Pasidol

Sathosa

Sep 09, 2018

වික්ටෝරියානු 'සදාචාරයට' එරෙහි මංගලගේ ට්විටර් සටහන !

ගල් යුගයේ, වික්ටෝරියානු යුගයේ හෝ ගෝත්‍රික යුගයේ මනස් සහිත ජනතාව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දෙස බිරන්තට්ටු වී බලා සිටියදී ලංකාවේ එකම එක දේශපාලනඥයෙකුට පමණක් ඒ පිළිබඳ සිය ප්‍රගතිගාමී අදහස ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රසිද්ධියේ කියා පාන්නට කොන්දක් තිබුණේය.

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය, පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් හරහා 2013 වසරේදී සමරිසි හැසිරීම් සාපරාධී බවට දී තිබූ තීන්දුව ආපස්සට හරවමින් අතිශය ප්‍රගතිගාමී නඩු තීන්දුවක් ලබාදුන්නේ මෙයට දෙදිනකට පෙර ය. එයට අනුව ඉන්දියාව තුළ මින් ඉදිරියට සමරිසි ‘හැසිරීම්‘ අපරාධයක් නොවේ. එය පුද්ගලිකත්වය හා ස්වභාවිකත්වය පිළිබඳ කාරණාවකි.

ලංකාවේ මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා ‘වික්ටෝරියානු වෙරි මතයෙන් ඉන්දියාව මිදීම පිළිබඳ ඉන්දියාවට සුබ පතමින්‘ ට්වීට් කර නොබෝ වේලාවකින්ම හෝමෝ ෆෝබියාවෙන් පෙළෙන ඇතැම් පුද්ගලයන් සහ මාධ්‍ය නොසෑහෙන්නට කුලප්පු විය. 

රට පටලවා ගන්නට ලංකාවේ මාධ්‍ය කොහොමටත් ප්‍රසිද්ධ ය. ඒ අනුව ඔවුන් හෙඩ්ලයින්ස් ගහන්නට පටන් ගත්තේ, ‘‘අන්න මංගල ඇමති ආයෙත් සමලිංගික විවාහ නීතිගත කරන්නට හදනවෝ..“ යැයි අඳබාල ලෙස කෑ ගසමිනි.
Screenshot 16මංගලගේ ට්විටර් සටහන 

‘සෙනග‘ට මේ තරම් පැටලෙන්නේ ඇයි?

මේ වියවුල කුමක්ද? ‘සමරිසි හැසිරීම්‘ සහ ‘සමරිසි විවාහ‘ පටලවා ගන්නට තරම් මේ මාධ්‍ය තොත්ත බබාලාද? මේ කියන්නේ එකිනෙකට වියුක්ත කාරණා දෙකක් බව වටහාගන්නට තරම් ඔවුන්ට අවදි බුද්ධියක් නැතිද? 

නැතිනම්, 2017 වසරේදී මංගල ඇමති, ඉන්දියාව මහා ජන අරගලයක් හරහා කළ මේ දෙය, එදා සරල කැබිනට් පත්‍රිකාවක් හරහා කිරීමට යාමේදී ඇති වූ, නොඑසේ නම් ‘ටිපිකල්‘ මාධ්‍ය විසින් ඇති කළ මහා කලබගෑනිය ඔබට මතකද? 

එදා මංගල, සමරිසි හැසිරීම් සාපරාධී නොවන බවට කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමෙන් කරන්නට හැදුවේ අද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මාස ගණනක් තිස්සේ වෙහෙස වී, පිටු හාරසිය ගණනක නඩු තීන්දුවක් මගින් කළ දෙයයි. 

එදා මංගල උත්සාහ ගත්තේ, සමරිසි හැසිරීම්වල සාපරාධී භාවය ඉවත් කර, සුද්දන් යටත් විජිත කාලයේ පාදඩ ආඥාපනත වැනි හිඟන්නන් අල්ලන්නට ගෙනා නීති යොදාගනිමින් ලංකාවේ පොලිසිය අදටත් සිදුකරන සමරිසියන් අත්අඩංගුවට ගැනීම් හා ඔවුන් ට හිංසා කිරීම් වළක්වන්නට ය. 

නමුත් අඳෝමැයි! ‘සමරිසි‘ කිව් විටත් කුපිත වන තරමේ බරපතළ සමරිසි ෆෝබියාවකින් හෙවත් හෝමෝ ෆෝබියාවකින් පෙළෙන හුදී ලාංකිකයා මෙය වටහාගත්තේ ‘‘අන්න මංගල ඇමති සමලිංගික විවාහ නීතිගත කරන්න හදනවෝ“ ලෙස ය.

