Connect with us

විශේෂාංග

මේවා යහපත් ප්‍රවෘත්ති වුනත් විසඳුම් නොවේ

Published

on

ලෝක බැංකුවේ ආයෝජන ආයතනය වන “ලෝක මූල්‍ය සංස්ථාව” විසින් මෙරට පෞද්ගලික බැංකු 03 ට ආහාර, ඖෂධ හා පොහොර ආනයනය සඳහා පහසුවක් ලෙස ඩොලර මිලියන 400 ක හුවමාරු ණයක් ලබා දුන් බව ඊයේ (මාර්තු 06) අසන්නට ලැබුණකි. අද මා ඇසූ තවත් වැදගත් ප්‍රවෘත්ති තුනක් විය. චීන “එක්සිම්” බැංකුව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ලබා දුන් පොරොන්දුව සමග ජාත්‍යන්තර මූල්‍ය (ජා.මූ) අරමුදල මෙතෙක් ප්‍රමාද කළ ඩොලර මිලියන 2.9 ක සිව් අවුරුදු ගිවිසුම ලංකාණ්ඩුව සමග අත්සන් කළ බව එකකි. අනෙක මැතිවරණ කොමිසම විසින් ප්‍රමාද කෙරුණු පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වන දිනට තීන්දු කළ බවය. තුන්වැන්න ක්ෂණික සමාජ අවධානය නොලැබුණත් පෙබරවාරි මස අවසානයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 365 ක් වූ රුපියලේ වටිනාකම අද වනවිට රුපියල් 325 ක ඉහළ වටිනාකමක් ලබා තිබීමය. ඩොලරයට පමණක් නොව බ්‍රිතාන්‍ය පවුමට, යූරෝවට, ජපන් යෙන් වලට හා ඉන්දීය රුපියලටද සාපේක්ෂව රුපියලේ වටිනාකම ඉහළ ගොසින් තිබිණ.

මේ ප්‍රවෘත්ති තුනම රටට යහපත් ප්‍රවෘත්ති ය. මේ කිසිවකින් වහා සෙතක් ඇති නොවන බව එනමුත් සිහි තබා ගත යුත්තකි. ඉන් සිදුවන්නේ අනාගතය සඳහා නැවත බලාපොරොත්තු ඇති කරවීමය. පළාත් පාලන මැතිවරණය සැළකීමේදී එමගින් ලබා ගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ප්‍රයෝජනයට ගැනීමේ සැළසුම් කිසිවක් කිසිදු විපක්ෂ දේශපාලන පක්ෂයක් සතු නොවේ. ඔවුන් ඒ වෙනුවට ගණන් හැදූ “රනිල් විරෝධය” අනෙක් කාරණා විසින් තනුක කරනු ඇත. එහි වාසිය පොහොට්ටුවේ අපේක්ෂකයින්ට එකතු කර ගැනීමට හැකි වන්නටද පුළුවන. 

ජා.මූ. අරමුදල සමග අත්සන් කෙරෙන ගිවිසුමෙන් අපට හුස්ම ගැනීමේ ආර්ථික ඉඩක් ලැබෙනු ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම යනු මෙතෙක් ගෙවා ගැනීමට නොහැකිව ඇති ඩොලර ණය සඳහාවන පොලී ගෙවීමට අපට තව අවුරුදු 03 ක හෝ 04 ක විරාම කාලයක් ලැබීම ය. ඒ සමග ලෝකය ඉදිරියේ අප බංකොලොත් රටක් යැයි නම් කළ ෆිෂ්ට්, මූඩීස් වැනි ජාත්‍යන්තර ආයතන ඒ ලේබල ඉදිරියේදී ඉවත් කළ විට ජාත්‍යන්තර වෙළඳ පලින් පවා ආණ්ඩුවට නැවත ඩොලර ණයට ගැනීමට හැකි වනු ඇත. 

ඒ අතර රුපියල ශක්තිමත් වීමේ වාසිය සාමාන්‍ය ජනතාවට ලබා ගැනීමට නම් ආණ්ඩුව පාරිභෝගික භාණ්ඩ මිල කලමනාකරණය කිරීමට මැදිහත් විය යුතු වන්නේය. වෙළඳුන් ඒ වාසිය තමන් සතු කර ගැනීම මේ ආර්ථිකයේ සාමාන්‍ය රීතිය වන හෙයිනි. හේතු කවරක් වූවත් ඉහළ දැමුණු මිල නැවත පහත හෙළන සම්ප්‍රදායක් මේ රටේ නැතැයි සාමාන්‍ය ජනතාව කියන්නකි. පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස අවසානයට නියම වූයෙන් වික්‍රමසිංහ ජනාධිපති බංකොලොත් රටක් යළි පිළිසකර කිරීමේ තම සාර්ථකත්වය ප්‍රදර්ශනය කිරීමටත් ඒ මත බලසම්පන්න පාලකයෙකු ලෙස තහවුරු වීමටත් ජා.මූ අරමුදල සමග වූ ගනුදෙනුව හා රුපියල ශක්තිමත්වීමේ වාසිය යම් පමණකට ජනතාවට ලබා දීම සඳහා මැදිහත් වනු ඇතැයි මම අනුමාන කරමි.

ඒ සියල්ල සිදුවන්නේ නැවත ණය ලබා ගැනීමෙන් මිස, අපට අපේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වන විදේශ විනිමය උපයා ගැනීමට හැකි අයුරු මේ විවෘත වෙළඳපල අලුත්වැඩියා කිරීමට හැකිවීමෙන් නොවන බව අවධාරණයෙන් කිව යුත්තකි. 

මේ විවෘත වෙළඳපල මගින් අපට අවශ්‍ය තරම් විදේශ විනිමය ඉපැයීමට අවුරුදු 40 ට වැඩි කලක් නොහැකි වූයේ දූෂණය හා වංචා නිසා නොවන බව යළි යළිත් කිව යුත්තකි. මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙන් අපගේ අවශ්‍යතා අනුව විදේශ විනිමය උපයා ගැනීමට ජයවර්ධන ජනාධිපතිගේ සිට චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය දක්වාද අපට නොහැකි විය. වෙළඳාම සඳහා ආර්ථිකය විවෘත කිරීමට පෙර 1976 අවසන් වනවිට කිසිදු විදේශ විනිමය අහේනියක් අපට නොතිබුණු නමුත් ආර්ථිකය විවෘත කිරීමෙන් අවුරුදු 10 ට පසු 1988 දී වෙළඳ හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් සෘණ සියයට 10.8 ක් නොහොත් ඩොලර බිලියන 0.8 ක් විය. චන්ද්‍රිකා පාලනය අවසන් වනවිට එය සෘණ සියයට 09 ක් නොහොත් ඩොලර බිලියන 02.2 ක් විය. වසර 09 ක යෝධ දූෂණ වංචා සිදුවිනැයි කියූ රාජපක්ෂ යුගය අවසන්කර යහපාලන ආණ්ඩුව 2015 බලයට පත් වන විට වෙළඳ හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් සෘණ සියයට 7.1 ක් නැතිනම් ඩොලර බිලියන 06.1 ක් විය. යහපාලන ආණ්ඩුව ඉවත් වූ 2019 අවසානයේ එය සෘණ සියයට 05.8 ක් නැතිනම් ඩොලර බිලියන 05.1 ක් විය.  

යෝධ දූෂණ වංචා නොමැති විවෘත වෙළඳපල ආර්ථිකයක් මේ ලෝක සිතියමෙන් සොයා ගැනීම පහසු නැත. ඉතා ශක්තිමත් විවෘත වෙළඳපල ආර්ථිකයක් ඇතැයි කියන්නාවූ චීනය, ලොව දූෂිතම රටවලින් එකකි. ඉන්දියාව, වියට්නාමය වැනි රටවලද දූෂණවල අඩුවක් නැත. වික්‍රමසිංහ ජනාධිපතිට දූෂණයෙන් තොර විවෘත වෙළඳපල ආර්ථිකයක් හැදීමට නොහැක. දූෂණය මෙවැනි ආර්ථිකවල ආවේනික ලක්ෂණයකි. ඔහු කරනුයේ දෙවන විදේශ විනිමය හිඟයක් සහිත ණය ආර්ථිකයක් සඳහා අවශ්‍ය ණය විරාමයක් ලබා ගැනීමය. ඔහුට ඒ සඳහා ඇමෙරිකානු සහ පැරිස් සංගමය වැනි හවුල්වල සහාය සමග ජා.මූ. අරමුදලේ මැදිහත්වීම ලැබෙන්නේ විවෘත වෙළඳපල ආර්ථිකය යළි නඩත්තුකර ගැනීමට පමණි.

එනිසා මේ සමාජයේ දැනුවත් පිරිසට සංවර්ධනයකින් තොර අසංවර ආර්ථිකයක ප්‍රශ්නය එළෙසින්ම ඉතිරිවනු ඇත. ඊට උත්තර සෙවීමට “ජාතික සංවර්ධනය” යනු කවරක්දැයි අර්ථකතනය කර ගැනීමටත් ඒ සඳහාවන විදේශ විනිමය උපයා ගත හැකි සහ සමාජයට වගවන ජාතික ආර්ථිකයක් සැළසුම් කර ගන්නේ කෙසේද යන්නට අලුත් සමාජ කතිකාවකට මුල පුරන්නටත් සිදුවනු ඇත.

– කුසල් පෙරේරා
2023 මාර්තු 07

විශේෂාංග

ජනපතිවරණ අනාවැකි කියන්න මත් පුළුවන්

Published

on

By

සිය ජ්‍යොතිෂමය අවශ්‍යතා සපුරා ගැනීමට පැමිණෙන බොහෝ දෙනකු මේ දිනවල එම ජ්‍යොතීර්වේදීන් වෙතින් නඟන අමතර පැනයක් ද තිබේ. එනම් මේ ජනාධිපතිවරණයෙන් බලයට පත්වන අපේක්‍ෂකයා කවුරුන්ද? යන්න ය. මා දන්නා අන්දමට මීට දශක කිහිපයකට පෙර විසූ අපගේ ඇදුරු පරම්පරාවලට අයත් ප්‍රවීණ ජ්‍යොතීර්වේදීන් වෙතින් සාමාන්‍ය ජනතාව මෙවන් පැනයක් අසා සිටියේ නැත. ඊට හේතුව එවක ජ්‍යොතීර්වේදීන් පුද්ගල ජන්ම පත්‍ර පරීක්ෂාව, නැකත් සෑදීම, මල්වර ඵලාපල කීම වැනි පුද්ගල බද්ධ කටයුතු වල මිස ජාතික වශයෙන් වැදගත් වන මෙවන් කටයුතුවල නොයෙදුණු බැවිනි.එවක සංවත්සර පලාඵල කීම් වැනි පුළුල් කාර්‍යන් හි යෙදී සිටියේ පංචාග ලිත් කර්තෘ වරුන් වැනි සීමිත පිරිසක් පමණි. එහෙත් 1980 දශකයේ ආරම්භයෙන් පසු මෙම තත්ත්වය සැළකිය යුතු ලෙසින් වෙනස් වී තිබේ. එනම් ජ්‍යොතීර්වේදීන් වශයෙන් හඳුන්වා ගන්නා ඇතැම් පුද්ගලයන් සංවත්සර ඵලාපල, මැතිවරණ සේම ජාතික මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ ආදිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් දිගට හරහට අනාවැකි පළ කිරීමට ඉදිරිපත් වීම ය.

කන්ද උඩරට රාජ්‍යයේ රාජකීය ජ්‍යොතීර්වේදියා මහ වාසල නැකත් රාළ නමින් හඳුන්වන ලදී. ඔහු බොහෝ විට ජ්‍යොතිෂය සේම පාලි, සංස්කෘත ඇතුළු පෙරදිග භාෂා පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබූ පඬිවරයෙකි.එමෙන්ම මොවුන් ගෙන් ඇතැමකු කලින් පැවිදි දිවියක් ගත කොට ජ්‍යොතීර්වේදය වෘත්තියක් වශයෙන් භික්ෂුවට අකැපවීම මත උපැවිදි වූවෝ ද වෙති. අලුත් අවුරුද්ද සම්බන්ධ රාජකීය නැකත් සීට්ටුව පිළියෙල කිරීම සේම රජතුමා රාජ්‍යත්වය සහ රාජධානිය සහ රාජ්‍යය සම්බන්ධයෙන් එල්ල වන ග්‍රහ අපල කල් ඇතිව නිරීක්ෂණය කොට ඒවායින් උද්ගත වන නපුර අනර්ථය පිටුදැකීම රජවාසල නැකත් රාළගේ ප්‍රධානතම වගකීමක් විය. එහි දී ඔහු අවශ්‍ය පරිදි එම රාජධානීයේ සිටි සෙසු ජ්‍යොතිෂ පඬිවරුන් ගේ සහාය ලබා ගත් බව පෙනේ. මෙය වෛදික රාජාණ්ඩුවල පුරෝහිත බමුණා ගේ රාජකාරියට බෙහෙවින් අනුරූප වූවකි. එහි දී එම කාර්යයේ සාධනීය බව තහවුරු කර ගැනීම සඳහා ත්‍රිවේදයේ පරප්‍රාප්ත බ්‍රාහ්මණයන් රජ වාසලට කැඳවීමේ බලය ද පුරෝහිත බ්‍රාහ්මණයා වෙත පැවරී තිබිණ.

කන්ද උඩරට රාජ්‍යයේ මහ වාසල නැකත් රාළ විසින් සම්පාදනය කරන ලද අළුත් අවුරුදු නැකත් සීට්ටුව රජුගේ අවසරයෙන් රාජධානිය පුරා බෙදීම ද එවක සිදු වූ අතර එය රාජධානියේ සිටි ගම්බද නැකත් රාළලා විසින් ස්වේච්ඡාවෙන් ඔවු’නොවුන් අතර බෙදා ගත් බව පෙනේ.නමුත් කන්ද උඩරට පාලන සමයේ වනියාර් වරුන් විසින් පාලනය කළ වන්නි ප්‍රදේශ වල ගම්බද නැකත් රාලලාගේ එකමුතුවෙන් එම කාරිය සිදු කළ බව පැහැදිලි ය.

