක,
නිදහස ජනතා සභාව.
09.01.24

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved