Connect with us

විශේෂාංග

සංගීත් නිපුන් සනත් දැයෙන් සමුගනියි (ඡායා)

Published

on

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය සංගීතඥයෙකු වන, සම්මානිත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (01) පස්වරු 3.00 ට බොරැල්ල සුසාන භූමියෙදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි.

ඒ මහතා පසුගිය අඟහරුවාදා (මාර්තු 28) දිවි සැරිය නිමා කරන විට 81 වන වියේ පසු විය.

කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපති ලෙස ද කටයුතු නන්දසිරි මහතා මෙරට සුභාවිත සංගීතයට පණ පෙවූවකු සේ සැලැකේ.

ඔහුව විචාරකයින් විසින් හඳුන්වනු ලබන්නේ, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ “වාග්ගේයකරුවෙකු” ලෙස ය.

සංගීතඥයෙකු, ගායන ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු හා ගී පද රචකයෙකු ලෙස ඔහු මෙරට රසික හදවත් දිනූ කලාකරුවෙකි.

පෞද්ගලික තොරතුරු

1942 වසරේ පෙබරවාරි 15 වන දා ගොතටුවේ දී උපන් සනත් නන්දසිරි, ගොතටුව මධ්‍ය මහා විද්‍යාලයයෙන් සහ සාන්ත මැතිව්ස් විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලබා තිබේ.

සනත් නන්දසිරි, විල්ෆ්‍රඩ් පීරිස් යටතේ මුල් කාලයේ දී සංගීතය හදාරා ඇති අතර පසුව හේමතිලක දයාරත්න යටතේ ශාස්ත්‍රීය සංගීතය හදාරා තිබේ. ඔහු තබ්ලා වාදනය හදාරා ඇත්තේ මහේෂ් සින්නයියා සහ වාද්‍ය විශාරද ඩී. ආර්. පීරිස්ගෙනි.

1955 වසරේ දී ඔහු ජාතික ගුවන්විදුලියට සම්බන්ධ වී ඇත.

අනතුරුව 1960 වසරේ දී ලක්නව් නුවර පිහිටි භාත්ඛණ්ඩ සංගීත් විද්‍යා පීඨයට ඇතුළු වීම සඳහා ඉන්දියාව බලාගිය ඔහු, එහි සිටි විශිෂ්ට ආචාර්යවරුන් යටතේ ශිල්ප හදාරා 1966 වසරේ දී ගායනයට සහ තබ්ලා වාදනයට විශාරද උපාධි දෙකක් ලබා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ය.

මහාචාර්ය සනත් නන්දසිරි 1992 වසරේ දී සංගීත් නිපුන් උපාධිය ලබා ගත්තේය.

1971 වසරේ දී විශාරද මල්කාන්ති නන්දසිරි හා විවාහ වූ ඔහුගේ දියණිය විශාරද අනුරාධා නන්දසිරි ය.

සංගීත ක්ෂේත්‍රයට ක‍රන ලද මෙහෙවර

එදා මෙදාතුර කඳුළට විවර වූ දෑස් පියන් පත් කවුළු වසා, පෙමාතුර හැඟුම්, දේදුන්නෙන් එන සමනලුනේ, කොහෝ කෙහෝ, එක යායට මල් පීදුණු, වේතනා පරිශුද්ධ වූවත්, සීත රෑ යාමේ, ලස්සන නම් නෑ පෙනෙන්නේ, මේ ප්‍රථම වසන්තය යි, හිච්චි නගේ, දඟකාර ඔය දෑස, කවුරුදෝ අර කවුළුවෙන්, දූ අනුරාධා, මගේ රටට දළදා හිමි සරණයි, නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, බෝ මළුවේ මල් සුවඳක පැටලී ආදී ගීත ඔහු ගැයූ අතිශය ජනාදරයට පත් වූ ගීත අතර වේ.

1969 වසරේ සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයේ ‘අනන්ත වූ දෙරණ සරා දෑස් නිවන අහස් ගව්ව නැග ගත්තේ,’ යන ගීතය ගයන ලද්දේ මහාචාර්ය සනත් නන්දසිරි විසිනි. ඔහු විසින් රචනා කරන ලද ගීත ගොන්නක් අතර ‘බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ’ යන ගීතය අදට ත් රසිකයින්ගේ සිත් ස්පර්ශ කරන ගීතයකි.

ගුවන්විදුලිය, සිනමාව, ටෙලි නාට්‍ය සහ වේදිකාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔහුගේ සංගීත නිර්මාණ කාර්යයන්ගෙන් හැඩවුණු බව විචාරකයින්ගේ අදහස ය.

ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව, ධර්මදාස වල්පොළ, සුජාතා අත්තනායක, ගුණදාස කපුගේ, නන්දා මාලිනී, නිරංජලා සරෝජනී, අබේවර්ධන බාලසූරිය, මල්කාන්ති නන්දසිරි වැනි මෙරට අතිශය ගෞරවාදරයට පාත්‍ර වූ ගායක ගායිකාවන් රැසකට ඔහු අතින් ගී තනු නිර්මාණය විය.

1974 වසරේ දී මහාචාර්ය සනත් නන්දසිරි සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය වන ‘ස්වර්ණ කුණ්ඩල’ පැවැත් වූ අතර, ඔහුගේ පළමු ගී තැටිය එම නමින් ම පසුකාලීනව නිකුත් විය.

2019 වසරේ දී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඔහු ‘ජනාභිමානී ගෞරව සම්මානයෙන්’ පිදුම් ලැබී ය.

සනත් නන්දසිරි මුල් වරට ගීතයක් ගයා ඇත්තේ 1947 වසරේ දී ය. ඒ, ඔහුගේ වැඩිමල් සොහොයුරිය වූ ඊඩා සමග ය. “යමුනා යමුනා සෝබන ගංගා” ගීතයේ තනුවට “පායා පේනා චන්ද්‍රා පේමා” නම් යුග ගීතය ඔහු එලෙස ගයා තිබේ.

එතැන් පටන් මේ දක්වා ඔහු ගීත 140කට අධික සංඛ්‍යාවක් ගයා ඇත.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපති

සංගීත උපදේශකවරයෙකු ලෙස සේවය කරමින් සිටි ඔහු 1969 වසරේ දී විශාරද ආචාර්ය ලයනල් එදිරිසිංහ විසින් ගායනය පිළිබඳ රජයේ ලලිත කලා ආයතනයේ කථිකාචාර්යවරයකු ලෙස බඳවා ගනු ලැබ තිබේ.

එතැන් පටන් පැමිණි ගමනේ, සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ අධ්‍යනාංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඔහු පසුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ ප්‍රථම සංගීත පීඨාධිපති ලෙස පත් වන්නේ ය.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපති ලෙස කටයුතු කළ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවගේ අභාවයෙන් පසු 2016 වසරේ දී එම ධුරය සඳහා මහාචාර්ය සනත් නන්දසිරි පත්විය.

ඒ, කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ තෙවන කුලපති ලෙස ය.

ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වයට උපහාරයක් වශයෙන් ඔහු ගෞරව මහාචාර්ය පදවියකින් ද පිදුම් ලැබී ය.

“සනත් නන්දසිරි කියන ඒ මහා පෞරුෂයට ආදරේ කරන්නේ නැති කෙනෙක් හොයාගන්න බැහැ” – අභිෂේකා විමලවීර

“අමරදේව මාස්ටර් වගේ ම සනත් නන්දසිරි කියන්නෙත් අපේ රටේ සංගීතයේ අක්මුල්,” එසේ පවසන්නේ, ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නව පරපුරේ ගායන ශිල්පිනියක වන අභිෂේකා විමලවීර බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමිනි.

මහාචාර්ය සනත් නන්දසිරිගේ අහිමිවීම කෙතරම් ද යන්න කිසිවෙකුටත් “විස්තර කළ නොහැකි” බව ඇය පැවසුවේ තම පළමු සංගීත ගුරුවරයා වූ ඔහු පිළිබඳව අතීතාවර්ජනයක ද යෙදෙමිනි.

“අවුරුදු 10ක පුංචි ළමයෙක් මම, මට මේ සනත් නන්දසිරි කියන දැවැන්ත මනුස්සයා මුණගැහෙද්දී. මාව එක්කන් ගියා තාත්තා නුගේගොඩ සර් ගාවට. මම පුංචි නිසා ම නෙවෙයි, මට ඒ ගෙදර පෙනුනෙත් මාළිගාවක් වගේ. මහා දැවැන්ත, මහා තේජාන්විත හඬක් වගේ පෞරුෂයක්. මුළු ඇඟෙන් ම රැස් විහිදෙනවා. මම එතුමාව මුලින් ම දැක්කා ම හිතුනේ ඒකයි. ඊට පස්සේ කිව්වා පුතේ මට සිංදුවක් කියලා පෙන්නන්න කියලා. මම ‘ආදරේ ඇයි පොඩි හඳ මාමේ’ සිංදුව කිව්වා. කිව්වට පස්සේ මාව ප්‍රවේශිකා පන්තියට දාන්නේ නැතුව කෙලින් ම ප්‍රථමා පන්තියට දැම්මා. ගායනය කියන්නේ, සංගීතය කියන්නේ, ගරු කරන්න ඕනේ දෙයක් කියලා කියලා දුන්නා.”

ඇය සඳහන් කළේ සංගීතය යනු, “තරගයක් නොවන බව” ඔහු සැම විට ම තම ශිෂ්‍යයින්ට කියා දුන් බව ය.

