Pasidol
Sathosa Ad Final Sinhala
Mar 14, 2018

කිළි ගැන සිතන විටත් විළි වැදෙන රටක "නෙළුම්යායෙන්" පිබිදූ නෙළුම

ලංකාව මෙහෙම ප්‍රශ්නයක් තියෙනවද කියලවත් දන්නෙ නෑ

ග්‍රාමීය දරිද්‍රතාවය සහ ළමා දරිද්‍රතාවය තුළ අතිශය තීරණාත්මක සාධකයක් සේ මුළු ලෝකයම පිළිගන්නා ආර්තව දරිද්‍රතාවය සම්බන්ධයෙන් මේ දක්වා ලංකාවේ කිසිදු පර්යේෂණයක් හෝ සමීක්ෂණයක් සිදු කෙරී නැති අතර, එය ලංකාවට මුළුමනින්ම පාහේ ආගන්තුක මාතෘකාවකි. නමුත් ආර්තව දරිද්‍රතාවය හෙවත් ආර්තව දුගී බව ලෝකයේ බොහෝ රටවල ග්‍රාමීය සංවර්ධනයට සහ ළමා සංවර්ධනයට අතිශය තීරණාත්මක බලපෑමක් ඇති කරන සාධකයක් සේ හඳුනාගෙන තිබේ. අනාගතයේ මවක වන දැරිය, සිය ඔසප් වීම හේතුවෙන් මුහුණ දෙන ආර්ථික, සමාජයීය, සංස්කෘතිකමය දුෂ්කරතා හරහා ඇගේ අධ්‍යාපනයට සහ අවසානයේ ඇගේ සමස්ත ජීවිතයට සිදුවන බලපෑම අතිමහත් විය හැකිය.

කෙටියෙන්ම කිව්වොත් ආර්තව දරිද්‍රතාව කියන්නේ කාන්තා ඔසප්වීමේදී ඇති වන ගැටලුවලට පිළියම් කිරීමට ඇති නොහැකියාවයි. නොමැතිනම් පහසුවෙන් ඒ කාල සීමාව පසු කිරීමට ඇති නොහැකියාවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ආර්තව දරිද්‍රතාවය පිටුදැකීම වෙනම මාතෘකාවක් සේ ඉදිරියට ගනිමින්, ඒ සමගම නැවත නැවතත් පාවිච්චි කළ හැකි, මනා නිමාවකින් යුත් පරිසරහිතකාමී සනීපාරක්ෂක තුවායක් හඳුන්වා දෙමින් පරිසරය වෙනුවෙන් ද අති දැවැන්ත කාර්යභාරයක් සිදුකිරීමට නෙළුම්යාය පදනම පසුගිය 11 වැනිදා පොළොන්නරුවෙන් මුල පිරුවේය.

 ‘මිහිමව සුරකින හරිත දියණියෝ’

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ගම්මානයක්ම පාහේ නියෝජනය වන පරිදි කාන්තා ක්‍රියාකාරීන්, පාසල් යන වයසේ දැරියන්, ළමා මව්වරුන්, පාසල් ගුරුතුමියන් ඇතුළු විවිධ සමාජ ස්ථර නියෝජනය වන 60 ක පමණ කණ්ඩායමක් සමග නෙළුම්යාය පදනම මෙම නියමු ව්‍යාපෘතිය ට මුල පුරා සිටියේ, ‘මිහිමව සුරකින හරිත දියණියෝ’ යන තේමාව සමගිනි.

PP 1ශ්‍රී ලංකාව තුළ ආර්තව දිළිඳුභාවය මහා පරිමාණයෙන් පවතින බව නෙළුම්යාම පදනම සිය නියමු පර්යේෂණ මගින් පෙන්වා දේ. එය ලංකාවේ යුද්ධයෙන් බැට කෑ කිලිනොච්චිය ඇතුළු උතුරුකරයේ පටන් වතුකරය දක්වාම පවතින, මේ දක්වා කිසිදු ප්‍රතිපත්ති සම්පාදකයෙකුගේ අවධානයට ලක් නොවූ මාතෘකාවකි. ඒ පිළිබඳ මෙතෙක් කිසිදු පර්යේෂණයක්, සමීක්ෂණයක් හෝ දත්ත එක් රැස් කිරීමක් සිදු වී නොමැත. උදාහරණයක් වශයෙන් ඔසප් දිනවලදී ලංකාවේ ග්‍රාමීය දිළිඳු දැරියන්ගේ පාසල්වල නාම ලේඛනවල කෙතරම් නොපැමිණීම් සංඛ්‍යාවක් සටහන් වන්නේ ද යන සරල කාරණය සම්බන්ධයෙන් පවා මේ දක්වා කිසිදු බලධාරියෙකුගේ අවධානය යොමු වී නැත.

