Pasidol
Sathosa Ad Final Sinhala
May 12, 2018

යහපාලනයට වැරදුණේ කොතැනද? කොහොමද? (3)

මෙය තමන්ගේ ප‍්‍රථම සහ එකම ජනාධිපති වාරය වන බව දළදා මාළිගාවේ සිට මීට කලකට ඉහතදී රටට කී මෛත‍්‍රීපාල සිරිසේන, 2020 දීත් තමා විශ‍්‍රාම ගන්නේ නැති බව, පසුගිය මැයි 7 වැනි දා මඩකලපුවේ සිට රටට කීවේය. එය අරුත් ගන්වා ගැනීමට අප ඉක්මන් විය යුතු යැයි මම නොසිතමි. විශ‍්‍රාම නොයාමට තීරණය කිරීම සහ ජනාධිපති ධුරය හැර නොයාමට තීරණය කිරීම අනිවාර්යයෙන් එකක්ම විය යුතු නැත. ජනාධිපති ධුරය නැති ක‍්‍රමයක් තුළ වුව ඔහුට කළ හැකි කාර්ය භාරයක් තිබිය යුතුය. එබැවින් මේ තේරවිල්ල වටහා ගැනීම අපි පසුවට කල් තබමු. 

අද වන විට යහපාලනය විවේචනයට ලක්වීමට හේතු වී ඇති පොදු කරුණු පරීක්ෂා කර බැලීමේදී, මීට ඉහත ලිපිවල සඳහන් කළ, රාජපක්ෂ පාලනයෙන් දායාද කොට ගිය සමාජ තත්වයන් කඩිනම් වෙනසකට ලක්කර ගැනීමට මේ ආණ්ඩුව දැක්වූ අසමත් භාවය කැපී පෙනේ. 2015 ජනවාරි 8 වැනි දා රාජපක්ෂ පාලනය ලද පරාජය, හුදු සංඛ්‍යාත්මක අගයක් මත තක්සෙරු කළ හැක්කක් නොවුණි, සංඛ්‍යාත්මකව ගත්තොත්, යහපාලන පාර්ශ්වය ලැබූ ජයග‍්‍රහණය ලක්ෂ පහක්වත් නැත. ඒ අනුව ඇත්තෙන්ම එය, ‘දැවැන්ත’ ජයක් නොවේ. එහෙත්, යුද ජයග‍්‍රහණයක් ඇතුළු තවත් ඇස් මට්ටමේ භෞතික වෙනස්කම් ගණනාවක් රටේ ඇති කොට, පරම්පරා ගණනාවකින් පවා ආපසු හැරවිය නොහැකි යැයි හැම පැත්තකින්ම පෙනුණු යෝධ රාජපක්ෂ පවුල් පවුරක් නොසිතූ විරූ අයුරින් ගෙල ග‍්‍රහණයෙන් ගැනීම, අර කියන සුළු සංඛ්‍යාත්මක වෙනස, ගව් ගානක ජයග‍්‍රහණයක් බවට එක රැුයකින් පරිවර්තනය කරනු ලැබුණි. ඒ කෙතෙක් ද යත්, 225 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවක ආසන 47 ක් පමණක් හිමිව සිටි එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික‍්‍රමසිංහව අගමැති තනතුරේ පිහිටුවීමට එරෙහිව නැගී සිටීමට රාජපක්ෂ කඳවුරේ කිසිවෙකුට එදා හයියක් තිබුණේ නැත. ඒ තරමට, එම කඳවුර මානසිකව කුජීත විය. පක්ෂයක් වශයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ඉබාගාතේ යන තත්වයට එක රැුයකින් ඇද වැටුණි. මහින්ද රාජපක්ෂ පසුව දාම මැදමුලනටත්, බැසිල් රාජපක්ෂ ඇමරිකාවටත් පලා යන තරමට, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය කෙඳිරියකින් පවා තොරව මෛතී‍්‍රපාල සිරිසේනට පවරන තරමට, එම පක්ෂය පහතට ඇද වැටුණි. 

 
යහපාලනය අසාර්ථකත්වයට පත්කරන නියඟලා අලය රෝපණය වන්නේද එම අසරණ භාවය තුළින්ම වීම, ඇත්තෙන්ම දෛවයේ සරදමකි. පරාජය වූ පක්ෂයක් තමන්ව පරාජය කරනු ලැබූ පුද්ගලයාගේ හව්හරණය පැතීම එක පැත්තක තිබුණි. ජයග‍්‍රාහී නායකයා තමන් විසින්ම පරාජයට පත්කරනු ලැබූ සතුරු බලවේගයේ කැපකාර පීතෘත්වය භාර ගැනීම තවත් පැත්තක තිබුණි. වෙනත් විදිහකින් කිවහොත්, මේ වනාහී, පරාජිතයා විසින් තම පරාජයම ජයග‍්‍රහණයක් බවට පත්කර ගැනීමකි. මෛත‍්‍රීපාල සිරිසේන තම ගමන ආරම්භයේදීම ලන්සා වැනි දේශපාලඥයෙකුව යහපාලනය තුළට අවශෝෂණය කර ගැනීම තුළම, අනාගත කතාව දිග හැරෙන ක‍්‍රමය මේ යැයි අදක්ෂ දෛවඥයෙකුට වුව නිවැරදිව කිව හැකි තරමට අහුමුල් නිරවුල් වුණි.
 
ලන්සා යනු මේ ලිපි පෙළ ආරම්භයේදී කී, රාජපක්ෂ සංස්කෘතිය සියුම්ව අවබෝධ කර ගැනීම සඳහා පාවිච්චි කළ හැකි, අර්ථ ජනනීය සංකේතයකි. නොයෙක් වචනවලින් හැඳින්වුවත්, 62 ලක්ෂයේ ජනතාවගේ අපේක්ෂාව වුණේ, මහින්ද රාජපක්ෂ නැමැති පුද්ගලයා පරාජය කිරීම නොව, රාජපක්ෂ සංස්කෘතිය පරාජය කිරීමයි. ඒ සඳහා මහින්ද රාජපක්ෂව පරාජය කළ යුතුව තිබුණේ, අර කියන සංස්කෘතිය පරාජය කිරීමේ ආයාසකර ආරම්භය දියත් කළ හැකි වෙනත් ආකාරයක් නොවුණු බැවිනි. එහෙත්, ඊට තවත් එක් කොන්දේසියක් අනිවාර්යයෙන් එක් විය යුතුව තිබුණි. එනම්, එම ජයග‍්‍රහණය ඒ ආකාරයෙන් අවබෝධ කර ගැනීමට තරම් පරිචයක් ඇති, ඒ අනුව කටයුතු කිරීමට තරම් හයියක් ඇති නායකත්වයක අවශ්‍යතාවයයි.
 
