Mar 30, 2018

සුළඟින් බෝවෙනවා නම් මටත් දැන් ඒඩ්ස්

ජීවිත කාලය තුළදී මට අසන්නට ලැබුණු දුක්ඛදායකම ප්‍රවෘත්තියක් පසුගිය දා මගේ සවන් වැකුණි. ඒ මා කෙසේවත් නොදන්නා දස හැවිරිදි දියණියක සම්බන්ධයෙනි. ගණේමුල්ලේ, කුඩාබොල්ලත, ශ්‍රී සුමංගල විද්‍යාලයේ පස්වන ශේණියේ ඉගෙනුම ලබමින් සිටින මෙම දියණියට පසුගිය කාලයේ මහත් අකරතැබ්බයකට මුහුණදෙන්නට සිදුවිය.

ඒ ඇගේ මවට ඒඩ්ස් රෝගයට මුල්වන එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු ලැබීම මත එම දියණිය පාසලෙන් නෙරපාදැමීමේ අතිශය අමානුෂික සිදුවීමකි. ඉන් පසු විවිධ හේතූන් මත ඇය යළි එම පාසලට ඇතුල්කරගනු ලැබුවද පසුගිය සතියේ ඇය නැවත එම පාසලෙන් නෙරපාදැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබූ බව වාර්තා විය.

shanthaතව මාස කිහිපයකින් පස්වෙන ශ්‍රේණියේ ශිෂ්‍යත්වයට මුහුණදීමට සූදානමින් සිටින ඇය අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අතිශය දක්ෂ දැරියක බවද කියනු ලැබේ. එහෙත් පාසල් බලධාරීන්ගේ මෙම අමනෝඥ ක්‍රියාව මුල්කොට පසුගිය 26 වෙනිදා තම මව සහ මවගේ සොයුරියක සමඟ ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරියේ විරෝධතාවයක යෙදීමට මෙම සිඟිත්තියට සිදුවිය. ඒ වැඩිමනත් දෙයක් ලබා ගැනීමට නොව තම මූලික අයිතිවාසිකමක් වන පාසල් යාමේ හිමිකම ලබා ගනු පිණිසය. අපේ සමාජය මෙතරම් අමනෝඥ දැයි මට හැඟී ගියේ ඇය තම මව සහ මවගේ සොයුරියක සමඟ වෙස්මුහුණු පැළැද එම විරෝධතාවයට යොමුවීමේ හද සසල කරවන ඡායාරූප මාධ්‍ය දැකීමෙනි.

මවකට එච්.අයි.වී වෛරසය ආසානය වූ පමණින් ඇය බිහිකරන දරුවෙකුට ඒඩ්ස් රෝගය වැළඳීමට ඇති හැකියාව 30% කි. එහෙත් දරුවා ප්‍රසූත කළ පසුව ඇය එච්.අයි.වී ආසදනයට ලක්වුවහොත් එම දරුවා එම රෝගයට ගොදුරු නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කෙසේ හෝ මේ වන විට එච්.අයි.වී වෛරසය හඳුනාගැනීම පිණිස ගර්භණී මව්වරුන්ගේ රුධිර පරීක්ෂාවක් කෙරේ. බැවින් ඉන් එම මවට ඒඩ්ස් වෛරසය ආසාදනය වී ඇති බව සනාථ වුව හොත් ඒ සඳහා ප්‍රතිකාර ලබා දෙනු ලැබේ. එවිට එවන් මවුවරුන්ගෙන් උපදින දරුවන්ට එච්.අයි.වී වෛරසය ආසාදනය වීමට ඇති හැකියාව 8% කි. එසේ වුවද එවන් අසාදිත දරුවෙකුගෙන් වුව තවත් කෙනෙකු වෙත සුළඟින් නැතහොත් ශ්වසනයෙන් එම වෛරසය ආසාදනය වීමේ කිසිදු හැකියාවක් නැත.

කෙසේ හෝ මෙම දැරිය වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කරන ලදුව ඇයට එවැනි ආසාදනය් නොමැති බවත් ඇය ඉතා නිරෝගී සෞඛ්‍ය සම්පන්න දැරියක බවත් විද්‍යාත්මකව තහවුරුවී තිබේ. පාසලේ බලධාරීන් විසින් ගනු ලැබූ එම ක්‍රියාවේ අතිශය බරපතල බව තහවුරු කිරීමට මෙම සංසිද්ධියද වැදගත් සාධකයකි.

ශ්වසනය මඟින් සම්ප්‍රේෂණය වන වෛරස්, බැක්ටීරියා රෝග කිහිපයක් තිබේ. ගත වූ දශක හතරකට ආසන්න කාලය තුළ මම එවන් රෝගීන් දහස් ගණනක් පරීක්ෂා කොට ඇත්තෙමි. විශේෂයෙන් 1985 වසරේ කුරුණෑගල රෝහලේ ක්ෂය රෝග මර්දන ඒකකයේ කාර්යභාර වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ මට සුළඟ මඟින් බෝවිය හැකි බැක්ටීරියාවක් (Tuberculosis) සහිත ක්ෂය රෝගයවත් වැළදුණේ නැත. ඉන්පසුව 1985 සිට 1991 දක්වා මධ්‍යම ලේ බැංකුවේ කාර්යභාර වෛද්‍ය නිලධාරියෙකු ලෙස කටයුතු කළ අවස්ථාවේ රෝගීන් විශාල පිරිසකගේ රුධිරය මගේ අත්වල තැවරී ඇත. නමුත් එවැනි රාජකාරියක දී අත්වැසුම් භාවිතා කළ යුතු වුවද මා ඒ සඳහා මැලිවීම මුල්කොට හෝ මා හට රුධිරය මඟින් සම්ප්‍රේෂණය වන ඒඩ්ස් වැනි රෝගයක් නොවැළදුණි. ඊට හේතුව ඒවන විට මගේ දෑතෙහි කිසිදු තුවාලයක් කැපුමක් සීරිමක් නොතිබූ නිසාය.

ඉන්පසුව මම ජාතික ලිංගාශ්‍රිත රෝග වැඩසටහනේ මධ්‍යම සායනයේ කාර්යභාර වෛද්‍ය නිලධාරියා ලෙස 1999 සිට 2007 දක්වා අඛණ්ඩව සේවය කළෙමි. ඒකාලයේ ඒඩ්ස් ආසාදිත වූ කාන්තාවන් සහ පිරිමින් සැලකිය යුතු පිරිසක් සමඟ නිරතුරුවම කතා බස් කිරීමට මට සිදුවිය. මා කුරුණෑගල ක්ෂය රෝග මර්දන ඒකකයේ සේවය කරන කාලයේ දී ක්ෂය රෝග වෛරසය වැළඳුණු රෝගීන් හා කථා කිරීමේ දී ඔවුන්ගේ ශ්වසනය මගේ මුහුණට නොවදින ලෙස ආරක්ෂාකාරී ලෙස පරිස්සමෙන් කටයුතු කළෙමි. නමුත් ඒඩ්ස් රෝගීන් සමඟ කටයුතු කිරීමේ දී මා ඔවුන් සමඟ මුහුණට මුහුණ බලා සමීපව කතා බස් කළෙමි. ඒ සුළඟින් හෝ ශ්වසනයෙන් එච්.අයි.වී ආසාදනය නොවන බව මා පැහැදිළිවම දැන සිටි බැවිනි. ඒ අනුව සුළඟින් ඒඩ්ස් බෝවන්නේය යනු පුහු ප්‍රවාදය සත්‍යයක් නම් මේ වන විට ඒකාන්ත වශයෙන් මාද ඒඩ්ස් රෝගියෙකු විය යුතුය. ඒ අනුව ඒඩ්ස් රෝගය සුළඟින් බෝවන්නේය යන්න සෙම්ප්‍රශ්‍යාව ඇති අයෙකු දුරකතනයෙන් ඇමතුමක් දෙන විට එම ඇමතුම ලබන්නාට එම සෙම්ප්‍රතිශ්‍යා වෛරසය ආසාදනය විය හැකි බව කියනවාටත් වඩා මෝඩ සරදමකි.

මේ සියළු කරුණු සළකා බලා ඉහත සඳහන් දියණියට සිදුවූ කුරිරු අසාධාරණය පිටුදැකීමටත් ඇය එම අසාධාරණයට ලක් කළ වුන්ට එරෙහිව ගත හැකි සියළු පියවර ගැනීමටත් අදාල බලධාරීන් නොපමාවම කටයුතු කළ යුතුය.

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි
ප්‍රධාන වෛද්‍ය නිලධාරී
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,
ගංගොඩවිල, නුගේගොඩ

ලක්බිම

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top