May 22, 2018

ඇයි මේ ගංවතුර

වසර කිහිපයක සිට සෑම අවුරුද්දකම දැන් දැන් දැන් ගංවතුර ගලයි. ගංවතුර සෑම අවුරුද්දකම එන රටාව විමසිල්ලෙන් බලන කල වඩා පැහැදිලි වන කාරණයනම් වැඩිම ගංවතුර වාර්තා වන්නේ නිම්න කිහිපයකිනි. කැළණි ගං නිම්නය "ගිං ගංගා නිම්නය "කලු ගංගා නිම්නය " නිල්වලා නිම්නය " වලවේ ගංගා නිම්නයත්  සෑම වසරකම මේ වන විට ගංවතුර උවදුරට යටවෙමින් ඇත.

ගංගා පරිසර පද්ධතියක් ගැන අවබෝධ කරගත් විට මේ ගංවතුර ඇති වන්නේ කුමන හේතුවක් නිසාද යන්න ඉතාමත් පැහැදිලි කාරණයකි . අප දකින ගංගාවක ගලන ජලය මෙන් තුන්ගුණයක් ජලය ගග දෙපස ඇති ඉවුරු ආසන්නයේ පිහිටි (pools and rifels  ) දිය කදුරු වල පවතී. බොහෝ විට ගංගාවට ජලය එක්කරන මෙම වගුරු බිම්,දියකඩිති , පොකුණු, උල්පත් හා දිය සීරාවන් වසර පුරාම වැස්ස ලැබුනත් නොලැබුනත් ගංගාවට ජලය සපයන ප්‍රධාන ජල පොෂකයන්ය .

qගංගාවක මෙම දියකඩිති කිලෝමීටර් භාගයක සිට ඉවුර ඉස්මත්තටම වන්නට  පිහිටන අතර වැසි කාලයේදි විශාල ජල ගබඩාවක් ලෙස ක්‍රියාකර ගංගාවල ජලය අඩු වන විට එම දිය කදුරු මගින් ගංගා වලට ජලය මුදාහරිනු ලබයි .

ගංගාවක තිබිය යුතු වැසි කාලයට ජලය උරාගන්නා ඉහත පෙන්වා දුන් (pools and rifels)  වගුරු බිමි"දියකඩිති "පොකුණු "උල්පත් හා දිය සීරාවන් අවහිර කල විට හෝ එම බිම් වෙනත් සංවර්ධනය කියාගන්නා විනාශකාරී දෑ සදහා වනසා දැමීම තුළ  වැටෙන ජලය උරාගැනීමට නොහැකිව ගංගාවල ජල මට්ටම ඉහල නංවන අතර ජලය බැස යාමට ඇති ඉඩ කඩවල් තුළින් ජලය බැස යනු ලබයි .

සොබාදහමේ සිද්ධවන සංසිද්ධිය මෙයයි ,මා විසින් ඉහතදී පෙන්වා දුන් කැළණි ගං නිම්නය" ගිං ගංගා නිම්නය "කලු ගංගා නිම්න" නිල්වලා නිම්නය " වලවේ ගංගා නිම්නය" පසුගිය දශකය තුල විශාල වශයෙන් විනාශ කරන ලද අතර එම නිමිනයන් හරස් කර ලද බදින ලද අධිවෙිගී වේල්ල විසින් මෙම නිම්නයන්ගේ ජලය මුහුදට යා නොදී රදාව තබා ගනී. එය මෙම නිමනයන්ගේ ගංවතුර ඇති වීමට බලපාන ප්‍රධාන හේතුවයි.

වෙනදා මෙන් වැස්ස වැටුනද සුළු වරෂාවකදී වූවත් ඉහත පෙන්වා දුන් ගංගා නිම්නයන් ගේ එක්වන ජලය රදවා ගැනීමට තරම් බිම් ඉතිරි වී නොමැත. ජලය බැසයාමට ඇති ප්‍රධානම බාධාව පස් දමා වේල්ලක් ලෙස ගංගා නිම්න හරස් කරන ලද අධිවෙිගී මාර්ගයයි.

සත්‍ය මෙය උවත් විලි වසා ගැනීමට දගලන රජය විසින් මෙම ආපදා තත්වය දේශගුණික විපර්යාසවල ප්‍රතිපලයක් ලෙස පෙන්වා දෙන්නට උත්සහ දරමින් ඇත.

දේශගුණික විපර්යාස යනු දෙවියන් වහන්සේ වැනිය" වගකීම් බාර ගැනීමට හෝ අවබෝධ කර ගැනීමට බැරී විට දෙවියන් පිටින් පටවති.

දෙවියන් තක්කඩියන්ගේ නිර්මාණයකි දේශගුණික විපර්යාස යනු ලෝකයේ තක්කඩිකම් වසා ගැනිමට ගෙනා පරිසර සංහාරය සාධාරණීකරණය කරන වගකීම් බාර නො ගන්නා දෙවියන් වැනි තක්කඩියෙකි.මේ වන විට සිදු වන ගංවතුර හා නාය යෑම් ආපදා සියල්ල දේශගුණික විපර්යාස මල්ලට දමා අත පිහ ගැනීමට පාලකයෝ සමත්ව ඇත.

නමුත් මෙම තත්වය අප රටේ සංවර්ධනය කියා කරන දැවැන්ත පරිසර සංහාරයේ එක් ප්‍රතිඵලයකි. විපතක් සිදු වන තුරු අපේ රටේ මිනිසුන්ට පරිසරය මතක් වෙන්නේ නැත. පාලකයන්ට උවමනා ලෙස සොබාදහම වැනසීමට ඉඩ දී ඔවුහු බලා සිටිති.

අප රට තුල ඇති ගංගා නිම්න 103 අද වන විට මේ දැවැන්ත සංවර්ධනයට හසු වී විනාශ වී යමින් ඇත. සෑම ගංගාවකම ගංවතුර පාලනයට ස්වභාවික නිර්මාණය වූ පොකුණු හා වැඩි වතුර උරා ගන්නා බිම් ඇත. බොහෝ ගංගා වල එම ප්‍රදේශ නිවාස හා සංවර්ධන ව්‍යාපෘති වලට යොදවා ගෙන ඇත. වතුර ගැලීමට ඇති තැන් ගොඩ කර නගර නිවාස නිර්මාණය කිරීම තුලින් සිදුවන ප්‍රතිඵලය වන්නේ ජලය පෙර පරිදිම බැස යන අතර එහි තැනු නගර, හෝ ඉදි කල මාර්ග හෝ වතුරට යටවීමයි. එය දේශගුණික විපර්යාස හෝ වෙන කිසිවක් නොව සාමුහික ගොන් කමක ප්‍රතිඵලයකි.q2

කැළණි ගඟ අවට දැනට වගුරු බිමි සියල්ල විනාශ කර දමා ඇත. මුතුරාජවෙල ජලය මුහුදට ගලන බිම අක්කර දහස් ගණනක් ගොඩ කර විශාල බැම්මක් ලෙස අධිවේගී මාර්ගය තනා ඇත. අද වන විට කොළඔ ගංවතුර තර්ජනයට මෙය ප්‍රධාන හේතුවයි. ලෝක බැංකුවේ අවශ්‍යතාවය මත කොමිස් ගසා කමින් ලොව කිසිම රටක නොකරන ලෙස ලංකාවේ අධිවේගී මාර්ග තනති. අඩුම තරමේ ඉන්දියාවේ පවා සංවේදි පරිසර පද්ධති අසලින් අධිවේගී මාර්ග නිර්මාණය කරන විට එය කණු උඩ තනා පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට ඔවුහු කටයුතු කළහ . නමුත් මුතුරාජවෙල හරහාත් අනික් අධීවෙිගී මාර්ග ඉදිකිරීමේ දීත් එය සිදු කලේ විශාල පරිසර විනාශයක් කරමින් කිලෝමිටරයකට වැලි හා පස් ඝන මිටර් 240,000 ජලය ගලා යන බිම හරහා ගොඩ ගැසීමෙනි. ජලය ගැලීමට ඇති බිම් මෙලෙස හරස් කර විට රට මධ්‍යයයේ වතුර පිරීම නිවාස ජලයට යට වි ජීවිත නැති වීම වැළක්විය හැකිද?
.
මෙම සිදු වන නාය යෑම් ස්වාභාවිකව සිදු වන ඒවා නොව මහා  සංවර්ධනයේ නියත ප්‍රතිඵලයකි. ජල උල්පත් රාශියක් රඳවා ගෙන සිටින මධ්‍ය කඳුකරය හා අවශේෂ කඳු පන්ති ජල ගබඩාවක් සේ ක්‍රියා කරයි. අවශ්‍යය තරම් ජලය රඳවා ගෙන උල්පත් මගින් අනෙක් ජලය ගංගා ඇළ දොළ වලටමුදා හරිනු ලබයි. එලෙස මුදා හරින ජලය නිසි සේ ගලා යාම වැලැක් වූ විට ජල ගබඩා තුළ පස් දිය විම සහ ලිහිල් වීම ආරම්භ වන අතර පස් අංශු අතර තද බැදීමි ලිහිල් වී මහා කඳු නාය යෑම සිදුවේ ( Debris). එය දේශගුණික විපර්යාස නිසා සිදුවන දෙයක් නොව ජලය ගලන මාර්ග කොන්ක්රීට් කිරීම, ඒවාට බාධා කිරීම නිසා ඇතිවන ප්‍රතිපලයයි.

මේ වන විට සංවර්ධනයේ මායාව පෙන්නමින් මාතර-හම්බන්තොට අධිවේගී මාර්ගය, නුවර-කොළඹ අධිවේගී මාර්ගය, මන්නාරම-හම්බන්තොට අධිවේගී මාර්ගය, හම්බන්තොට-අම්පාර අධිවේගී මාර්ගය ලෙස අධිවේගී මාර්ග ඉදි වෙන අතර එය අවසානයේ මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා සාදා නිම කොට ආසියනු අධිවේගී මාර්ග ජාලයට එක් කරනු ලබයි. මෙම අධිවේගී මාර්ග ජාලයට අමතරව රට තුළ නගර අතර අධිවේගී මාර්ග ජාලයක් ඉදි වෙන අතර ඉදිකිරීමට නියමිත මාර්ග වල දිග කි.මි 11697 කි. මේ සෑම අධිවේගී මාර්ගයක්ම ඉදි වෙන්නේ වැලි හා පස් ගොඩ කර කොට්ටාව – පින්නදූව අධිවේගී මාර්ගය ඉදි වූ පරිද්දෙනි.

ගංවතුර පමණක් නොව නියං ආපදා ඇතුළු වෙනත් මහා විපත් වලින් මිනිසුන්ගේ හෝ සොබාදහමේ විනාශය වළක්වා ලිය හැකිද? මළ තැන දී පමණක් හඬ අවදි කර පලක් නැත. ගංවතුර බැස ගියා සේ තව ටික දිනකින් සියල්ල අවසන් වී යාවි යැයි පාලකයන් තමන්ට වුවමනා ලෙස සොබාදහම වනසමින් කොමිස් සංවර්ධනය සිදු කරන විට ජනතාව වෙනදා මෙන් නිර්වින්දනය වී ඉදීවි. මෙම විනාශය පරාජය කිරීමට ජනතාව මැදිහත් නොවන තාක් කල් ගහකොළ සතා සිව්පාවා හා ජනතාවට ජීවිතවලින් වන්දි ගෙවිමට සිදු වනු ඇත.

රවීන්ද්‍ර කාරියවසම්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top