නමුත් එකල වුව ගම්බද නැකත් රාළලා තනිව එවැනි භාරදූර කර්තව්‍යයන් භාර නොගත් අතර ගැමියන් ගේ ජ්‍යොතිෂමය අවශ්‍යතා වෙනුවෙන් නිරන්තරයෙන් කැපව හිඳිනු දක්නා ලදී. නමුදු මීට සියවස් කිහිපයකට ඉහත ගම්බද වෙදකම සේම ජ්‍යොතිෂය ද වෘත්තීය මට්ටමක් තෙක් ප්‍රවර්ධනය වී නොතිබීම ද විශේෂත්වයකි. එවක බොහෝ ජ්‍යොතීර්වේදීන් ගේ වෘත්තිය වූයේ ගොවිතැන, ලෝකුරු කර්මාන්තය වැනි දෙයකි.නමුදු ඔවුන් වෙතින් ලබා ගන්නා සේවාවන් උදෙසා ප්‍රමාණවත් සැළකීමක් කිරීමට ද අතීත ගැමියෝ අමතක නොකළහ.

නමුත් අතීතයට සාපේක්‍ෂකව වර්තමානයේ මිල මුදලේ අගය වේගවත්ව ඉහළ යාම මත මේ වන විට ජ්‍යොතීරේව්දයට වෘත්තීය මට්ටමක් සහ පාරිභෝගික සේවාවක් බවට පත්ව තිබෙනු පෙනේ. එහෙත්, එදා මෙදා තුර කාල සීමාව තුළ ජ්‍යොතීර්වේදය නම් වෘත්තියේ ප්‍රමිතිගත බවක් දක්නට නොලැබුණු අතර මේ වන විට සමාජය තුළ දක්නට ලැබෙන මිල තරඟය මත ජ්‍යොතිෂය පිළිබඳ මූලික දැනීමක් වත් නොමැති විශාල පිරිසක් මෙම ක්ක්‍ෂේත්‍රයට පිවිස ජ්‍යොතීර්වේදයට සේම සමාජයට ද සුවිසල් හානියක් සිදු කරනු මේ වන විට ඇස් පනා පිටම දැකිය හැකිය. මෙම තත්ත්වය වඩාත් ඛේදනීය වනුයේ ජ්‍යොතිෂය සම්බන්ධ ප්‍රමාණවත් දැනුමක්, අවබෝධයක් හා අත්දැකීමක් නොමැත්තවුන් ඔවුන් ගේ මුකරි කම පදනම් ව ජනමාධ්‍ය මගින් අතිශය ජනකාන්ත බවට පත්වීමය. ඒ සඳහා ඔවුන් තමන් නොදත් ජ්‍යොතිෂය වෙනුවට මනාව ප්‍රගුණ කොට ඇති අනේක විධ උප්පරවැට්ටි නොමඳව භාවිතා කරනු පෙනෙයි. නමුදු ඔවුන් ජනමාධ්‍ය මගින් ජ්‍යොතිෂය වශයෙන් පවසන ඇතැම් කරුණු වලින් පෙනී යනුයේ ඔවුන් ජ්‍යොතිෂය නම් විෂය සම්බන්ධ පෙර පාසල් අධ්‍යාපනයක් වත් ලබා නොමැති බවකි. එහෙත්, ජ්‍යොතිෂය පිළිබඳ මූලික දැනුම් අවබෝධයන් නොමැති සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ එම ඇසි බැම ඉහළ නංවන පට්ට පල් කෙබර කෙරෙහි පහසුවෙන් නතු වෙති. එහෙත් ඒ සම්බන්ධ බරපතල ඛේදනීය තත්ත්වය වනුයේ ඔවුන් එසේ පළ කරන අල්ලේ පැළවෙන අනාවැකි ගල් පැලෙන බොරු බව සනාථ වීමත් සමඟ සාමාන්‍ය ජනතාව තුළ ජ්‍යොතිෂය පිළිබඳව ඇති විශ්වාසය මුළුමනින් ගරා වැටීම ය.අද අප ජීවත් වනුයේ එබඳු පරිහානිමය යුගයක ය.

