Pasidol
Sathosa Ad Final Sinhala
Mar 06, 2018

වඳින්නට පෙර සිතා බලන්න

පාලි බසින් ලියන්නට පාලි අකුරු නොමැති හෙයින් සිංහල අකුරින් ලියන්නට පාලි භාෂාව අවශ්‍ය නැතැයි පාසල් වියේදී වරක් බුද්ධ ධර්ම විෂය ඉගැන්වීමට අපේ පන්තියට පැමිණි ගුරුවරයෙකු කීවා තවමත් මතකය. එසේ කියූ ඔහු තවත් දිනෙක කලූ ලෑල්ලේ ‘‘අසේවනාච බාලානං-පණ්ඩිතානංච සේවනා’’ යැයි ලොකු අකුරින් ලියා පාඩම පටන් ගත්තේය. ප‍්‍රස්ථා පිරුළු, උපමා උපමේය ගැන පාඩමක් කළ සිංහල ගුරුවරියක දිනක් කලූ ලෑල්ලේ ලියු වැකි කිහිපයක එක් වැකියක් වූයේ ‘‘කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය’’ යන්නය. පාඩම අවසානයේ ඇය පංතියෙන් පිටව ගිය පසු පංතියේ මිතුරෙකු එහි ‘කියන්නා’ සහ ‘කීවත්’ යන වචන දෙක ‘ලියන්නා’ සහ ‘ලීවත්’ යනුවෙන්ද ‘අසන්නා’ ‘කියවන්නා’ යනුවෙන්ද වෙනස් කෙරුවේ බුද්ධාගම ‘‘සර්’’ මතක් වෙන්නටය.

පාසල් වියේ ඒ සරළ සුන්දර මතක අවදි වූයේ මුදල් හා මාධ්‍ය ඇමති මංගල සමරවීර පසුගිය දිනෙක පාසල් උත්සවයකට ගොසින් සිසු සිසුවියන් අමතා කියු උපදේශාත්මක කතාවක් හේතුවෙනි. ඔහුගේ අවවාදය වූයේ දේශපාලනඥයින්ට දරුවන් නොවැඳිය යුතුය යන්නය. ඔහු අපේ බුද්ධාගම සර්ට වඩා වෙනස් යැයි සිතුනේත් සිංහල ගුරුවරිය ගේ ප‍්‍රස්ථා පිරුල වඩාත් වැදගත් යැයි සිතුනේත් මංගල මීට අවුරුදු 02 ට වැඩි කාලයකට පෙරදී මේ පාසලේදීම ඒ කතාව ඒ ආකාරයෙන්ම පවසා තිබූයෙණි.

මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විදුහලේ නේවාසිකාගාර ගොඩනැගිල්ලකට මුල් ගල තබන්නට 2015 ඔක්තෝම්බරයේදී විදේශ කටයුතු ඇමති ලෙස සංගල සමරවීර ආරාධනා ලැබ සහභාගි වූ අවස්ථාවේද ඔහු කියා තිබුණේ දේශපාලනඥයින්ට ඔවුන් රටට හා ප‍්‍රදේශයට කරන්නාවූ වැදගත් කාරණා සඳහා ගරු කරනවා මිස වඳින්නට අවශ්‍ය නැති බවත් වැඳිය යුත්තේ තම දෙමාපියන්ට, පූජකයින්ට, විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට පමණක් බවත් ය. ඉන් අවුරුදු 02 කුත් මාස 04 ට පමණ පසු මීට සතියකට පෙර ඔහු මුදල් හා මාධ්‍ය ඇමති ලෙස නැවතත් එම විදුහලට ආරාධනා ලැබ සහභාගිවී තිබුණේ ඔහු විසින් මුල් ගල තැබූ නේවාසිකාගාර ගොඩනැගිල්ල විවෘත කිරීමටත් තවත් මහල් ගොඩනැගිල්ලකට මුල් ගල තැබීමටත්ය. මෙවරද ඔහු කියා තිබුණේ එම කතාවමය. මෙවරද ඊට නිමිත්ත වී තිබුණේ ශිෂ්‍ය නායිකාවක් ඔහුට බුලත් අතක් දී වැඳ පිළිගැනීමේ සිද්ධියම විය.

