Pasidol
Sathosa Ad Final Sinhala
May 21, 2018

අනාගතය වෙනුවෙන් සොයන ෂැංග්‍රි-ලා වට්ටෝරුව

මේ දිනවල කොළඹ ඉහළ මැද පංතිය අලූත් නායකයෙකු සොයති. ඒ නායකයා ඔවුන් සිතා සිටින අයුරු ‘‘සොඳුරු ආඥාදායකයෙකු’’ විය යුතුය. ඔවුන් කතා කරන එවැනි ආඥාදායකයින් කිසිවකු ‘‘සොඳුරු’’ වූ බවක් අප අසා නැත. මේ ‘‘සොඳුරු’’ යැයි සිතන ආඥාදායකයින් ඔවුන් නිවැරදි යැයි වාගේම ඔවුන්ට අවශ්‍ය යැයි සිතන  ඕනෑම වැඩක් රටේ ජනතාව ද`ඩු කඳේ ගසා හෝ කර ගත්තේය. මේ දිනවල අසන්නට ලැබෙන එවැනි ‘‘සොඳුරු ආඥාදායකයෙකු’’ ගැන කතා සමග මට මතක් වූයේ මා පෞද්ගලිකව විඳි අත්දැකීමකි. කලෙකට ඉහත මගේත් මගේ සමීප මිතුරියක වූ ලීනා අයිරීන් හපුතන්ත‍්‍රිගේත් පොදු මිතුරෙකුට වූ අකරගැබ්බයකින් පසු ඔහු අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබුවේය. දිනක් ඔහු බැලීමට අප දෙදෙන එහි ගිය විට හදිසියේ එතැනට පැමිණි මැදි වයසේ පුද්ගලයෙකු ඉතා දැඩි ස්වරයකින් අප එතන කුමක් කරන්නේදැයි විමසුවේය. අප බැලීමට පැමිණි රෝගියා කිසියම් සායනයකට ගෙන ගොස් ඇති බැවින් ඔහුව නැවත වාට්ටුවට රැගෙන එන තෙක් සිටින වග අපි කීවෙමු.

‘‘ ඕවා හරියන්නෙ නැහැ. මං ඩොක්ටටත් කිව්වා....මෝඩයෝ ඔක්කොම අල්ල-ලා දම්වැල් දාලා මේ ඇඳන්වල බඳින්න  ඕනේ...’’ එක දිගට එසේ කී විට ඔහුද මානසික රෝගියෙකු බැව් අපි තේරුම් ගතිමු. ‘‘මේ රට ගොඩ ගන්න නීතිය අකුරට තියෙන්න  ඕනෙ.... මුන් ඔක්කොටම අකුරට වැඩ කරන්න  ඕඩර් දෙන්න  ඕනෙ....වෘත්තීය සමිතිකාරයින්ට කියන්න  ඕනෙ අකුරට වැඩ කරන්න බැරි නම් වහලා පලයල්ලා කියලා...’’ ඔහු කියන්නට විය. ඒ අසළින් ගිය රෝහල් සේවකයෙකු ’’මෙයාට මාර ප්ලෑන් තියෙන්නේ...හැබැයි ඒවට සල්ලි නැහැ’’ යැයි කියමින් ගියේය. ‘‘සල්ලි? හරියට අකුරට වැඩ කරන්න මං  ඕඩරේ දුන්නම, සක්වල සල්ලි ඔක්කොම මෙහේට ගලනවා. ඩොක්ට දන්නවා වැඬේ...මගේ  ඕඩරේට තමයි එහෙම වැඩ වෙන්නෙ.’’ යැයි කියා ඔහු යන්නට ගියේය.

මානසික රෝගියෙකු වූවත් ඔහුගේ කතාවේ වූයේද කොළඹ මැද පංතිය කතා කරන සොඳුරු ආඥාදායකුගේ දේශපාලන ප‍්‍රවිශ්ඨයම ය. එහි වෙනසකට තිබූයේ මානසික රෝගියෙකු හෙයින් ඔහුට සිංහල බෞද්ධ යැයි තේරීමක් නොවීමය. එනිසා ඔහු කොළඹ ඉහළ මැද පංතියට වඩා ප‍්‍රගතිශීලී වූවෙකි.