2015 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජ්‍යොතීර්වේදී පඬිවරුන් ලෙසින් පෙනී සිටි මෝඩයන් ජනමාධ්‍ය වලින් ගැසූ හිටි පිනුම් වල ප්‍රතිඵල මේ වන විට මුළු ජාතිය හමුවේම මනාව ප්‍රදර්ශනය වූ පසුබිම තුළ දී බව ඔබ ද පිළිගනු නියත ය.ඒ අනුව ඉදිරියටත් ජ්‍යොතිෂය මුල් කොට මෙවන් සමාජමය අනර්ථයක් සිදු නොවීම පිණිස ගත යුතු වැදගත් පියවරක් සම්බන්ධයෙන් වගකිව යුත්තන් ගේ අවධානය යොමු කරවනු කැමැත්තෙමි. එනම් මේ වන විටත් අප සමාජයේ වෙසෙන ප්‍රවීණ ජ්‍යොතීර්වේදීන් ගෙන් සැදුම් ලත් ජාතික මට්ටමේ ජ්‍යොතීර්වේදී සභාවක් ස්ථාපිත කොට ජ්‍යොතිෂය සම්බන්ධ ප්‍රමාණික දැනුම්, හැදෑරීම් සහ අවබෝධයන් ඇත්තවුන් හට පමණක් එහි ලියාපදිංචියක් ලබා දී ඔවුන් වෘත්තීය මට්ටමකට පත් කිරීමය. එවිට අප රටේ ජීවත් වන බහුතරයකට වෘත්තීය ජ්‍යොතීර්වේදියා යනු කවරකුද? යන්න දැන හඳුනා ගැනීමට සේම වඩාත් ප්‍රමිතිගත ආකාරයකින් ඔහුගේ සේවය ලබා ගැනීමට අවකාශ ලැබේ.එමෙන්ම එසේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේ දී ඒ සම්බන්ධ ලිඛිත ජ්‍යොතිෂ විශ්ලේෂනයක් ඉදිරිපත් කිරීමට ජ්‍යොතීර්වේදීන් යොමු කරවීමෙන් මෙම ක්ෂේත්‍රයට රිංගා ගෙන හිඳින හොර ජාවාරම් කරුවන් මින් ඉවත් කළ හැක.අප එසේ පවසනුයේ මේ වන විට මුළුමනින්ම පාරිභෝගික සේවාවක් බවට පත්ව ඇති ජ්‍යොතිෂයේ නාමයෙන් සිදු වන බරපතල ගසා කෑම් අවප්‍රමාණ කරනු පිණිස ය. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයෙන් බලයට පත් වන්නේ කවුරුන් දැයි අනාවැකියක් පළ කළ හැකි දැයි මගෙන් විමසූ කිහිප දෙනකුටම එවැන්නක් ප්‍රකාශ කිරීම ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යොතීර්වේදියකුට ඒ සඳහා විශාල කාලයක්, ශ්‍රමයක් සහ ශාස්ත්‍රීය ඥානයක් වැය කළ යුතු කාරියක් බව මම සෘජුව නොකීවෙමි වෙනුවට මා පවසා සිටියේ මට පෙනෙන අන්දමට නම් නමට අකුරු තුනක් ඇති අපේක්‍ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරයා වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවකි. එවිට ඒ බොහෝ දෙනා ම`වෙතින් අසා සිටියේ මෙවර ජනපතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයන් සිව් දෙනකු ගේම නම අකුරු තුනකින් යුක්ත වීම මත මගේ එම ප්‍රකාශය විහිළුවක් නොවේද? යන්න ය.

එවිට මා ඔවුනට කියා සිටියේ අතිශය සූක්ෂම ග්‍රහ විශ්ලේෂණයකින් පැවසිය යුතු අනාවැකියක් ලේසි පහසු කාරියක් සේ හුවා දැක්වීමට වඩා එසේ විහිළුවක් කොට නිහඬවීම අතිශය යෝග්‍ය බව ය. මක් නිසාද යත් පසුගිය කාලය තුළ කිසිදු සිද්ධාන්තමය පදනමක් නොමැතිව එවන් ජාතික මට්ටමේ අනාවැකි හිටිවනම ප්‍රකාශ කළ අඳ බාලයන් නිසා මේ වන විට ජ්‍යොතිෂයට අත් වී ඇති ඛේදනීය ඉරණම හොඳටම ප්‍රමාණවත් බැවිනි.

හේම ශ්‍රී අමරසිංහ

Continue Reading

විශේෂාංග

ඡන්දදායකයින් “සුපිරි” නම්, අපේක්ෂකයින් “ඩප්පි” විය නොහැක!

Published

on

By

අපේ මැතිවරණ සංස්කෘතියෙහි දේශපාලන පක්ෂ වලට සහ අපේක්ෂකයින්ට දොස් නගන්නේ ඡන්දදායකයින්ගේ දෝස ගැන කතා නැතිව ය. ඡන්දදායකයින් “සුපිරි” නම්, අපේක්ෂකයින් “ඩප්පි” විය නොහැක. අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේද ඡන්දදායකයින්ගේ සමාජයෙන්ම වන හෙයිනි. එනිසා ඡන්දදායකයින් ඔවුන්ගේ ඡන්ද අපේක්ෂකයින්ට ලබා දෙන්නේ කුමන හේතුවකටදැයි ඡන්දදායකයින්ගෙන්ම ඇසිය යුතු ය. මේ ඒ සඳහා වන ප්‍රශ්න කිහිපයකි.

01. ඡන්දය දෙන්නේ ඇයි? නැතිනම්, ඡන්දය දිය යුත්තේ ඇයි?

