Pasidol

Sathosa

Mar 19, 2018

“රසානා”

රසානා ගේ ඇස්වල කඳුළු පිරිලාය. හිත ගැලවී ඔක්කාරයට එන තරම් දුකක් රසානාගේ පපුවේ හිරවී ඇත.

සියල්ල අතහැර එන්නැයි නෙරංජන් කියයි. එත්, අම්මා, තාත්තා, නංගිලා, මල්ලිලා, හැදුණු-වැඩුණු ගේ දොර, ගම, නෑයන්, යාළුවන් මේ සියල්ල අතහැර නෙරංජන් සමග යන්නේ කෙසේදැයි රසානාට නොතේරේ. එහෙම ගියොත් තමා අනන්ත ආකාශයේ තනිවුණු කුඩා තිතක් බවට පත්වෙන සෙයක් රසානා ට දැනේ. ඒ තනිකම එක්ක මැරෙනකම් ඉන්නේ කොහොමදැයි රසානාට හිතා ගන්නටවත් නොහැකිය. “මේ හිරවෙච්ච ශරීරයෙන් හිත ගලවා ගෙන, පාවී යන්නට පුළුවන් නම් කොතරම් හොඳදැ”යි රසානාට සිතේ.

නෙරංජන් සමග යාළු වෙන්නට කලින් ඉල්ලියාස් නම් වූ බෝරා තරුණයෙකුට රසානා පෙම් බැන්දාය. එහෙත් ඒ සම්බන්ධය වැඩි කලක් පැවතුණේ නැත. ඉල්ලියාස් යන බම්බලපිටියේ පල්ලියට රසානාලා ගේ පවුල් වලට යන්නට බැරිය. එකම දෙවියන් අදහන අපට පල්ලි දෙකක් මොකටදැයි ඉල්ලියාස් තර්ක කළේය. එත් රසානාලාගේ අම්මා කීවේ ඒ කසාදය කවදාවත් ම නොකෙරෙන බවයි අන්තිමේ රසානා ඒ සම්බන්ධය අතහැර දැමුවාය. රසානා ගේ වෙන්වීම ඉල්ලියාස්ට දරාගත නොහැකි විය. රසානා රහසින් හැඬුවාය. ටික කාලයකින් රසානා ට ඉල්ලියාසුත්, ඉල්ලියාස් ට රසානා ත් අමතක විය.

ඉල්ලියාස්ගෙන් පසු රසානාගේ හිතේ ආදරයක් ඇතිවුණේ නෙරංජන් ගැනය. නෙරංජන් නුවර බස්නායක පවුලක තරුණයෙකි. නෙරංජන් ආධුනික නීතීඥයෙකු ලෙස රසානා සේවය කරන ආයතනයේ රැකියාවට පැමිණියේය. නෙරංජන් ගේ විහිළු වලට රසානා කැමතිය. නෙරංජන් ඉන්නා තැන පාළුවක් නැතැයි රසානා ට සිතේ. නෙරංජන් රසානා ගැන පමණට වඩා උනන්දු වන බව කීවේ නිවේතා ය. ඒ දිනක් නිවේතා ගෙනා ‘ලඩ්ඩු’ රසානා ළඟට ගෙනගොස් දෙන්නට නෙරංජන් බලෙන්ම ඉල්ලා ගත් විටයි.

“නිවේතා, අනේ මං මේක රසානා ට ගිහින් දෙන්නම්” නෙරංජන් නිවේතා ගෙන් බැගෑපත්ව ඉල්ලුවේය.

“ආ ඔයා මොකද රසානාට මං ගෙනාපු ‘ලඩ්ඩු’ ගීං දෙන්නේ?” දෙමළ සිංහලෙන් නිවේතා නෙරංජන් දෙස බලා සිනාසෙමින් ඇසුවාය.

එතැන් සිට නිවේතා රසානාටත්, නෙරංජන් ටත් උදවු කළාය.

“ඌ හොඳ කොල්ලා” නිවේතා රසානාට කීවාය.

නෙරංජන් කිසි විටෙක රසානාට යෝජනාවක් ගෙන ආවේ නැත. එහෙත් නොදැනීම රසානා නෙරංජන්ට ආදරය කරන්නට පටන් ගත්තාය. රෑ - බෝවී වැඩ නිමවී ගෙදර යන දිනක නෙරංජන් රසානාව ගෙදර ළඟට ගොස් ඇරළුවේය. රසානා නිතර නෙරංජන්ටත් ඇති තරම් බත් බෙදාගෙන දවල්ට කෑම ගෙනාවාය. රසානා හදන මැලේ අච්චාරුවට නෙරංජන් කැමතිය. ගමේ ගොස් එනවිට නෙරංජන් රසානාට වැලි තලප ගෙනාවේය.