කොළඹ මැද පංතියට අවශ්‍ය සොඳුරු ආඥාදායකයා සිංහල බෞද්ධයෙකුද විය යුතුය. ඒ සිංහල බෞද්ධකම බණ්ඩාරනායකගේ සිංහල බෞද්ධකමට වඩා සිරිල් මැතිව්ගේ සිංහල බෞද්ධකමට ඥාතිකම් කිව යුතුය. සිරිල් මැතිව්ගේ සිංහල බෞද්ධ දේශපාලනය විවෘත ආර්ථිකයෙන් අතහැර දැමෙන බහුතර සිංහල බෞද්ධ සමාජයේ ඡුන්ද සඳහා ඉදිරිපත් කෙරුණකි. අසීමිතව ලිහා දැමුණු විවෘත ආර්ථිකයෙන් ජීවිතයට කිසිදු හව්හරණක් නොමැති බහුතර සිංහල බෞද්ධ ජනතාවට රටේ අයිතිය රැකීමේ හිස් ‘‘දේශප්‍රේමී’’ වගකීමක් ඔහු විසින් පවරනු ලැබිණ. එය දෙමළ ජනතාවට එදිරිව සිංහල සමාජයේ පැල කරනු ලැබිණ. ‘83 කලූ ජූලියෙන් සනිටුහන් කෙරුණේ ඒ මෘග දේශප්‍රේමී සිංහල බෞද්ධ දේශපාලනයේ ප‍්‍රචණ්ඩත්වය විය.

එතැන් සිට විවෘත වෙළඳපල ආර්ථිකය හා සමගාමීව දකුණේ නාගරික මැද පංතිය සොයන්නේ සිංහල බෞද්ධ ආඥාදායකයෙකි. එය මහින්ද රාජපක්ෂගෙන් වඩාත් ඔප මට්ටම් වූවකි. ඔහු රජෙකු සොයන මේ පසුගාමී සිංහල බෞද්ධ සමාජයට කදිමට ගැලපුනෙකි. ‘‘අනේ කුහුඹුවනේ, නුඹටත් රජෙකු ඇත්තේ’’ යැයි මැසිවිලි නගන, ‘‘නිසි කලට වැසි ලැබෙන්නේ රජු දැහැමි නම්’’ යැයි සිතන සිංහල බෞද්ධ මානසිකත්වයට ගැලපෙන අයුරු කපා මැසූ ප‍්‍රතිරූපය මහින්ද රාජපක්ෂගේ ප‍්‍රතිරූපය විය. නූතන රාජ්‍ය පාලකයකුගේ පෙනුමෙන් එහාට අතීතයට ගෙන යනු ලැබ ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ‘‘අපේ මහ රජානෝ’’ යැයි ස්තෝත‍්‍ර ගැයුනේ එනිසාවෙනි. අද මේ නාගරික සිංහල බෞද්ධ වියතුන්ට ඇති අර්බූදය මහින්ද රාජපක්ෂට නැවත ජනාධිපති මැතිවරණයකට ඉදිරිපත් වන්නට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තබා ඇති තහංචිය ය. එබැවින් ඔවුහු විකල්පයක් සොයා ගෙන ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ගෙනි. ඔවුන් සොයා ගිය සිංහල බෞද්ධ සොඳුරු ආඥාදායකයාට ඔහු ගැලපෙන්නේ යැයි සිතන හෙයිනි.

මීට වසරකට පමණ ඉහතින්ද ගෝඨාභය ජනාධිපතිවරණයට සුදුස්සකු සේ ඉදිරිපත් කිරීමට ‘‘වියත් මග’’ යැයි උත්සවයක් බොරලැස්ගමුවේ උත්සව ශාලාවක පැවැත් වින. එය අසාර්ථක වූයෙන් ‘‘එළිය’’ යැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය ගැන සම්මන්ත‍්‍රණ මාලාවක් ආරම්භ කෙරිණ. එයද එක සම්මන්ත‍්‍රණයකින් අහවර විය. මෙවර ගෝඨාභය වේදිකාවට ගෙනෙන්නට මේ කොළඹ ඉහළ මැද පංතික වෘත්තික හා ව්‍යාපාරික කණ්ඩායම විශාල මහන්සියක් ගෙන තිබිණ. මෙවර ගෝඨාභයද එවැනිම දායකත්වයක් ඊට ලබාදී තිබිණ. එබැවින් මෙවර ඔහුගේ යළි දොරට වැඩුම නැවත ‘‘වියත් මග’’ ලෙසින් පවත්වනු ලැබූයේ කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී ය. එයට 2,500 ට අධික පිරිසක් අරාධනා ලැබ තිබිණ. ඉන් දෙදහසක් සහභාගිවී යැයි ප‍්‍රධාන මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

මෙම ෂැංග‍්‍රි-ලා හෝටලය සිංගප්පූරු හිමිකම් ඇති ජාත්‍යන්තර අධි සුඛෝපභෝගී හෝටල් ජාලයක ශ්‍රී ලංකාවේ නවතම හෝටලය වේ. එය ස්ථානගත කෙරෙන්නේ කොළඹ අනෙක් සියලූ හෝටල් වලට ඉහළින්ය. මෙවැනි හෝටලයක උත්සවයක් සඳහා මිල කිරීමේදී එක් පුද්ගලයෙකුට අවම රුපියල් 10,000 ක් වැය වන්නේය. එසේ වුවහොත් ගෝඨාභය දොරට වැඩමවීමේ ‘‘ෂැංග‍්‍රි-ලා උත්සවයට’’ අනෙක් වියදම් අතහැර අවම වශයෙන් රුපියල් මිලියන 20 ක් වැය විය යුතුය. එබැවින් ඊළග ජනාධිපති අපේක්ෂකයා තේරීමේදී බරපතලම ප‍්‍රශ්නය මතු වන්නේ මේ මිලියන 20 ක් හෝ එවැනි මුදලක් වැය කළ පුද්ගලයා හෝ පුද්ගලයින් කිහිප දෙනා කවුරුන්ද යන්නයි. ගෝඨාභය ඔසවා ගෙන එන්නට ඔවුන් එළෙසින් වැය කරන්නේ කාගේ වුවමනාවටද යන්න ය.

මේ ප‍්‍රශ්නය මා මතු කළ කිහිප තැනක ලැබුණු පිළිතුර වූයේ ෂැංග‍්‍රි-ලා හෝටලයට කිසිදු වියදමක් නොවූ බවය. ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් එහි කලමනාකාරිත්වය ඒ සියලූ පහසුකම් නොමිලේ ලබා දුන්නේ යැයි පිළිතුරු විය. ඒ පිළිතුර තවත් ප‍්‍රශ්නයකට හේතු වන්නකි. ෂැංග‍්‍රි-ලා හෝටල් කලමනාකාරිත්වය එවැනි මිලියන ගණනක සේවාවක් ගෝඨාභය වැනි රැකියාවක් හෝ නොකරන, හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ලබා දෙන්නට ඔහුගේ ඇති විශේෂත්වය කුමක්ද යන්නය. එයට උත්තරය ඇත්තේ ගෝඨාභයම මීට කලෙකට පෙර ප‍්‍රධාන පෙල ඉංග්‍රීසි පුවත් පතකට කර තිබූ ප‍්‍රකාශයක ය.

එහි ඔහු කියා තිබූ කතාවට අනුව කොළඹ හමුදා මූලස්ථානය පිහිටි රාජ්‍ය ඉඩම තමන්ගේ ෂැංග‍්‍රි-ලා හෝටලය සඳහා සුදුසුම භූමිය යැයි තෝරා ගෙන ඇත්තේ හෝටල් හිමිකරුවන්ය. එය දෙසතියක් ඇතුළත හෝටල් හිමිකරුවන්ට ලබා දෙන්නට තමන් පියවර ගත්තේ යැයි ගෝඨාභය එහිදී පවසා තිබිණ. ඔහු එය මහත් ආඩම්බරයකින් පවසා තිබූයේ එළෙස තීන්දු ගැනීමට නොහැකි නම් ආයෝජකයින් මෙහි නොඑන බව කීමටය. අපට එහි ප‍්‍රශ්න කිහිපයක් ඇත. ඒ ඉඩමේ රාජ්‍ය තක්සේරුවට අනුව වෙළඳපල මිල කුමක්ද? ඒ සඳහා වෙනත් ගැණුම්කරුවන් නොවුනිද? ගෝඨාභයගේ කතාවට අනුව එය ෂැංග‍්‍රි-ලා හෝටල් අයිතිකරුවන් සමග කෙරුණු සෘජු වෙළඳාමකි. එයම මහා දූෂණයකි. මහ භාණ්ඩාගාරයට බැර විය යුතු ඉඩම අලෙවිකර ලබාගත් මුදල කැබිනට් පති‍්‍රකාවක් මගින් වෙනත් බැංකු ගිණුමක තැන්පත් කිරීමද බරපතල වරදකි. එවැනි මුදල් වෙනම බැංකු ගිණුම් වලට බැර කරන්නට ඇමති මණ්ඩලයට තබා විධායක ජනාධිපතිවරයාට හෝ බලයක් අයිතියක් නැත. එබැවින් කැබිනට් පති‍්‍රකාවක් තිබුණත් නොතිබුණත් එය බරපතල මුදල් අක‍්‍රමිකතාවකි. ඒ සියල්ලෙහි යටි පෙළ අරුත වන්නේ ඒ ගනුදෙනුවෙන් ෂැංගි‍්‍ර-ලා හෝටල් හිමිකරුවන්ට රුපියල් කෝටි ගණනක ලාභයක් තිබූ වගය. එබැවින් ඇතැමුන් යෝජනා කරන අයුරු ගෝඨාභයගේ ‘‘වියත් මග’’ උත්සවයට අයිතිකරුවන් ෂැංග්‍රී-ලා හෝටලය නොමිලේ ලබා දුන්නේ නම්, එය ප‍්‍රමාද කර ඔහුට දෙනු ලැබූ අල්ලසකි.           

ඊළග ජනාධිපතිවරණය සඳහා වියත් සිංහල බෞද්ධ නායකයෙකු තේරීමේදී බොහෝ දෙන පමණක් නොව ගෝඨාභයම ඉංග්‍රීසි පුවත් පතකට කියා තිබුණේ මේ යුගයේ ලොව පුරා ජනතාව තෝරා ගන්නේ සම්මතයෙන් බැහැර ඩොනඩ් ට‍්‍රම්ප් වැන්නවුන් බවය. ගෝඨාභයම කියන අයුරු නීතිය අකුරට ක්‍රියාත්මක කළ හැකි ස්ථාවර රටක් වෙනුවෙන් අව්‍යශ වන්නේ එවැනි සම්මතයෙන් බැහැර, නොසැලී නොපැකිලිව තීන්දුගත හැකි නායකයෙකු නම්, ගෝඨාභය රාජපක්ෂට ඇති සුදුසුකම් කවරේද?

ඔහු ඉංග්‍රීසි පුවත් පතකට කියා තිබූ අයුරු මේ රටට හොඳම නායකයා මහින්ද රාජපක්ෂ වුවත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔහුට ඒ අවස්ථාව අහිමිකර ඇති බැවින් ඊළග ජනාධිපතිවරණයෙන් දිනිය හැක්කේ මහින්ද රාජපක්ෂගේ පූර්ණ සහාය ලබන්නෙකුට පමණි. ඔහු සිතා ඉන්නේ ඔහුට ඒ සුදුසුකම ඇත කියාය. එහෙත් එය ගෝඨාභයට ලැබෙන්නේ නැත. ඊළග ජනාධිපතිවරණයෙන් තමන් හැර වෙනත් කිසිවකු ජනාධිපති කිරීමට මහින්ද රාජපක්ෂ සූදානම් නොවනු ඇත. බණ්ඩාරනායක පවුල ජනාධිපති අපේක්ෂක කොබ්බෑකඩුවගේ කකුලෙන් ඇද්දාක් මෙන් තමන්ගේ පවුලේ වෙනත් කෙනෙකෙුගේ කුකලෙන් අදින්නට අපේක්ෂකයෙකු නම් කිරීමට මහින්ද රාජපක්ෂට නොහැක. රාජපක්ෂ පවුලේ අවසාන තීන්දු ගැනෙන්නේ මහින්ද රාජපක්ෂගේ අභිමතය අනුව පමණි. ඒ අභිමතයට අනුව නාමල්ගේ සුදුසුකම් මෝරා සම්පූර්ණ වන තෙක් මහින්දම දේශපාලනය කළ යුතුය. ඔහු පාර්ලිමේන්තු මැකිවරණයක් පසුපස එළවන්නේ එනිසාය.