“එතුමා බිහි කරපු ගෝල බාලයෝ එතුමා බලාපොරොත්තු වුණ විධියට ම එතුමාගේ සංගීත දැනුම සංගීතයේ සුවඳ ලංකාවේ හැම තැනකට ම අරන් යයි. ඒ වගකීම මම එතුමා වෙනුවෙන් කරනවා මමත් එතුමාගේ ගෝලයෙක් විධියට. මම හිතෙන්නේ එතුමාගේ අහිමිවීම කොයි තරම් පාඩුවක් ද කියලා කියන්න අපි කාටවත් ම බැහැ. මම හිතන්නේ සනත් නන්දසිරි කියන ඒ මහා පෞරුෂයට ආදරේ කරන්නේ නැති කෙනෙක් ලංකාවෙන් ලෝකෙන් හොයා ගන්න බැහැ. අමරදේව මාස්ටර් වගේ ම සනත් නන්දසිරි කියන්නෙත් අපේ රටේ සංගීතයේ අක්මුල්.”

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරට ත් මෙසේ පැවසුවා ය.

“ජ්‍යෙෂ්ඨයන් නවකයන්ව පාගලා දානවා කියන යුගයක, ජ්‍යෙෂ්ඨයන් අලුත් අයට ඉදිරියට එන්න අවස්ථාවක් නොදෙනවා කියන යුගයක, එක ම පිරිසක් වටා තමන්ට වඩා අඩු දක්ෂයින් පිරිසක් විතරක් තරුණ පරම්පරාව විධියට ඉස්සරහට ගේන්න හදන ප්‍රවීණයන් පිරිසක් ඉන්නවා කියන යුගයක, ඒ කතාව සම්පූර්ණයෙන් ම වෙනස් කරන පෞරුෂය මහාචාර්ය සනත් නන්දසිරි.”

මහාචාර්ය සනත් නන්දසිරි විසින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයය තුළ මෙන් ම ඉන් පිටත ද බිහිකරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණන අති විශාල ය. ගී පද රචකයින් ගණනාවක් බිහි කිරීමට ද ඔහු දායක වුණු බව විචාරකයින්ගේ අදහස යි.

“ඔහු අද්විතීය, අග්‍රගණ්‍ය, අමරණීය පුද්ගලයෙක්” – මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර

“සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයේ කුලපතිව සිටි මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි කලාකරුවා අභාවප්‍රාප්ත වීම අතිශය ශෝකාකූල කාරණයක්,” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යා සහ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර ද මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ගැයූ ගී ලියූ ගේය පද රචකයෙකි.

ඔහු සඳහන් කළේ, නව පරම්පරාවට තනු නිර්මාණයකර දීම මෙන් ම, නව ගීත රචක පරම්පරාවකට අතහිත දීමත් නිසා බොහෝ කලාකරුවන් පිරිසක් මහාචාර්ය සනත් නන්දසිරිගේ ආශ්‍රයෙන් බිහි වූ බව ය.

“ඒ පාඩුව අපිට දරාගන්න අමාරු යි. ඔහු අද්විතීය, අග්‍රගණ්‍ය, අමරණීය පුද්ගලයෙක්. ගුරුවරයෙක්, මහාචාර්යවරයෙක් හැටියටත් එහෙම යි. තනු නිර්මාපකයෙක්, සංගීතවේදියෙක්, ඒ වගේ ම අලුත් පරම්පරාවකට තනු නිර්මාණයකර දීමත්, සංගීත නිර්මාණයකර දීමත්, අලුත් ගීත රචක පරම්පරාවකට අතහිත දීමත් නිසා බොහෝ කලාකරුවන් ඔහු වෙතින්, ඔහුගේ ආශ්‍රයෙන් බිහි වුණා. කිසි ම ලෝබකමක් නැතුව තමන්ට නිර්මාණය කරන තනු වෙනත් අයට ත්, අලුත් වේවා, ප්‍රවීණ වේවා, ඔහුට ඒ පිළිබඳව ගැටලුවක් තිබුණේ නෑ. මුදල් මුල් කර ගෙන නෙවෙයි ඒ තනු නිර්මාණය කළේ.”

මහාචාර්ය සනත් නන්දසිරි එවකට සංගීතය ඉගැන්වීම් කටයුතුවල යෙදුණු ආකාරය ද ආවර්ජනය කරමින් මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මෙසේ පැවසීය.