නුවර උසාවියේ නඩුවකට ගොස් එනවිට නෙරංජන් ගේ ගෙදර දවල් කෑමට සියළු දෙනාටම එන්නැයි නෙරංජන්ගේ අම්මා ආරාධනා කළාය.

“ආ අද ෂෝක් රසානාගේ නැන්දම්මා රසානා ට කෑම හදලා” නිවේතා රසානාට විහිළු කළාය.

නෙරංජන් ගේ ගෙදර රසානා ගේ ගෙදරට වඩා වෙනස්ය. ගෙට ඇතුළු වන තැනම ලොකු බුදු පිළිමයක් සහිත බුදු මැදුරකි. නෙරංජන් ගේ අම්මා හැමදාම බුද්ධ පූජාව පූජා කරන්නීය. රසානා තම යහළුවන් සමග නෙරංජන් ගේ ගෙට ඇතුළු වන විට බුදු මැදුරින් නික්මුණු හඳුන් කූරු සුවඳ පපුව පිරෙන තරම් හුස්මක් රැගෙන රසානා ආඝ්‍රාණය කළාය.

“හරිම සුවඳයි” රසානා ට සිතුණි.

නෙරංජන් ගේ ගෙදර කවිච්චිය දෙපස සේසත් දෙකක් සහ පිත්තල හෙල්ල දෙකක් විය.

“ඇයි ඔයා යුද්දේට යන්නද මේවා තියා ගෙන ඉන්නේ?” කියමින් රසානා නෙරංජන් දෙස බලාගෙන සිනාසුණාය. රසානා සිනාසෙන විට කෙතරම් සුන්දරදැයි නෙරංජන් ට සිතුණි. පර්දාවට මැදිවුණු රසානාගේ මුහුණේ සිනාව කවදාවත් ම අමතක කරන්න බැරිවෙයි කියා නෙරංජන් සිතුවේය.

නෙරංජන්ගේත්, රසානාගේත් සතුට වේදනාවක් බවට පත්වන්නට පටන් ගන්නේ ද එදාමය. ඒ කාටත් හොරෙන් නෙරංජන් රසානාට බත් කටක් කවනවා නෙරංජන් ගේ අම්මාගේ අතටම අසු වූ විටයි. නෙරංජන් ගේ අම්මා කිසිවක් එවේලේ කීවේ නැත. එහෙත් ඈ ඒ වග නෙරංජන් ගේ අප්පච්චීට කීවාය. නෙරංජන් ගේ ජීවිතය අපායක් වෙන්නට පටන් ගන්නේ එතැන් සිටය.

රසානා සමග ඇති සම්බන්ධය නවතා දමන්නැයි නෙරංජන් ගේ දෙමව්පියන් නෙරංජන් ට තර්ජනය කළහ.

“උඹ කොහොමද මරක්කල ගෑණියෙක් මේ ගෙදරට ගේන්නේ?” අප්පච්චී නෙරංජන් ගෙන් ඇසුවේය. එහෙත් රසානා ගේ ආදරය නෙරංජන් ට දැනෙන්නේ ආදරයක් ලෙසින්ම පමණකි. රසානාගේ ස්පර්ශය, සුවඳ තුළ කිසිදු වෙනස්කමක් නෙරංජන් ට නොදැනේ.

රසානා සමග නෙරංජන් ගේ සම්බන්ධය අත හරින්නේ නැතිනම් රසානා ගේ දෙමව්පියන් හමුවන්නට යන බව නෙරංජන්ගේ අම්මා කීවාය. ඒ බව කන වැකුණු රසානා භීතියට පත් වූවාය.

“අනේ අපේ ගෙදර එන්න එපා කියන්න. අපි ඔක්කොටම ලැජ්ජා කරාවි” රසානා ඇස්වල කඳුළු පුරවාගෙන හඬමින් නෙරංජන්ගෙන් ඉල්ලුවාය. එහෙත් තම දෙමව්පියන් පාලනය කරන්නට නෙරංජන් ට බැරිය. අවසානයේ රසානා සියල්ල ඇගේ මවට කීවාය. නෙරංජන් ගේ දෙමව්පියන් පැමිණ ලැජ්ජා කරන්නට කලින් තමන් විසින් ම එය කිව යුතුයැයි රසානා තීරණය කළාය. “අම්මාගේ මූණ බලාගෙන මං කොහොමද මේක කියන්නේ?” යි රසානා සිය වාරයක් සිතුවාය. “කමක් නෑ, මං නෙරංජන් ට ආදරෙයි. අම්මටත්, තාත්තටත් ආදරෙයි. ඒ නිසා කොහොම හරි කියනවා” කියා රසානා හිත හදා ගත්තාය.

“අම්මේ මං නෙරංජන් එක්ක යාළුයි” රසානා අම්මාට කීවාය. අම්මා ගල් ගැසී රසානා දෙස බලා සිටියා මිස, කියන්නට කිසිම වචනයක් රසානාගේ අම්මාගේ මුවට ආවේ නැත.

“ඩෝටර්, ඔයාට පිස්සුදැයි” අවසානයේ රසානාගේ අම්මා ඇසුවාය. ඩැඩා දැන ගත්තොත් ඉවර තමා” රසානාගේ අම්මා කීවාය.

“නෙරංජන් ගේ අම්මලා මේක දැනගෙන, මෙහේ එන්න යනවා” රසානා කීවාය.

“අල්ලාහ්! මේ මොකද ඔයා කර ගත්තේ?” ආ යූ මෑඩ් රසානා? කෝමද ඔයා සිංහල කොල්ලෙක් බඳින්නේ? ඩැඩී කොහොමද පල්ලියට යන්නේ?” රසානාගේ අම්මා හඬන්නට පටන් ගත්තාය.

“යූ කාන්ට් ඩූ දිස්, ඔයා දැන්ම මේක නවත්වන්න ඕන. මේක මට ඩැඩාට කියන්න වෙනවා” රසානාගේ අම්මා තර්ජනය කළාය.

රසානාගේ ලෝකය හැම අතරම කරකැවෙන්නට පටන් ගත්තාය. “නෙරංජන්ව මං කොහොමද අමතක කරන්නේ? ලෝකය මේ විදියට මැව්වේ ඇයිදැ”යි රසානා දෙවියන් ගෙන් ඇසුවාය.

අවසානයේ නෙරංජන් කීවේ “අපි බඳිමු” කියායි. නවක නීතීඥයෙකු වුවත්, තමන්ට ලැබෙන ආදායමින් රසානාට කන්න-බොන්නට දෙන්න නෙරංජන් ට පුළුවන. ලෝකයාගෙන් යැපෙන්නේ නැත්නම්, තමන්ට කැමති දේ කරන්නට බැරි ඇයිදැ?”යි නෙරංජන් රසානා ගෙන් ඇසුවේය.

නිවේතා කියන්නේ තමන්ගේ ගෙදර ඇනෙක්සියේ කවුරුවත් නැති නිසා, නිවේතා ගේ දෙමව්පියන්ගෙන් අසා එහි පදිංචියට එන්නට නෙරංජන් ට හා රසානා ට පුළුවන් බවයි.

“අපි පොතේ ලියලා බඳිමු, පල්ලිය ඕනෙත් නෑ, පන්සල ඕනෙත් නෑ” නෙරංජන් රසානාට කීවේය.

එහෙත් ඒ බලාපොරොත්තුව දවසකට වඩා තිබුණේ නැත. නිවේතා ගේ දෙමව්පියන් කීවේ සිංහල - මුස්ලිම් ජෝඩුවකට තමන්ගේ ඇනෙක්සිය දෙන්නට නොහැකි බවයි.

“ඒක ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නේ, ඔයා අත දාන්න එපා. එයාලගේ පේරන්ට්ස් ලා කියන විදියට එයාලා වැඩ කරන්න ඕන. අනික අපි ටැමිල්, අපි ඒ ගොල්ලන්ගේ ප්‍රශ්න වලට අත දාන්න ඕන නෑ” නිවේතා ගේ අම්මා කීවාය.

කුමක් කරන්න දැයි රසානා ට නොතේරේ. ලෝකය මෙච්චර සංකීර්ණ තැනක් කියා රසානා සිතුවේ නැත. එහෙම නිකමටවත් සිතුණා නම්, කිසි දවසක නෙරංජන් ගැන හිතේ ආදරයක් ගොඩ ගැහෙන්නට රසානා තම හිතට ඉඩ නොදෙයි.

නෙරංජනුත්, නිවේතාත් රසානා දෙස බලා සිටිති.

“ඕක ඔයා බොන්න” නිවේතා ‘පායාසම්’ කෝප්පය රසානා ගේ මුවට ළං කළාය. රසානා ‘පායාසම්’ බොන්නට ඉතා කැමතිය. රසානා දින දෙකක් තිස්සේ කෑමක් කා නොතිබූ බව දත් නිවේතා ‘පායාසම්’ හදාගෙන ආවාය.

රසානා ගේ මුළු ශරීරයම රසානා ට නොදැනෙයි. ඉල්ලියාස් ව අමතක කළාක් මෙන් නෙරංජන්ව ද අමතක කර දැමිය යුතුයැයි රසානා ට හැඟෙයි. රසානා නෙරංජන් ගී මුහුණ දෙස බැලුවාය.

“මේ රත්තරං මූණ අමතක කරන්නේ කොහොමදැ”යි රසානා ට නොතේරෙයි. “අනේ මං නෙරංජන් ට ඇත්තටම ආදරෙයි” .

“ඔයා නැතුව මට ඉන්න බෑ නෙරංජන්” කියමින් රසානා ඉකිගසා හඬන්නට පටන් ගත්තාය. නිවේතා රසානා ගේ මුහුණ තම පපුවට තද කර ගත්තාය.

“ඔයා අඬන්න එපා රසානා” කියා රසානා ගේ හිස පිරිමදිමින් නිවේතා කීවාය. නිවේතා ගේ ඇස් වලට ද කඳුළු ආවේය.

ඈත අහසේ කිසිදු වළාකුලක් නැත. සුළඟ පවා නොසැලී රසානා දෙස බලා සිටී. ඈතින් ඇසෙන සයිරන් නලා හඬකි. දෙවියන්ට ජීවිතය උදුරා ගන්නට ඉඩ නොදී, අයෙක් රෝහල කරා ගිලන් රථයකින් ගමන් කරමින් සිටී.

අතීතය රසානා හමුවේ එකින් එක දිග හැරෙයි. නෙරංජන් ‘ලඩ්ඩු’වකින් බාගයක් කා ඉතුරු බාගය තමන්ට දික් කළ හැටි රසානා ට මැවී පෙනේ.

“මට මොකට ද බාගයක්?” රසානා නෙරංජන්ට විහිළු කරමින් ඇසුවාය.

“මං කාපු නිසා රස වැඩියි” නෙරංජන් කීවේය.

ලඩ්ඩු භාගය නෙරංජන් අතින් රැගෙන රසානා කෑවාය.

“රසයි නේද?” නෙරංජන් ඇසුවේය.

“අපෝ, තිත්තයි” කියා සිනා සෙමින් රසානා කොම්පියුටරය දෙසට හැරුණාය.

“බම්බුව” කියා නෙරංජන් සිනාසුණේය.

“මේ මං අද ඔයාව ඩ්‍රොප් කරන්න එන්නද?” නෙරංජන් රසානාගෙන් ඇසුවේය.

“බලමු, ඒ රෑ වුණොත් නේ?” රසානා කීවාය.

රසානාට යළිත් හැඬුම් එයි අතීතය දැන් වේදනා ගෙන දෙන මතකයක් පමණකි. නංගිලාත්, මල්ලිලාත් තමන් දෙස බලා සිටිනු රසානා ට දැනෙයි. “මං වැරදි දෙයක් කළොත් උන්ගේ ජීවිතත් අවුල් වෙයි” කියා රසානා ට සිතේ.

“නිවේතා අනේ මං මොකද කරන්නේ? මට තේරෙන්නේ නෑ දෙයියනේ” කියමින් ඇස්වල කඳුළු කැට කඩා හැලෙද්දී රසානා නිවේතා ගෙන් ඇසුවාය. නිවේතා රසානා ලඟට පැමිණ ඇයව තුරුළු කර ගත්තා මිස, රසානා ට දෙන්නට උත්තරයක් නිවේතා ට ද නැත.

“මට වහ ටිකක් බිලා මැරෙන්න හිතෙනවා නිවේතා” රසානා උස් හඬින් හඬමින් කීවාය. “ඒත් මට එහෙම මැරෙන්න බෑ නිවේතා, මං එහෙම මැරුණොත් දෙවියොත් මං එක්ක තරහා වෙයි” .

(දිනේෂ් ඩී. දොඩම්ගොඩ විසිනි)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top