Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Apr 10, 2018

"කිරි පැණියෙන් ඉතිරේවා" කියන්න කලින් කසාද බැඳලද බලන්න

සිංහල හින්දු අලුත් අවුරුද්දේ ඇතුළත් සමාජ සංස්කෘතික පසුබිමට අමතරව සිංහල අලුත් අවුරුද්ද සඳහා ඉවහල් වන වැදගත් මනෝවිද්‍යාත්මක සාධක කිහිපයක් ද තිබේ. ඒ අතරින් මෙය මානව ලිංගිකත්වය සංකේතනය කෙරෙන උත්සවයක් වීම ප්‍රධාන තැනක් ගනී. සභ්‍යත්වය, සංස්කෘතිය, සදාචාරය ආදී සමාජ ආකෘතීන් මිනිසුන් විසින්ම තනාගන්නා ලද ඒවාය. එහෙත් ලිංගිකත්වය යනු එසේ කෘතිමව තනාගතයුත්තක් නොවේ. එය මිනිස් තිරිසන් සැමට පොදු තමන්ගේ මතු පරපුර පවත්වාගෙන යනු පිණිස සොබාදහමින් උරුමවූ එකම මනෝ ජෛව විද්‍යාත්මක ආවේගයයි. දැන් අපි සිංහල අලුත් අවුරුද්ද තුළ සැඟවුණු ලිංගිකත්වය පිටතට ගැනීමේ උත්සාහයක යෙදෙමු.

"ලබන්නා වූ හෝ ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා!" යන්න සෑම  සිංහල අලුත් අවුරුද්දක් සම්බන්ධයෙන්ම අපගේ දෙසවන් පිරී ඉතිරී යන අයුරින් අසන්නට ලැබෙන්නකි.

මෙම සුබ පැතුමේ කිරි හෝ පැණියෙන් යනුවෙන් හැඟවෙන දෙය පිළිබඳව මම බොහෝ දෙනකුගෙන් කරුණු විමසා ඇත්තෙමි. එවිට ඒ සෑම දෙනකුම පවසා සිටියේ රසවත් අතුරු පසක් වන "කිරි-පැණි" සුසංයෝගය මෙන් ප්‍රණීත වූ ඉදිරි වසරක් ඉන් අපේක්ෂා කරන බවය. එහෙත් මෙම "කිරි - පැණි" කතාව තුළ ඊට වඩා ගැඹුරු මානව විද්‍යාත්මක අරුතක් පළවන බව මගේ නිගමනයයි. ඊට මූලික නිමිත්ත වනුයේ මෙම ආශිංසනයේදී "කිරි-පැණි" යන්න "කිරියෙන්-පැණියෙන්" වශයෙන් දෙආකාරයකින් දැක්වීමය.

කිරි

භාරතීය සංස්කෘතිය අනුව කිරි යනු පාරිශුද්ධිය සහ සමෘද්ධිය සංකේතනය කරන්නකි. විෂ්ණු පුරාණයේ දැක්වෙන පරිදි මන්දරගිරි පර්වතය දණ්ඩක් කොට ගනිමින් කිරි මුහුද කැළඹ වූ විෂ්ණු හට ලක්ෂ්මිය ප්‍රමුඛ රත්නයන් දාහතරක් ලබාගත හැකි වේ. ඇතැම් හින්දු ඉගැන්වීම්වලට අනුව ලෞකික ජීවිතයේ සෞභාග්‍යය නියෝජනය කරන්නී ලක්ෂ්මියයි. විෂ්ණුට ඇය හිමිවනුයේ ද කිරි මුහුද කැළඹීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

ජීවිතයේ සෞභාග්‍යය පතා කිරි ඉතිරවීම ඉන්දියාවේ මෙන්ම අප රටේ අද සුලබව සිදු කෙරේ. මෙම කිරි ඉතිරවීම සිංහල බෞද්ධ ජන සමාජයේ කෘෂිකාර්මික, ව්‍යාපාරික, ගෘහස්ත ආදී සෑම කටයුත්තක් ආරම්භයේදීම සිදුවන අභිචාරාත්මක ක්‍රියාවකි.

