Pasidol

Sathosa

Oct 02, 2018

පුත්තලමේ ලුණුවල සැඟවුණ කඳුළු කතාව (ඡායා)

වසර 300-400 ක ඉපැරණි අතීතයකට හිමිකම් කී පුත්තලම් බූරුවන්ගේ කතාවේ ඇතුළාන්තය හා බැඳුණු පාරම්පරික කර්මාන්තයක සුලමුල සෙවීමට අල පිටත් වුණෙමු.

Spolt1එවකට ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් පරණ මන්නාරම් මාර්ගයේ කලපු ජලය පහසුවෙන් ගමන් කරන ප්‍රදේශයන් තෝරාගෙන ජලය රැස් කොට ජලය වාෂ්ප වීමෙන් අනතුරුව ලුණු මිදීම සිදුකර ඇති බව ඉතිහාසය මනාව සාක්ෂි සාධක සහිතව පිළිබිඹු කරයි.

ඒ අනුව මොවුන් පසුව කලපු ජලය ආශ්‍රිතව රැගෙන ආ ජලය අධික අව්රශ්මියට වාෂ්ප වීමට ඉඩහැර අනතුරුව මිදෙන ලුණු කඳු ඔවුන් විසින් හඳුන්වා ඇත්තේ උප්පුතලම් යනුවෙනි. උප්පුතලම් යනු සිංහල ව්‍යවහාරයෙන් ලුණු කඳු යන්නය. පසු කලීනව උප්පුතලම් යන නාමය පුත්තලම් බවට පරිවර්තනය වීමත් සමඟ පුතත්ලම් බූරුවන් යන කතාවද ඉතිහාස වංශ කතාවේ උඩුයටිකුරු වන්නට විය.

මන්ද එවකට නිසි ප්‍රවාහන මාධ්‍යයක් නොතිබීම නිසවෙන් විවිධ පුද්ගලයින් විවිධ තම එදිනෙදා කටයුතු සිදුකර ගැනීම සදහා විවිධ ක්‍රමවේදයන් අනුගමනය කළ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැතැයි සිතමු. නමුත් අතීත මතකය බොහෝ දුරට දුරස්වී අනාගතය තුළ ජීවත් වන සමහරු විවිධ සිහින සිත්තම් කරමින් හයිබ්‍රීඩ්, ඇක්වා, අවුඩි වල ගමන් කරන්නේ සිය උරුමයෙන් තමන්ට ඒවා ලැබුන බවට යටි සිත තුළ අමුතුම ආඩම්බරයක් එක්කරමිනි.

නමුත් එදා ඈත අතීතයේ තමන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා ගැල්, පාරු, සතුන් යොදා ගත් බව ඉතිහාසයේ අප කලින් ඉගෙන ඇති බව මතකට නැගෙනු ඇත. සතුන් යොදා ගෙන තම කටයුතු සිදුකළ බවට කදිම නිදසුනක් වශයෙන් එවකට පුත්තලමේ සිටි ආදිවාසි ජනතාව සෘජුවම නම් කළ හැක.ඔවුන් බූරුවන් සිය ලුණු ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇති බව කියයි. ඒ අනුව පුත්තලම සිට කුරුණෑගල දක්වා ඔවුන් බූරුවන් පිට ලුණු පටවාගත් තවලම් පෝලීම සවස් කාලයේ කුරුණෑගල බලා පිටව යන බවත්, හිමිදිරියේ කුරුණෑගලට පැමිණෙන බව කියයි.

ඒ කතාවත් සමඟ අදටත් ජනතාව පුත්තලම් බූරුවන් කියන කතාවේ ඇත්තක් නැතුව නොව ඇත්ත ඒ ආකාරයෙන්ම එවකට සිදුව තිබෙන බව ඉතිහාසය මනාව හෙළිදරව් කරති. කුරුණෑගල වෙළෙඳුන් පුත්තලමේ සිට බූරුවන් පිට රැගෙන එන ලුණු තවලම එනතුරු පාර බලා සිටීමට නිරන්තරයෙන් හුරුපුරුදුව සිට ඇති බවත්, ඔවුන් නොපැමිණිය හොත් "මොකද අද පුත්තලමෙ බූරුවො නාවේ?" යනුවෙන් ඇසීමට පුරුදුව සිටීම ජනතාව අතර ඒ වචනය විවිධ අර්ථකතනයන් ඔස්සේ සමාජයේ ජනප්‍රවාදයට නතුවිය.

