එදිනෙදා හරිහම්බ කරගන්නා මුදලෙන් සතෙන් සතය එකතුකර, එළඹෙන මතු අවස්ථාවක මතුවන මූල්‍ය අවශ්‍යතාවකට ගැනීමට මෙන්ම සකසුරුවම උදෙසා, සකසුරුවම් සහ ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතියක තමන්ගේ නමින්, පවත්වා ගනු ලබන තැන්පත් මුදල, බුදු මැඳුරුවල පිංකැට සහ දේවාලවල පඬුරු පෙට්ටිවලට එකතුවන මුදල හා සමානය. මේ අයුරු ගම්වල අහිංසක ජනතාව විසින් සණස සමිතිවල තැන්පත් කරනු ලබන මුදල්, සභාපති ඇතුළු කිහිපදෙනකු එක්ව සිදුකරන මූල්‍ය අවභාවිතයක තොරතුරක්, කොළඹ අගනුවර පිහිටි දිවයිනේ ප්‍රධාන පෙළේ සණස සමිතියකින් වාර්තා වෙයි.
මෙම සමිතියේ කොටස් හිමි හා හිමි නොවන යන දෙපාර්ශ්වයේම ගම්වැසියන් 30,000 දෙනකු පමණ සංඛ්යාවකගේ් සාමාජිකත්වයෙන් යුතුව පවත්වා ගෙන යනු ලබන මූල්‍ය සහ දේපළ වත්කම්, 2017 වසර අවසන් වන විට රුපියල් බිලියන තුනක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් මෙම සමිතිය සන්තකයේ පවතී. දිවයිනේ පිහිටා තිබෙන 8,000 ක් පමණ වූ සණස සමිතිවලට වඩා වැඩි මූල්‍ය හා දේපළ වත්කම් දැරීමේ පුමුඛස්ථානයේ පවත්නා මෙම සමිතිය, සීමාසහිත කොටිකාවත්ත සකසුරුවම් සහ ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය වේ.
පෙර දිනක පුපුරා ගොස් මහා විනාශයක තොරතුරු අනාවරණය වූ කොලොන්නාවේ කුණු කන්දටත් එහා ගිය, මෙම සමිතියේ සභාපති ඇතුළු වගකිවයුත්තන් විසින් මහා පරිමාණයෙන් සිදුකළ මූල්‍ය අවභාවිත පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ, 2018 මැයි 13 වනදින බස්නාහිර පළාත සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ, 2015 වර්ෂයට අදාළ එම සමිතියේ විගණන වාර්තාවෙනි. එම වාර්තාවෙන් හෙළිවන තොරතුරු අනුව, මෙම සමිතියේ සභාපති ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයේ කිහිපදෙනකු, කළමනාකාරිණියගේද අනුදැනීමෙන්් යුතුව සිදුකර තිබෙන මුදල් අවභාවිතය පිළිබඳ තොරතුරු මෙම විගණන වාර්තාවෙන් මනාව හෙළිදරව් වෙයි.
සමුපකාර සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් අදාළ විගණනය සිදු කිරීමට පෙර, මෙම සමිතියේ මහා පරිමාණයෙන් සිදුකරන මූල්‍ය අවභාවිතය ගැන තොරතුරු රටට පළමුවරට රටට හෙළි කළේ, ‘‘මෙන්න තවත් ‘සණස‘ අතයට ගැහිලි, කොටිකාවත්ත සණස’’ යන ශීර්ෂය යටතේ 2016.10.16 දින ඉරිදා දිවයින පුවත්පතේ මෙම ලියුම්කරුගේ ලිපියෙනි. මෙම ලිපියේ සඳහන් කරුණු පුවත්පතක පළකිරීමට තරම් නොවන ‘පට්ටපල් බොරු’ යැයි සඳහන් කරමින් එම සමිතියේ සභාපති සරත් විදානපතිරණ විසින් එවනු ලැබූ ‘‘ කොටිකාවත්තේ සණස ගැන කියන කතා ඇත්ත නොවේ’’ යන ලිපිය, 2016.11.06 දින ඉරිදා දිවයින පුවත්පතේ පළකෙරිණ. සභාපතිගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුකළ විදේශීය සංචාර හතරක තොරතුරුද ඇතුළුව මහා පරිමාණයෙන් සිදුකළ හා සිදුකරනු ලබන්නා වූ මූල්‍ය වංචා පිළිබඳ වැඩිමනත් තොරතුරු සඳහන් කරමින් ‘‘කොටිකාවත්ත සණස ට පිළිතුරක් ’‘ යන මැයෙන් 2016.11.13 ඉරිදා දිවයින පුවතේ පළවූ ලියුම්කරුගේ ලිපියේ සඳහන් කරුණු අභියස, සමිතියේ සභාපති හොල්මන් ව, නිරුත්තර විය.
කොටිකාවත්ත සණස සමිතියේ සභාපති මෙන්ම අධ්යක්ෂ මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් විසින් කළමනාකාරීනිය සමඟ එක්ව සාමූහිකව මෙන්ම ඒකමතිකව සිදුකළ මුදල් අවභාවිතා සම්බන්ධව, ලියුම්කරු විසින් 2016.10.16 සහ 2016.11.13 යන දිනවල ඉරිදා දිවයින පුවත්පතිින් හෙළිදරව් කළ තොරතුරු වඩාත් නිවැරදි බව, නියමිත ගිණුම් පටිපාටිය අනුව සිදුකරමින් 2018 මැයි මස 13 වැනිදින නිකුත් කළ, සමුපකාර කොමසාරිස්ගේ විගණන වාර්තාවෙන් තහවුරු වෙයි.
කොළඹ සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් ආර්.කේ. සුමනරත්න මහතා විසින් විගණන වාර්තාවේ සඳහන් කර තිබෙන නිර්දේශ අනුව, මෙම සමිතියේ මුදල් අවභාවිත පිළිබඳ තොරතුරු බිඳක් මෙසේය. ණයකරුවන්ගෙන් සමිතියට ලැබිය යුතු කල්පසු ණය මුදල් කපා හැරීමෙන් එම වර්ෂය තුළ රුපියල් ලක්ෂ විසි පහක (25) පාඩුවක් සභාපති විසින් සමිතියට සිදුකරනු ලැබ තිබේ. සභාපති මෙම පාඩුව සිදුකර තිබෙන්නේ, ඔහු විසින් තෝරා ගන්නා ලද ඔහුට හිතවත් සාමාජිකයන් හතලිස් පස් දෙනකු (45) විසින් ණයවාරික සහ ණය සඳහා ගෙවිය යුතු පොලී මුදල කපා දැමීම නිසාය. සභාපති විසින් මෙම මුදල් කපනු ලැබ තිබෙන්නේ, ණයවාරිකය සහ පොලිය ගෙවීමේ ශක්‍යතාව තිබෙන අයවලූන් විෂයයෙහිය. එහෙත් ණයවාරික සහ ණය ගෙවීමේ අපහසුතාවෙන් පෙළෙන දරුණු පිළිකා රෝගීන් කිහිපදෙනෙක් ද, ස්වාභාවික විපත් හේතුවෙන් ජීවන මාර්ග අහිමි වූ අහිංසක සාමාජීකයන්ගෙන් ද, එම මුදල් අය කරගැනීමට සභාපති ක්‍රියාකර තිබෙන්නේ, අධිකරණයේ නඩු ගොනුකර ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙනි.
- දිවයින-