කුඹුරු ගොවිතැනේ කන්න අවසානයේ සිදු කෙරෙන විශේෂ කිරි ඉතිරවීම "කිරි ඉතුරුම් මංගල්‍යය" වශයෙන් හැඳින්වේ. එමෙන්ම සිංහල බෞද්ධයෝ ගෘහස්ථ ජීවිතයේ බොහෝ සුබ කටයුතු ආරම්භයේදී කිරි ඉතිරවීම කරනු දක්නට ලැබේ. ඒ අනුව "කිරි ඉතිරීම" යන වදන ලෞකික සෞභාග්‍යයේ කූඨප්‍රාප්තිය වශයෙන් නිර්වචනය කිරීමේ වරදක් නැත.

 පැණි

මෙහි දී මෙම පැණි යන්න ද මා ඉහත සඳහන් කළ පරිදි මුදවාපු කිරි සමඟ ආහාරයට ගන්නා පොල් පැණි හෝ කිතුල් පැණි නොවේ. පහළොස්වන සියවසේදී ලියැවුණු "රුවන්මල් නිඝණ්ඩුවේ" පැණි යන්න අර්ථ ගන්වා ඇත්තේ "පැසුණු ගෙඩිවලින් කකාළ ඉස්ම" වශයෙනි.

"මධු" යනු ඉන්දු ආර්ය භාෂාවන්ගෙන් පැණි හැඟවෙන වදනකි. එමෙන්ම මෙම "මධු" යන්න සුරාව හැඟවීම සඳහා ද යම් තරමකින් ආදේශ කළ හැකිය. නමුත් මධු යන්න මිදියුෂවලින් පෙරාගන්නා "වයින්" ආදිය සඳහා මිස අරක්කු, කසිප්පු, විස්කි, බ්‍රැන්ඩි, ජින්, වොඩ්කා ආදී සුරා ගණයට වැටෙන සැර මත්පැන් සම්බන්ධයෙන් යෙදිය හැකි නොවේ. සිංහල භාෂාවෙහි ඒවා හැඳින්වෙනුයේ 'මද්‍ය" නමින් බවට දොළොස්වන සියවසේ පමණ ලියැවුණු බව සැලකෙන "වෙසතුරුදා සන්නය", දොළොස්වන සියවසේ ලියැවුණු "ධර්ම ප්‍රදීපිකාව" ආදී කෘතිවලින් පැහැදිලිය.

කිරි මගින් ලෞකික සමෘද්ධිය සංකේතය වනුයේ යම් සේද පැණි හෙවත් "මධු" මගින් එම සමෘද්ධිමත් බව ඔස්සේ මතුකර ගත හැකි;ආශ්වාදනය කළ හැකි පස්කම් සැපය සංකේතනය කෙරෙන බව මගේ පිළිගැනීම ය.

මේ සඳහා ගත හැකි හොඳම නිදසුන වනුයේ අතීතයේ අප රටේ ද පැවැති බව පැවසෙන මධුපානෝත්සවයයි. භාරතයෙන් අප සමාජයට පැමිණි "කාම දෙවියන්" හෙවන් "අනංගයා" මුල් කොට ගත් අභිචාරාත්මක සැණකෙළියක් ලෙස විස්තර කළ හැකි රාජකීයයන්ගේ සිට සාමාන්‍ය නුවර වැසියන් දක්වා සහභාගී වූ මධුපානෝත්සවයක් පිළිබඳව දහතුන් වන සියවසේදී ලියැවුණු "කව් සිළුමිණ" කෘතියෙන් මනා ලෙස විස්තර කෙරේ. සංගීතය, මධුපානය සහ ස්ත්‍රී සම්භෝගය වැනි කාමභෝගිත්වයේ සංකේත අරමුණු කර ගත් මෙම මධුපානෝත්සවවල දී භාවිතයට ගැනුණේ මල් පැණි, මී පැණි ආදී ප්‍රණීත දෙයින් පෙරන ලද "මධු" හෙවත් කාමෝද්වීපක (Aphrodisiac)  මිස සුරාව නොවේ.

