Pasidol
Sathosa Ad Final Sinhala
Apr 26, 2018

කන්න යන්නේ මැක්ඩොනල්ඩ් නම් මේකත් දැනගන්න

මේ කියන්න යන්නේ, යන්න ආසම තැනක අතීත කතාවක්. මැක්ඩොනල්ඩ්  කිව්වම නොදන්න කෙනෙක් නෑ. ඒ ලෝ සුපතල ආපනශාලා ජාලයේ ඉතිහාස කතාවෙන් බිඳක් වගේම අද වෙනකන් ආපු ගමන ගැන වැදගත් තොරතුරු කිහිපයකුයි මේ.

ආරම්භය

මැක්ඩොනල්ඩ්ස් සමාගම ඇමරිකානු සමාගමක්. එය මුලින්ම ආරම්භ වන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙයි. මැක්ඩොනල්ඩ් සමාගම ආරම්භ කරන්නේ රිචඩ් මැක්ඩොනල්ඩ් හා මෞරිස් මැක්ඩොනල්ඩ් සහෝදරයන්. ඔවුන් දෙදෙනාට සිනමාපට තැනීම පිළිබඳව උනන්දුවක් තිබුණත් ඔවුන්ට එය කිරීමට නොහැකි වෙනවා. මේ හේතුව නිසා ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පියාගේ ව්‍යාපාරය වූ “The Airdrome” නම් වූ කුඩා ආහාර පාන අලෙවි සැල සියතට ගන්නවා.  එය 1940 වසරේදී කැලිෆෝනියාවේ සන් බර්නාඩිනො වල අවන්හලක් වශයෙන් මැක්ඩොනල්ඩ්ස් මුලින්ම ආරම්භ වෙනවා. එය ආරම්භ වෙන්නේ Drive- In අවන්හලක් ලෙසයි. ඔවුන්ගේ ව්‍යාපාරය සාර්ථක වීමත් සමඟම එහි වැඩිපුරම අලෙවි වන්නේ හැම්බර්ගර් බව ඔවුන් තේරුම් ගන්නවා. මේ සමඟම ඔවුන් ව්‍යාපාරය ටික දිනකට වසා එය දියුණු කරනවා. ඉන්පසුව නැවත ඔවුන් 1948 වසරේදී ව්‍යාපාරය නැවුම් ලෙසින් ආරම්භ කරන අතර ඇමරිකානු ඩොලර් සත 15කට හැම්බර්ගර් අලෙවි කිරීමට ආරම්භ කරනවා. නව ව්‍යාපාරය තුළ ඔවුන් අලෙවි කළේ මිල්ක් ෂේක්, හැම්බර්ගර් හා බැදපු අල පමණයි. එමෙන්ම ශීඝ්‍රගාමී සේවය ඉතාමත් ඉක්මනින් ජනප්‍රිය වෙනවා.

image 016 680x543

පළමු අවන්හල (bp.blogspot.com)

රේ ක්‍රෝක් ගේ ආගමනය
ඇමරිකාව තුළ මැක්ඩොනල්ඩ්ස් ජනප්‍රිය වුණේ කට වචනයෙන්. එහි තිබූ මිහිරි බවට හා ප්‍රණීත බවට ඇමරිකානුවන් මහත් ලැදි බවක් දැක්වූවා. මෙම ව්‍යාපාරය ගෝලීය වශයෙන් ව්‍යාප්ත කිරීමේ මහා මොළකරු වූ රේ ක්‍රෝක් මෙම අවන්හලට ගොඩ වෙන්නේ 1954 වසරේදීයි. ඔහු ඔහුට වයස අවුරුදු 15ක් වෙන විට බොරු වයසක් පවසා ලෝක යුද්ධ ගිලන් රථ සේවයට එක වෙන්නට යනවා. නමුත් ඔහුට එම ඉලක්කය ළඟා කර ගැනීමට නොහැකි වුණේ ඔහුගේ පුහුණුව නිම වීමට පෙර ලෝක යුද්ධය නිම වූ නිසයි.

ඉන්පසුව ඔහු පියානෝ ශිල්පියෙකු ලෙස හා කඩදාසි කෝප්ප අලෙවි කරන්නෙකු ලෙස හා පසුව Multimixer (මිල්ක්ෂේක් යන්ත්‍ර) අලෙවි කරන්නෙකු ලෙස ක්‍රියා කරනවා. ඔහු 1954 දී කැලිෆෝනියාවේ සන් බර්නාඩිනො හී අලෙවි සලට පැමිණෙන්නේ මැක්ඩොනල්ඩ් සමාගම ඔහුගෙන් මිල්ක් ෂේක් යන්ත්‍ර කිහිපයක් මිලදී ගත් නිසාවෙනුයි. එහිදී කුඩා නමුත් අතිශය සාර්ථක වූ මෙම වෙළඳ සැල පිළිබඳව මවිත වෙනවා. එකල එම වෙළඳ සැලේ ඉතා සීමිත ආහාර පාන වර්ග ප්‍රමාණයක් ( limited menu) ඔවුන් අලෙවි කරනු ලැබුවේ ගුණාත්මක හා ඉක්මන් සේවයක් පාරිභෝගිකයන්ට ලබාදීම වෙනුවෙයි.

එකල මැක්ඩොනල්ඩ්ස් සමාගම අලුතෙන් තමන්ගේ නියෝජිතයෙකු වීමට කෙනෙකු සොයමින් සිටියා. එම අවස්ථාව දුටු ක්‍රොක් එයට එකතු වුණා. ඉන්පසුව 1955 ඔහු මැක්ඩොනල්ඩ් ජාලයේ පළමු අවන්හල ඔහු ආරම්භ කරා (McDonald’s System, Inc).  ඉන් වසර 6කට පසුව ඔහු විසින් මැක්ඩොනල්ඩ් නාමයට හා එහි මෙහෙයුම් පද්ධතියට අනන්‍ය අයිතීන් රැගෙන ආවා. 1958 වන විට, මැක්ඩොනල්ඩ් සමාගම ඔවුන්ගේ බර්ගර් අලෙවිය මිලියන 100 පසු කරා. ඔහුට මෙම සමාගම ඉහළ ගුණත්වයෙන් යුතු ආහාර අලෙවි කරන හා ඔවුන්ගේම ක්‍රමයකට ආහාර අලෙවි කරන සමාගමක් බවට පත් කිරීමට අවශ්‍ය වුණා. ඔහු විසින් එම සමාගමට ” ඔබට නොව ඔබ වෙනුවෙන් ව්‍යාපාර කරන්න ” යන සංකල්පය හදුන්වා දුන්නා. එමෙන්ම පාද තුනේ ස්ටූලයේ සරල මූලධර්මය ද මැක්ඩොනල්ඩ්ස් සමාගමට ඉදිරිපත් කළා. එයට අනුව මැක්ඩොනල්ඩ් සමාගම තමන්ගේ අධිකාරය, තමන්ට සේවා සපයන්නන් හා තමන්ගේ සේවකයන් යන තුන් කොටසින්ම එක ලෙස ශක්තිමත් විය යුතු වුණා. එය මත සමාගම ගොඩනැගුනා. ඉන්පසුව සහෝදරයන් සතු වූ මැක්ඩොනල්ඩ් අයිතිය 1961 දී ඇමරිකානු ඩොලර් මිලියන 2.7කට මැක්ඩොනල්ඩ් සමාගම මිලදී ගත්තා.
image 026 680x665

රේ ක්‍රොක් (nocookie.net)

ලෝකය පුරා ව්‍යාප්ත වීම
ක්‍රොක් ගේ අභිප්‍රාය වුණේ එක්සත් ජනපදය තුළ මැක්ඩොනල්ඩ් අවන්හල් 1000ක් ආරම්භ කිරීමයි. අදටත් එම සමාගම ලෝකය පුරාවට තමන්ගේ වෙළඳපොළ ව්‍යාප්ත කරමින් හා වර්ධනය කරමින් සිටිනවා. එහි පළමු පියවර 1967 දී ආරම්භ කරනු ලැබුවේ කැනඩාවෙන්. 2016 වසර අවසාන වනවිට ලෝකය පුරා රටවල් 119 ක , අවන්හල් 36,258ක් පමණ තිබෙනවා. එමෙන්ම එය දෛනිකව මිලියන 68ක පාරිභෝගිකයන් ප්‍රමාණයකට සේවය කරනවා. නමුත් 2015 වසරේදී චීනයේ හා එක්සත් ජනපදයේ අවන්හල් 350ක් පමණ වැසී ගොස් තිබුණා. තවද ඔවුන්ගේ ආදායමෙන් 32%ක් එක්සත් ජනපදයෙන්, 40% ක් පමණ යුරෝපයෙන් විශේෂයෙන් එක්සත් රාජධානිය, ප්‍රංශය, රුසියාවෙන් හා ජර්මනියෙන් වාර්තා වුණා. එමෙන්ම ඔවුන්ගේ ආදායමෙන් 23%ක් පමණ ආසියාව, පැසිෆික් කලාපය, මැද පෙරදිග හා අප්‍රිකාවෙන් වාර්තා වුණා.

අනන්‍ය වූ අවන්හල්
මැක්ඩොනල්ඩ් අවන්හල් වලට ඔවුන්ටම ආවේණික වූ ගෘහනිර්මාණ කරණයක් තිබෙනවා.

මෙම ව්‍යාපාරය ආරම්භයේ සිටම එනම් මැක්ඩොනල්ඩ් සහෝදරයන්ගේ සිටම ඔවුන් අවන්හල් වල ගෘහනිර්මාණ පිළිබඳව ඔවුන් සැලකිලිමත් වුණා. එහි අරමුණ වුණේ ඔවුන්ගේ සේවාවේ තිබෙන වේගවත් බව තව තවත් උද්දීපනය කිරීමයි. මෙහී මුල්ම අවන්හලේ ගෘහනිර්මාණ කරුවා ලෙස කටයුතු කරන ලද්දේ ස්ටැන්ලි මේසන් වූ අතර එහි වහලය තරමක් වැඩි පැතලි ස්වාභාවයක් ගනු ලැබූ නිසා ඩික් මැක්ඩොනල්ඩ් විසින් එයට ආරක්කු දෙකක් ඇතුළත් කරනු ලැබුවා. එය නියෝන් කහ පැහැයකින් යුතු රන් පැහැයට හුරු වුණා. 1958 ආරම්භ කරන ලද සුදු රතු පැරණිතම මැක්ඩොනල්ඩ් අවන්හල අදටත් කැලිෆෝනියාවේ ඩෝව්නේ හී පවතිනවා.

දෙබෑවුම් වහල සංකල්පය (Mansard Roof) මැක්ඩොනල්ඩ් සමාගම විසින් හඳුන්වා දෙනු ලැබුවේ 1969 වසරේදීයි. ඒ ඉලිනොයිස් හී මැක්ඩොනල්ඩ් අවන්හලටයි. එය තරමක් ජනප්‍රිය එකක් වුණා. එමෙන්ම මැක්ඩොනල්ඩ් හී ළමා සෙල්ලම් පිටි හා Drive-Thru යන සංකල්පය 1970 දශකයේ මෙම අවන්හල් වලට එකතු වුණා. එමෙන්ම පසුගිය කාලය පුරාවටම මෙම අවන්හල් සැලසුම් විටින් විට වෙනස් වුණා. අදවන විටත් ඔවුන්ටම ආවේණික වූ ගති ලක්ෂණ වලින් යුතුව මැක්ඩොනල්ඩ් අවන්හල් ලෝකය පුරාවටම නිර්මාණය වෙනවා. ඒ වගේම ඒවා තමන්ගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හා උවමනා නොපිරිහෙලා ඉටු කිරීම වෙනුවෙන් සැලසුම් වී තිබෙනවා.

image 035 680x453

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර මැක්ඩොනල්ඩ්ස් අවන්හල - (pinimg.com)

ලාංඡනය ගැනත් දැනගමු

image 044 680x382

vice.com

මැක්ඩොනල්ඩ් සමාගමේ ලාංඡනය ලොව වැඩිම දෙනෙක් දන්නා ලාංඡන අතර ඉහළම තැනක තිබෙනවා.

අද වන විට ලෝකයම දන්නා මේ සලකුණ නිර්මාණයට මූලික වෙන්නේ ඔවුන්ගේ පළමු අවන්හලේ තිබූ නියෝන් කහ පැහැයෙන් රන් පැහැයට හුරුව නිර්මාණය කරන ලද ආරුක්කු දෙකයි. මෙම සලකුණේ තිබෙන වඩාත් වැදගත්ම කොටස වන්නේ එය සරල වීමයි. මෙම සලකුණ නිර්මාණය කරන ලද සමයේ මැක්ඩොනල්ඩ් සමාගම ඉතා ජනප්‍රිය එකක් වී තිබුණු නිසා තවදුරටත් එම සලකුණ හරහා තමන්ගේ ගුණාත්මක බව හෝ වෙනයම් දෙයක් පාරිභෝගිකයාට කීමට ඔවුන්ට අවශ්‍ය නොවූ අතර වර්ෂ 1961 සිට 2003 දක්වා මෙම සලකුණ විවිධාකාර වෙනස්වීම් රාශියකට ලක් වුණා. 2003 දී ඔවුන් මෙම සලකුණ තරමක් නැවුම් කළ අතර නමුත් එහි මුල් හැඩයට එයින් බලපෑමක් වී තිබුණේ නෑ. අද ද භාවිතා වෙන්නේ එයයි.

මෙම සමාගමේ ආහාර අවම සෞඛ්‍ය සම්පන්න වීම හා ආහාර අනවශ්‍ය ලෙස ඉවත දැමීම වැනි කාරණා නිසා ලෝකය තුළම දැඩි ලෙස දෝෂාරෝපණයට ලක්වුණා. 2003 වසරේදී මැක්ඩොනල්ඩ් සමාගම ඔවුන්ගේ සලකුනට එක් කරන ලද නව්‍යතාව සමඟම අලුත් උද්ධෘත පාඨයක් ද එයට හඳුන්වා දුන්නා. ඒ  “i’m lovin’ it” යන්නයි.

කවරය – www.ameshistory.org

මූලාශ්‍ර –

Corporate.mcdonalds.com

www.theguardian.com/business

www.mcdonalds.com

Wikipedia.org

Logomyway.com

සටහන - ඉරෝෂාන් ප්‍රනාන්දු

(Roar.lk වෙතින් උපුටා ගන්නා ලදි.)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top