ඇමති මංගල සමරවීරගේ කතාව සමග මගේ එතරම් ලොකු පරස්පරයක් නැත. එකම පරස්පරය ඇත්තේ ඔහු වැඳිය යුතු යැයි නම් කළ ලේඛනයේ ඉන්නා ඇතැම් පුද්ගල කාණ්ඩ සම්බන්ධයෙන් පමණි. ඔහු කියා තිබූ අයුරු ‘‘ගරු කිරීම’’ හා ‘‘වැඳීම’’ අතර පැහැදිලි හා යෝධ වෙනසක් ඇත. කෙනෙකුට ගරු කරන්නට වඳින්නටම අවශ්‍ය නොවන අතර, වඳින්නටත් දෙකට නැවිය යුතු නොවන බැවින්ය. එහෙත් කුඩා කළ සිට අප දරුවන් පුරුදු පුහුණු කරන්නේ කාට වැන්දත් දණ ගසා වඳින්නටය. එහි ඇත්තේ යටහත් පහත් කමෙකි. එය අපේ සිංහල බෞද්ධ සමාජ විඥාණයේ දිගටම පැවත එන්නකි. අපගේ සිංහල බෞද්ධ සමාජීය සංස්කෘතිය පදම්ව ඇත්තේ කුල ධූරාවලියක් අනුවය. රජුගෙන් ආරම්භ වූ බල ධූරාවලිය, කුල මත සැකසුනකි. එහි හැම තට්ටුවක්ම ඉහළ තට්ටුවේ පුද්ගලයින් සළකන ලද්දේ තමන්ට ඉහළින් වන ගරු ගාම්භීර ප‍්‍රභූ තත්ත්වයෙනි. එවැනි යටහත් පහත් පිළිගැනුමක් සමගින් රජු හා රජුගේ පාලනයේ ඉහළම අදිකාරම්ලා, දිසාවේලා වැඳීම සාමාන්‍ය සිරිතක් වූවකි.

කන්ද උඩරට රාජ්‍යයෙහි වසර 20 ක පමණ කාලයක් විදේශ රැඳවියෙකු ලෙස ජීවත්වූ බ්‍රිතාන්‍ය ජාතික රොබට් නොක්ස් ඔහුගේ අත්දැදීම් හා ඔහු දැන හඳුනාගත් සියල්ල පිළිබඳව ‘‘නැගෙනහිර ඉන්දීය කලාපයේ ලංකාව නම් දූපතෙහි ඓතිහාසික සම්බන්ධතා’’ නමින් ලියා ඇති කෘතියෙහි වැඳීම ගැන තබා ඇත්තේ මෙවැනි සටහනකි. ‘‘ඔවුහු (රටවැසියන්) ඔහු (රජු) හමුවට පැමිණෙන විට, මුහුණද පහත්කර බිම දිගාවී තෙවරක් පමණ වැඳ තම දෙපා නවා දෙපා මත හිඳ ගනිති. ඔවුන්ට ඉවත්ව යන මෙන් ඔහු කී විට, හැකි තරම් පිටුපසට ගමන්කර, නැවත වැඳ ඔවුහු පිටත් වන්නාහ.’’ (පිටුව/95 - මුල් ඉංග්‍රීසි කෘතියෙහි)

අප තවමත් අඩු වැඩි වශයෙන් නඩත්තු කරගෙන පැමිණ ඇත්තේ මේ වැඳිල්ල ය. එය සිංහල බෞද්ධ සමාජයේ මිස ක්‍රිස්තියානි කතෝලික සමාජයෙහි සම්මත වූවක් නොවේ. පන්සල්ද කුල ධූරාවලිය නඩත්තු කෙරෙන ආගමික ආයතන ව්‍යුහයක් වන බැවින් එහි ඇත්තේද පැරණි බල ධූරාවලියෙහි සිරිත් විරිත් හා සම්මතයන් ය. සිංහල බෞද්ධ සමාජයේ මේ දණ ගසා වැඳීම නඩත්තු වන්නේ එබැවින් පන්සලේ සිට ය. ඒ පැරණි වටිනාකම් ගොඩ නැගී ඇත්තේ වැඩවසම් බල ධූරාවලිය අනුව හෙයින් එහි දීන බවක් පෙනුමෙහිද ඇත. අප හැදිය යුත්තේ කොන්ද කෙළින් තියා ගත හැකි අනාගත පරපුරක් යැයි එදින ඔහුගේ කතා වෙහි මංගල සමරවීර ඇමතිවරයා කියා ඇත්තේද එබැවින්ය. කොන්ද කෙළින් තියා ගන්නා පරපුරකට මේ ආකාරයෙන් වඳින්නට නොහැකි බව එහි අන්වර්ථ අගයයි. මංගල සමරවීර ඇමතිගේ මේ කතාවට එනමුත් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්නේ යැයි කවරෙකු හෝ කියනු තවමත් නොඇසිණ. එයට හේතු වන්නට ඇත්තේ ‘‘ඔය කිව්වට වඳින එක නතර වෙන්නෙ නැහැ’’ යැයි සමාජ පිළිගැනුමක් ඇති බැවින් විය යුතුය.