ඒ පවුලේ දේශපාලනය පැත්තකින් තබා ගෝඨාභයගේ සුදුසුකම් ගැන කතා කළහොත් එය සටහන් කළ හැක්කේ කෙළෙසද? ඉතා කෙටියෙන් එය මෙවැනි ය. (1* මේ රටේ සුදු වෑන් සංස්කෘතියක් බිහි කිරීම (2* මේ රටේ දෙමළ විරෝධයට අමතරව ප‍්‍රචණ්ඩ මුස්ලිම් විරෝධයකට දායක වීම (3* ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය සම්බන්ධව සැකයට පාත‍්‍රව සිටීම (4* හමුදා බලය යටතේ ඝාතන කල්ලියක් තබා ගත්තේ යැයි චෝදනා එල්ලවීම (5* පෝද්දල ජයන්ත ඇතුලූ මාධ්‍යවේදීන් පැහැර ගෙන යාමටත් වධ හිංසා පැමිණවීමටත් චෝදනා එල්ලවී තිබීම (6* අවාන්ට්-ගාඩ් ගනුදෙනු සම්බන්ධව සැකයට භාජනය වීම (7* තම පියා වෙනුවෙන් අනුස්මරණ සංකීර්ණයක් ඉදිකිරීම සඳහා රජයේ මුදල් අපහරණය හා අවභාවිත කිරීම සම්බන්ධව චෝදනා ලැබීම වැනි කිහිපයක් ඇත.

ප‍්‍රසිද්ධියේ කෙරෙන මෙවැනි චෝදනා හමුවේ මුදල් දූෂණ සම්බන්ධයෙන් හා වෙනත් චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමටත් නඩු පැවරීමටත් බෙහෙවින් ඉඩ ඇත. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස නීතිය අකුරට කි‍්‍රයාත්මක කළේ යැයිද රටේ නායකයා ලෙස තේරී පත් වුවහොත් නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නේ යැයිද ඉදිරිපත් වන්නේ නම් නීතිය හමුවට ගොස් තමන්ගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට ඔහු බිය විය යුතු නැත. බැසිල් හා නාමල් රාජපක්ෂ මෙන් නීතිය ඉදිරියේ පෙනී සිටීමට ඔහුද සුදානම් විය යුතුය. එහෙත් එවැනි චෝදනා සඳහා තමන් අත් අඩංගුවට පත්වේ යැයි හැගුණු හැම විටම ගෝඨාභය අධිකරණයේ පිහිටෙන් අත් අඩංගුවට ගැනීමෙන් වැළකින. අද ඔහු එළියේ සිටින්නේද වියත් මග උත්සවයට පැමිණිය හැකි වූයේද අධිකරණයෙන් ලබාගත් අවසරයෙනි.

මෙවැන්නකු ඊළග ජනාධිපතිවරණය සඳහා සූදානම්කර ඉදිරිපත් කරන්නට කොළඹ වියතුන් හා කවර ගණයේ ව්‍යාපාරිකයින් වුව සැළසුම් කෙරුවාට, ගෝඨාභය රාජපක්ෂට නාම යෝජනා දෙන කිසිදු ප‍්‍රධාන පක්ෂයක් නැත. එ.ජා.පයෙන් කිසි දිනක ගෝඨාභයට නාම යෝජනා ලැබෙන්නේ නැත. නැවත වරක් ජනාධිපතිවරණයට නොඑන පොරොන්දු පිට පැමිණි ජනාධිපති සිරිසේන දැන් විශ‍්‍රාම නොයන බව පවසයි. එසේ නොවුනත් ශ්‍රී.ල.නි.පයෙන් ඔහුට නාම යෝජනා ලැබෙන්නේද නැත. ‘‘රාජ යෝග’’ ඇති කිහිප දෙනෙකු එහිද ඇත. මහින්ද රාජපක්ෂට නොහැකි හෙයින් සහ නාමල් රාජපක්ෂ තවමත් කණිෂ්ඨයෙකු වන හෙයින් ඉදිරිපත් නොකෙරුණත් පොහොට්ටුවෙන් ගෝඨාභයට ජනාධිපතිවරණයකදී නාම යෝජනා ලැබෙන්නේද නැත. එබැවින් ඔහුට නාම යෝජනා ඉල්ලා ගත හැක්කේ විමල් වීරවංශගේ හෝ ගම්මන්පිලගේ පක්ෂයෙන් පමණි. එවැනි තේරීමක් නම් ඔහුට ගැලපෙනු ඇත. ඔවුන්ටද මේ දිනවල කර කියා ගත හැකි කිසිත් නොමැති හෙයිනි.

කුසල් පෙරේරා
(ඉරිදා ලක්බිම )

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top