ඡන්දය සතුව ඇත්තේ පුරවැසියෙකු, වඩාත් පැහැදිලිව කියන්නේ නම්, මේ සමාජයේ සාමාජිකයෙකු ලෙස පුද්ගලයෙකු සතු අත් හළ නොහැකි සමාජ වගකීමකි. එහි වෙනත් පෞද්ගලික කිසිවක් නැත. ඒ සමාජ වගකීම වන්නේ, මේ රටේ සමස්ථ ජනතාවගේම අනාගත අභිවෘද්ධිය, දියුණුව, දිවි පැවැත්මේ ගුණාත්මක තත්ත්වය, නිදහස් හා සාමකාමී, ස්ථාවර සමාජයක වර්ධනය කර ගැනීම වෙනුවෙන් පිළිගත හැකි වැඩ සැළැස්මක් ඉදිරිපත් කරන්නාවූ දේශපාලන පක්ෂයක්/කණ්ඩායමක් ආණ්ඩු පාලනයට පත්කර ගැනීමේ වගකීම ය. එනිසා ඡන්දය දිය යුත්තේ ඒ වෙනුවෙන් පමණි.

02. ඒ වගකීම ඉටු කිරීමට නම් පක්ෂ හෝ අපේක්ෂකයින් රටට ඉදිරිපත් කරන ඔවුන්ගේ ජාතික සංවර්ධන වැඩපිළිවෙලක් තිබිය යුතුය. සංවර්ධන වැඩපිළිවෙල යනු සාම්ප්‍රදායික මැතිවරණ පොරොන්දු ප්‍රකාශ නොවේ. රටේ සංවර්ධනය වෙනුවෙන් ආණ්ඩුවක් ලෙස ඔවුන් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පියවරෙන් පියවර පැහැදිලි කෙරෙන සැළසුමකි. ඔබ අතට එය පත් විය යුතුය. එය ඔබ කියවා තිබිය යුතුය. ප්‍රශ්නය, මෙතෙක් කිසිදු මැතිවරණයකදී ඔබගේ ප්‍රදේශයේ පක්ෂ නියෝජිතයෙකුගෙන් එවැනි සංවර්ධන සැළසුමක් ඔබ ඉල්ලා තිබේද? පක්ෂ නියෝජිතයෙකු එවැන්නක් ඔබට ලබා දී තිබේද?

වෙළඳ සන්නාහ නාම වැනි නම් යෙදූ මැතිවරණ පොරොන්දු ප්‍රකාශන නොවන සැබෑ “සංවර්ධන” සැළසුම් සැළකූ විට, ඒ ප්‍රශ්න දෙකටම, නිසැකයෙන්ම දිය හැකි පිළිතුර නම්, “නැත” යන්න ය. මේ සමාජයේ තවමත් පක්ෂ වෙතින් හෝ අපේක්ෂකයින්ගෙන් එවැනි ජාතික සංවර්ධන සැළසුම් කිසිවකුට ලැබී නැත. ඡන්දදායකයින් ඉල්ලා ඇත්තේද නැත. එනිසා එවැනි දේශපාලන සංස්කෘතියක් මේ සමාජයේ ගොඩ නැගී ඇත්තේද නැත.  

03. දැනට ප්‍රධාන වශයෙන් කතා වන්නේ ආර්ථික බංකොලොත් බවෙන් රට ගොඩ දැමීමය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් කොන්දේසි සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමය. ඒ සම්බන්ධ ඔබට ගැටළු තිබේද? ඔබේ ඒ ගැටළු ඔබ අපේක්ෂකයින් වෙත යොමු කර තිබේද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සියල්ල සහ ආණ්ඩුව විසින් අත්සන් කළ සම්පූර්ණ ගිවිසුම පාර්ලිමේන්තුවට හෝ ඉදිරිපත් කර නැතැයි කියවුනත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හෝ ලොකු ඉල්ලීමක් නැත. පාර්ශව කිහිපයක් සමග ආණ්ඩුව එකඟ වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොන්දේසි ගැන ඇසීමක්ද නැත.  ඒ සියල්ල සිංහල සහ දෙමළ භාෂා වලින් ප්‍රසිද්ධ කරන මෙන් පළමුව ඉල්ලා සිටිය යුතු වූවත් මේ සමාජයේ ඡන්දදායකයින් කිසිවකු එවැනි වගකීම් ගැන නොසිතන හෙයින් මේ රටේ ඡන්දදායකයින්ට ඒ කිසිත් ප්‍රශ්න නොවන්නේ යැයි පක්ෂ නායකයින් තීන්දු කිරීමේ වරදක් ඇත්තේද නැත.

04. අවුරුදු දෙකක පමණ කාලයක් ප්‍රධාන මාතෘකාව කරගෙන ඇති ආර්ථික අර්බුදය හැරුණු විට, මේ සමාජයේ ජීවත් වන්නකු ලෙස ඔබට වහා විසඳුම් ලැබිය යුතු වෙනත් බරපතල ප්‍රශ්න මේ සමාජයේ නොමැතිද?