පැණි හෙවත් මධු යන්න අනුරාගයේ සහ ලිංගිකත්වයේ සංකේත ලෙස දක්වා ඇත්තේ පෙරදිග සංස්කෘතිය තුළ පමණක් නොවේ. විවාහක නව යුවළකගේ පළමු සංචාරය ඉංග්‍රීසියෙන් හඳුන්වනුයේ "හනිමුන්" (Honeymoon) යනුවෙනි. වචනාර්ථ වශයෙන් මෙම වදන් දෙක විමසා බැලුවහොත් "පැණි සඳ" යන අරුත පළවේ. එමෙන්ම මෙම අවස්ථාව හඳුන්වන සිංහල වදන "මධුසමය" වීමෙන් මෙම පැණි, මධු සහ අනුරාගය අතර ඇති අපූරු මානව විද්‍යාත්මක සබැඳියාව කදිමට වටහා ගත හැක.

එසේම සමාජයේ විවිධ පුද්ගලයන් ලිංගිකව නම්මවා ගැනීමෙන් පසු ඔවුන් අවමාන තර්ජනයට (Blackmail) ලක්කරනු පිණිස කාන්තාවන් යොදා ගැනීමේ ක්‍රියාවලිය ඉංග්‍රීසියෙන් හැඳින්වෙනුයේ Honey Trap හෙවත් "පැණි උගුල" ලෙසිනි. එය ද "පැණි" යන්නෙන් ලිංගිකත්වය සංකේතය වන බවට කදිම නිදසුනකි.

නමුදු මෙම මධු සහ සුරාව පටලවා ගනිමින් මෙම මධුපානෝත්සව "සුරාපානෝත්සව" ලෙස හැඳින්වීම බරපතල වරදකි. ඒ අනුව ස්ත්‍රිය, සංගීතය, මධුවිත යන අරමුණු ඔස්සේ ජීවිතයේ දාහය නිවාගත හැකි බවට අපූරු කාව්‍යාත්මක  චින්තනයක් ඉදිරිපත් කළ එකොළොස් වන සියවසේ පර්සියාවේ විසූ ඕමාර් ඛයියම් ද අප සමාජය විසින් නිරපරාදේ "බේබද්දකු" බවට පත්කොට ඇත. ඒ කෙසේ හෝ මෙහි මධු නමින් හැඳින්වෙනුයේ කාමෝද්දීපක පානයකි. එසේම ශරීරයේ ස්නායු අඩපණ කෙරෙන සුරාවෙන් සංගීතයේ සැබෑ රසය විඳගත නොහැකි සේම නියමාකාරයෙන් ස්ත්‍රී සැප ලද නොහැකි බව අතීත සමාජය දැන පිළිගෙන තිබෙන්නට ඇත.

ඒ කෙසේ හෝ මෙහි මුලින් පැවසුණු "ලබන්නා වූ හෝ ලැබුවා වූ අලුත් අවුරුද්ද කිරියෙන්, පැණියෙන් ඉතිරේවා" යන්නෙහි මානව විද්‍යාත්මක අරුත හුදෙක් මී කිරි සහ පොල් හෝ කිතුල් පැණි ඉක්ම වන්නක් බවත් ඉන් අදහස් වනුයේ උතුරා යන ලෙස හිමිවන ලෞකික සමෘද්ධිය (කිරි) පදනම් කරගනිමින් සිතේ හැටියට ලිංගිකාශ්වාදය මුල්කොට ගත් පස්කම් සැප (පැණි) භුක්ති විඳීමට අවස්ථාවක් උදාවේවාය යන්න බව මගේ නිගමනයයි.

සිංහල අලුත් අවුරුද්ද තුළ සැඟවුණු ලිංගිකත්වය පිළිබඳ ‍ඉතිහාසය

අපගේ පෙරදිග සංස්කෘතිය අනුව ලිංගිකත්වය යනු විවෘත සංවාදයකට නොගෙන සඟවා තැබිය යුත්තක් නොවේ. ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ කතිකාවකට නොසුදුසු සඟවා තැබිය යුත්තක් ලෙස අප හට ගෙන හැර දක්වන ලද්දේ මීට සියවස් එකහාමාරකට ඉහත එංගලන්තයේ උපත ලත් වික්ටෝරියානු සුචරිතවාදය විසිනි. ඊට පෙර අප ජන සමාජයේ ලිංගිකත්වය කෙතරම් විවෘත මට්ටමක පැවතියේ ද යත් සිංහල අලුත් අවුරුද්ද මුල්කොට කෙරෙන ජන ක්‍රිඩාවලින් ද ලිංගිකත්වය හා කාමුකත්වය මනා සේ නිරූපනය විය. දුරාතීතයේ අප ජන සමාජය වර්ෂාව, අස්වැන්න සහ ලිංගිකත්වය යන්න සමාන්තර කොට සැලකූ බවට පිළිගත හැකි මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ.