“මනුස්සකම් අතින් අපි දැකලා තියෙන, බොහෝ ම උදාර ගති තියෙන, සත් පුරුෂ ගුණ තියෙන පුද්ගලයෙක්. කාගේ දුකේ දී සැපේ දී ඉස්සෙල්ලා ම පැමිණෙන පුද්ගලයෝ සනත් නන්දසිරි – මල්කාන්ති නන්දසිරි යුවළ. විශාරද අනුරාධා නන්දසිරිටත් උගන්නන එක ම සංගීතය තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ගුරුමුෂ්ටි තබා ගන්නේ නැතුව එතුමා හැම වෙලාවේ ම ලබා දුන්න හැටි අපිට මතක යි. එක ම පැදුරේ වාඩි කරලා, දුව කියලා වෙනසක් නැහැ.”

ඔහු පෙන්වා දුන්නේ, මහාචාර්ය සනත් නන්දසිරි “උසස් රසිකත්වයක්” ලබා දීමට ක්‍රියා කළ කලාකරුවෙකු බව ය.

මහාචාර්ය සනත් නන්දසිරි “සංගීතය, තනු නිර්මාණය, වාදනය, රචනා කිරීම ගායනා කිරීම ආදී හැම අතකින් ම පූර්ණත්වයට පත් කෙනෙකු” බැවින් ඉන්දියානු සංගීත ක්‍රමය අනුව ඔහු “වාග්ගේයකරුවෙකු” ලෙස හැඳින්විය හැකි බව බීබීසී සිංහල සේවය සමග තවදුරටත් අදහසක් දැක්වූ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර පැවසීය.

“ඉතින් එතුමාගේ වියෝවීම අපිට හරි දුකක්. ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා, එනවා වගේ ම අපි කාටත් නික්මිලා යන්න වෙනවා. ආව විධියට වඩා සත්පුරුෂයෝ හැටියට ලෝකයට සේවය කරලා නික්මිලා යන්නට තියෙනවා නම්, ඒක තමයි උතුම් වන්නේ. සනත් නන්දසිරි කලාකරුවා, එබඳු විශාල වැඩ කොටසක් රට, ලෝකේ වෙනුවෙන් කරලා නික්මිලා ගියා,” ඔහු වැඩිදුරට ත් පැවසීය.

මූලාශ්‍රය – බීබීසී සිංහල

විශේෂාංග

සුබ උපන්දිනයක්  Wikipedia

Published

on

By

අද විකිපීඩියා දිනය (Wikipedia Day) යි.

දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ භාවිතා කරන විකිපීඩියාව , බොහෝ අය තම එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන අන්තර්ජාල සම්පතක් බවට පත්ව ඇත.

2001 ජනවාරි 15 වැනි දින ජිමී වේල්ස් තම සගයින් පිරිසක් සමඟ විකිපීඩියා විශ්වකෝෂය ආරම්භ කලේය.

න් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක්ෂයකට ආසන්නය.

මේ වනවිට විකිපීඩියා යනු ලොව ජනප්‍රියතම වෙබ් අඩවි අතර පසුවන්නකි.

විකිපීඩියා යනු සෑම දෙයකටම විශ්වාසදායක නොවිය හැකි වුවද, විකිපීඩියාව ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට නොමිලේ සහ ප්‍රවේශ විය හැකි තොරතුරු සහිත දැවැන්ත පුස්තකාලයක් නිර්මාණය කර ඇත.

අද (15) දිනට යෙදෙන විකිපීඩියා දිනයේදී එහි උපන්දිනය සෑම වසරකම විකිපීඩියා දිනයේදී සමරනු ලැබේ!

Continue Reading

විශේෂාංග

රාජ්‍ය සේවක කප්පාදුව ලඟයි

Published

on

By

ලංකාවේ ලක්ෂ 17 ක් වන රාජ්‍ය සේවකයින් රටට බරක් බවත් ඔවුන් ගේ ප්‍රමාණය ලක්ෂ 7 ක් හෝ අවම වශයෙන් ලක්ෂ 10  දක්වාවත් අඩු කළ යුතු යැයි මේ වන විට රජය පාර්ශවයෙන් යෝජනා  ඉදිරිපත් වී ඇත. රාජ්‍ය සේවයේ සේවක අතිරික්තය, එලදායීත්වය හා නාස්තිය ප්‍රමාණය පිළිබඳ ගැඹුරු සංවාදයක් රට තුල නැත. රාජ්‍ය සේවයේ ප්‍රතිසංවිධානයත්, වියදම් පාලනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා බැඳුණු ක්‍රියාවලියකි.

