Pasidol

Sathosa

Jun 12, 2018

ළමා ශ්‍රම විරෝධය පුස්සක්…?

ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය අදයි(12). අද දවසෙත් පසුගිය වසරවල මෙන් ලෝක ළමා ශ්‍රම විරෝධී දින සැමරුම් උළෙලවල් බොහොමයක් රට පුරා සංවිධානය වනු ඇත. මේ සම්බන්ධයෙන් ඔබට නැවත මතක් කිරීමට වැදගත් යයි හඟින කාරණා කිහිපයක් ඇත.

පසුගිය වසරේත් මෙවැනි සැමරුම් උළෙල සහ ප්‍රසංග, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් දිවයින පුරාත්, පාසැල් සහ විවිධ අවකාශයන්හි ත් දක්නට ලැබිණි. මේවා පැවැත්වීමේ අපේක්ෂාවන් සහ අරමුණු ශ්‍රී ලංකාවේ ළමා ශ්‍රමිකයන් සහ එසේ ශ්‍රමිකයන් නිර්මාණය වීම සඳහා ඍජු හා වක්‍ර ලෙස බලපාන්නා වූ සමාජ, ආර්ථික, දේශපාලනික ගතිකයන් පිළිබඳ කෙතරම් දුරකට සවිඥානිකදැයි නැවත සිතා බැලිය යුතු කාරණයකි. මන්ද යත් කොළඹ කේන්ද්‍රීය පාසැල්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් සහ සමාජ සංවිධාන මගින් පවත්වනු ලබන මෙම වැඩසටහන් මහල් නිවාස සහ තවදුරටත් පැල්පත්වල ජිවත් වන සමාජ කොටස් වලට, කුණු කදු ආශ්‍රිතව ජිවත් වන මිනිසුන්ට සහ තවමත් ස්වකීය මිනිස් අයිතිවාසිකම් පිළිබඳව අවිනිශ්චිතව ජිවත් වන උතුරු නැගෙනහිර ජනතාවට යනාදී නොයෙක් වූ පිඩිත ජන කොටස් වලට සන්නිවේදනය වන ආකාරය පිලිබද පැහැදිලි අදහසක් තිබේදැයි යන්න ගැටලු සහගතය. මන්ද අදටත් ලංකාවේ ඉහත සඳහන් ප්‍රදේශවල බහුතරයක් පාසැල් යන වයසේ සිසුන් ළමා ශ්‍රමිකයන් බවට පත් වීමේ විභවයන් දිනෙන් දින ඉහල යමින් පවතින බැවිණි . එසේම ඉහල යන ආර්ථික තත්ත්වයන් මත ස්වකිය දිවි පෙවෙත ආරක්ෂා කර ගැනීමට සහ ජිවන බර මදකට හෝ තුනී කර ගැනීමට මුදල් ඉපියිය යුතු බවට ළමා මනස පවා සීග්‍රයෙන් හැඩගැස්වනු ලබන පරිභෝජනවාදී සමාජ අවකාශයක් නිර්මාණය කර ඇති බැවිනි.

18056629 281783178947298 6333037960858744806 nශ්‍රී ලංකාවේ පනත් හා රෙගුලාසි මගින් යම්කිසි ආකාරයකට ළමා ශ්‍රමිකයන් නිර්මාණය වීමට එරෙහිව බලපැවැත්වෙන නීති පැවතුනද එම නීති පසෙකලා ආර්ථික අවශ්‍යතා අනුව සාමාන්‍ය ජනතාව කටයුතු කරයි. එහිදී දෙමව්පියන් සමග රැකියා ස්ථාන වන තේ වතු, රබර් කිරිකට්ටි, හේන් කුබුරු , යාචක ස්ථාන වැනි තැන් වල පාසල් වයසේ දරුවන් සේවය කරයි.මෙවන් තත්ත්වයන් තුල බස් රථයේ, දුම්රියේ, මහා මාර්ග වල යාචක කර්මාන්තය ළමුන් ලවා පවත්වාගෙන යාම ඉතා සුලභ කාරණයකි. නිවෙස් තුල මෙහෙකාර සේවය සහ ආපන ශාලා වල, පොදු වෙළද පොළ වල ආදී ස්ථාන වල ළමා ශ්‍රමිකයන් සේවය කිරීම සාමාන්‍ය සංසිද්ධියක් බවට පත් වෙමින් පවතී.

ශ්‍රී ලංකාව තුල උක්ත කාරණය සම්බන්ධව පනත් හා රෙගුලාසි කිහිපයක් වේ. ඒ අතර වර්ෂ 1883 දී ගෙනෙන ලද දණ්ඩනීති සංග්‍රහයේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබදව ප්‍රතිපාදන දැක්වේ. තවද 1939 දී පනවන ලද ළමුන් හා තරුණයන් පිළිබදව ආඥා පනතද, 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනීම වැලැක්වීම සදහා වන පනත ද, 1998 අංක 29 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත ද වැදගත් පනත් වේ.

1956 අංක 47 දරණ කාන්තාවන්, යෞවනයන් හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනත විසින් මෙන්ම, එම පනත යටතේ පනවා ඇති රෙගුලාසීන් විසින් ළමා ශ්‍රමිකයන්ට අදාළ නිතිය දැක්වේ. එහි සඳහන් වන රෙගුලාසි පහත පරිදි වේ.

1957 ළමයින් සේවයෙහි යෙදවීම පිළිබඳ රෙගුලාසි
1957 යෞවනයින් සේවයෙහි යෙදවීම පිළිබඳ රෙගුලාසි
1957 යෞවනයින් කර්මාන්ත ආයතනයන්හි රාත්‍රී කාලයේ සේවයෙහි යෙදවීම පිළිබඳ රෙගුලාසි
04. 1957 යෞවනයින් මුහුදු සේවයෙහි යෙදවීම පිළිබඳ රෙගුලාසි
රෙගුලාසි යටතේ පනවන ලද පහත නීති ඉතා ගැබුරින් අධ්‍යයනය කළ යුතු කාරණා රැසකින් සමන්විතය. මන්ද මෙම නීති සමහරක් උක්ත අර්බුධයටම සේවය කරන්නේදැයි සිතීමට පොලබවන බැවිණි.

වයස අවුරුදු 12 ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්ය.
වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයින් 3 න් වන රෙගුලාසියට අමුණා අති උපලේඛණයේ සඳහන් රැකියා 26 හි සේවයෙහි යෙදවිය නොහැක.
කම්කරු කොමසාරිස්වරයාගේ ලිඛිත අවසරය නොමැතිව ළමයකු සිනමා චිත්‍රපටියක හා ටෙලි නාට්‍යයක රඟපෑමෙහි යෙදවිය නොහැක.
ළමයෙක් කිසිම දිනයක උදේ 00 සහ රාත්‍රී 8.00 අතර කාලය තුළ පැය 4 ක වත් විවේකයක් නොලැබෙන ආකාරයට ගෘහ සේවයේ නොයෙදවිය යුතුය.ගෘහ සේවයේ යෙදෙන ළමයෙකුට රාත්‍රී 8.00 සිට උදෑසන 6.00 දක්වා නොකඩවා පැය 10 ක විවේකයක් ලැබීමේ අයිතිය ඇත.
සෑම තුන් මසක කාලයක් තුළම අවම වශයෙන් පිට පිට දින 7 ක් නිවාඩු ලබා ගැනීමේ අයිතිය සෑම ළමා ගෘහ සේවකයෙකුටම ඇත. යෞවනයකුට එසේ නිවාඩු ලබා ගත හැකි වන්නේ සිව් මසකට වරක් පමණි.
ඉහත රෙගුලාසි පැවතියද ඒවායේ පවතින සිමා කිරීම් සහ නෛතික කාරණා වලද අවශ්‍යතා පරිදි රිංගා යා හැකි වගන්ති ඇත. නිදසුනක් ලෙස මෙම රෙගුලාසිය දෙස අවධානය යොමුකර බැලිය හැකිය.

“වයස අවුරුදු 14 ට අඩු පුද්ගලයින් 3 වන රෙගුලාසියට අමුණා ඇති උපලේඛණයේ සඳහන් රැකියා 26 හි සේවයෙහි යෙදවිය නොහැක.”OB UI399 ilabor G 20120828095407

මෙහි ඇති ගැටලුව වන්නේ අවුරුදු 12 ත් 14 ත් අතර ළමයින් උපලේඛණයේ සඳහන් රැකියා 26 ට නොගැනෙන, එහෙත් ළමයින්ට අනතුරැදායක හෝ ඔවුන්ගේ සදාචාරයට හානිකර එවැනිම වෙනත් රැකියාවල යෙදවීම කළ හැකි ද යන්නයි. මෙහිදී නැවත වටයකින් නීතිමය කොන්දේසි යටතේම ළමා ශ්‍රමිකයන් බිහිවීම නොනැවැත්විය හැකි ගැටළුවක් බවට පත් වේ.

මෙහි ඇති අනෙක් ප්‍රබලතම ගැටලුව වන්නේ උක්ත පනත් හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ පිළිවෙළ හෝ රෙගුලාසි කඩ කරන්නන්ට ලැබෙන දඬුවම් හෝ රෙගුලාසි වල දක්වා නොතිබීමය. කෙසේ වුවද රෙගුලාසි කඩ කර ළමයකු සේවයේ යෙදවීම, රු. 1000.00 කට නොවැඩි දඩයකින් හෝ හය(6) මසකට නොවැඩි සිර දඬුවමකින් හෝ ඒ දෙකම මඟින් දඬුවම් කළ හැකි වරදක් බව පනතේ 14 (බී) වගන්ති මඟින් දක්වයි.