ග්‍රාමීය සහ වතු ජනතාව මේ රටේ දිළිඳු ජනතාවගෙන් අතිබහුතරය නියෝජනය කරති. ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන්නන්ගෙන් 82% ක අති බහුතරයක් ග්‍රාමීය දිළිඳුකමෙන් පීඩා විඳින්නෝ ය. දිළිඳුකම පිටුදැකීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ඩොලර් බිලියන ගණන් වටිනා ව්‍යාපෘති මේ දක්වා ලංකාවේ විවිධ අවස්ථාවලදී ක්‍රියාත්මක වී තිබුණ ද නමුත් දරිද්‍රතාවයේ සැබෑ මූලබීජයක් වශයෙන් දියුණු රටවල පවා හඳුනාගෙන ඇති ආර්තව දරිද්‍රතාවය කෙරෙහි ලංකාව මෙතෙක් අවධානය යොමු කර තිබුණේ නැත.

පසුගිය වසරේ ස්කොට්ලන්තය ලෝකයේ ආර්තව දුගී බව මුලිනුපුටා දැමූ ලෝකයේ ප්‍රථම රට බවට පත්වූයේ, එම සාධකය ඔවුන්ගේ ආර්ථික සුවතාවය, සනීපාරක්ෂාව සහ අවසානයේ ඉදිරි පරම්පරාවේ යහපැවැත්ම වෙනුවෙන් සිදුකරන බලපෑම ඔවුන් විසින් මනාව වටහාගෙන තිබෙන නිසා ය.

තාමත් රෙදි කෑලි - සැප තුවායත් ප්‍රශ්නයක්

ලංකාවේ අති බහුතර ග්‍රාමීය කාන්තා ප්‍රජාව තවමත්, සිය ඔසප් දිනවලදී කිසිදු සනීපාරක්ෂාවකින් තොර රෙදි කැබලි පාවිච්චි කරමින් සිටින බව යටිබිම්ගත සහ, කිසිවෙක් ආමන්ත්‍රණය කිරීමට මෙතෙක් පෙළඹී නැති සමාජයීය පැනයකි. එසේම වාණිජ සනීපාරක්ෂක තුවාය මිලදී ගැනීමට තරම් ආර්ථික ශක්තියක් ඇති ප්‍රජාව සම්බන්ධයෙන් පවා වෙළඳපොළේ තිබෙන සනීපාරක්ෂක තුවාවලින් සිදුවන දැවැන්ත පරිසර හානිය මෙන්ම, එහි නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී ඒවාට එකතු කරනු ලබන රසායන ද්‍රව්‍ය හේතුවෙන් එහි සැබෑ සනීපාරක්ෂක බවක් පවතින්නේ ද යන ප්‍රශ්නය වෙත ද නෙළුම්යාය පදනම මෙහිදී සිය අවධානය යොමු කර සිටියි.

සාමාන්‍ය තත්ත්ව යටතේ ස්ත්‍රියක් සිය ජීවිත කාලය තුළ වසර 30 ක් පමණ ආර්තවය සමග ජීවත් විය යුතුය. ඒ කාලය තුළ, යම් හෙයකින් ඇගේ ආර්ථික මට්ටම වෙළඳපොළේ තිබෙන වාණිජ සනීපාරක්ෂක තුවායේ මිල දරා ගැනීමට සෑහේ නම්, අවම වශයෙන් එවැනි අසුරණ හෙවත් පෑඩ් පැකට්ස් දෙකක් පමණ එනම් සනීපාරක්ෂක තුවා අවම 10 ක් හෝ 20 ක් එක් ආර්තවයකදී භාවිතා කළ යුතුය. එවිට ඇය විසින් වසරකට සහ ඉන් අනතුරුව තිස් වසරකට භාවිතා කරන සනීපාරක්ෂක තුවා ගණන 9000 ක් පමණ වේ. එකම පවුලේ කාන්තාවන් එනම් මව සහ දියණිය වශයෙන් ගණන් බැලූ විට ද, එක් ගමකින් පරිසරයට එකතු කරන සනීපාරක්ෂක තුවා ගණන ඔවුන්ගේ ජීවිත කාලය තුළදී ලක්ෂ කිහිපයක් වනු ඇත. මුළු රටක් සැලකූ විට ඒ ප්‍රමාණය ටොන් මිලියන ගණනකි.