කිසිදු මැතිවරණ වේදිකාවක, සමාජ ව්‍යසන හා සමාජීය විනය පිරිහීම ගැන වගකීමක් ඇතිව කෙරෙන කතා ඇසෙන්නේ නැත. සීඝ්‍රයෙන් වැඩිවන ස්ත්‍රී දූෂණ, බාලවයස්කාර දැරිවියන් දූෂණය කිරීම, ළමා අපචාර හා ලිංගික හිංසන, ලමුන්ට කුරිරු ලෙස සැළකීම හා ශාරීරිකව පහරදීම, කප්පම් ගැනීම, කොන්ත්‍රාත් මිනී මැරීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි කිසිවක් පාලනය කරන්නේ හා වළකා ගන්නේ කෙසේදැයි කතා කරනු අසන්නට නැත. පාසල් හා උසස් අධ්‍යාපනයේ වාව ගත නොහැකි පිරිහීම, සෞඛ්‍ය සේවාවේ හැම අංශයක්ම අඩාලවීම, පොදු මගී සේවා ගැන කිසිදු අවධානයක් ඡන්ද ව්‍යාපාරයෙහි නොමැත. එවැනි කිසිවක් වෙත දේශපාලන පක්ෂවල හා අපේක්ෂකයින්ගේ අවධානයක් නොමැති වීමට ප්‍රධානම හේතුව නම්, ඒ කිසිවක් ගැන ඡන්දදායකයාගේ උනන්දුවක් නොමැතිවීමය. ඡන්දය දෙන්නේ ඒ කිසිවක් විසඳා ගැනීමට නොවන බව එබැවින් පැහැදිලි ය.

05. එවැනි කිසිවක් ගැන උනන්දුවක් ඔබට නොමැති නම්, එවැනි සමාජීය අර්බුද විසඳ ගැනීමට පිළිගත හැකි සාර්ථක වැඩපිළිවෙලක් ඉල්ලා සිටින්නට තරම් වුවමනාවක් ඔබට නොමැති නම්, ඔබ ඡන්දය දෙන්නේ කුමක් සඳහාද?

එයට කිසිදු ඡන්දදායකයෙකු ප්‍රසිද්ධියේ පිළිතුරු නොදෙනු ඇත. එයටද හේතු ඇත. මෙතෙක් ඉතිහාසයේ ඡන්දයක ඇති සමාජ වගකීම ගැන මේ සමාජයේ කතා කර නැති හෙයින් සමාජ වගකීමක් ගැන නොදන්නා ඡන්දදායකයා තම පෞද්ගලික කාරණා විසඳා ගැනීමට ඡන්දය හිලව් කිරීමට පෙළඹී ඇත. එය ප්‍රසිද්ධියේ කතා කළ යුතු කාරණාවක් නොවන්නේ යැයි ඒ ගැන කිසිවකු කතා නොකළත් එය ප්‍රසිද්ධ කතාවකි. 

මේ රටේ බරපතලම අර්බදුය ඇත්තේ එතැනය. කිසිදු ඡන්දදායකයෙකු තමන්ගේ ඒ සමාජ වගකීම ඉටු කිරීම වෙනුවෙන්, සර්වජන ඡන්දය පළමු වරට භාවිත කිරීමේ අයිතිය ලැබුණු 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ සිට මෙතෙක් අවුරුදු 93 ක් කිසිදු මැතිවරණයක භාවිත කර නැත. මෙවර භාවිත වන්නේද ඒ වෙනුවෙන් නොවේ.

කුසල් පෙරේරා

2024 අගෝස්තු 26

Continue Reading

විශේෂාංග

කටකතා භීෂණය

Published

on

By

ලංකාවේ දේශපාලනය පුදුමාකාරය දේශපාලන කතිකාවද පුදුමාකාරය. විවිධ දේශපාලන ධාරාවන්ගේ මතවාදයන් සහ දේශපාලකයන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වයේ ස්වභාවය සම්බන්ධයෙන්  ගෙන ආයුතු සාකච්ඡාව අභිබවමින් වෙනත් ඕපාදූපවලට සහ විකෘති කර ගොඩනගන කටකතාවලට ප්‍රමුඛතාවය ලබා දෙන්නට බොහෝ දේශපාලන පක්ෂ හා සම්බන්ධ ලියන්නෝ උත්සාහ කරමින් සිටිති.

මේ විකෘති දේශපාලන සංවාදයේ ප්‍රධාන වින්දිතයෙක් වන්නේ මාලිමාවයි. උදාහරණයක් ලෙස මාලිමාව බලයට පත්වුවහොත් පශ්චාත් මැතිවරණ භීෂණයක් ඇතිවිය හැකි බවට බංග්ලාදේශය ඇසුරෙන් ගෙන එන ව්‍යාජ මතය දැක්විය හැකිය. පශ්චාත් මැතිවරණ භීෂණය ගැන  මෙතරම් කතා කරන්නේ ඒ සම්බන්ධයෙන් ඉහළම පළපුරුද්ද ඇති කණ්ඩායම් වීම දෛවයේ  සරදමකි.