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයෙන් පසුව දාම, රාජපක්ෂලා සමග රහස් සාකච්ඡුා ආරම්භ කෙළේය. ජනාධිපතිවරයා විසින්ම පත්කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මලිත් ජයතිලක ඒ බව රටට දැනගන්ට පොතක්ම ලියා තිබේ. ඒ පොත ජනගත කිරීමේ උත්සවයට පවා ජනාධිපතිවරයා සහභාගී වුවත්, මේ දක්වා ඒ කතාව ඔහු කිසි ලෙසකින් ප‍්‍රතික්ෂේප කොට නැත. ඊළඟට, ඔහු අර ශ‍්‍රී.ල.නි.ප. කදමල්ල නැවත කරේ එල්ලා ගත්තේය. (එසේ කෙළේ, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි දේවල් සඳහා අවශ්‍ය කළ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ලබා ගැනීම සඳහා යැයි ඔහු පෙරලා කියන බව මම දනිමි. එම තර්කයේ පුස්ස ගැන මීට පෙර සවිස්තරාත්මකව කතා කොට ඇතත්, පසුව අවශ්‍ය තන්හිදී නැවතත් කතා කළ හැකිය*. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, රටේ නායකත්වය දෙවැනුවට තබා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ස්ථාවර කර ගැනීම සඳහා ඔහු පූර්ණකාලීනව පේ විය. ගත වූ අවුරුදු තුනකට වැඩි කාලයක් තිස්සේ මොහු කාලය ගත කොට ඇත්තේ, රටේ ජනාධිපතිවරයා වශයෙන් නොව, පක්ෂ පතුරක් සමස්ත පක්ෂයක් බවට පත්කර ගන්නේ කෙසේද යන්න ගැන තත්පර වන දේශපාලඥයෙකු වශයෙන් යැයි කෙනෙකු කීවොත් එය අතිශයෝක්තියක් නොවේ.
 
මෙතැන උත්ප‍්‍රාසයක් තිබේ. සාමාන්‍යයෙන් රටක දුෂ්කරම කාර්යය වන්නේ සියලූ පක්ෂවලින් සමන්විත සමස්ත රටේ ජාතික නායකත්වයට පත්වීම මිස පක්ෂයක නායකත්වයට පත්වීම නොවේ. එහෙත් මේ ජනාධිපතිවරයා අද ඔප්පු කරමින් සිටින්නේ එහි අනිත් පැත්තයි. රටේ නායකත්වයට ව්‍යවස්ථානුකූලව පත්වීමට ඔහුට ගතවුණේ මාස තුනකටත් අඩු කාලයකි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘අවසාන ආප්ප භෝජනය‘ සහ 2015 ජනවාරි 8 අතර කාලය එවැනි කෙටි කාලයකි. එහෙත් එවක් පටන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වීමට අවුරුදු තුන හමාරකුත් ඔහුට මදි වී තිබේ. මෙයින් ඔහු රටට සපයන ආදර්ශය කුමක්ද? රටක බරක් සහ වටිනාකමක්, පක්ෂයක වටිනාකමකට ලඝු කරන නායකයෙකු රටකට කෙසේ නම් නායකත්වයක් දිය හැකි ද යන්නයි.
 
මෙය, ජනාධිපතිවරයාගේ දුර්ගුණයක ප‍්‍රතිවිපාකයක් ය යන්න, බැලූ බැල්මට ආකර්ශණීය පැහැදිළි කිරීමක් වෙතත්, සත්‍යය ඊට වඩා සංකීර්ණ ය. ඔහු බලයට පත්වුණේ ප‍්‍රධාන වශයෙන් එක්සත් ජාතික පක්ෂයේත්, ඊළඟට සුළු ජාතික පක්ෂවලත්, නිර්-පාක්ෂික ජන කොටස්වලත් ඡුන්දවලින් ය යන්න ඔහුට අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. එහෙත්, එම කාරණයම ඔහුව පීඩාවට පත්කරන සමාජ-දේශපාලනික සාධකයක් බවට පත්වන විට, මැන්ඬේලා කෙනෙකු නොවන සිරිසේන කෙනෙකුගෙන් දේශපාලනික ගුණෝපේත භාවයක් අපේක්ෂා කිරීම, ඉබ්බෙකුගෙන් පිහාටු පැතීමකට වැඩි දෙයක් නොවනු ඇත. එහි ප‍්‍රතිඵලය වුණේ, අද සිටින සිරිසේන, කොල්ලූපිටියේ නාගරික වික‍්‍රමසිංහ සහ මැදමුලන වැඩවසම් රාජපක්ෂට දාව උපන් අනාථයෙකු වශයෙන් භෞතීස්ම වීමයි.
 
මෙය තරමක් පැහැදිළි කළ යුතුව තිබේ. ලංකාවේ ගම සහ නගරය අතර, සම්භාව්‍ය දේශපාලනයේ හෝ සාහිත්‍යයේ හෝ එන වෙනස දකින්ට නැත. තවත් විදිහකින් කිවහොත්, ලංකාවේ නගරයත්, ගමකි. අපේ නගරවල සිටින්නෝ නාගරිකයෝ නොව, ගැමියෝ ය. එහි අරුත, ගමෙන් පැමිණ නගරයේ වෙසෙන්නන් ය යන්න නොවේ. ගමේ කදමල්ල නගරයේදීත් උදේ හවා එල්ලාගෙන සිටින්නන් ය යන්නයි. ඔවුන් සාමාන්‍ය අරුතින් ගත් විට උගත් ය. ධනවත් ය. ධනේශ්වර ක‍්‍රමයේ වෙන කිසි කලෙක නොපැවති තරමේ, දියුණුවේ ඵල භුක්ති විඳීමේ හැකියාවක් මොවුන්ට ලැබී තිබේ. ඒ අනුව, කෝටි ගණන් වටිනා, ලෝකයේ සුපිරි තාක්ෂණයෙන් යුත් සෑම ගැජට්ටුවක්ම මේ නාගරිකයන්ට තිබේ. එහෙත්, ලස්සණට නිමැවූ අලූත්ම සුඛෝපභෝගී රථය ඉදිරියෙන් දෙහි ගෙඩි දෙකක් එල්ලාගෙන එය අවලස්සණ කර ගැනීමට තරම් ඔවුන් හද්ද ගැමියන් ය. 
 
රනිල් වික‍්‍රමසිංහ නාගරිකයෙකු යැයි කියන විටත් මේ කාරණය සිහියේ තබා ගත යුතුය. නළලේ අළු ගාගෙන, ඉන්දියාවේ කෝවිල් ගානේ යන තරමට (සහ එය ප‍්‍රචාරණය කරන තරමට* මේ නාගරික ධනේශ්වර පංති නායකයා, ගැමියෙකි. ඇත්තෙන්ම, ලංකාවේ කෝවිලකට හෝ පන්සලකට යාම, හුදෙක් ආගම පෙරදැරිව නොව, දේශපාලනය පෙරදැරිව කරන දෙයකැ යි සිතාගත හැකිය. එහෙත්, ඉන්දියාවේ කෝවිලකට තකහනියක් කෙනෙකු යන්නේ, ඉන්දියාවේ ඡුන්දයක් බලාගෙන නොව, තමාගේ අධ්‍යාත්මික අවශ්‍යතාවක් සලකාගෙන ය. මෙය වෙනත් විදිහකින් කිවහොත්, සමාජ වටිනාකම් සහ ධනේශ්වර සාරධර්ම ලිබරල් පරිසරයක් තුළ ස්ථානගත කිරීමේ පුරෝගාමී බලවේගය බවට ලංකාවේ ඉහළ/මැදපංතික නාගරිකයා පත්ව නැති බව කිව හැකිය. ඒ වෙනුවට, මිල අධික යානවාහන සහ ගේදොර ආදි භෞතික සම්පත්වල හිමිකාරීත්වයත්, ලංකාව වැනි රටවල බලය හැසිරවීමේ ප‍්‍රධාන අවියක් බවට පත්ව ඇති යටත්විජිත භාෂාවට හිමිකම් කීමත්, ලංකාවේ ඉහළ පංතික නාගරිකයා නිර්මාණය කිරීමේ ප‍්‍රධාන මෙවලම් වී ඇත.  
         
රනිල් වික‍්‍රමසිංහ ලිබරල් නාගරිකයෙකු වන්නේ, අවසානයේ කී යටත්විජිත භාෂාමය හයියෙන් ලබා ගත් නූතන දැනුමට, ජන්මයෙන් උරුම වූ පංති මූලය යා කිරීමෙන් ගොඩනගා ගත් සමාජ බලය තුළිනි. එසේ නොමැතිව, අර කී දෙහි ගෙඩි දෙක ගලවා වීසි කර දැමීමෙන් නොවේ. එබැවින්, 2015 බලයට පත්වීමෙන් පසු ඔහු දියත් කළ සමාජ දේශපාලනික න්‍යාය පත‍්‍රය තුළ අපට දකින්ට ලැබුණේ, සම්භාව්‍ය ධනේශ්වර නායකයෙකු වෙනුවට, වැඩවසම් සාරධර්ම පද්ධතියක් විසින් සකසා දෙනු ලබන න්‍යාය පත‍්‍රයක රීතීන්ට අනුගතව තමන්ගේ දේශපාලනික දැක්ම ගැඩගස්වා ගන්නා හෝ සෙස්සන්ට එසේ හැඩගස්වනු ලැබීමට ඉඩ හරින නායකයෙකි. 
      
මේ තත්වය තුළ, ජන්මලාභී ධනපති පංති බලය හෝ යටත්විජිත භාෂාමය අවිය අහිමි මෛත‍්‍රීපාල සිරිසේන මුල පටන්ම රනිල් වික‍්‍රමසිංහ කෙරෙහි සැකසහිත ආකල්පයක් ඇති කර ගැනීම දක්නට ලැබුණි. එදා, යහපාලන ජයග‍්‍රහණයේ අති උත්කර්ෂය තුළ එම සැකය ඉස්මත්තට නොපැමිණියත්, කාලයාගේ ඇවෑමෙන්, අසාර්ථක පක්ෂ ව්‍යාපෘතියකටත් කර ගසා සිටි මෛත‍්‍රීපාල සිරිසේන, එම සැකය දිනෙන් දින වඩවා ගත්තා මිස, දුරු කර ගත්තේ නැත. එසේ වීමට ඔහුට අසාධාරණ මෙන්ම සාධාරණ හේතුත් තිබුණි. තවත් විදිහකින් කිවහොත්, සිරිසේනගේ සැක දුරු කරලීම සඳහා වික‍්‍රමසිංහගෙන් සහායක් ලැබුණේ නැත. 2015 ජනවාරි 9 වැනි දා අළුයම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇරැුයුම පිට රනිල් වික‍්‍රමසිංහ හා හා පුරා කියා අරලියගහ මන්දිරයට යන්නේ තිරු නඬේසන් නැමැති මහා ව්‍යාපාරිකයා සමග ය. මොහු රාජපක්ෂ පාලනයට ඉතා සමීපස්ථ දේශපාලනික ව්‍යාපාරිකයෙකි. මෙය ඉතා සුළු සිදුවීමක් වෙතත්, අලූතෙන් තෝරා පත්වූ ජනාධිපතිවරයා තුළ ඒ මගින් ඇති කෙළේ විශාල සැකයකි. අනිත් අතට, රනිල් වික‍්‍රමසිංහ කෙරෙහි පවතින පෞද්ගලික වෛරය අසාධ්‍ය රෝගයක් බවට පත්කර ගෙන සිටින පුද්ගලයන් අතරින් ප‍්‍රමුඛයෙකු වන ශිරාල් ලක්තිලක ඒ ජනවාරි 9 වැනි දාම, අලූත් ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් පත්කර ගැනුණි. එක පැත්තක, රාජපක්ෂ හිතවාදී තිරු නඬේසන් සිටින අතරේ, අනිත් පැත්තේ රනිල්-විරෝධී ශිරාල් ලක්තිලක සිටීම දියුණු දේශපාලනික සංස්කෘතියක් ඇති රටක නම්, ඉතා නොවැදගත්  ඕලාරික සිද්ධි වෙතත්, ලංකාවේ දේශපාලනය තුළ එය එසේ නොවේ. (ඉතිරිය ඊළඟට*  
 
ගාමිණී වියන්ගොඩ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top