සැප තුවායේ නොහිතන විෂ පිරිලාPP 19

මේ තත්වය පහදා ගැනීමට වාණිජ සනීපාරක්ෂක තුවායක අන්තර්ගතය හෝ සංයුතිය පිළිබඳ දළ අවබෝධයක් ලබාගැනීම සෑහෙයි. ඒවායේ අන්තර්ගතය තුළ ප්ලාස්ටික් අනිවාර්යයෙන්ම අන්තර්ගත ය. එහි මතුපිට ස්ථරය සමන්විත වී තිබෙන්නේ ඉතා තුනී නොදිරන ප්ලාස්ටික් වර්ගයකිනි. නොදිරන පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ඇති රටක් වශයෙන් ලංකාව මෙතෙක් මේ ගැන සිතුවාද? එපමණක් ද නොවේ. වාණිජ පෑඩය අළවා තැබීම සඳහා භාවිතා කරන රසායනික ගම් වර්ග, විරංජනකාරක වශයෙන් යොදාගන්නා ක්ලෝරීන් ආදිය මෙන්ම අවශෝෂණය කිරීමේ හැකියාව උපරිමයක් කිරීමට යොදාගන්නා පොලිමර්ස් හෙවත් කෘතිම බහුඅවයවික අණු, සිලිකන් ආදිය එහි සංරචක ලෙස අඩංගු වෙයි. ලෝකයේ ඇතැම් රටවල සිදුකරන ලද ඇතැම් පර්යේෂණයකට අනුව විරල අවස්ථාවලදී කෘමි නාශක අණු කොටස් ද වාණිජ සනීපාරක්ෂක තුවාවලින් හමු වී ඇත.

 අංක එකේ පරිසර ප්‍රශ්නයක්

අවසානයේ ඒවා බැහැර වන්නේ කොතැනටද? අප හොඳින් දන්නා පරිදි ලංකාවේ වාණිජ සනීපාරක්ෂක තුවා වෙළඳපොළ තුළ, ඒවා බැහැරකිරීමේ කිසිදු පරිසරහිතකාමී විසඳුමක් ක්‍රියාත්මක නොවේ. වාණිජ සනීපාරක්ෂක තුවායේ ලොකුම ‘මාකටින් සටන් පාඨය’ වන්නේ ‘පහසුව සහ වරක් පාවිච්චි කර ඉවත දැමීමයි.’ ඉන්දියාවේ නම් එසේ වරක් පාවිච්චි කර ඉවත දමන සනීපාරක්ෂක තුවා පුළුස්සා ඉවත් කිරීම සඳහා කුඩා දාහක තිබේ. නමුත් අවසානයේ ඒවා පිළිස්සීමෙන් ද සිදුවන්නේ ඉහත කී පරිසර දූෂක ද්‍රව්‍ය නිසා වායුගෝලය දූෂණය වීමයි. එසේ නොවන අවස්ථාවලදී ඒවා අනිවාර්යයෙන්ම එකතු වන්නේ එළිමහන් පරිසර පද්ධතියට ය. ලංකාවේ වරක් වාර්තා වූ පරිදි කාණු පද්ධති අවහිර වීමට බලපාන ප්‍රධානතම ප්‍රායෝගික සාධකය වන්නේ කාන්තාවන් විසින් පාවිච්චි කර ඉවත දමන වාණිජ සනීපාරක්ෂක තුවායන් ය. ඔවුන්ට ඒවා බැහැර කරන්නට කිසිදු විධිමත් ක්‍රමවේදයක් පාසලේ, රැකියා ස්ථානයේ හෝ නිවසේ නොමැති කල එසේ වීම අරුමයක් නොවේ. මේ අනුව අවසාන අර්ථයේදී ඒවා සියල්ලම මේ මිහිමත කොතැනක හෝ ‘කුණු කඳු’ සාදමින් ගොඩ ගැසෙනු ඇත. එවිට අප කළ යුත්තේ ‘ගැහැනුන් වී ඉපදීමේ පව’ ඒ කුණු ගොඩේ බර සමග සසඳා කිරා බැලීමද? මේ තාක් කාලයකට නම් මේ රටේ සිදුවූයේ එය බව අපි දනිමු. අවම වශයෙන් පරිසරයට ආදරය කරන කාන්තාවන්, පරම්පරාව බිහිකරන ආදරණීය මාතාවන් මේ මහා පාරිසරික ඛේදවාචකය වළක්වා ගැනීමට පෙරමුණ ගත යුතුය.

