Sathosa

Sep 23, 2018

පොලිස්පති ඉල්ලා අස්නොවුනොත් ගෙදර යවන හැටි!

මේ දිනවල සමාජ මාධ්‍යයන්හී සහ ජනමාධ්‍යයන්හී ප්‍රධාන ප්‍රවෘත්ති අතර තිබෙන්නේ පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට සති දෙකක් ඇතුළත ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් නියෝගයක් නිකුත් කර ඇති බවට පළ වන වාර්තා වලිනි. 

එහෙත් මෙම තොරතුර ජනමාධ්‍ය අතර, සැරිසැරීමත් සමගම රජය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා ඔහුගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අගමැති කාර්යාලයෙන් එවැනි නියෝගයක් නිකුත් කර නොමැති බවයි. 

එමෙන්ම ඊයේ (20) වෙනි දින පාර්ලිමේන්තුවේ දී නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පැවසුවේ පොලිස්පතිවරයාට ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නියෝගයක් දී නොමැති බවයි.

පොලිස් කොමිසම කනස්සල්ලෙන් :

පසුගිය දිනවල පොලිස්පතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල විය. එමෙන්ම ඔහු විසින් පොලිස් කොමිසමේ නියෝග නොසලකා හැරීම සම්බන්ධයෙන් ඇමති මණ්ඩලය වෙත ද වාර්තා විය. 

පොලිස් කොමිසම මේ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්හීදී තමන්ගේ නොසතුට පළ කර තිබිණ.

පොලිස් කොමිසම මේ සම්බන්ධයෙන් පොලිස්පතිට නැවත නැවත දැනුම්දීම් සිදු කළ අතර, පසුව ව්‍යවස්ථාව සභාවට පැමිණිලි කිරීමක් ද සිදු කළේය. 

ඒ අනුව ව්‍යවස්ථාවේ සභාවේ සභාපති පාර්ලිමේන්තු කථානායක කරූ ජයසූරිය මහතා ඇතුළු ව්‍යවස්ථාදායක සභාවත්, පොලිස්පති සහ පොලිස් කොමිෂන් සභාවත් අතර, සාකච්ඡාවක් 2018 අගෝස්තු 31 වෙනි සිකුරාදා පවත්වන ලදි. 

ඒ සාකච්ඡාවේදී පොලිස් කොමිසමේ නියෝග සති දෙකක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙසට නියෝග කරන ලදි.

මෙවැනි හැසිරීම් සහ චෝදනා සම්බන්ධයෙන් ඉලක්කයක් වී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට නීතිය හා සාමය අමාත්‍යංශයේ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නියෝග අනුව එහි ලේකම් පද්මසිරි ජයමාන්න මහතා විසින් කමිටුවක් පත් කිරීමට නියමිතය.

පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලය ?

ඒ අතර, පොලිස් කොමිෂන් සභාවට පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලයක් නැති බව එහි ප්‍රකාශකවරයෙක් සඳහන් කළේය. කොමිසමට බලය ඇත්තේ කොස්තාපල්වරයාගේ සිට ජේෂ්ඨ පොලිස්පතිවරු දක්වා සීමාවේ පමණි. 

පොලිස්පතිවරයා පොලිස් කොමිෂන් සභාවට නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගි විය හැකිය. ඒ අනුව පොලිස්පතිවරයා ඉවත් කිරීමට බලය ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවටය.

ඔහු ඉවත් කිරීමේ පහසුම කාර්ය වන්නේ ඔහු ඉල්ලා අස්වීමයි නැතහොත් ඒ සඳහා බල කිරීමයි.

එසේ නොමැතිව ඔහු ඉවත් කිරීමේ ක්‍රියාපටිපාටිය දීර්ඝ එකකි. 

පාර්ලිමේන්තුවට මෝසමක් !

නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා ධූරයෙන් ඉවත් කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් වන්නේ 2002 අංක 05 දරණ නිලධාරීන් ඉවත් කිරීමේ පනතෙහි ය. 

මෙහි සඳහන් පළමු පියවර වන්නේ ජනාධිපතිවරයා අදාල නැතැත්තා ධූරයෙන් පහ කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තුවට මෝසමක් ඉදිරිපත් කිරීමය. 

එහිදී අයහපත් සෞඛ්‍ය තත්ත්වය, දූෂණය, අවකළමනාකරණය, බලය අවභාවිතය, රාජකාරිය පැහැර හැරීම, පුරවැසිභාවය අහිමිවීම හා බුන්වත්වීම යන කරුණු මත එම මෝසම සකස් කළ හැකිය. 

එය පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා විසින් පත් කරනු ලබන කමිටුවක් මගින් පොලිස්පතිවරයාට එරෙහි ඇති චෝදනා විමර්ශනය සිදුවේ. එම කමිටුවේ නිර්දේශ මත පොලිස්පතිවරයා ඉවත් කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි.

පත්වන ආණ්ඩු විසින් තමන්ට අවනත නොවන නිළධාරීන් අත්තනෝමතිකව ඉවත් කිරීම සඳහා දරණ උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා මෙම නීතිය ඇතුළත් වී තිබෙන බවත් පෙනේ.

 නමුත් මේ සියලූ තත්ත්වයන් මැද රාජපක්ෂ රජය අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අසාධාරණ ලෙස ඉවත් කළේය. 

(aithiya)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top