1977 එජාප රජය පත්වූ වහාම ඇතිවූ දේශපාලන පලිගැනීම් විවිධාකාරය. එය විරුද්ධ පාක්ෂිකයාගේ දේපල විනාශය, මංකොල්ලයේ සිට රජයේ සේවකයන් ප්‍රතිවිරුද්ධ දේශපාලනය කල වරදට ලැබූ, දඬුවම් ස්ථාන මාරු දක්වා විහිදුනේය.

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කවි කල්පනාවකින් ගොඩ නැඟුණු කපුගේ ගායකයාණන් ගයන   ” මගෙ බිසවුනේ අසාපන් නුඹ මන්ද්‍රි දේවි නොවුනේ” ගීතය එජාප සමයේ දේශපාලන පලිගැනීමකට දුෂ්කර ප්‍රදේශයකට ස්ථාන මාරු  ලැබීම සම්බන්ධයෙන් නිර්මාණය වූ ගීතයකි. එකල සිදු වූ දේශපාලන පලිගැනීම්වල කෲරත්වය සහ එයින් පීඩාවට පත්වූ පීඩිතයන්ගේ ප්‍රමාණය සම්බන්ධයෙන් අදහසක් ලබා ගැනීමට  මෙවැනි ගීත සාහිත්‍යයක් නිර්මාණය වීමම ප්‍රමාණවත් ය.

ජේ ආර්ගේ දේශපාලන පලිගැනීම්වල අග්‍රඵලය වන්නේ අසූවේ ජූලි වර්ජකයන්ගේ රැකියා අහිමි කිරීමයි.  වැඩි වූ බඩු මිලට සරිලන ලෙස වැටුප වැඩිකරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයන් ගත් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ජේආර් කුඩුපට්ටම් කර දමනු ලැබුවේ දහස් ගණනක රැකියා අහිමි කරමිනි.

දාහත් වසරක එජාප පාළනය අවසානයේ බලයට පත් චන්ද්‍රිකා රජය දේශපාලන පලිගැනීම්  කොමිසමක්  පත් කරනු ලැබූවේ දාහත්වසරක එජාප පාලනයෙන් බැටකෑ වින්දිතයන්ට සහන සැලසීමටය. මේ ආකාරයට ගෝඨාබය පාලනය තෙක් සෑම ආණ්ඩු පෙරලියකදීම බලයට පත් නව රජයන් දේශපාලන පලිගැනීම් විභාග කිරීමට ආයතන ස්ථාපිත කළේය. ඒවායේ නිර්දේශ අනුව වින්දිතයන් කියා ගන්නා අයට වන්දි ගෙව්වේය, රැකියාවල උසස්වීම් ලබා දුන්නේය, වෙනත් වරදාන ප්‍රධනය කළේය.  

එනයින් බලනකල රාජ්‍ය බලය අවභාවිතා කරමින් සිදු වූ  දේශපාලන පලිගැනීම් එජාපයේ සහ ශ්‍රිලනිපය ප්‍රමුඛ සන්ධානයන් හි මූලයටම බැසගත් සම්ප්‍රදායක් ලෙස කිව හැකිය.  අද මාලිමා පාලනයක් සම්බන්ධයෙන් තේ කෝප්පයේ කිඹුලන් දකින ඊනියා නිදහස් මතධාරීන් මාලිමා පාලනයක දේශපාලන පලිගැනීම් ගැන සමාජයට විස අදහසක් නිකුත් කරන්නේ දේශපාලන පලිගැනීම ඔවුන්ගේ ශබ්දකෝෂයේ සහ විෂය පථය තුල ඇති සංකල්පයක් නිසාය.  විරුද්ධ දේශපාලනයක් කල පමණින් අනෙකා දඬුකඳේ ගැසීමට තරම් මාලිමාව චූල මතයක් ඇති  දේශපාලන ව්‍යාපාරයක් නොවන අතර විවේචනයෙහි සහ විසම්මුතියෙහි අගය  රාජ්‍යයක පාලනයේදී අත්‍යාවශ්‍ය අංගයක් බව මාලිමාව දන්නේය.

අද වනවිට මාලිමාවෙහි නායකත්වයට එල්ල කරන්නට චෝදනා නැත, කලහැකි එකම දෙයනම්  කටකතාවලින් භීතියක් සමාජගත කිරීමයි, රටෙහි ජනතාවට මේ පාලනය සහ පාලකයන් ගැන අදහසක් ඇත, අදහසක් නැත්නම් පොඩි පරීක්ෂණයකින් අදහස ලබා ගත හැකිය. ඔබ  ඡන්දය දුන් අවසාන මැතිවරණයේ ඡන්දය ලබා දුන් දේශපාලන පක්ෂය සහ අපේක්ෂකයන් මතක් කරන්න, ඔවුන් දැන් සිටගෙන ඇති ස්ථානය ඔබ බලාපොරොත්තු වූ ස්ථානයදැයි සිතන්න.

උපුල් කුමරප්පෙරුම

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved