Pasidol

Sathosa

Jun 11, 2018

ගෞතම බුදුන්ගේ දේශයේ දෙව්දත් ආණ්ඩු කොහෙන්ද?

මේ රටේ විසඳුම් අවශ්‍ය බරපතලම ප‍්‍රශ්නය හෝ ප‍්‍රශ්න මොනවාදැයි ඇසූ විට ලැබෙන උත්තරය තීන්දු වන්නේ අසන්නේ කාගෙන්ද හා කොතැනදීද යන්න මතය. ජනාධිපති කඳවුරෙන් ඇසූ විට එය 2020 ජනාධිපතිවරණය සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගොඩ දැමීමය. නැතිනම් ‘‘දින 100 මෝඩ වැඩ’’ නිවැරදි කිරීමය. එසේත් නැතිනම් පෞද්ගලික රූපවාහිනි නාලිකා හීලෑ කිරීමය. අගමැති පාර්ශවයට අතිශය වැදගත් වන්නේ ලෝක සිතියමෙන් ආසියානු රටවල් සොයා යමින් නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමය. නැතිනම් අවුරුදු 40 ක් පුරා අසාර්ථක යැයි ඔප්පු වූ ග‍්‍රාමීය වැඩ සටහන් සමගින් දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකය අලූත් ඇසුරුමක බහා අලෙවි කිරීමය. ඒ වෙනුවෙන් ගම්පෙරැළි කරන්නට ය. උගත් යැයි සම්මත කොළඹ වෘත්තිකයින්ගෙන් හා ජනතාව නියෝජනය කිරීමේ අයිතිය පවරා ගෙන ඇති සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් යැයි කියා ගන්නා මහෞෂධයන්ට අනුව වහා විසඳුම් අවශ්‍ය වන්නේ ඔවුන් චෝදනා නැගූ රාජපක්ෂ යුගයේ නායකයින් අල්ලා හිරේ දැමීමය. ඊළගට, අලූත් ව්‍යවස්ථාවක් හැදීමය. එයින් තවත් කිහිප දෙනෙකුගේ දැවෙනම ප‍්‍රශ්නය බවට පත්ව ඇත්තේ පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් සල්ලි ලබාගත් දේශපාලනඥයින්ගේ නාම ලේඛනය ලබා ගැනීමය. ජ.වි.පෙට අනුව විධායක ජනාධිපති ධූරය අහෝසි කරන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ය.

KusalPerera 670px 29 08 17හතර අත දූෂණය වූ රටක මේ කිසිත් තමන්ගේ ප‍්‍රශ්න නොවේ යැයි ජනතාවගෙන් ඇසූවහොත් ලැබෙන පිළිතුර වනු ඇත. උදය නගරයට එන කිසිවකුගෙන් ඇසුවහොත් ඔවුන් කතා කරනු ඇත්තේ මගී ප‍්‍රවාහනයේ ඇති මහා අවුලය. කලට වේලාවට ගමනක් යා නොහැකි බස් සහ දුම්රිය ගමනා ගමනයේ ඇති විඩාව හා පීඩාවය. තමන්ට යැයි රෝද දෙකේ හෝ සතරේ වාහනයක් ණයවී මිලට ගත් අයෙකුගෙන් ඇසුවහොත් ඔහුගේ හෝ ඇයගේ මැසිවිල්ල වනුයේ කිලෝමීටර තුන හතරක ගමනක් සඳහා පැයක් හමාරක් මහ මග රස්තියාදු වන්නට සිදුව තිබීමය. ගමේ තරුණ තරුණියන්ගෙන් ඇසුවහොත් ඔවුන්ගේ බරපතලම ප‍්‍රශ්නය සාමාන්‍ය ජීවිතයක් සඳහා අවශ්‍ය මාසික ආදායම ගමේ ආර්ථිකයෙන් උපයා ගැනීමට නොහැකිවීම ය. ගමේ පාසලේ ගුරුවරුන් හා පහසුකම් නොමැති යැයි තවකෙකු කියන අතර, ප‍්‍රදේශයේ රෝහල ගැනත් වෛද්‍ය සේවාව ගැනත් තවත් පැමිණිලි ඉදිරිපත් වනු ඇත. සමාජයේ පහළ මට්ටමේ කිසිවකුගෙන් හෝ ඇසුවහොත් ඔවුන්ගේ බරපතලම ප‍්‍රශ්නය වන්නේ ‘‘දැන් නම් දෙවේල කන්න හම්බ කරන එකත් අමාරුයි’’ යන්නය.

උතුරු නැගෙනහිර පැත්තට, විශේෂයෙන් වන්නිකරයට ගියහොත් ඔවුන් අවුරුදු 09 ට පසුවත් තාවමත් යුධ අනාථයින් ය. ඔවුන්ගේ ඉල්ලීම් අතිශය මානුෂීය ඉල්ලීම් ය. ඔවුන් ඉල්ලන්නේ ඔවුන්ගේම ඉඩම් ය. සාමකාමී ජීවත්විය හැකි පරිසරයක් හා ජීවනෝපායක් ය. අතුරුදහන් වූ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ගැන නිවැරදි තොරතුරු ය. චෝදනා නැතිව වසර ගණන් රඳවාගෙන ඉන්නා ඔවුන්ගේ තරුණන් ය.

ඇත්ත නම්, රාජ්‍ය පරිපාලනය ජනතාවට වග නොකියන පිරිහුණු, අකාර්යක්ෂම හා දූෂිත පරිපාලන සේවාවක් බවට පත්ව ඇත. ඒ කතාව එළෙසින්ම පොලීසිය, අධිකරණය වැනි ආයතන ගැනද කිව හැක. මේවා වෙත අවධානය යොමු කෙරෙන, වැදගත් දියුණු සංවාද ඇති කෙරෙන මාධ්‍ය ඇත්තේද නැත. ඒ සඳහා උත්තර සොයන කතිකා හා සංවාද මෙන්ම විද්වතුන් හා වෘත්තිකයින් ඇත්තේද නැත. එහෙත් වල් වැදුණු දූෂිත දේශපාලන පක්ෂ මගින් උත්තර සොයා ගත හැකි යැයි සමාජ මතයක් විශ්වාසයක් මාධ්‍ය හා කොළඹ මහෞෂධලා නඩත්තු කරති. පක්ෂ නායකයෝද සියල්ලට උත්තර ඇත්තේ තමන් ළග යැයි බෙරිහන් දෙති. නිදහසින් පසු පළමු අවුරුදු 30 ක කාලයේ අවශ්‍ය සංවර්ධනය නොවුනු අසාර්ථක කාලයක් වූවත් එකල පක්ෂ නායකයෝ ඔවුන් විශ්වාස කළ සංවර්ධන වැඩපිළිවෙල කි‍්‍රයාවට නැගීමට උත්සාහ කළහ. ඉන් පසු අවුරුදු 40 අප විවෘත ආර්ථිකය සමග ගතකර ඇත්තේ හැම අතින්ම දූෂිත, පිරිහුණු ආයතන, සේවා, පාලන ව්‍යුහ හා දේශපාලන පක්ෂද හදා ගැනීමටය. ඒවාට ගැලපෙන අයුරු නීති රීති හැදීමට හෝ නීති නැවීමට ය.

මේ ආකාරයේ නීති හැදීම හා නීති නැවීම ඇගට නොදැනී කෙරෙන අවස්ථාවක් සඳහා හොඳම උදාහරණය අති ජනපි‍්‍රය නාමධාරී පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමය. 1962 සිට පළමු වසර සඳහා ළමුන් ඇතුළත් කරගනු ලබන්නේ පාසලේ සිට දුර ප‍්‍රමාණය අනුවය. පසුගිය දසක දෙක තුනක සිට ඒ දුර ප‍්‍රමාණය ගණන් හැදෙන්නේ මීටර දෙසීය - තුන්සීය ලෙසින් ය. එහෙත් එවැනි කොළඹ නගරයේ පාසල් වලට අලූත්ගම, ගම්පහ, ඇහැළියගොඩ, හොරණ ආදී ප‍්‍රදේශවල සිට පාසල් සේවා වෑන් පැමිණෙන්නේ මන්දැයි කිසිවකු ප‍්‍රශ්න කරන්නේ නැත. එපමණක්ම නොවේ. හැම ආණ්ඩුවක්ම එවැනි පාසල් වෑන් රථ නියාමනය කිරීමටද ඉදිරිපත් වන්නේය.

මේ සිදුවන මහා බොරුව, වංචාව උදේ හවස ජනතාව ගසා කෑම ජනතාවට තේරුම් නොයන්නේත් ඒවා එතරම්ම එදිනෙදා දිවියේ සාමාන්‍ය දේවල් බවට පත්ව ඇති නිසා ය. මේ හැමකින් මඳක් ඈත්ව විපරම් ඇසින් බැලූවහොත් පසුගිය සති කිහිපයේ වැදගත් නොවන්නේ යැයි කොළඹ වෘත්තිකයින් හා සමාජ කි‍්‍රයාකාරීන් ඉවත දමා ඇති පුවත් අතරින් අහුලා ගත හැකි පුවත් කිහිපයක් මේ රටේ සමස්ථ පිරිහීම කෙතරම් දැයි කියනු ඇත.

පාර්ලිමේන්තුවේ කතානායක හැර මන්තී‍්‍රවරුන් 224 අතුරින් අගමැති ඇතුළුව 41 ක් ඇමතිවරුන් ය. තවත් 24 ක් රාජ්‍ය ඇමතිවරුන්ය. 21 ක් නියෝජ්‍ය ඇමතිවරුන් ය. සාමාන්‍ය මන්තී‍්‍රවරුන් ලෙස ඒ අනුව ඉතිරිව ඇත්තේ 138 කි. ඔවුන්ගෙන් ආණ්ඩුවට සම්බන්ධ මන්තී‍්‍රවරුන් 40 ට ‘‘කංකාණම්’’ මන්තී‍්‍රවරුන් යැයි සාමාන්‍ය වහරේ සඳහන් අමාත්‍යාංශ ‘‘නියාමන’’ මන්ත‍්‍රී වගකීම් පවරා තිබිණ. ඒ වෙනුවෙන් ඔවුනට රුපියල් 50,000 ක අමතර මාසික දීමනාවක් ගෙවූ බවට වාර්තා විය. මන්තී‍්‍රවරයෙකුට රුපියල් 54,000 ක මාසික වේතනයට අමතරව ලබා දෙන වෙනත් දීමනා සහ පහසුකම් වෙනුවෙන් රුපියල් 1,50,000 ක පමණ මහජන මුදල් වලින් වැය කෙරෙන්නේ ය. ඔවුන් පාර්ලිමේන්තුවට නිල වශයෙන් පැමිණිය යුත්තේ මාසයකට දින 09 කි.

ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම් නොලැබුණු ඉතිරි මන්තී‍්‍රවරුන් සියලූ දෙනාම කංකාණම් මන්තී‍්‍රවරුන් කිරීමේ යෝජනාවක් මේ අතර අගමැති ඉදිරිපත් කර ඇත. මෙවර ඒ වෙනුවෙන් මාසිකව රුපියල් 75,000 ක දීමනාවක් ඇතුළත් රුපියල් ලක්ෂ 07 ක පමණ වරදාන මල්ලක් ඔවුන්ට ලබා දෙනු ඇතැයි වාර්තා විය. අගමැති මාධ්‍ය ඒකකය තවමත් ඒ වාර්තා ප‍්‍රතික්ෂේප කර නැත. ජ.වි.පෙද ඒ ගැන කිසිවක් මෙතෙක් කියා නැත. එය කි‍්‍රයාත්මක කිරීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණහොත් අයවැය යෝජනා හා ඇස්තමේන්තු කිසිවක් නැතිව මහජන මුදලින් මාසිකව රුපියල් ලක්ෂ 966 බැගින් ඉදිරි වසර සඳහා ලක්ෂ 11,592 ක් මේ කංකාණම් මන්තී‍්‍රවරුන් වෙනුවෙන් වැය කළ යුතු වන්නේය.

මහජන මුදල් නිල වශයෙන් මංකොල්ල කෑම මන්තී‍්‍රවරුන්ගෙන් නතර නොවන්නකි. අධිකරණ කි‍්‍රයාවලියද අතිශය දූෂිත, අකාර්යක්ෂම හා පක්ෂග‍්‍රාහී කි‍්‍රයාවලියක් බැව් එමට චෝදනා ඇත. එක නඩුවක් සඳහා අවුරුදු ගණන් උසාවිවල රස්තියාදු වන්නට සිදුවන, කල් තබන හැම නඩු වාරයක් සඳහාම නීතිඥයින් කබාය සාක්කුවේ මුදල් බහා ගන්නා අධිකරණ කි‍්‍රයාවලියක, අවුරුදු ගණන් ඇප නොලැබ රිමාන්ඞ් බන්ධනාගාරයේ ඉන්නට සිදුවන, අවුරුදු 16 දී දූෂණයට ලක්වූ දැරිවියකට අවුරුදු 31 ක තරුණියක් ලෙස නඩු තීන්දුව බාර ගැනීමට සිදුවූ අධිකරණ කි‍්‍රයාවලියක තිබිය හැකි සාධාරණත්වයක් නැත. එය අඩු වැඩි වශයෙන් පහළම උසාවියේ සිට ඉහළම උපරිමාධිකරණය දක්වා දැකිය හැකි පිරිහීමකි. එසේ නොවේ නම් අත් අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට අධිකරණ ආවරණයක් ඉල්ලා 2015 මැයි මාසයේදී උසාවි ගිය ගෝඨාභය රාජපක්ෂට ලබා දුන් තාවකාලික ආවරණය තවමත් වලංගු යැයි සහකාර සොලිසිටර් ජනරාල්වරයා 2018 මැයි 31 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට නොකියනු ඇත. එසේ නොවේ නම්, එම පෙත්සම් විභාගයෙන් විටින් විට විනිසුරුවරුන් ඉවත් නොවනු ඇත. එසේ තිබියදී එය නැවත නොවැම්බරයට කල් නොතබනු ඇත. එවැනි අධිකරණ කි‍්‍රයාවලියකට අපහාස කළ හැක්කේ කෙසේදැයි නොදනිමි. එසේ වූවත් මේ අධිකරණ කි‍්‍රයාවලියේ මහේස්ත‍්‍රාත්වරුන්ට හා විනිසුරුවරුන්ට ඔවුන් 2017 වසර අවසන් වන විට ලැබූ වැටුප් හා දීමනා සියල්ලේ එකතුව දෙගුණයක් වන සේ ඉහළ දමන්නට මේ ආණ්ඩුවේ ඇමති මඩුල්ල තීරණය කළහ.

ඒ සමග පරිපාලන සේවාව විරෝධය පෑවේය. රාජ්‍ය සේවාවේ පැවති වැටුප් අනුපාත සියල්ල ඉන් උල්ලංඝණය කෙරුණු අතර වැටුප් විෂමතා ගණනාවක් ඇති විනැයි ඔවුහු පැමිණිලි කළහ. ආණ්ඩුව එයටද එකග වී ඇත. ඒ අනුව වාර්තා වන අයුරු නුදුරු අනාගතයේදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ශී‍්‍ර ලංකා පරිපාලන සේවාවේ සමාන්තර ශ්‍රේණි රාජ්‍ය නිලධාරීන්ට රුපියල් 50,000 ක මාසික දීමනාවක් අනුමත කිරීමේ කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කෙරෙනු ඇත. එම දීමනාව ඔවුන්ගේ විශ‍්‍රාම වැටුප ගණන් හැදීමටද එකතු කෙරෙන්නේ යැයි සඳහන් වන්නේය. මෙය පැහැදිලිවම එතැනින් නතර නොවන්නකි. බිඳ වැටී දූෂිතව ඇති රාජ්‍ය ආයතනවල සැවොම ඒවායේ කාර්යක්ෂමතාව හා ස්වාධීනත්වය ගැන කතා නොමැතිව තමන්ගේ වැටුප් හා දීමනා වැඩිකර ගැනීමට ඉදිරිපත් වනු ඇත. තව දුරටත් ජන ජීවිතයට කිසිදු වැදගත්කමක් නොමැති රාජ්‍ය සේවා වෙනුවෙන් වැඩි වැඩියෙන් බර කර ගසන්නට ජනතාවට සිදුවන්නේ ඔවුන් දන්නේද නැතිවය.

මේ අතර අප නොදැන සිටි තවත් බරපතල වංචාවක් ඇත. ‘‘උපයන විට ගෙවීම’’ නම් බදු කාණ්ඩට අයත් වන සැවොම එම බදු ගෙවිය යුත්තේ තම වැටුපෙනි. එහෙත් පසුගිය කාලය පුරා බොහෝ රාජ්‍ය හා සංස්ථාපිත ආයතනවල එකී බදු කාණ්ඩයට අයත් ඉහළ නිලධාරින්ගේ ‘‘උපයන විට ගෙවීමේ’’ බදු මුදල ගෙවනු ලැබ ඇත්තේ රජය විසින්ම ය. එය පැහැදිලිවම ජනතාවට හිමි විය යුතුව තිබූ බදු ආදායම පිල්ලි ගැසීමකි. මේ හොරකම දේශපාලනඥයින්ගේ අනුදැනුම ඇතිව කොළඹ කේන්ද්‍රීය වෘත්තිකයින් විසින් ඉතා දැනුවත්ව ඔවුන්ගේ වාසිය සඳහා ගෙන ගිය අති දූෂිත කි‍්‍රයාවලියකි. මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි දූෂණ හා වංචා කෙතරම් දුරට ආයතනගතව ඇති දැයි ඒ සියල්ලෙන් කිය වෙන්නේය.

ගෞතම බුදුන්ගේ දේශය යැයි කියන රටේ මේ මහා බොරුව, විනාශය වසා ගෙන නැවත කවුරුන් හෝ සිංහල බෞද්ධ ජනාධිපති අපේක්ෂකයෙකු තෝරා ගන්නේ මහා ආඩම්බරයෙනි. එවැනි සිංහල බෞද්ධ රාජ්‍ය නායකයින් යටතේ මේ රටේ මෙවැනි දේවදත්ත ආණ්ඩු පාලන පත් කෙරෙන්නේද සිංහල බෞද්ධයින්ගේ ඡන්ද වලින් ය. 2020 සඳහා ඇත්තේද එවැනිම සූදානමකි. රටේ ජනතාවගේ මූලික හා ප‍්‍රධාන ගැටළු සම්බන්ධ කිසිදු කතාවක් ජනාධිපති අපේක්ෂකයින් තේරීමේදී නොමැත්තේද එබැවින් ය. සරළව කියන්නේ නම් මේ ගෞතම බුදුන්ගේ දේශයෙහි සිදුවන්නේ වරින් වර රට බාර දීමට දේවදත්තයකු සෙවීම ය.

-කුසල් පෙරේරා-

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top