මුදල් අමාත්‍යාංශයේ, කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අද වන විට අනුමත කර ඇති රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 17 කි.  2017 දී මංගල සමරවීර අමාත්‍යවරයා විසින් බඳවා ගැනීම් සඳහා යම් සීමාවන් පැනවූ අතර, කෝවිඩි අර්බුදය, ආර්ථික අර්බුදය හේතුවෙන් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම අවම වී ඇත. අද වැටුප් ලබන සැබෑ රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්ෂ 14 ට මදක් වැඩිය. එය රටේ ශ්‍රම බලකායෙන් 15% කි.  1990 දී ලක්ෂ 6.5 ක් රාජ්‍ය සේවක සංඛ්‍යාව අද, ලක්ෂ 17 ක් දක්වා වැඩිවූයේ සේවක අවශ්‍යතාවයට වඩා දේශපාලනඥයින් හා නිලධාරීන් විසින් රැකියා රජයේ රැකියා සහනාධාර වශයෙන් ලබාදීම නිසාය. 

රටක්, සමාගමක් නැත්තම් කර්මාන්ත ශාලාවට පවා අවශ්‍යවන සේවක සංඛ්‍යාව හා සේවකයින් වර්ග මොනවා ද යන්න වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂිකව ගණනය කරනු ලබයි.  රාජ්‍ය සේවයේ වසර 5 කට වරක් කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කළ යුතුය.  2013 වසරට පසු මේ දක්වා ලංකා රාජ්‍ය සේවයේ කාර්‍ය මණ්ඩල සමාලෝචනයක් සිදුකර නැත. සරළව, වසර 12 කින් රාජ්‍ය අංශයේ සේවා ප්‍රසාරණය වීම්, ව්‍යුහාත්මක වෙනස්වීම් අධ්‍යයනය කරමින් රටේ එලදායී කාර්ය සාධනය සඳහා සිටිය යුතු කාර්‍ය මණ්ඩල සමාලෝචන සිදුකර නැත. 

මේ නිසාම, ආණ්ඩුවේ උපදේශකවරයෙකු ලෙස කටයතු කරන   හුලංගමුව මහතා රාජ්‍ය සේවකයින් ලක්ෂ 7 දක්වා අඩු කළ යුතු යැයි කියන විට, හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ගේ කමිටු වාර්තාවේ එය ලක්ෂ 10 ක් විය යුතු යැයි දැක්වේ. තවත් පැත්තකින්, රාජ්‍ය සේවය සැබෑ ඩිජිටල්කරණයකට යොමු වන්නේ නම්, ලක්ෂ 2 ක රාජ්‍ය සේවාවක් ප්‍රමාණවත් බව ද අදහසක් ඇත.  

සැබවින්ම රාජ්‍ය සේවය කුමන ප්‍රමාණයකට කපා දැමිය යුතුද, නැතිනම් සීමා කළ යුතු ද යන මේ කතා එකකටවත් කිසිදු විද්‍යාත්මක, තාක්ෂණික පදනමක් නැත. එක් එක් පුද්ගලයාගේ හිතට දැනෙන ඉලක්කම් ඔවුහු මයික්‍රෆෝන් ඉදිරිපිට පවසති. 

ඇත්තමට ගැටළු මොනවාද? 

රාජ්‍ය සේවක සංඛ්‍යාව එලදායී වන්නට නම්, කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව මහ පොලොවේ අවශ්‍යතා කෙරෙහි වැඩි අවබෝධයකින් කටයුතු කළ යුතුයි. වරින් වර සේවා අවශ්‍යතා මත පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සිදු කරන ඉල්ලීම් කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් නෑ. මම දකුණු පළාත් ආණ්ඩුකාරවයා ලෙස කටයුතු කරන සමයේ දී, දැනට පළාත් සභාවලට NBT බදු අය කිරීමක් සිදු නොවන නිසා බදු නිලධාරීන් (tax officers) ගේ අවශ්‍යතාවයක් නොමැති බව හදුණාගනු ලැබූවේය. නමුත්, පළාත් සභාව වැඩි වැඩියෙන් ‘මත ප්‍රකාශ ලබා දී ආදායම් ලබාගැනීමට’ තක්සේරුකරුවන් වැඩි කරගත යුතුයි. නමුත්, වසර 6 ක් ගතවී ඇතත් බදු නිලධාරී තනතුරු යටපත් කර තක්සේරු තනතුරු ලබා දෙන්නැයි කළ ඉල්ලීමටවත් කලමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉටු වී නැත.  

ලංකාවේ කේෂ්ත්‍ර නිලධාරීන් වර්ග 103 ක් පවතී. 2023 ජනාධිපති කාර්යාලය මගින් සිදු කරන ලද සමීක්ෂණයෙන් මේ බව හෙළිකර ගන්නා තෙක් මෙම වර්ග සංඛ්‍යාව ගැන හෝ අවබෝධයක් තිබුණේ නැත.  මෙයින් අඩකට වඩා යල්පැනගිය, අවශ්‍ය නොවන තනතුරු බව කාර්ය මණ්ඩල සමාලෝචනයකින් තහවුරු වනු ඇත.  