සමලිංගික හෝ සමරිසි හැසිරීම් යනු මොනවාද?
4713D61400000578 5155691 image a 27 1512649722487     ‘සමරිසි හැසිරීම්‘ සහ ‘සමරිසි විවාහ‘ පටලවා ගන්නට තරම් ලංකාවේ ඇතැම් මාධ්‍ය තොත්ත බබාලාද?

ඉතින් අද මංගලගේ ට්විටර් පණිවුඩය හරහා සිදුවෙමින් තිබෙන්නේ එදා ඔහුට ‘සෙනඟ‘ විසින් දැක්වූ නිර්ලජ්ජිත සංග්‍රහයේම මීළඟ අදියර ය. එදත් සෙනගට පැටළුණේය. අදත් පැටළුණේය. ඉතින් ලංකාවේ සෙනඟ මේ හැටි රට පටලවාගන්නේ ඇයි? මේ පටලවා ගැනීම තුළ තිබෙන ජාගර කුණු රසයට ඔවුන් ඉතා ලොල් නිසා ය. ඒ කුණු රසය මාකට් කරන්නට ලේසි බව ජනමාධ්‍ය ද දන්නා නිසා ය.

සමලිංගික හෝ සමරිසි හැසිරීම් යනු මොනවාද? සමාජ සම්මතය යැයි අප සිතාගෙන සිටින පටු සන්දර්භය තුළ මේ ලෝකයේ සිටිය යුත්තේ ගැහැණුන් සහ පිරිමින් පමණි. එයට කියන්නේ Gender binary හෙවත් ස්ත්‍රී පුරුෂ ද්විත්වවාදයයි. 

මේ වාදය යල් පිනූ එකක් බවත්, කිසිම විද්‍යාත්මක පදනමක් එයට නැති බවත්, එය හිමිකම් කඩ කරන බවත් කියන්නේ අප පමණක් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එය එසේ බව කියයි. එයට හේතුව, යථාර්ථය එය නොවන නිසා ය. 

නමුත් ලෝකය මේ අන්දමින් ඉදිරියට ඇදී යද්දී, ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අයත් නොවන වෙනත් සමාජභාවයන් සමාජයේ තිබෙන බව තවමත් ලංකාව වැනි රටවල ‘සෙනඟ‘ නොසිතයි. නොසිතන්නේ ඇයි? සිතන්නට බය නිසා ය. තමන්ටම බය නිසා ය.

සුද්දා එකල සිටියේ ගල් යුගයේ :

එය වනාහී වික්ටෝරියානු යුගය විසින් නොව, සියවස් ගණනක් මුළුල්ලේ වැඩවසම් සමාජ ක්‍රමය විසින් අප වෙත උරුම කර දුන් දායාදයකි. වික්ටෝරියානුවන් වෙත අප දොස් නොකියන්නේ ඔවුන් හැම යටත් විජිතයකටම ආදේශ කළේ ‘‘තත් කාලයේ බලපැවැත්වූ වික්ටෝරියානු නීතිය‘ වීමයි. 

ඒ කාලයේ සුද්දා හිතුවේ එක ගෙයි කෑමත් ලැජ්ජ නැති වැඩක් ලෙස ය. සමරිසි හැසිරීම් ද ලැජ්ජා නැති වැඩක් ලෙස ය. එසේ සිතූ සුද්දා ලංකාවට මෙන්ම ඉන්දියාවට ද දායාද කළේ ඒ කාලයේ එංගලන්තයේ බලපැවැත්වූ දණ්ඩ නීතියයි. 

ඒ අනුව ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (ආ) වගන්ති මගින්ද, ඉන්දියාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මගින් ද සමලිංගික හැසිරීම් සාපරාධී වරද බවට පත් කළේය.

නමුත් පසුව සුද්දා පරිණාමය වුණේය. ඔහු තමන් සිතන පතන හැටි, සමාජයේ අවශ්‍යතාවන්ට අනුව වෙනස් කර ගත්තේය. ඒත් අනේ අපි වෙනස් වන්නට කැමති නැත. අපි හෙන අචල ජාතියකි! ඒකට ඇතැමුන් කියන්නේ ජාතික අභිමානය කියා ය. 

