Pasidol
Sathosa Ad Final Sinhala
Mar 03, 2018

වහ කන ප්‍රශ්නයට රහ පිළිතුරක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැගුණු " වස විස නැති රටක්" තුන් අවුරුදු ජාතික සැලැස්මේ තවත් එක් කඩයිමක් පසුගියදා ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමවිණි.

ඒ ත්‍රිකුණාමලය පරණ මැදවච්චිය සහ තඹලගමුව ප්‍රාදේශීය සභාවට අයත් බල ප්‍රදේශයේ කළ කාබනික වී වගාවේ අස්වනු නෙළා ගැනීමේදීය.එහිදී කාබනික වී වගාවේ යෙදුණු ගොවීන්ගේ වී අස්වැන්න පිළිබදව කරන ලද සමීක්ෂණ ඔස්සේ කාබනික වගාවේ ඇති හිතකර තත්ත්වය පිළිබදව අනාවරණය කර ගන්නා ලදි.

Good Food 3කාබනික වී වගාවට ගොවියා හුරු කිරීම යනු අනාගතය සඳහා කරන ආයෝජනයක් මෙන්ම කෘෂිකර්මාන්තයේ යෙදීමේදී වූ පියවිය නොහැකි වැරැද්දක් නිවැරදි කරගැනීමට උත්සහ කිරීමකි. වී වගාව මෙන්ම තේ වගාව, එළවළු වගාවලදී විෂ රසායනිකයන් යෙදීමෙන් ඇතිවූ අනිටු ප්‍රතිවිපාකයන් මිනිසා සතා සිව්පාවා මෙන්ම මහපොළොවද දරා ගනිමින් සිටී.

ඒ අතරින් "වකුගඩු රෝගීන් බුරුතු පිටින් බිහිවීම ඒ අතරින් මිනිසා දරාගත යුතු වූ බැරෑරුම්ම තත්ත්වයයි. මහපොළව නිස්සාර වී පස පෝෂණය කරන සතා සිව්පාවා ඇතුළුව සමස්ත පරිසර පද්ධතියටම විනයක් වූ විෂ රසායනික භාවිතයෙන් ඉවත් කළ යුතුව තිබූ කාලය පසුවී කලක් ගත වුවද වත්මන් රජය විසින් හෝ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්ය.

ජනාධිපති කාර්යාලය අනුබද්ධිත උපායමාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතනය,මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව , ගොවිජන සේවා කාර්යාල, වෙනත් ගොවි සංවිධාන, සහ සිවිල් ආරක්ෂක බලකාය යන ආයතන එක්ව මෙම " වස විස නැති රටක්" ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

කාබනික වී වගාව හඳුන්වා දීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතියේ බැරෑරුම්ම කාර්ය වී ඇත්තේ කුකුසකින් තොරව ගොවියා ඒ සඳහා යොමු කිරීමය. රසායනික වී වගාවට හුරුවූ ගොවියා කාබනික වී වගාව දක්වා ගෙන ඒම පහසු කාර්යයක් නොවේ.

කෙසේ වෙතත් මේ වන විට ඔවුන් තම ඉලක්කයන් ළඟා කරගනිමින් සිටින අතර පසුගිය දෙවසරක කාලය තුළ කළ ජෛව විද්‍යාත්මක ගොවිතැනේදී එහි සාර්ථකත්වය ඔප්පු කිරීමට හැකිවිය.

මෙවර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පාදක කරගනිමින් කළ සමීක්ෂණයේදී ගොවීන් විශාල ප්‍රමාණයක් කාබනික ගොවිතැන කෙරෙහි යොමු වී ඇති බව හෙළිවිය.

කාබනික ගොවිතැනට යොමුවීමේදී ගොවියා තේරුම්ගත යුතු වූ කරුණ වන්නේ එය පළමු පන්දුවෙන්ම හයේ පහරක් එල්ල කළ හැකි ක්‍රීඩාවක් නොවන බවයි. ඒ මක් නිසාද යත් රසායනික වී වගාවේ කාලයක් නිරත වූ ගොවියාට කාබනික වගාවට පොළොව හුරු කිරීමට යම් කාලයක් ගතවන බැවිනි. දෙවසරක් ගත වූ තැන කන්න කිහිපයක් කාබනික වගාවේ යෙදුණු ගොවියාගේ කුඹුර විෂ රසායන ඉවත් වී මේ වන විටත් හිතකර සරු පසෙන් සරුසාර වී ඇත. යෙදවුම් සහ ක්ෂුද්‍රජීව ක්‍රියාවලිය ඔස්සේ පස සාරවත් වීම වගාවාර වැඩිවීම අනුව සිදුවන්නකි.

කාබනික වී වගාවේදී ස්වභාවික ද්‍රව්‍ය භාවිතයෙන් සාදාගත් පොහොර වර්ග සහ දියර වර්ග පමණක් යොදා ගනී.වී වගාවට යොදා ගතහැකි කාබනික පොහොර සාදා ගැනීමට ගිනිසීරියා ,ගවමුත්‍රා ,අමුගොම , ඉදුණු පලතුරු , මාළු වැනි ද්‍රව්‍ය භාවිතයෙන් දියර පොහොර මෙන්ම කොම්පෝස්ට් වර්ග ද සකසා ගනී. මේවා විශාල ක්ෂෙත්‍රයකට කුඩා ප්‍රමාණයක් ප්‍රමාණවත්ය.උදාහරණයක් ලෙස මුහුදු මාඵ කිලෝ තුනකින් සාදාගත් මාළු දියර පොහොර ,වී අක්කරයකට ප්‍රමාණවත් වන්නේය.කෘමීන් නාශනයටද කාබනික පළිබෝධනාශක යොදාගන්නා අතර එහිදී කෘමියා මැරීම නොව ගොයම කරා පැමිණීමෙන් වළක්වා ගොයම ආරක්ෂා කරයි.

මෙවර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වී අස්වැන්න නෙළීමේදී කාබනික වී වගාවේ අස්වනු සමීක්ෂණය සඳහා මැදවච්චිය සහ තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගොවිමහතුන්ගේ කුඹුරු 3ක අස්වනු සමීක්ෂණයට භාජනය කරන ලදි. මෙම තෝරා ගැනීම් කිරීමේදී වඩාත් සරු හෝ නිසරු කුඹුරුවලට ඉඩ නොදී මධ්‍ය ප්‍රමාණයේ කුඹුරු තෝරා ගෙන තිබේ.

ත්‍රිකුණාමලය පරණ මැදවච්චිය ප්‍රාදේශීය කොට්ඨාශයේ ආර්. ඒ කපිල ගොවි මහතා 352 නාඩු වී වර්ගය වගා කර ඇති අතර ඔහුට එම කන්නය සඳහා වැව් ජලය පමණක් ලැබී තිබිණි. මෙම කුඹුරු අවධානමට ලක්වූ කුඹුරු ගණයට ගැනෙන බව පදවි ශ්‍රී පුර කෘෂි උපදේශක ඩී. පී සරච්චන්ද්‍ර මහතා පැවසීය. මෙම කුඹුරේ අස්වනු සමීක්ෂණයේදී අක්කරයට වී බුසල් 112.5 ක් ලබා ගත හැකිවිය. එය යම් ප්‍රශස්ත මට්ටමේ අස්වැන්නකි.

farmerkapila

කපිල ගොවි මහතා

ත්‍රිකුණාමලය තඹලගමුව ප්‍රාදේශිය කොට්ඨාශයට අයත් නිත්‍යනාදන් ගොවි මහතා එහි ගොවි සමිතියේ සභාපතාවරයා ද වේ. ඔහු කාබනික වී වගාවේ යෙදෙන අතරම මෙවර අවසන් වරට රසායනික වී වගාවේ ද යෙදුණු අයෙකි. ඔහු වැපිරූ කාබනික වී ගොවිතැනේදී අක්කරට වී බුසල් 155 ක් ලබා ගැනීමට හැකිවූ අතර රසායනික වී වගාවේදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ බුසල් 90 ක් පමණි.

මෙම කුඹුරු කන්තලේ ජලාශයෙන් ජලය ලබා ගන්නා වතුර හිඟයක් නැති සරු කුඹුරු විය.

මේ අවස්ථාවේ වගාවේ වැදගත්කම පිළිබද අදහස් දැක්වූ ත්‍රිකුණාමලය ප්‍රධාන ගොවි පුහුණුකරු කේ.ඩී සුනන්දලාල් මහතා,

"කාබනික පොහොර යෙදූ සහ රසායනික පොහොර යෙදූ ගොයම් ගසක වෙනස හරි පැහැදිලියි.කාබනික පොහොර යෙදූ ගොයම් ගසේ ගැඹුරු මූළ පදිධතියක් තිබෙනවා.ඒ නිසා ජලය රදවා ගැනීමේ හැකියාව වැඩියි. කාලගුණ විපර්යාස ,රෝග වලට ඔරොත්තු දීම වැඩියි. පස සංතෘප්තයි. නමුත් රසායනික ද්‍රව්‍ය ‍වලින් සැදූ ගොයම් ගසේ කෙටි මූළ පද්ධතියක් තියෙන්නේ. කාබනිත ද්‍රව්‍ය ව්‍යාප්ත වී නැහැ. පැල ප්‍රමාණය බෙහෙවින් වැඩියි. ඒවගේම කාබනික වගාවේදී ස්වභාවිකවම පළිබෝධ නාශනය සිදුවීම වැදගත්. ඒ වගේම කාබනික වී වගාවේදී වියදම රසායනික වී වගාවට වඩා ගොඩක් අඩුයි. ඒ වගේම වස විෂ නෑ. කාලයත් සමඟ පස සරු වීමේදී යන වියදම තවත් අඩු වෙනවා. ඉදිරියේදී කාබනික වී වගාවට හොඳ අලෙවි මිලක් තීරණය වෙනවා" යනුවෙන් සිය අදහස් දැක්වීය.