අනෙක් අතට රටට අදායම් ලබා ගත හැකි පළාත් පාලන, ඉඩම් ආදී අංශයන් හි අවශ්‍ය සේවක සංඛ්‍යා නැත. රාජ්‍ය සේවය දේශපාලනඥයින් හා බලධාරීන් විසින් රටට බරක් කර ඇත්තේ එලෙසිනි.  

රාජ්‍ය ප්‍රතිපත්තියේ ඩිජිටල්කරණය (digitalization) ට ලොකු අගයක් ලබා දී ඇත. එයට අනුරූපව රාජ්‍ය සේවයේ විශාල ව්‍යුහාත්මක වෙනස්වීම් අවශ්‍ය වනු ඇත.  රටේ පවතින අප්‍රමාණ වූ දත්ත, භාවිතයට ගත හැකි ඩිජිටල්කේතකරණයට ලක් කිරීමට විශාල සේවක සංඛ්‍යාවක් අවශ්‍ය වනු ඇත.  අනෙක් අතට, එහි වාසිය ලබා දැනට සේවයේ සිටින විශාල පිරිසක් වඩාත් එලදායී කටයුතු සඳහා යෙදවිය හැකිය. 

ඉහළ තනතුරු (ලේකම්, දිසාපති) වලට තෝරා ගැනීමේදී ඔවුන්ගේ දක්ෂතා මත පදනම්වූ නිර්ණායක අනුව තෝරා ගැනීම් කළ යුතුයි. අද ඉහත තනතුරු සඳහා පත්වන බහුතරය ජ්‍යෙෂ්ඨත්වය හා දේශපාලන ලැදියාව මත පත්වීම් ලබති.  ලොක්කන් දක්ෂයන් නොවන තැන්වල දෙවන පෙළක් ගොඩ නැගෙන්නේ නැත. 

රාජ්‍ය සේවය දීප ව්‍යාප්ත සේවා ඛාණ්ඩ රැසක ඉහළ තනතුරු රැසක් පුරප්පාඩු වී ඇත. පසුගිය ජනවාරි 1 දින 2013 ජුනි 26 දින හා අංක 1816/12 දරණ රජයේ මුද්‍රණ සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ‘පරිපාලන සේවයේ’ නිලධාරියෙකු රජයේ මුද්‍රණාලයාධිපති ධූරයට පත් කරනු ලැබීය. මුද්‍රණ සේවයේ මුල් පිටු 6 ම මේ වන විට පුරප්පාඩු වී ඇත. මුද්‍රණ සේවයේ ඉහළම නිලධාරියා ‘දෙවන සේවයේ’ අයෙකි. නිලධාරීන්ට කලට වේළාවට සේවා උසස්වීම් ලැබෙන්නේ නැත. නැතිනම්, ඒවා ලබාදීම සුක්ෂම ලෙස වලක්වනු ලබයි. රාජ්‍ය සේවයේ ‘කුල’ හෙවත් ‘සේවා’ අතට ගැටුම බරපතල තැනකට පැමිණෙමින් ඇත. 

ජාතික හෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය ද මෙලෙසම පරිපාලන සේවයේ නිලධාරියෙකු විසින් දරනු ලබයි. මේ පත්වීම් රැසක්ම සිදු කර ඇත්තේ පුද්ගලික හිතවත්කම් මතය. 

සබරගමුව කෘෂිකර්ම අමාත්‍යාංශයට ආණ්ඩුකාරතුමිය විසින් ක්‍රමසම්පාදන සේවයේ නිලධාරියෙකු පත් කිරීමට විරුද්ධව පරිපාලන සේවය බලහත්කාරී විරෝධයක් පළ කර එම පත්වීම වැලක්වනු ලැබීය. රාජ්‍ය සේවයේ ඉහළ සිට පහලටම ඉංජිනේරු, කෘෂිකර්ම සේවාවන් හි ද මෙවැනි ගැටුම් උත්සන්න වෙමින් ඇත. 

රාජ්‍ය සේවක පිරමිඩයේ ඉහළම කොටසට වඩා, දෙවන කොටස කුඩා වීම සිදුව ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවටය.  එය වහා නිවැරදි කළ යුතු තත්වයකි. 

රාජ්‍ය සේවයේ, ආයතනයක, අමාත්‍යාංශ සඳහා වරින්වර අවිධිමත් ලෙස උපාධිධාරීන් බඳවා ගැනීම නිසා රාජ්‍ය සේවයේ පිරමිඩය විකෘති වී ඇත.  අද එය පිරිමීයක් නොව, ‘කලයක’ නැතිනම් ‘බඩ තඩි මුදලාලි’ රූපයක් (රූපය බලන්න) ගෙන ඇත. මේ සේවක පිරමීඩයේ මැද කොටස ඌණ සේවා නියුක්ති උපාධිධාරීන්ගෙන් පිරී ඇත. ඔවුන්ට නිශ්චිත වැඩ ලැයිස්තුවක් තබා වාඩිවෙන්නට පුටුවක් හෝ නැත. රාජ්‍ය සේවයේ සේවක පිරමිඩය ස්ථාපනයකින් තොරව කිසිදු මානව සම්පත් කලමනාකරණයක් යථාර්ථවාදී විය නොහැකිය. 