ඒ ‘අභිමානයේ‘ තරම කෙතෙරම් ද යත්, අපට දණ්ඩ නීති සංග්‍රහය දායාද කළ සුද්දා, ස්කොට්ලන්තය, එංගලන්තය සහ වේල්සය යන මහා බ්‍රිතාන්‍යයේ පරිපාලන ඒකක ත්‍රිත්වය තුළම පසුකාලීනව සමරිසි හැසිරීම් සාපරාධී නොවන බවට පත් කළේය. 

නමුත් වෙනස් වන්නට අකමැති අපි, දැනටත් කිහිල්ලේ ගසාගෙන යන්නේ එදා සුද්දා අපට දුන් දණ්ඩ නීති සංග්‍රහයයි. ඔන්න අපේ ජාතික අභිමානේ...!

ලංකාවේ ජනගහනයෙන් 20%ක්ම සමරිසි හෝ සමකාමී !!!

රටක් දියුණු වනවා කියන්නේ ඒ රටේ ගොඩනැගිලි හා පාරවල් ඉදිවනවා, පුළුල්වනවා පමණක් නොවේ. රටක ජාතික චින්තනයද ප්‍රගතිගාමී අයුරින් දියුණු වීමයි. ඒ අතින් ලංකාව දියුණු වන්නේ ආපස්සට ය. මේ සමරිසි භීතිකාවෙන් තවමත් පෙනෙන්නේ එයයි. 

මේ වන විට ලාංකීය සමාජයේ සමරිසි භීතිකාව කොතරම් උත්සන්න වී ඇත්ද යත්, ‘සමානාත්මතාවය‘ කියන වචනය පවා සෙනගට ඇලජික් ය. ඔවුන් සිතන්නේ සමානාත්මතාවය කියූවත්, පෙර පාසල් දරුවන්ට ‘සමබව‘ උගන්වනන්ට යන බව කිව්වත්, සමලිංගිකත්වය බෝ කරන්නට යන බව ය.!

සැබවින්ම සමරිසිබව හෝ සමලිංගිකත්වය එසේ ‘බෝ‘ කළ හැකි දෙයක්ද? කොහෙත්ම නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය සමරිසි බව/සමලිංගිකත්වය/සමකාමිත්වය අර්ථ දක්වන්නේ පුරුෂයෙක් - පුරුෂයෙක් අතර හෝ ස්ත්‍රියක් -ස්ත්‍රියක් අතර හෝ ඇතිවන මානසික ආකර්ෂණයක් හෝ මානසික බන්ධනයක් ලෙස ය. මෙය අතිශය ස්වභාවික කාරණයක් බව ජීව විද්‍යාඥයෝ පුන පුනා කියති. 

මතක තබාගන්න, දහසක් සමාජයීය තහංචි මැද දැනට සිදුකර ඇති LGBT පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ ලංකාවේ ජනගහනයෙන් 20%ක්ම සමරිසි හෝ සමකාමී ගණයෙහිලා සැලකිය හැකි බව ය. ඉතින් ‘සෙනග‘ මේ සමච්චල් කරන්නේ සෑම පුරවැසියන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකුට ය. 

එය කිසිසේත්ම රෝගයක් නොවන අතර, බෝවන්නක් ද නොවේ. එය උපතින් හෝ පරිසරය විසින් උරුම කර දී තිබෙන්නකි. අපේ අසල්වැසියා සමරිසි වූ පමණින් අප ද සමරිසි වන්නේ නම්, එහි තේරුම සමරිසි නැමියාවක් අප තුළද තිබෙන බව මිස, ඊට අසල්වැසියා මරාගෙන කෑ යුතු බව නොවේ!

කකුල් වෙව්ළන හේතුව ?

මේ අතර, ‘සමරිසි විවාහ‘ ගැන කියන විට ‘කට්ටියගේ කකුල් වෙව්ළන්නට පටන් ගන්නේ ඇයි‘දැයි ගැඹුරින් විග්‍රහ කර බලමු. ලංකාවේ ‘කොළයේ අත්සන් කරන විවාහ“ සංස්කෘතික පවුලේ පැවැත්ම ලෙස නීතියෙන් සලකයි. ලංකාවේ පමණක් නොව ලොව පුරාම සංස්කෘතික පවුල් බිඳ වැටීමේ ප්‍රවණතාවක් ඇති බව නොරහසකි. 