සිංහල අලුත් අවුරුද්ද අතීත ජන සමාජයන්හි පැවැති චූල සම්ප‍්‍රදායේ ප‍්‍රාථමික අස්වනු මංගල්‍යයකි. (Harvest Festival) කිසියම් ජන සමාජයක් විසින් කරනු ලබන ගොවිතැන් ආදියෙන් අස්වනු ලැබීම් සම්බන්ධ මෙවන් අස්වනු මංගල්‍ය කෘෂිකර්මය හා සම්බන්ධ ලොව සෑම සමාජයකම පාහේ දැකිය හැක. එම අස්වැන්නෙන් මුල් කොටස තම ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කෙරෙන සංකේත සඳහා පුද කොට ඉන්පසු පුද්ගල පවුල් සහ ප‍්‍රජා වශයෙන් එක්වී එම අස්වැන්න ලැබීමේ සතුට සාමූහිකව භුක්ති විඳ ගැනීම මෙම අස්වනු මංගල්‍යයක පොදු ආකෘතිය බව පෙනේ. එමෙන්ම ඇතැම් ජන සමාජයන්හි පවත්වන මෙම උත්සව තුළ ලෞකිකත්වයේ සේම ලිංගිකත්වයේ සංකේතාර්ථ ගැබ්ව තිබේ. ඊට බලපාන ප‍්‍රධානතම මානව විද්‍යාත්මක හේතුව වන්නේ ආදීතම මිනිස් සමාජයන්හි සශ‍්‍රීකත්වය, සෞභාග්‍යය සහ ලිංගිකත්වය අතර යම් සමානත්මතාවක් දැකීම ය.

පැරණි සිංහල අවුරුදු සමයේ සිදු වූ අංකෙළිය හෙවත් අංඇදීම එවන් ලිංගිකත්වය සංකේතනය කෙරෙන ක‍්‍රීඩාවකි.

ප‍්‍රදේශයට වර්ෂාව, සශ‍්‍රීකත්වය සේම වසංගත රෝග ආදියෙන් අත්මිදීම අරමුණු කරගත් අංකෙළිය හෙවත් අං ඇදීම කාන්තාවන්ට රහසින් පුරුෂ පක්ෂයේ පමණක් සහභාගීත්වයෙන් වැඩිපුර ජනගහණයක් නොමැති ප‍්‍රදේශවලදී සිදු කරන ලද  අභිචාරාත්මක ක‍්‍රීඩාවකි.

මෙම ජන ක‍්‍රීඩාව ආරම්භ වනුයේ පත්තිනි දේවියට කරනු ලබන ආරාධනයක් මුල් කොට ගත් කප් සිටුවීමකිනි. සවිමත් දැව කඳක් පාමුල පොල් ගෙඩි දෙකක් රඳවා පුරුෂ ලිංගයක ආකෘතිය නිරූපණය කෙරෙන කප් සිටුවීම මහනුවර යුගයේ සංවර්ධනය වූ ලෞකික සමෘද්ධිය අරමුණු කරගත් දෙවියන් පිළිබඳ උත්සවයක සමාරම්භක අවස්ථාව ය. එමෙන්ම දෙවියන් පිළිබඳ බොහෝ උත්සවවල සමාප්තිය හැඟවෙනුයේ දිය කැපීමෙනි. මගේ පෞද්ගලික නිරීක්ෂණ අනුව සශ‍්‍රීකත්වය පතා කරනු ලබන මේ අභිචාර විධි යුගලය තුළම ලිංගිකත්ව සංකේත තිබේ. විශේෂයෙන් රත්නපුර සමන් දේවාල පෙරහැර අවසානයේ සිදුකෙරෙන දිය කපන මංගල්‍යයේ දී එම ජලයට රතු පැහැති මල් පෙති මුසු කිරීම ස්ත‍්‍රී පුරුෂ ප‍්‍රථම කාම සම්භෝගයක් එළිපිටම සංකේතනය කෙරෙන බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක.

"අංකෙළි" උපත නම් ජන කාව්‍යයෙහි සඳහන් වන අන්දමට ඒ සඳහා මුල්වනුයේ පත්තිනිය මිනිසත් අවධියේ දී ඇගේ සැමියා වන පාලඟ (කෝවලන්) සමග පඬි රජුගේ උයනේ සපුමල් නෙළන්නට යාම පිළිබඳ පුරාවෘත්තයකි. එහි දී විශ්ව කර්මයා ඔවුන්ට කෙකි දෙකක් ලබා දුන් අතර ඉන් එන් කෙක්කක් සහිතව පාලඟ ගසට නැංගේ ය. පත්තිනිය ගස යට සිටියා ය. අවසානයේ මෙම සපුමල් කැඞීමේ දී ඔවුන්ගේ කෙකි දෙක එකට පටලැවුණි. ඒ අනුව දෙදෙනා කෙකි දෙක එකට පටලවා ගෙන දෙපැත්තට අදින්නට වූහ. කෙසේ හෝ අවසානයේ මිහිකතගේ උදව් ලද පත්තිනිය එම සටනින් දිනුවා ය. එම සිද්ධිය මුල් කොට ගත් ස්ත්‍රි පුරුෂ කාම සම්භෝගයක් සංකේතනය කරමින් කාන්තාවන්ට රහසින් අප‍්‍රකටව පිරිමින් විසින් පමණක් සිදුකරන මෙම ක‍්‍රීඩාව බොහෝ විට කලකෝලාහලවලින් අවසන් වූ බව කොටගම වාචිස්සර හිමියන් විසින් රචිත "සරණංකර සංඝරාජ සමය" කෘතියෙහි සඳහන් වෙයි.

17වන සියවසේ මෙරට එළිමහන් සිරකරුවෙකුව සිටි බ්‍රිතාන්‍ය ජාතික රොබට් නොක්ස් එම ක‍්‍රීඩාව සම්බන්ධයෙන් කරන මතු දැක්වෙන විස්තරය අලුත් අවුරුදු ලිංගිකත්වය පිළිබඳව සඳහන් කිරීමේ දී අප සැම විසින් විශේෂ අවධානයට ලක් කළ යුත්තකි.

"රටවැසියන් බෙහෙවින් ප‍්‍රිය කරන පත්තිනි දෙවියන් උදෙසා වන තවත් කී‍්‍රඩාවක් ඇත. මෙරට පවත්නා දුර්භික්ෂ සහ වසංගත බිය දුරු කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම කී‍්‍රඩාවේ ඉතා අශික්ෂිත, අශීලාචාර අංගයකුත් තිබේ. එනිසා මෙය සිදු කරනුයේ නගරයෙන් දුරබැහැර, විශේෂයෙන් කාන්තාවන්ට නොපෙනෙන ඉසව්වක දී ය. මෙම ක‍්‍රීඩාව සිදුවන්නේ මෙලෙසිනි.
වැලමිටි හැඩයෙන් යුතු කරු (හෙවත් බලටු) දෙකක් ගෙන ඒවා එකි'නෙක අමුනා පිරිස දෙපිලට බෙදී ඉන් එකක් කැඞී යන තුරු අදිති. මුදල් ඔට්ටුවක් නොමැති වුව ද ඉන් දිනන කණ්ඩායම නොයෙක් ආකාරයේ ප්‍රීති ඝෝෂා කරමින් විනෝද වෙති. මෙසේ විනෝද වීමේ දී කියනු ලබන වදන් සහ කරනු ලබන ක‍්‍රියා වචනයෙන් විස්තර කිරීමට බැරි තරම් පිළිකුල් සහගත ය. කෙටියෙන් කිවහොත් මෙසේ ප‍්‍රීති ඝෝෂා කිරීමේ දී ම්ලේච්ඡ, තිරිසන් වෙසින් හැසිරෙන්නා තරගයේ වීරයා බවට ද පත්වෙයි. මෙම ක‍්‍රීඩාවේ ඇති අශික්ෂිත බව වටහා ගත් රජතුමා වරක් මෙය පැවැත්වීම තහනම් කළේ ය. ඉන්පසුවත් මෙම ක‍්‍රීඩාවේ යෙදුණු ගම්පොළ ප‍්‍රදේශයේ පිරිසකට අදිකාරම්වරයකු යවා දඩ නියම කරන ලදී".

රොබට් නොක්ස්ගේ විස්තරය අනුව පෙනී යන්නේ මෙය පිරිමින් සතු ලිංගික ශක්තිය සංකේතවත් කෙරෙන කිසියම් අභිචාරාත්මක ක‍්‍රීඩාවක් බව ය.

සිංහල අලුත් අවුරුද්ද තුළ සැඟවුණු මෙම කාමුකත්වය අතීත ජනසමාජය තුළින් එළි දැක්වුණු අවස්ථාවන් පිළිබඳව සෘජු ඓතිහාසික තොරතුරු සුලබ නැතත් මානව විද්‍යාත්මකව විමසා බැලීමේ දී එහි පැහැදිළි සත්‍යයක් ඇති බව වටහා ගත හැකි වනු ඇත.

1815 වසරේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් කරවීම පිණිස සුවිශේෂ බුද්ධිමය දායාදයක් ලබාදුන් බ්‍රිතාන්‍ය ජාතික රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන ශ්‍රීමත් ඩොයිලි බාට් තම රාජකාරී දින පොතේ 1815 වසරේ අප්‍රේල් 11 දින තබා ඇති සටහන් මඟින් ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ට යටත් වන සමයේ මෙරට පැවැති සිංහල අලුත් අවුරුද්දේ කාමභෝගීත්වය පිළිබඳ වැදගත් ඓතිහාසක සාක්ෂියක් ලබාගත හැක.

'නැකත උදාවත්ම ප්‍රභූ පවුල්වල රුවැති යුවතියෝ දල්වා ගත් පන්දම් සහ සහලින් සහ කහ දියරවලින් යුතු තැටිය බැගින් ගෙන රජතුමාට නොදුරින් සිටියහ. නැකත උදාවත්ම රජතුමා හිසෙහි නානු ගල්වා ගත් අතර එම යුවතියෝ අපේ රජ්ජුරුවන් වහන්සේට පස්වාන් දහසක්, ඉර හඳ පවතිනා කල් ආයුබෝ වේවායි! තෙවරක් සුබ පැතූහ.'

වර්ෂ 1821 දී ඉංග්‍රීසි ජාතික වෛද්‍ය ජෝන් ඩේවි ද කන්ද උඩරට රාජ්‍යයේ අවුරුදු මංගල්‍යය ගැන දීර්ඝ විස්තරයක් සපයයි.

ගිනිකොන දිග බලා නුග කොළ අතින් ගෙන, පයට ඉඹුල් කොළ තබා දැල්වෙන පහනක් ගත් යුවතියක අතින් රජුගේ හිසත්, ශරීරයත් කහ දියරින් නහවමින් එතුමාට දිගාසිරි පැතිය යුතු බව එහි සඳහන් වෙයි.

සිංහල අලුත් අවුරුද්ද මුල්කොට රූමත් යුවතියන්ගේ පහස ලබා ගැනීම නුවර යුගයේ රජ දරුවන්ගේ සිට කන්ද උඩරට ප්‍රභූන් අතර ද පැවැති බවට මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ. එහිදී රජතුමා ප්‍රභූ පවුල්වල රුවැති යුවතියන්ගේ පහස ලබාගත් අතර කන්ද උඩරට ප්‍රභූන් සිංහල අලුත් අවුරුදු සමයේ දී තම අතවැසි පවුල්වල තමන්ට  වඩා අඩුකුල රූමත් යුවතියන් සිය වලව්වල වැඩ කටයුතු සඳහා ගෙන්වා ගත් බවට මුඛ පරම්පරාගත කතා වලින් පවා සාක්ෂි කොතෙකුත් ලබා ගත හැක.

සාමාන්‍ය දිනවලදී කෙසේ වෙතත් සිංහල අලුත් අවුරුදු කාලයේ දී මෙසේ රුවැති යුවතියන් තම වලව්වල වැඩපලට ගෙන්වා ගැනීම පිළිබඳව එම ප්‍රභූන් විවාහ කරගෙන සිටි කුමාරිහාමිලාගේන් දැඩි විරෝධයක් පළ නොවන්නට ඇත්තේ ලිංගිකත්වය සහ කාමුකත්වය එවක සිංහල අලුත් අවුරුද්දේ වැදගත් පුරුෂාර්ථයක් බව  ඔවුන්  ද දැන සිටි නිසා යැයි මට සිතේ.

ලක්බිම

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top