තමන්ට ලැබෙන රාජ්‍ය නිලධාරීන්ගේ දක්ෂතා, කුශලතා, දුබලතා හඳුණා ගැනීමක් බොහෝ විට රාජ්‍ය සේවයේ සිදුවන්නේ කලාතුරකිනි. පිහිනන්නට දක්ෂයා, රස්සාවට ගස් නග්ගවන ස්වරූපයක් රාජ්‍ය සේවයේ ඇත. 
මේ වන විට මධ්‍යම රජය සහ පළාත් සභාවල ‘කාර්ය මණ්ඩලය සමාලෝචනයක්’ සිදු කරමින් ඇත. එමගින් සැබෑ ලෙසම රාජ්‍ය සේවයේ සිටිය යුතු සංඛ්‍යාව හා තනතුරු ප්‍රමාණය තීරණය කිරීමට ‘රාජ්‍ය සේවයට’ හැකියාව පැවතිය යුතුය. 

රජයේ ප්‍රතිපත්තිය රාජ්‍ය සේවක සංඛ්‍යාව 50% කට  ආසන්නව පහළ දැමීම නම්, අනිවාර්යයෙන්ම වත්මන් රජයට කෙටි කාලීන පීඩනයක් එල්ල විය හැකි නමුත් රටක් ලෙස දිගු කාලීන වාසි අත්කර ගත හැකිය. අනෙක් අතට එවැනි යෝජනාවකට එරෙහිවිය හැකි වෘත්තීය සමිති සියල්ලම වත්මන් රජයට සහාය දක්වන අතර ඒවායේ නායකයින් රජයේ තනතුරු දරමින් සිටී.

 
නිදහසින් පසු පලමුවරට රාජ්‍ය සේවය කුඩා කිරීම සඳහා පාලකයින්ගේ අවධානය යොමුව තිබීම ප්‍රශංසා කටයුතුය. එයට බාධා නොකර සිටීම විපක්ෂයේ වගකීමකි. 

රජිත් කීර්ති තෙන්නකෝන්

Continue Reading

විශේෂාංග

මාධ්‍ය හැසිරවීම ගැන ඩලස්ගෙන් නිවේදනයක්

Published

on

By

වර්තමාන ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තීන් සහ ක්‍රියාමාර්ගවලට අදාළව නිදහස ජනතා සභාවේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. 

එහි සම්පූර්ණ ලිපිය පහත දක්වා ඇත.

සොහොන් ලකුණ, හොල්මන් සහ ආණ්ඩුව.

පැරණි ගැමියන් සොහොන් භූමියක් ළඟින් රාත්‍රී කාලයේ ගමන් කිරීමට දක්වන්නේ අනියත බියකි. “හොල්මන්”, එම බියට මුල් වූ ග්‍රාම්‍ය සංකල්පයයි. සරම මඳක් ඔසවා ශබ්ද නගා කුණුහරුපයක් කියමින් එම සොහොන් භූමියේ සීමාවන් පසු කිරීම එම අභ්‍යන්තර භීතිය සහ චකිතය මගහරවා ගැනීම සඳහා අනුගමනය කළ ආදි ගැමියා ගේ පුරුද්දය.

වත්මන් ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තීන් සහ ක්‍රියාමාර්ග දෙස බැලීමේදී උක්ත ග්‍රාමීය අභ්‍යාසය නිතැතින්ම අප සිහියට නැගේ. 2024 සැප්තැම්බර් 23 දින සිට ගැනීමේදී ගත වූ දින 107 තුළ ජනමාධ්‍යයට අදාළව එලෙස ආණ්ඩුවේ අනියත බිය හා තිගැස්ම ප්‍රකාශ වූ අවස්ථා, ආණ්ඩුව ගෙවා දමන ලද දින ප්‍රමාණයෙන්, දහයෙන් එකකට, 1/10 වඩා වැඩිය.

ජනමාධ්‍යයට ප්‍රති ප්‍රහාර ආරම්භය ලබා දුන්නේද අනෙකෙකු නොව ජනාධිපතිවරයාමය. ඇතැම් මාධ්‍ය නම් කරමින් ඔවුන් වැරදි හදාගත යුතු බවට දැවැන්ත නමුත් අප්‍රකාශිත තර්ජනයක්, ආරම්භක පිතිකරුවා ලෙස මාතර උයන්වත්ත පිටියේ දී ඔහු සමාජයට මුදාහලේය. ඊයේ, 08 පාර්ලිමේන්තුවේදී මාධ්‍ය දෙකක් නම් කරමින් ගරු අග්‍රාමාත්‍යතුමිය ගෙන් ඇසුණේද පැරණි “මාලිගාවත්ත ලී මෝලේ” හඞමය.