‘ගැහැණියක‘ සහ ‘පිරිමියෙකු‘ ලෙස ඉපදෙන විටම සමාජය විසින් ලේබල් ගැසූ දෙදෙනෙකු එක ගෙයි වසන්නට පටන් ගත් විට ඇති වන ‘සංස්කෘතික පවුල් සංස්ථාව‘ බිඳ වැටෙන්නට දහසක් හේතු බලපායි. ඉතින් මහ ලොකු සංස්කෘතික රටක් වන අපේ, සංස්කෘතික පවුල් බිඳ වැටීමේ ප්‍රවණතාවය ගැන අදහසක් ලබාගන්නට සතියේ දවසක දිසා අධිකරණයකට යන්න. ‘ගැහැණුන් සහ පිරිමින් බෝ සතුටින් සිටිනවා‘ යැයි සිතීමේ මුළාව එවිට හොඳින් පෙනී යනු ඇත. 

ඒ අව් අස්සේ, සමලිංගික විවාහත් නීතිගත කරන්න හදනවෝයි කට්ටිය සාතිශය සංවේගයකට පත්වීම සහේතුක ය. ඉතා සරලව කියන්නේ නම් මෙතැනි තිබෙන්නේ සංස්කෘතික ගැහැණු-පිරිමි පවුල රැක ගත නොහැකි රට්ටු, ගැහැණු-ගැහැණු හෝ පිරිමි-පිරිමි පවුල් ඊට වඩා සාර්ථක වේ යැයි භීතියට පත් වීමකි!

නමුත් බිය නොවන්න. සම්ප්‍රදායික පවුල් සංස්ථාව නීතියේ රාමුව තුළ මතු නොව සමාජයීය රාමුව තුළ ද රැක ගන්නට බැරි රටක සමරිසියන්ට විවාහ ගැන සිතන්නට තව සියවසකින්වත් නොහැකි වනු ඇත. මේ යථාර්ථය දන්නෝ, සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් මිස සමරිසි විවාහ වෙනුවෙන් සටන් නොකරති. 

සැබවින්ම ලංකාවේ සමරිසි විවාහ අයිතිය වෙනුවෙන් සටන් කරන සමාජ ව්‍යාපාරයක් ද නැත. ඉතින් ‘නැති බිල්ලෙක්‘ මවා පාන්නට මාධ්‍යයට තිබෙන අයිතිය කුමක්ද?

පටලවා ගන්නට ඇති කැමැත්ත:

ඇත්තටම අප මේ කාරණා දෙක මේ තරම් පටලවා ගන්නේ ඇයි?

මිනිස් සමාජයේ ඇත්තේ ස්ත්‍රී යැයි, පුරුෂ යැයි ස්ත්‍රී පුරුෂ සමාජභාව (Gender) දෙක පමණක් යැයි විශ්වාස කිරීම ස්ත්‍රී පුරුෂ සමාජභාව ද්විත්වවාදය යි (Gender binary). මෙය වැරදි අදහසකි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය (Gender) යන්න තුළ පුළුල් පරාසයක පිහිටන විවිධ ස්ත්‍රී පුරුෂ සමාජභාව ප්‍රකාශනයන් (Gender expression) සහ අනන්‍යතාවයන් (Gender Identity) ඇත. 

මේ විවිධත්වය දියුණු ලෝකය විසින් අගය කරද්දී, අප විසින් ද සිතා මතාම රාමුකට කොටු වීම විසින් නිර්මාණය කර තිබෙන මානව ඛේදවාචකයන්ට අප සංවේදීද? 

වරක් රත්නපුර නගරයේ සමරිසි තරුණයෙකු සිය සහකරු සමග සිටියදී පවුලේ අයට හසුවිය. පවුලේ අය ‘වරිග සභාව‘ට හෙවත් නෑදෑ සනුහරයට මේ අවනඩුව දැනුම් දුන්නේය. ඉතින් අතිශය සම්ප්‍රදායික වරිග සභාව විසින් පෙර කී තරුණයා මානසිකව බිංදුවට වට්ටවා ඔහුට ‘පොන්නයා‘ යැයි කියා ඔහුගේ කතාන්දරය සමාජය පුරා පැතිරවීමේ අවසන් ප්‍රතිඵලය වූයේ ඒ තරුණ ජීවිතය මහ දවාලේ සිය දිවි නසාගැනීමයි.