එකම පාසලකදී එකම කතාව දෙවරක්ම කියන්නට මංගල සමරවීර ඇමතිවරයාට සිදුවීමම එය සනාථ කරන්නකි. ඇමති ධූර වෙනස් වූවත් එකම පාසලට දෙවසරක පමණ කාලයේදී ආරාධනා ලැබ සහභාගගී වූ ඔහුට, ඇතැම් විට ආරාධනා කරන්නට ඇත්තේ එකම විදුහල්පතිනියක විය හැක. ශිෂ්‍ය නායිකාවන් වෙනස් වූවත් පාසලේ අතිබහුතරයක් ගුරුවරියන් දෙවසරකට කලින් සිටි අයම විය යුතුය. එහෙත් තම පැරණි කතාව නැවත කියන්නට මංගල සමරවීර ඇමතිවරයාට සිදු වූයේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් තවමත් බැල මෙහෙවර කිරීමේ මානසිකත්වයෙන් ඉන්නා නිසාවෙනි. දේශපාලන බලවතුන් හමුවේ කොන්ද නවා වැඳීම ඔවුන්ට තම නිවටකම ප‍්‍රසිද්ධියේ පෙන්වීමක් යැයි නොසිතෙන්නේ ඉන් තම පක්ෂපාතිත්වය දේශපාලන බලවතා හමුවේ ප‍්‍රකාශ කළ හැකි මහගු අවස්ථාවක් යැයි හැඟීමක් ඉන් ආරූඩ කෙරෙන හෙයින්ය.

බෞද්ධ සංඝයා හට වැඳීමෙහි ඇත්තේ ඊට මඳක් වෙනස් හරයකි. එය භක්තිවන්ත බෞද්ධයෙකු ලෙස පෙනී සිටීමට වඩා පන්සල හා පන්සලේ නායක හාමුදුරුවන්ට ඇති හිතවත්කම හා බැඳීම සහතික කෙරෙන්නකි. එයද පැරණි කුල ඇසුරෙන් ගොඩ නැගුණු චාරිත‍්‍රයකට බොදු දහම ආගමක් බවට පත්වීමෙන් පන්සලට පැමිණි චාරිත‍්‍රයක් යැයි මම කල්පනා කරමි. ඊට පෙර වූවත් විශේෂයෙන් මහනුවර යුගයේ රජ පරම්පරා හා දකුණු ඉන්දීය සම්බන්ධය මත රජ මාලිගය ද්වි ආගමික වාසස්ථානයක් බවට පත්විය. එහි හින්දු භක්තික බිසවුන් හා ආවතේවකාරියන්ද විසූ, දළදා මාළිගාව හා සම්බන්ධ බෞද්ධ ඇවතුම් පැවතුම් සංඝ සමාජයට අවශ්‍ය පරිදි නඩත්තු කිරීමේ වගකීමද එකට බැඳී තිබුණු ස්ථානයක් විය. එබැවින් මේ දෙබිඩි අවශ්‍යතා ඉටු කිරීමෙන් පන්සලටද ගැලවිය නොහැකි වූයේ රජු හා බිසවත් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා පැමිණි අනෙක් අවශේෂ පිරිස් සඳහාත් පන්සලට දේවාල හා දෙවිවරු ඇතුලූ වූහ. දෙවිවරුන් වන්දනාමාන කිරීම සමග සංඝයා වැඳීම ඒ අනුව තහවුරු වූවක් විය යුතුය. එය කුලවාදී සමාජයේ ප‍්‍රභූන් වැඳීම සමග යස රඟට ගැලපුනකි.

මේ බුද්ධාගම බරපතල ලෙස ප‍්‍රශ්න කළ ගිහි බෞද්ධ ප‍්‍රවණතාවක් 50-60 දසක වල ‘‘විනයවර්ධන’’ නමින් පැවතින. ඔවුහු සංඝයා හට වැඳීම, සංඝයා සමගින් ලෞකික ජීවිතයේ චාරිත‍්‍ර වාර්ත‍්‍ර ඉටු කිරීම ප‍්‍රතික්ෂේප කළහ. ඔවුහු ඊට වික්ලපව ගිහි බණ දේශනා සහ ගිහි පිරිත් සජ්ජායනා කළහ. එහෙත් මේ වනවිට ‘‘විනයවර්ධන’’ බෞද්ධයින් අභාවයට ගොසින්ය. අතිශය වේගවත් දෛනික පැවැත්මකට විවෘත වෙළඳපල විසින් සමාජය තල්ලූ කළ පසු එවැනි ගිහි සම්ප‍්‍රදායන් නඩත්තු කළ හැකි කාලයක් සමාජයට ඉතිරි නොවින. එබැවින් මේවා තවමත් අපගේ සිංහල බෞද්ධ පැවැත්මෙන් ඉවත් නොවන්නේය. මේ සමාජය තවමත් මානසිකව පැරණි සමාජයක් ලෙස එනිසාම පවතින්නේය. මංගල සමරවීර ඇමතිවරයා කතා කරන දියුණු තාක්ෂණික සමාජය හා මේ පැවැත්ම පරස්පරයක් වූවත් ඉදිරියටත් පවතිනු ඇත්තේ විවෘත වෙළඳපල ජීවිතයට ඔහු කියන අලූත් සාරධර්ම අලූත් ස්වාධීන පැවැත්ම ගොඩනගා ගැනීමට කාලයක් නොලැබෙන හෙයින්ම පමණක් නොව, මේ විවෘත වෙළඳපල විසින් බහුතර සිංහල බෞද්ධ ග‍්‍රාමීය සමාජය අත හැර දමන බැවින් ය. ග‍්‍රාමීය සමාජය ඒ අනුව පැරණි වැඩවසම් ජීවිත සමග විවෘත වෙළඳ පලෙහි ජීවත්වීමට පොර බදන්නේ ගතානුගතික ජීවිත පැවැත්මෙහි හිරව සිටිමින්ය. ගම හා නඩත්තු කෙරෙන තම සංස්කෘතික ජීවිතය සමගින් වන නාගරික මැද පංතියද ඒ අනුව ගමේකම නඩත්තු කරන්නේ ඒ පැරණි සම්මතයන් හා චාරිත‍්‍ර ලෙස වැඳීම ඇතුලූ පැරණිකම රැක ගැනීමෙනි.

මංගල සමරවීර ඇමතිවරයාගේ ලිබරල් මානසිකත්වයේද ඒ පැරණි ගතානුගතික බැඳීම් ඇති බැව් දැකිය හැක්කේ ඔහු වඳින්නට සුදුසු පුද්ගල කාණ්ඩ නම් කළ ආකාරයෙනි. දේශපාලනඥයින්ගේ කල්කිරියාව නොදන්නා නිසා ඔවුන්ට වඳින්නට අවශ්‍ය නැතැයි කියූ මංගල සමරවීර ඇමතිවරයා පූජකයින්ට, විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට වඳින්නට යැයි කීවේය. ඔවුන්ගේ පැවැත්මෙහි වැදගත්කම අද සමාජයේ දේශපාලනඥයින්ගේ මෙන්ම විවෘතව ප‍්‍රශ්න කෙරෙන්නකි. එබැවින් මංගල සමරවීර ඇමතිවරයාගේ කතාවෙහි වැදගත්කම වැඳිය යුතු පුද්ගලයන් නම් කිරිමෙන් බාල්දු වූවක් යැයි සිතමි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුත්තේ එනිසා ය.

-කුසල් පෙරේරා-
ඉරිදා ලක්බිම

(ලේඛකයාගේ ඉල්ලීම මත සිරස්තලය වෙනස්කරන ලදී)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top