මෙහිදී අදහස් දැක්වූ නිත්‍යනාදන් ගොවි මහතා,

Good Food 1

 

 

 

 

 

 

 

නිත්‍යනාදන් ගොවි මහතා

"කාබනික වී ගොවිතැන කියන්නේ අමාරු දෙයක් නෙවෙයි. මේ වගාව දිගු කාලීනව වැඩි ප්‍රතිලාභ සහිතයි. තව දෙයක් තමයි අපි රටට කන්න දෙන්නේ වස නෙවෙයි කියන ආඩම්බරය අපට තියෙනවා.මම අවසන් වරට තමයි මේ රසායනික වී වගාවකුත් කළේ .කාබනික වගාව කරපු කුඹුර වැඩි පලදාවක් වගේම වැඩි ලාබෙකුත් ගෙනවා. ඒ නිසා මන් හැම ගොවිමහතෙකුගෙන්ම ඉල්ලා සිටිනවා මේ කාබනික වී වගාවට යොමුවෙන්න කියලා" යැයි පැවසීය.

සමන්ති කියන්නේ තවත් දිරිය ගෙවිලියක් . ස්වාමි පුරුෂයා සිවිල් ආරක්ෂක බලකායේ සේවය කරන අතර ඇය ඇගේ ශක්තියෙන් මෙවර කුඹුරු අක්කර කිහිපයක් අස්වද්දා තිබුණි. ඇය පවසන්නේ ණයක් ගෙන කුඹුරු අස්වද්දා සරු අස්වැන්නක් ලබා ගෙන එය හොඳ මිලකට විකුණගන්න ලැබුණා නම් ඊළඟ කන්නයට ණය වීමට සිදු නොවන බවයි. වී විකුණා ගැනිමේදී ඇති දුෂ්කරතා මඟ හැර දෙන මෙන් ඇය අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.එමෙන්ම රජයේ වී මිලදී ගන්න ස්ථාන ඉදිරිපිට දින ගණන් හයර් කුළී ගෙවාගෙන ට්‍රැක්ටර් නතරකරගෙන සිටීමට වඩා ගෙදරටම ඇවිත් වී ගෙනියන පෞද්ගලික වී මෝල් කරුවන්ට වී ලබාදීම පහසු බවද ඇය කියා සිටී.

Samanthi

සමන්ති ගෙවිලිය

දෙදිනක් පුරා පැවති මෙම අස්වනු නෙළීමේ සමීක්ෂණ වැඩසටහනට උපායමාර්ග ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති අශෝක අබේගුණවර්ධන මහතා තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ශ්‍රීපති ජයගෞරි ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ අශෝක අබේගුණවර්ධන මහතා කියාසිටියේ ගෙවීගිය දෙවසරක කාලය තුළ සාර්ථකව කාබනික වී ගොවිතැනේ යෙදීමට සහ ගොවියා ඒ කෙරෙහි යොමු කිරීමට හැකිවූ බවයි.මෙය වී වගාවට පමණක් නොව අනෙකුත් සියලු වගාවන්ටද යොදා වස විෂ නැති අහාර තුළින් ලෝක වෙළෙඳපොලේ ඉහළ තැනකට යාමට බලාපොරොත්තු වන බවත් වී මිල සහ අලෙවිය සම්බන්ධ ගැටලුවට සාර්ථක විසඳුම් යොදමින් සිටින බවත් හෙතෙම එහිදී කියා සිටියේය.

Ashoka

අශෝක අබේගුණවර්ධන මහතා

සුරක්ෂිත අනාගතයක් , සෞඛ්‍ය සම්පන්න පරපුරක් උදෙසා රජය ගෙන ඇති මේ ක්‍රියා දාමයට ඉදිරි වසර කිහිපය තුළ තවත් සාර්ථක වනු ඇත. රට දවන ප්‍රශ්න අතරේ මෙම " වස විස නැති රටක්" ව්‍යාපෘතිය රට නිවන ක්‍රියාදාමයක් වීම පැසසිය යුතුය.

සටහන - ශිරන්තනි මානවඩු

ඡායා- හර්ෂිකා රාජපක්ෂ

paddy

වී සමීක්ෂණයේ යෙදෙමින්

paddy2

රසායනික පොහොර යෙදූ කුඹුරක් සහ කාබනික පොහොර යෙදූ කුඹුරක්

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top