වස පානය කළ ඒ තරුණ ජීවිතය, තමන් මැරී බිම ඇද වැටෙන තෙක්ම නගරය පුරා දිව් බව ද වාර්තා විය. අවසානයේ රටට වැඩක් කළ හැකිව තිබූ, රටේ ආර්ථිකයට වැඩක් ගත හැකිව තිබූ තරුණ ජීවිතයක් රටට පැය කිහිපයක් ඇතුළත අහිමි විය. 

sanath10

සනත් කුමාරට පොලුවලින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබිණ.

සනත් කුමාර නොහොත් දඹුල්ලේ සංක්‍රාන්ති ලිංගිකයා කිසියම් අයෙකු විසින් පහර දී මරා දමා, මේ වන විට හරියටම අවුරුද්දකි. රටේ ජනමාධ්‍ය විසින් ඒ පුවත වාර්තා කර තිබූ ලැජ්ජා සහගත ආකාරය නැවත සිහිපත් කරන විට පවා ඇතිවන්නේ අපට අප ගැනම ලැජ්ජාවකි. 

බොහෝ මාධ්‍යයන්ට එදා හෙඩ්ලයින් එක බවට පත් ව තිබුණේ මිය ගිය තැනැත්තා සංක්‍රාන්ති ලිංගිකයෙකු වීමටත් වඩා, මිය යන විට එම තැනැත්තා ‘ගැහැණු ඇඳුම් ඇඳ සිටීම‘යි. අප ඔවුන්ට සලකන්නේ ඒ අන්දමිනි. 

එනිසා අප පිළිගත්තත් නැතත්, සමස්තයක් ලෙස ගත්විට මේ රට, පරපීඩක කාමුකත්වයෙන් සහ හෝමෝ ෆෝබියාවෙන් පිරිපුන් දේශයකි.

සෙනගක් මිස ජනතාවක් නැති රටක්!

ලංකාවේ කොහොමටත් ඉන්දියාවේ බලවත් සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයක් නැත. ඉන්දියාවේ මිනිස්සු සිය අයිතිවාසිකම් වෙනුවෙන් ඉතිහාසය පුරාම අරගල කරති. ලංකාවේ අයියලා අරගල කරනවාට වඩා කැමති ගේම් ගහන්නට ය. එසේත් නැතිනම් එදා 48 දී නිදහස එළිවන විට අහසින් ගෙට වැටුණාක් මෙන්, තමන්ගේ අයිතිවාසිකම් ද බන්දේසියක දමා පිළිගන්වන තෙක් ඔවුහු බලා සිටිති.

එයට හේතුව ඉතා සරල ය. සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාර බිහිවන්නේ ජනතාව තුළිනි. නමුත් ලංකාවට ජනතාවක් නැත. සිටින්නේ සෙනගකි! 

ජනතාවට හෘද සාක්ෂියක් තිබේ. විචාර බුද්ධියක් තිබේ. සෙනගකට මේ දෙකම නැත. නමුත් සෙනග වහා ඇවිස්සෙන සුලු ය. කුපිත වන සුලු ය. ඇතැම් මාධ්‍ය විසින් හෝමෝෆෝබියාව ඉස්සරහට දමන්නේ ලංකාවේ ජනතාවක් සිටියි නම්, ඒ ජනතාවට වඩා වැඩි ප්‍රමාණයක ‘සෙනගක්‘ සිටින නිසා ය.

අගවිනිසුරු දීපක් මිස්රා ගේ ප්‍රකාශය ඓතිහාසිකයි :

dipak misra imahe
"රටක නීති පද්ධතියක ඇති කඩතොළු වසා ගන්නට නීතිය හදන තැන හෙවත් ව්‍යවස්ථාදායකය උත්සුක නොවෙන්නේ නම්, අධිකරණයට නඩු තීන්දු හරහා ඒ දෙය කිරීමට කොන්දක් තිබෙන බවට සහතිකයක්"  - අගවිනිසුරු දීපක් මිස්රා

ඉන්දියාවේ නෑෂ් පදනම වැනි ආයතන සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයට ගියේ වරක් දෙවරක් නොවේ. ඔවුහු 2009 වසරේදී දිල්ලි මහාධිකරණයෙන්, සමරිසි භාවය සාපරාධී නොවේ යැයි ප්‍රකාශයට පත් කරවා ගත්හ. 


නමුත් 2013 වසරේදී ඉන්දියාවේ ශ්‍රෙෂ්ඨාධිකරණය එය ආපස්සට හරවමින් එවැනි යල්පිනූ නීති වෙනස් කරන්නේ නම්, ‘එවැනි අක්‍රමවත් නීති පිළිබඳ තීරණ ගැනීම‘ පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක් බව කීවේය.

 ඉතින් පාර්ලිමේන්තුවේ සිටින්නේ මහජන නියෝජිතයන් ය. ඉන්දියාමේ මහජන නියෝජිතයන් ද ලංකාවේ බහුතර මහජන නියෝජිතයන් මෙන්ම මේ තරම් දෙයක් කරන්නට ‘කොන්දක්‘ තිබෙන අය නොවේ. 

ඒ නිසා, 2018 වසරේදී පෙත්සම්කරුවන් 5 දෙනෙක් විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට නැවත මේ කරුණ ගෙන ආහ. ශ්‍රේෂ්ඨාධිකරණ අග විනිසුරු දීපක් මිස්රා මෙවර එම තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සිදුකළ ප්‍රකාශය ඓතිහාසික ය.

ඔහු රටක නීති පද්ධතියක ඇති කඩතොළු වසා ගන්නට නීතිය හදන තැන හෙවත් ව්‍යවස්ථාදායකය උත්සුක නොවෙන්නේ නම්, අධිකරණයට නඩු තීන්දු හරහා ඒ දෙය කිරීමට කොන්දක් තිබෙන බව පෙන්වා දුන්නේය. 

සමරිසි භාවය සාපරාධී බවට පත්කිරීම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂණය කර තිබෙන මානව හිමිකම් අහිමි කිරීමක් බව ඔහු ප්‍රකාශ කළේය. ‘‘මම මා ලෙස ගන්න.. මෙය ස්වභාවිකත්වය සහ පුද්ගලිකත්වය පිළිබඳ අයිතියකි‘ යැයි ඔහු තවදුරටත් කීවේය.

සමානාත්මතාවය වෙනුවෙන් එක පෙළට සිට ගන්නා දිනයක් ....
 103313933 034e6c7b 88fc 43e0 9597 c6068422c034                          ‘‘මම මා ලෙස ගන්න.. මෙය ස්වභාවිකත්වය සහ පුද්ගලිකත්වය පිළිබඳ අයිතියකි‘ 

නමුත්, ‘මම මා පිළිගන්න‘යැයි ලංකාවේදී සමරිසියෙකු විසින් ප්‍රසිද්ධියේ කියුවා නම් ඔහුට බොහෝ විට සිදුවන්නේ ගුටි කා මැරෙන්නට ය. ඉතින්, ඉන්දියාවට වඩා ගව් ගාණක් පිටුපසින් සිටින රටක් තුළ මංගල ඇමතිතුමා කරන්නේ උඩු ගං බලා පිහිනීමකි. ඔහු-අප සිටින්නේ පුද්ගලිකත්වයේ අයිතියට කොහෙත්ම ගරු කරන්නට නොදන්නා දේශයක ය. 

‘ඇතුළේ ගිනි පිටට නොදෙන්න‘ - පිට ගිනි ඇතුළට නොදෙන්න‘ යැයි විශාඛා තුමූ කියූ විලාසය හරියටම අනුදකින දේශයක් මෙන් පෙනී හිටියාට අප හොයන්නේම අනෙකාගේ පුද්ගලික ජීවිතය ගැන ය. අප එබී බලන්නට හිතෙන්නේම අනෙකාගේ නිදන කාමරයට ය. 

එවැනි පටු චින්තනයක් ඇති රටකට ඇමති මංගලගේ ප්‍රගතිගාමී අදහස් දරාගත නොහැකි වීම පුදුමයට කරුණක් නොවේ. නමුත් එවැනි පටු සිත් ඇත්තන්, හෙට‍ හිරු නැගෙන බව නියත මෙන් වටහාගත යුතු සත්‍යය වන්නේ, ලංකාවේ ප්‍රගතිගාමීන්, සිතන්නට පුළුවන් මිනිසුන්, මානව හිමිකම් ගරුකරන මිනිසුන් මංගල සමග එක පෙළට සිටගන්නා බව ය. එනිසා ඔහු හුදෙකලා සටන්කරුවෙකු නොවන බව ය. 

එසේ එක පෙළට හිටගන්නා මිනිසුන් ගණන, සංඛ්‍යාවෙන් අල්පයක් විය හැකි නමුදු, ඔවුන්ගේ බලය සහ ඔවුන්ට කළ හැකි දෑ අති විශාල ය.  

(ක්‍රිෂාන්ති රාජපක්ෂ - උපුටා ගැනීම : ලංකා නිව්ස් වෙබ්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top