හම්බන්තොට වරායේ ගල ගැන, කොළඹ වරාය නගරය වෙනුවෙන් මුහුද ගොඩ කිරීම සඳහා කැඩිය යුතු සීගිරියට වඩා විශාල ගල් ප්‍රමාණය ගැන, උගන්ඩා වේ සඟවා ඇති මුදල් ගැන ආදී වශයෙන්, වර්තමාන ආණ්ඩු නායකයන් එදා කරනු ලැබූ ප්‍රකාශ එලෙසින්ම ප්‍රචාරණය කරනු ලැබුවේ ද චූදිත මාධ්‍ය ප්‍රමුඛ මාධ්‍ය ඇණියම බව අද ඔවුනට අමතකව ඇති සේය. වෙනසකට ඇත්තේ එදා පාලක පක්ෂය, එම ප්‍රවෘත්ති ප්‍රචාරණයෙන් උරණව, එම මාධ්‍ය ආයතන දංගෙඩියට දැක්කීම සඳහා සරම් කැසපට ගසාගත් ගමේ චණ්ඩීන් මෙන් කෑ නොගැසීම පමණි.

මා මතකය නිරවුල් 1970 පසුව බිහිවූ සෑම ආණ්ඩුවක්ම තම පාලනයේ සොහොන් ලකුණ නියම කරවා ගත්තේ මෙලෙස මාධ්‍ය භීතිකාවෙන් ඔත්පලව, ඊට නියම ඖෂධ බවට විශේෂ නාමධාරී හොර වෙදුන් නිර්දේශ කළ ගොඩ බෙහෙත් පානය කිරීමෙනි.

ලැබුණු බලයේ ප්‍රමාණය කොතරම් විශාල වුවද පාලක සිතිවිලි කුඩාවන්නේ නම් දේශපාලන බුන්වත්භාවය, මෙලෙස ස්වයංව ප්‍රදර්ශනය වීම වැළැක්විය නොහැකි බව දේශපාලන විද්‍යාවේ එක් ශාස්ත්‍රීය උපකල්පනයක් වේ. නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන්නාගේ ද ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කරදීම බව නූතන නිර්වචනයයි. එය, අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද භාෂණයේ නිදහස ලෙස තුන්වෙනි පරිච්ඡේදය නමින් අවධාරණය කොට තිබේ.

අසූව දශකයේ අග, පාලකයින්ගේ දින රහිත මරණ සහතික සාක්කුවේ තබාගෙන ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස වෙනුවෙන් පෑන අතටගත් මාධ්‍යවේදියෙකු ලෙස මෙන්ම, ඉතාම කෙටි කාලයක් තුළ හෝ වෘත්තියේ පෞරුෂය වෙනුවෙන් පෙනී සිටි ජන මාධ්‍ය අමාත්‍යවරයෙකු ලෙස මෙය මෙලෙසින්ම සටහන් නොකරන්නේ නම් එය, ඉතිහාසයට අකාරුණික වීමක් වනවා නිසැකය. ඒ අනුව, සහෝදරත්වය පෙරදැරිව අප පෙන්වා දෙන්නේ පසුගිය මැතිවරණ වලදී “හඳ” පෙන්වමින් ජනතාවට දිගු කළ පොරොන්දු වෙනුවට, ඔබගේ “ඇඟිලි” දෙස බැලීමේ උවමනාවක් ජනමාධ්‍යයට නැති වග තේරුම් ගැනීම, ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යයට හිතකර වන්නට පුළුවන් බව පමණි. එමෙන්ම, “ලබ්බට තැබූ අත පුහුලටද දික්වීම නියතයක්” බව මේ මොහොතේ දබර ඇඟිල්ල එසවී නැති අනෙකුත් මාධ්‍ය ආයතන ද සිහිපත් කර ගැනීම යුගයේ අවශ්‍යතාවයක් බව ද කිවමනා නොවේ.

මිත්‍රවරුනි, කලෙක මා මෙන්ම ඔබ ද ගුරු කොටගත් දේශපාලන න්‍යායන් නැවත පීරා බැලීමට කාරුණික වුව මැනවි. එවිට, “න්‍යාය ටොන් එකකට වඩා, භාවිතාව අවුන්සයක් වටිනා බව” ඔබට වැටහෙනු ඇත. ඒ සඳහා දැනුදු ප්‍රමාද නැත.

ඩලස් අලහප්පෙරුම
නායක,
නිදහස ජනතා සභාව.
09.01.24

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved