Apr 02, 2018

දුම්බර අඩවියේ මහා ඉඩම් කොල්ලය

දුම්බර අඩවිය හෙවත් නකල්ස් කඳුකරයේ පිහිටි අක්කර 21,000 ක පමණ වතු ඉඩම් විවිධ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් හා වත්මන් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් විසින් ඔවුන්ගේ හිතවතුන් හා ඥාතීන් වෙත පවරා දී තිබේ.

aමෙලෙස විවිධ පුද්ගලයින්ට පැවරීම සිදු කර ඇත්තේ රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඇල්කඩුව වැවිලි සමාගම මගින් කළමනාකරණය කරනු ලබන වතු ඉඩම් ය.
නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් හෙක්ටයාර 9675 ක් වන වතු ඉඩම් වලින් හෙක්ටයාර 6192 ක් සහ ඇල්කඩුව වැවිලි සමාගමට අයත්  හෙක්ටයාර 3693 න් හෙක්ටයාර 2363 ක් වශයෙන් විවිධ පුද්ගලයින් හා සමාගම් වලට හෙක්ටයාර 8555 ක් නැතහොත් අක්කර 21,400 ක වතු ඉඩම් පැවරීම සිදු කර ඇත. මෙම පැවරීම සිදු කර ඇත්තේ අක්කරයකට වාර්ෂිකව රුපියල් 2857 ක මුදලකට තිස්පස් අවුරුදු බදු පදනම යටතේ ය.

නකල්ස් සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි හෙයාර් පාර්ක් වත්තේ අක්කර 900 ක් පමණ මේ ආකාරයෙන් මහ පරිමාණ කුකුළු ගොවිපොළක් ස`දහා කි‍්‍රස්බ්‍රෝ සමාගමට ලබා දී තිබේ. සංරක්ෂිත වනාන්තරය මායිමේ පිහිටි රත්වත්ත වතු යාය රෝස තිරුවානා ඛණිජ කැණීම සඳහා ලබා දී ඇති අතර මේ වන විට මහ පරිමාණයෙන් නීති විරෝධී ලෙස මෙම ඛණිජ කැණීම් කටයුතු සිදු කෙරේ. මැදවත්ත වතු යායේ අක්කර 35 ක් මහ පරිමාණ හෝටල් ව්‍යාපෘතියක් සඳහා ලබා දී තිබේ. මේ සියල්ල මේ වන විට සිදු වන්නේ ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ය.

කි‍්‍රස්බ්‍රෝ සමාගම දිගින් දිගට ම මේ ආකාරයෙන් සංවේදී පරිසර පද්ධති ආක‍්‍රමණය කරමින් සිටී. 2007 වසරේ දී මහවැලි "සී" කලාපයට අයත් ඇළකොටලිය හෙවත් මහපිටිය අලිමංකඬේ අක්කර 150 ක තෘණ භූමි පවරාගෙන කුකුළු ආහාර ලෙස භාවිතයට ගැනීමට බඩ ඉරිගු වගා කිරීම ඇරැඹින. මෙම ව්‍යාපෘතිය සඳහා එවකට මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති උදය ගම්මන්පිල මහතා විසින් අවසර ලබා දීම සිදු කෙරිනි. මේ ආකාරයෙන් ම කි‍්‍රස්බ්‍රෝ සමාගම දුම්බර අඩවියේ ඉතා සංවේදී ඉඩම් අත්පත් කර ගෙන මහ පරිමාණ කුකුළු ගොවිපොළවල් සැකැසීමට සූදානම් වේ.

දුම්බර අඩවිය යනු සුවිශේෂී ජෛව කලාපයකි. සමස්ත දුම්බර කඳුකරයම මහවැලි ගඟේ ප‍්‍රධානතම ජල පෝෂක ප‍්‍රදේශය යි. මහවැලි ජල පෝෂක ප‍්‍රදේශ අතුරින් 30%ක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. හෙක්ටයාර 21,000 ක් පමණ ප‍්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 0.32‍ ක් පමණ ආවරණය වී ඇත.  2009 වසරේ  ගැසට් නිවේදනයක් මඟින් දුම්බර කඳුකරයේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර 17825 ක් පමණ වන භූමි ප‍්‍රමාණයක් ලංකාවේ ප‍්‍රථම සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කර තිබේ. nakals2

සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමියේ පෞද්ගලික ඉඩම් හා වෙනත් රජයේ ඉඩම් හෙක්ටයාර 2000 ක් පමණ වේ. එ්වා මේ වන විට ක‍්‍රමාණුකූල ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී. එහෙත් එහි මන්දගාමි ස්වරූපය හා වන්දි ගෙවීම්වල ප‍්‍රමාද වීම් හේතුවෙන් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබෙන අතරතුර එම ඉඩම් විවිධ සමාගම් වලට හා ව්‍යාපාරිකයන්ට පැවරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

මෙම ඉඩම් පවරා ගැනීම කඩිනම් කිරීමට අවශ්‍යවන ඉතා වැදගත් වන අමාත්‍ය මණ්ඩල තීරණයක් 2004 වසරේ දී ගැනිණ. එහෙත් එය අද වන තෙක් නිසි පරිදි කි‍්‍රයාත්මක නො වේ. අමාත්‍යමණ්ඩල සංදේශයට අනුව නකල්ස් සංරක්ෂණ වනාන්තරයට යාව හෝ ඉන් කිලෝමීටර් බාගයක් ඇතුළත පිහිටි සියලූ ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි කටයුතු කඩිනමින් සැලැසුම් කිරීම හෝ ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම හෝ මේ වන තුරු අවසන් කර නොමැත.

මේ කි‍්‍රයාමාර්ගයන්ට එළැඹීම පැහැර හරින සෑම දිනයක් පාසා ම ඒ වනාන්තර බිම් වෙනත් සංවර්ධන කටයුතු සඳහා ක‍්‍රමක‍්‍රමයෙන් යොදා ගැනේ. මේ නිසා අවසානයේ ඉතිරි වන්නේ හුදෙකලා වූ නකල්ස් සංරක්ෂණ වනාන්තර කුට්ටි කිහිපයක් පමණි. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා පළමු ව සිදු කළ යුතු වන්නේ නකල්ස් සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කළ භූමි ප‍්‍රදේශය තුළ පිහිටි පෞද්ගලික වනාන්තර බිම් විධිමත් ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කිරීම යි.

ඊට අමතර ව මේ ප‍්‍රදේශයේ පිහිටි ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හා වැවිලි සංස්ථාවට අයත් වනාන්තර බිම් නකල්ස් සංරක්ෂණ වනාන්තරයට පවරා ගැනීම සිදු කළ යුතු ය. ඉන් පසු ව නකල්ස් සංරක්ෂණ වනාන්තරය වටා කිලෝමීටරයක් පමණ ප‍්‍රදේශයක් ජාතික පාරිසරික පනත යටතේ නකල්ස් හෝ දුම්බර පරිසර ආරක්ෂක ප‍්‍රදේශය ලෙස ප‍්‍රකාශයට පත් කර ඒ ප‍්‍රදේශය තුළ සංවර්ධන කටයුතු පාලනය කළ යුතු ය. මෙමඟින් දුම්බර අඩවියේ සුරක්ෂිතතාව තහවුරු කළ හැකි ය. නමුත් සිදු වන්නේ මේ සුවිශේෂී ජෛව කලාපය වැනසීම සඳහා වන කි‍්‍රයාවලීන් කි‍්‍රයාත්මක කිරීම ය.


nakals3මෙවන් සුවිශේෂී වූ පරිසර පද්ධති ඇතුළුව අප රටේ ඉඩම් දේශීය හා විදේශීය සමාගම් වලට මෙන් ම මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට පැවරීම සඳහා අලුතින් ඉඩම් පනතක් ගෙන ඒමට ද වත්මන් රජය කි‍්‍රයා කරමින් සිටී. රජයේ ඉඩම් බැංකු පනත  නමින් මෙම පනත ගෙන ඒමට මේ වන විට සැලැසුම් කර ඇත. වගන්ති 33 කින් සමන්විත මෙම පනත මගින් ඉඩම් බැංකු පිහිටුවීම, රාජ්‍ය බැංකු කොමිෂම පිහිටුවීම හා බලය පැවරීම ඇතුළු ව කොටස් 7 කින් සමන්විත ව මෙම පනත සකස් කර ඇත. මෙම පනතින් බලාපොරොත්තු වන්නේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ඇතුළුව රජයට අයත් ඉඩම් වෙළෙඳපොළ යාන්ත‍්‍රණයට ඇතුළත් කිරීම ය.

නව ලිබරල් ආර්ථික සැලැසුම් කි‍්‍රයාත්මක කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත පූර්ණ විවෘත ආර්ථිකයක් ගොඩනැගීමට උත්සාහ දරන වත්මන් රජය අප රටේ සියලුම ස්වාභාවික සම්පත් ඇතුළු ව පොදු දේපොළ විකුණා දැමීමට කි‍්‍රයා කරමින් සිටී. මේ තත්ත්වය නතර කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග කඩිනමින් ගත යුතු අතර රාජ්‍ය ඉඩම් බැංකු පනත සම්පූර්ණයෙන් ම පරාජය කළ යුතු ය. එපමණක් නොව නකල්ස් කඳුකරයේ පිහිටි ඉඩම් විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා සමාගම් සතු කිරීම වහාම නතර කිරීමට අවශ්‍ය බලපෑම කළ යුතු ය. එපමණක් නොව දැනට මෙරට සිදු වන ඉඩම් අව භාවිතාව හා ඉඩම් කොල්ලය නතර කිරීම සඳහා ජනතාවාදී සැබෑ ඉඩම් ප‍්‍රතිසංස්කරණයක් සිදු කළ යුතු ය. ඒ සඳහා ඉඩම් ප‍්‍රතිපත්තියක් සකස් කළ කිරීමට ජනතාව එක් විය යුතු ව ඇත.

 ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සභාපති, පරිසරවේදී, සජීව චාමිකර මහතාගේ ලිපිය සංස්කරණය කිරීමෙනි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top