අධ්‍යාපනය ලැබිය යුතු වයසේ මෙම ළමුන් ට නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතීන් සහ දැනුමෙන් සමන්විත ශිෂ්ට මිනිසකු බවට පත් වීමේ අධ්‍යාපනික ප්‍රවේශය නොලබීම සහ සදහටම අධ්‍යාපන අයිතිය අහිමි වූවකු ලෙස ජිවත් වීමට සිදු වනු ඇත. අතෝරක් නොමැතිව මුදල් පසු පස හබා ගිය ළමා ජිවිත තරුණ විය එළබීමෙන් අද්‍යාපනය, ළමා ජීවිතය අහිමි වූවකු ලෙස සමාජගතව අනවරත ජිවන අරගලය ගමන් ගන්නා දිසාවට ගමන් කරයි. මෙහි ඇති අර්බුධය නම් සමාජගත දුෂණ ක්‍රියාවන්හි නිරත වීමට වැඩි ඉඩක් හිමි කර ගන්නා මොවුහු මෙම සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන් විසින් ම නිර්මාණය කරන ලද දූෂණ ක්‍රියාවකට චුදිතයකුව මෙම සමාජයේම සිපිරි ගෙවල් අවකාශය පිරවීමය.

අප අසල්වාසී ඉන්දියාවද පසුගිය වසර කිහිපය තුළ ළමා ශ්‍රමිකයන් පිලිබඳ නීති රීති ලිහිල් කරමින් ළමා ශ්‍රම සූරාකෑම දිරිගැන්වීම සදහා එන සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දීම හේතුවෙන් දැඩි ලෙස චෝදනාවට ලක්වූ රටකි. එහිදී ඔවුන් සඳහන් කර තුබුණු සංශෝධනයන් වන්නේ වයස අවුරුදු 14 ට අඩු ළමුන් සේවයේ යෙදවීම තහනම් කර ඇති නමුත් ‘පවුලට සම්බන්ධ සහ පවුලේ ව්‍යාපාර’ වල වැඩ කිරීම සඳහා ළමුන් ට හැකි වන නීති සම්පාදනයයි. මෙහි දී ස්වකීය පවුල් පරිසරය තුළම පාසැල් වයසේ ළමුන් විශාල ලෙස ළමා මෙහෙකාර සේවයේ යොදවනු ලැබීම තවත් පුළුල් ලෙස නිත්‍යානුකූලභාවයකට පරිවර්තනය විය. මෙහිදී දක්නට ලැබුණු ඛේදනීය තත්ත්වය නම් පාලන තන්ත්‍රයන් විසින් නිර්මාණය කරනු ලබන අසමතුළිත සහ හිතුවක්කාර ආර්ථික ප්‍රතිපත්ති අභිමුව දරිද්‍රතාවයෙන් ආර්ද්‍ර වූ දුප්පත් නිර්ධන සමාජ කොටස් විසින් අධ්‍යාපන සිහින පසෙකලා තම දරුවන්ද ළමා ශ්‍රමිකයකු බවට පත් කර ගන්නා ලදී. ඒ අනුව එම ළමුන්ට ළමා අවධිය නම් පියවර අතහැර ළමා ශ්‍රමික නම් පියවරට පැන ස්වකිය පවුලේ වැඩිහිටියන් සමග මහා මාර්ග වල, විශාල ගොවිපොළවල් සහ කර්මාන්තශාලා වල සේවය කිරීමට සිදු විය. එසේම නව යෝජනා මගින් එතෙක් වයස අවුරුදු 15 සහ 18 අතර ළමුන් විසින් නොකළ යුතු රැකියා ලෙස තහනම් කර තිබූ සංඛ්‍යාවද අඩු කරන ලදී. මෙහිදී පැහැදිලි වන කරුණක් වන්නේ මෙම අර්බුධය යම් කිසි ආකාරයකට කලාපීයව මෙන්ම ගෝලීයව ද ඉතා නරක තත්ත්වයක් කරා ගමන් කළ හැකි බවයි.

ඉහත කාරණා අනුව පෙනී යන්නේ යම් කිසි ආකාරයට ළමා ශ්‍රමිකයන් සේවයේ යෙදවීම සහ එම යෙදවීමට සම්බන්ධ ආර්ථික සමාජයීය සහ දේශපාලනික ත්ත්වයන් පිළිබඳව බලධාරී සහ සැමරුම් දින බහුතරයක් සංදර්ශනයන් පමණක් කේන්ද්‍ර කරගත් අර්බුධ සාමාන්‍යකරණය කරන්නන්ගේ ඇති අවධානයේ ඌනතවයයි. ළමා ආරක්ෂණ අධිකාරිය ඇතුළු සියලුම උක්ත විෂයික කාරණා සම්බන්ධ නෛතික රක්ෂණයන් තිබියදීත් 2016 වසර වන විට ශ්‍රී ලංකාව තුළ ළමා ශ්‍රමිකයන් 107,000 ඉක්මවන සිටින බව ජාතික ළමා රක්ෂන අධිකාරිය පැවසිය.

මෙවන් ශ්‍රී ලංකාවක අදත් අපි ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය සමරමු ද?..

2018.06.12

– කල්ප මදුරංග-

(වැඩබිම_

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top