මේ අන්දමින් පාවිච්චි කර ඉවත දමන සනීපාරක්ෂක තුවායක් පරිසරය තුළ ඉතා සෙමෙන් දිරා යමින් සම්පූර්ණයෙන්ම පරිසර පද්ධතියෙන් ඉවත්වීම සඳහා අවම වශයෙන් වසර 400 ක් ගත වන බව ඔබ දැන සිටියාද...? පරිසරයට ආදරය කරන සැමගේ අවධානය යොමු විය යුතු බරපතළ කාරණයකි, ඒ.

කාන්තා අත්දැකීම්

වැඩසටහනට සහභාගි වූ කාන්තාවන් සිය අත්දැකීම් බෙදා හදාගනිමින් පැවසූ අන්දමට අද පවා ගම්මානවල කාන්තාවන්ගෙන් හරි අඩකටත් වඩා සිය ඔසප් දිනවලදී පාවිච්චි කරන්නේ කිසිදු සෞඛ්‍යාරක්ෂිත බවකින් තොර රෙදි කැබලි ය. තමන් ඔසප් දිනවලදී පාවිච්චි කරන්නේ සැමියා ගේ පරණ සරම් කැබැල්ලක් යැයි වැඩසටහනට පැමිණ සිටි එක් කාන්තාවක් පැවසුවාය. තවත් විටෙක එය දුර්වර්ණ වූ කපු රෙදි කඩක් හෝ පරණ චීත්ත රෙදි කැබැල්ලකි. බොහෝ විට එය ඉවත දමන හෝ වෙනත් පාවිච්චියකට ගත නොහැකි ඉවත දැමීමට ආසන්න පරණ රෙදි කැබැල්ලකි. ඔවුන් මේවා භාවිතා කරමින් සිටින්නේ ස්ත්‍රී ශරීරයේ අතිශයින්ම සංවේදී සහ විෂබීජවලට නිරාවරණය වූ විට පහසුවෙන්ම බරපතළ ප්‍රතිඵල ඇතිකරන, ඇතැම් විට සරු බවට පවා බලපෑම් ඇතිකරනසුලු කාරණාවන් සමග ය.

අද්වීතීය ප්‍රවේශයක්
PPOVERTY2නෙළුම්යාය පදනම ‘මිහිමව සුරකින හරිත දියණියෝ’ නමැති තේමාවෙන් යුතුව මේ සත්කාර්යයට මුල පුරා තිබෙන්නේ අද්වීතීය ප්‍රවේශයකිනි. ඔවුන් සිදුකරන්නේ පරිසර හිතකාමී සහ නැවත නැවතතත් පාවිච්චි කළ හැකි, නවීන ලෝකයට ගැළපෙන, රෙදිවලින් නිර්මිත සනීපාරක්ෂක තුවායකි. එය කිසිදු චකිතයකින් තොරව, පාසලේදී පවා, නිවසේදී පවා ඕනෑම එළිමහනක පවා රැගෙන යා හැකි, පසුම්බියකට සමාන පරිසර හිතකාමී අසුරණයක් තුළ ගැබ් කර ඇති සකසුරුවම් සහගත පරිසර හිතකාමී නිෂ්පාදනයකි. වැසටහන අවසානයේ එයට සහභාගි වූ කාන්තාවන් එය තමන්ගේ කුඩය, බෑගය යනාදිය සමග ඉතා නිදහස් ආකාරයෙන් එය ද රැගෙන යන ආකාරය දැක ගන්නට ලැබිණි.

මෙම වැඩසටහනේ ප්‍රධාන දේශන දෙක පැවැත්වූයේ ද වෙනම පරපුරක් නියෝජනය කරන ලංකාවේ ප්‍රකට සමාජ ක්‍රියාධරයන් දෙදෙනෙක් විසිනි. නීතීඥ රදිකා ගුණරත්න සහ තුෂාර මනෝජ්, පුහුණුකරුවන් මෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා මානව හිමිකම් පිළිබඳ දේශකයන් සහ ක්‍රියාධරයන්ද වේ.

ලන්ඩන් නුවර පිහිටා තිබෙන නෙළුම්යාය මෙහෙයුම් කාර්යාලය සමග සම්බන්ධීකරණය වන මෙම වැඩසටහනේදී නෙළුම් යාය මගින් හඳුන්වාදෙන්නේ ඉතාම ප්‍රමිතිගත පරිසරහිතකාමී විකල්පයකි. වැඩසටහන සහ එම පරිසරහිතකාමී නිෂ්පාදනය වෙනුවෙන් යන පිරිවැය දරමින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC) සහ රොමාලි ඩි සිල්වා අනුස්මරණ පදනම විසිනි. ඩෙංගු නිවාරණ වැඩසටහනක් ද මෙයට සමගාමී ව නෙළුම් යාය පදනම විසින් ක්‍රියාවට නංවනු ලබයි.

ආර්තව දරිද්‍රතාවය වෙනම මාතෘකාවක් සේ ඉදිරියට ගෙන එමින් නෙළුම්යාය පදනම මෙසේ මුලපුරා තිබෙන්නේ රටේ අමාත්‍යාංශ කිහිපයක් එක්ව සිදුකළ යුතු තරමේ භාරදූර සහ දැවැන්ත කාර්යභාරයකි. කිළි ගැන කතා කිරීමත් විළිවැදෙන මාතෘකාවක් වන රටක, ආර්තව දරිද්‍රතාවයේ තීරණාත්මක බලපෑම හඳුනාගනිමින් ඒ පිළිබඳ විවෘත සංවාදයක් ඇති කරමින්, ඒ හා සමගාමී ව ඒ පිළිබඳ කතා කිරීමෙන් පමණක් නොනැවතී, වෙළඳපොළේ ඇති සාමාන්‍ය වාණිජ සනීපාරක්ෂක තුවායෙන් සිදුවන මහා පරිසර හානිය පිළිබඳ ලංකාවේ ප්‍රථම වතාවට අනාවරණය කරමින් සහ, ඒ අතරම කළ යුතු දේ පිළිබඳ හොඳම විසඳුමක් ඉදිරිපත් කිරීමත් සම්බන්ධයෙන් ද, අභියෝගාත්මක පරිසරයත් තුළ ඔවුන් ඒ සඳහා ගනු ලබන උත්සාහය වෙත සැමගේ අවධානය යොමු විය යුතුය.

‘මිහිමව සුරකින හරිත දියණියෝ’ මීළඟ වැඩසටහන අප්‍රේල් මාසයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ක්‍රියාත්මක කිරීමට නෙළුම්යාය පදනම බලාපොරොත්තු වෙයි.

නෙළුම්යාය පදනම පසුගිය වසර කිහිපය තුළ මෙවැනි සමාජ සත්කාර කිහිපයක නියැළී ඇති අතර, ලංකාවේ එකම බ්ලොග් සම්මාන උළෙල වන ‘නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල’ වාර්ෂික ව පවත්වන්නේ ද ඔවුන් විසිනි. එය මේ වසරේ ‘සයිබර් සම්මාන’ උළෙලක් වශයෙන් බ්ලොග් පමණක් නොව වෙබ් අඩවි ද අන්තර්ගත වන පරිදි පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

ඡායා-ලංකා නිවුස් වෙබ්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top