Jun 05, 2018

ලංකට් පටිය ඔළුවෙ දාපු කාලේ ගහපු හැඳිගාන ෂොට් එක !

ක්‍රිකට් අපි පොඩි කාලෙත් ගොඩක් ජනප්‍රියයි. ඒත් අද තරම් තරඟ තිබුණෙ නැහැ. ටීවී එකෙත් හැම මැච් එකක්ම පෙන්නුවෙ නැහැ. අසූ තුනේ වර්ල්ඩ් කප් එක කාලේ ක්‍රීඩා පත්තරෙන් තමයි පිටරටවල ක්‍රිඩකයො ගැන දැන දැන ගත්තෙ.

අපි වැඩියෙන්ම ආස බටහිර ඉන්දිය කොදෙව් පිලට. එ වර්ල්ඩ් කප් එක කාලෙ ඇන්ඩි රොබර්ට්ස්ගෙ බෝලිං ඇක්ෂන් එක තියෙන පින්තුරයක් ක්‍රීඩා පත්තරේ මුල පිටුවෙ පලකලා. අපි ඒක බිත්තියේ අලවල සෑහෙන කාලයක් තියා ගත්ත. ඉතං ඒ කාලේ වර්ල්ඩ් කප් එක ටීවී එකේ පෙන්නුවෙ නෑ. අපි All India Radio එකෙන් සමහර මැච් ඇහුව. ඒ අහන්නෙ නාලකලගෙ ගෙදර. හඬ හරිම අපහැදිලියි. ඒත් කණ ස්පීකරය ලඟ තියාගෙනම අහනව. අන්තිමට වෙස්ටින්ඩීස්ල ඉන්දියාවට පැරදුනාම අපිට හරිම දුකයි. 

 ලංකට් පටියක් ඔලුවෙදාන්..
 
ඉතිං වර්ල්ඩ් කප් එක කාලෙට අපේ ක්‍රිකට් උනත් වැඩි වෙනව. ක්‍රීඩා පත්තරේ තියෙන පින්තූරවල හැඩේට අපිත් එක එක කැටයම් දාගන්නව ක්‍රිකට් ගහද්දි. රිචඩ් හැඩ්ලි හෙඩ් බෑන්ඩ් එකක් දාගෙන බෝල් කරන පින්තූර දැකල අපේ එකෙක් යට ඇඳුමක ඉලාස්ටික් එකක් ඒ විදියට හදල ඔලුවෙ දාගත්ත. දවසක් මේක දාගෙන බෝල් කරන කොට එතැනින් ගිය කොල්ලො දෙන්නෙක් කියනව අන්න බං අරූ ලංකට් පටියක් ඔලුවෙ ගැට ගහගෙන කියල. කොහොම උනත් එදා ඉඳල ඒක නැවතුන. ඊ ලඟට පරණ මේස් කපල රිස්ට් බෑන්ඩ් දාගන්නව, ඉයන් බොතම් වගේ වෙන්න. අපි බොතම්ටත් ආසයි මොනව හරි හේතුවකට. ඔය කාලේ අපි පුවක් කොලවලින් පෑඩ් හදල දාගෙන තමයි බැට් කරන්නෙ. ගමේ අනිත් එවුන් පුවක් කොල පෑඩ් ටීම් එක කියල අපිට නමකුත් හැදුව. 
 
හැඳිගානව වගේ ගහන්න ඔට්ටු නෑ
 
එක දවසක් අපි දෙපැත්තෙම බැට් කරන්න පටන් ගත්තා. වෙනද අපි ගහන්නෙ එක පැත්තක විතරයි. දැං දෙපැත්තෙම බැට් කරද්දි අලුතෙන් හදපු එන්ඩ් එක පිටි පස්සෙ බවුන්ඩ්රි ලයින් එක හරිම ලඟයි. ඒක දෙපැත්තටම පොදු නිසා ගැටලුවක් නැහැ. තිලක්ලගෙ ගෙදර නාලකයි සුමිතුයි තිලකුයි, අපේ ගෙදර මල්ලිලයි මමයි අල්ලපු ගෙදර ඔවිඳයි අපේ පාරෙම ප්‍රියන්තයි තමයි ක්‍රිකට් ගහන්නෙ. හතර හතර බෙදිල ගහනව. මේ ගහන්නෙ පොඩි පටියක් වගේ තැනක. වටේම ගෙවල්. ගස් කැච්, වහල් කැච් ඔට්ටු නෑ. වහල් කැච් කියන්නෙ වහලෙ වැදිල එන බෝල අල්ලන එක. ඉතිං දැං එන්ඩ්ස් දෙකේ ගහන මැච් එක පටන් ගත්ත. දැං නාලක බැට් කරනව. නාලකට හොඳට බැට් කරන්න පුලුවන්. අපේ හිටපු අයගෙන් ප්‍රියන්තට ගොඩක් වේගයෙන් බෝල් කරන්න පුලුවන් හැබැයි මැද කොටනව. ඉතිං ඔන්න ප්‍රියන්ත නාලකට බෝල් කරන්න ගත්ත. නාලක අර අලුත් එන්ඩ් එකේ බැට් කලේ. මැද වැදිල ආපු බෝලෙට නාලක ඩිල්‍ෂාන් ස්කූප් එක ගැහුව වගේම පාරක් ගැහුව. හරියටම කීපර්ට උඩින් හයයි. ප්‍රියන්තගෙ ඊ ලඟ බෝලෙත් ඒ වගේමයි. ආයිත් කීපර්ට උඩින් හයයි. දිල්ෂාන් ස්කූප් එක ගහන්න අවුරුදු විසි පහකට තිහකට කලින් තමයි නාලක ස්කූප් එක ගැහුවෙ. මේක ඇත්තටම නාලක ස්කූප් එක වෙන්න ඕන. ඒත් අවාසනාවකට එදා නාලක ස්කූප් එක අපි තහනම් කලා හැඳි ගානව වගේ ගහන්න ඔට්ටු නෑ කියල.
 
උපුටා ගැනීම
නීතීඥ උපුල් කුමාරප්පෙරුමගේ ෆේස්බුක් පිටුවෙනි 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top