නමුත් එදා සාම්ප්‍රදායිකව සිදුකළ පාරම්පරික ලුණු කර්මාන්තය අද වන විට නවීන තාක්ෂණය මුසුකරමින් විවිධ සොයා ගැනීම් සමඟ සිදුවන ලුණු නිෂ්පාදනය මෙරට එකී නොකී කොයි කාගේත් කෑම පතට ලුණු රස රැගෙන එන පුත්තලමේ ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය 40%කින් දායක වන බව කිව යුතුය.

ගිණි රස්නයට ලුණු පිපෙනා මේ කාලය සැපයිSpolt4

ඒ අනුව පුත්තලම ලුණු නිෂ්පාදනයේ ලුණු අස්වනු නෙලන කාල වකවානුව ලෙස ඔවුන් අගෝස්තු මාසය මුල්කර ගනිමින් සිය වැඩ කටයුතු ආරම්භ කරන බවත්, අක්කර 4000ක පමණ වපසරියකින් යුත් භූමි ප්‍රමාණයක ලුණු නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරගෙන යන මොවුන් මෙම වසරේ ද අගෝස්තු මස සිය වැඩ කටයුතු ලහිලහියේ කරගෙන යාම දක්නට ලැබෙන දසුනක්ව තිබේ. මේ දින වල පුත්තලම ඇතුළු ප්‍රදේශයන් රැසකට බලපා ඇති අධික නියඟයත්, සමඟ පුත්තලම ප්‍රදේශයේ සිදුකරගෙන යනු ලබන ලුණු කර්මාන්තය ඉහළ මට්ටමකින් ලාභ ලබන බව කර්මාන්ත කරුවෝ පවසති.

ඒ අනුව කරතිව්, මනල්තිව්, සේවන්තිව්, කරයාතුරෙයි, සෝල්ටන්, පාලවිය යන ප්‍රදේශයන් වල මෙකී ලුණු ලේවායන් සාර්ථකව සිදුකරගෙන යනු ලබන බව කියයි. මෙවර පුත්තලමට බලපා ඇති නියඟය නිසාවෙන් ලුණු කර්මාන්තය ඉහළ මට්ටමක ලාභ ලබමින් තිබෙන බව කියයි.දිනකට දස දහසකට අධික පිරිසක් මෙකී කර්මාන්තය ඔස්සේ රැකියාවේ යෙදෙමින් ඔවුන්ගේ ආර්ථිකය සරිකර ගන්නා බව කියයි. ඒ අනුව පවුල් හාර පන් දහසක් වක්‍රව මෙම කර්මාන්තය ඔස්සේ ලාබ ලබමින් යැපෙන බව දක්නට ලැබේ.

රටේ පවතින දේශිය නිෂපාදනයන් අතරින් ඉහළ අගයක් හිමිව ඇති මෙකී කර්මාන්තයේ දැනට පාරම්පරිකත්ත්වයෙන් ඔබ්බට ගොස් නවීකරණය සිදුකරමින් තිබීම නිසාවෙන් නියමිත ප්‍රමිතියකට ලුණු අස්වැන්නක් තමන්ට හිමි නොවන බවයි පාරම්පරික කර්මාන්ත කරුවෝ පෙන්වා දෙන්නේ.

වෙළෙඳපොළ තුළ තරඟකාරි ඉල්ලුමක් ඇති ලුණු සඳහා මෙවර නිෂ්පාදනයද ඉහළ ගොස් ඇති බව කියයි. නමුත් වෙළෙඳපොළ තුළ නිෂ්පාදන සඳහා නිශ්චිත මිළක් නොමැති වීමත් නිතර නිතර මිළ උච්චාවචනය වීම වැනි කරුණු නිසා නිෂ්පාදකයා දැඩි අසීරුතාවයට පත්ව සිටින බව කියයි.

ලුණු සංගමයේ ජඩ පාලනය නිසා වැසිකිළියක් නෑ

Spolt6එක් පසෙකින් නිෂ්පාදකයා එසේ අසරණ වෙද්දි තවත් පසෙකින් කම්කරුවා දැඩි ලෙස අසරණ වන බව මෙම කර්මාන්තයේ එදා පටන් මේ දක්වා පවතින නොරහසකි. මන්ද කම්කරුවන්ට අවශ්‍ය කිසිදු යටිතල පහසකමක් මේ කර්මාන්තකරුවන් සපයා නොදී ඔවුන්ගේ මානව අයිතීන් සම්පූර්ණයෙන් උල්ලංඝණය කර ඇති බවක් දක්නට ලැබේ.
අධික අව් කාශ්ටකයට නිරාජිත කය දෙකොනෙන් දහදිය මුගුරු වැගිරෙද්දි තොලකට තෙමා ලන්නට පවස නිවන දිය පොදක් පේන තෙක් මානයක නොමැතිව හීන මවමින් තොල ලන්නට වන අවස්ථා අනන්ත අප්‍රමාණය. තවද මොවුන්ගේ අත්‍යවශය කාරණයක් වන් වැසිකිලි කැසිකිළි පහසුකම් කිසිවක් ඉදිනොකිරීම හේතුවෙන් කර්මාන්තය ආරම්භයේ සිට කම්කරුවන් දැඩි ලෙස අසීරුතාවයට පත්ව සිටීම බරපතල ගැටලු සහගත තත්ත්වයක් ලෙස ජනතාව පෙන්වා දෙයි.

යම් කිසි නිෂ්පාදනයක් ආහාරය සඳහා යොදා ගන්නේ නම් එය පොළොව මතුපිටින් විය හැක. ලුණුද ඒ පොළොව මතුපිට නිෂ්පාදනය කර ලබා ගන්නා තවත් එක්තරා සම්පතක් පමණි. ආහාර නිෂ්පාදනයට සෘජුව හෝ වක්‍රව දායක වන මෙම කර්මාන්තයේ පවතින ගැටලුව ලෙස කර්මාන්ත කරුවන් සෘජුව කියා සිටින්නේ ලුණු නිෂ්පාදන භූමි තුල කිසිසේත් වැසිකිළි පද්ධියක් ස්ථාපිත කිරීමට නොහැකි බවත්, එසේ වැසිකිලි ඉදිකරන්නේ නම් භූගත ජලය අපවිත්‍රවන බවත්ය, නමුත් ඒ තරක විතර්ක සියල්ල විසර්ජනය කරන අපි ඔවුන්ට තරයේ කියා සිටින්නේ අහිංසක එදිනෙදා කුලියක් මලියක් කරමින් සොච්චම් මුදලක් සොයන කුලී කම්කරුවාගේ අවශ්‍යතාවයට මුල්තැන දෙමින් කටයුතු කළ යුතු බවයි.

එසේ කටයුතු කිරීමට අමුතුවෙන් කැටයම් ආටෝප අවශ්‍ය වන්නේ නැත පොළොවේ වැසිකිලි ඉදිනොකරන්නේ මන්දැයි කිවහොත් එයට ඔවුන්ගේ තර්ක විතර්ක සියල්ල පුස්සක් කොට සැබෑ නිරුවත එළිකරන්න ඔවුන් මැලිවෙති ඒ මන්දැයි කිවහොත් තම තමන්ට අයත් පුද්ගලික ඉඩම් වල වැසිකිලි සාදා දීමට මොවුන් කිසිසේත් කැමති නැති නිසාවෙනි.
අප කර්මාන්තකරුවන්ව තව දුරටත් ආරක්ෂා කිරීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ මල්ල තරකර ගැනීම මිස අසරණ කම්කරුවාගේ මූලික අවශ්‍යතා කිසිවක් ඉටුනොවීමය. රජයේ වගකිව යුතු බලධාරින්ද නිහඬව සිටිද්දී වැටයි නියරයි දෙකම ගොයම් කද්දි නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියද්දි තව කවර කතාදැයි කියමින් ජනතාව සුසුම් හෙලති.Spolt9

වැසිකිළි මෙහෙට අදාළ නෑ

අප මේ සම්බන්ධයෙන් ලුණු නිපදවන්නන්ගේ සංගමයේ සභාපති අමීන් මහතා හමුවේ කතා කළෙමු. එහිදී ඔහු මෙසේ අදහස් දැක්වීය.

"වැසිකිලි ප්‍රශ්නය කොහෙත්ම මෙහෙට ගැලපෙන්නෙ නැහැ. අපි එහෙම ඉදිකරන්නෙත් නැහැ මොකද මේක පොළොවෙන් ලැබෙන නිෂ්පාදනයක්. ඒක අපිරිසිදු වෙනවා. ඒ නිසා අපි ඒ දේ කරන්නෙ නැහැ. ඔයා බලන්න කුඹුරකට ගිහිල්ලා එහෙත් වැසිකිලි කුඹුරුවල ඉදිකරලා තියෙනවද කියලා. නැහැ එයාලා ගෙවල්වලට යනවා ඒ අවශ්‍යතාවය කරගෙන එන්න. මේ දවස්වල අපිට ලුණු අස්වැන්න ඉතාමත් හොදයි. අපි ලුණු මිටියකින් අපේ සංගමයට රුපියල් 50ක් ගන්නවා. ඒ වගේම අපි ලුණු නිෂ්පාදකයින්ට සහය වෙනවා. අපි කර්මාන්තකරුවන්ගෙ ලුණු අස්වැන්න ආරක්ෂා කරලා දෙනවා. ඒවට මුරකාරයො යොදවලා තියෙනවා. තව දෙයක් අපි නිතර පාරට වතුර ගහනවා බවුසර් දාලා. ඒ විතරක් නෙමෙයි අපි කලපු ඉදලා රජයට පවා බදු ගෙවලා ජලය රැගෙන ඇවිත් කර්මාන්ත කරුවන්ට ලබා දෙනවා. ඒ දේවල් අපි කරනවා. වැසිකිලි සෑදීම කිසිසේත් කරන්න බැහැ. මොකද ඒක සෞඛ්‍යට අහිතකර නිසා. අපි ඒ දේ කරන්නෙ නැහැ. අනෙක ඔය කම්කරුවො මේ අහල පහල මිනිස්සු. එයාලට පුළුවන්නෙ ගෙවල්වලට ගිහිල්ලා ඒ වැඩේ කරගෙන එන්න. ඕක ලොකු දෙයක් නෙවෙයි. පානීය ජලය අපිට කිසිසේත් සපයන්න උවමනාවක් නැහැ. මොකද ඒවා කර්මාන්තකරුවො සපයලා දෙන්න ඕනෙ. අපි ඒ දෙවල් කරන්නෙ නැහැ. ලංකාවේ කොහෙහරි ලුණු කර්මාන්තයක් කරන තැනක වැසිකිලියක් ඉදිකරලා තිබුනොත් අපි හෙට මෙහෙ ඉදිකරන්න සූදානම් කිසිම කෙනෙක් එහෙම ඉදිකරලා නැහැ".

මෙහෙව් රටක මෙවැනි ආත්මාර්ථකාමයෙන් ඔදවැඩුන සභාපතිවරු ලක්ෂ සංඛ්‍යාතයක් අමු පොල්පිතිවලින් කැපීම අමුතුවෙන් යුතු නැත. බවුසර් යොදා නිකරුනේ පාර තෙමදිද් අසරණ කම්තරුවාගේ උගුර කට තොල තෙමීමට මොවුන්ට වතුර බෝතලයක් ලබා දීම ඇගෙන් ඉලයක් යන්නා සේ සිතීම පුදුමය දනවනනක්ව තිබේ. මෙම කර්මාන්තයේ සේවයට පැමිණෙන බහුතරයක් කාන්තා පාර්ශවයයි. දුරගමන් බස් රථවල හිමිදිරි උදෑසනම කර්මාන්තයට පැමිණ ගොම්මන් අදුර වැටෙන විට ආපසු නිවෙස් බලා යයි. එසේ යන තුරු ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් නොමැති විට ඔවුන් නිරන්තරයෙන් අසරණ වේ.

Spolt11මේවා සහගහන අපරාධ

මේ සම්බන්ධයෙන් කළ විමසුකදී ලුණු කර්මාන්තයේ යෙදෙන කම්කරුවෙක් අදහස් දක්වමින්,

"අනේ මහත්තයො අපි මේ අව්වෙ පුදුම දුකක් විදින්නෙ. ගෙදරින් එද්දි වතුර බෝතලයක් ගේනවා. ඒක ලේවායට ආපු ගමන්ම පයින් ඇවිල්ලා මහන්සියට බීලා ඉවරයි. වැඩ කරද්දි විනාඩි දහයෙන් දහයට වතුර ඕනෙ. ඉතිං මොකද කරන්නෙ ආයෙ කෑම කද්දි තොල කට පොඩ්ඩක් තෙමා ගන්නවා. එච්චර තමයි. මෙහෙ සංගමයක් තියෙනවා. ලුණු මිටියට රුපියල් පනහ සීය ගන්න හිඟන්නො වගේ අත දිගු කරනවා. හැබැයි අපි උන්නද මලාද කියලා බලන්නෙ නැහැ. ඕක තමා ඇත්ත කතාව. වැඩිපුරම මෙහෙ වැඩ කරන්නෙ ගෑණු කට්ටිය. එයාලට වැසිකිලියකට යන්න විදියක් නැහැ. පව් ඒ අවශ්‍යතාවට තදකරගෙන වැඩ කරනවා. මෙව්වා සහ ගහන අපරාධ".

පාරම්පරික ලුණු කර්මාන්තකරුවෙකු වන රවී කුමාර් මහතා,

"මේ ලුණු වවාගෙන කෑමක් කරන්නෙ. මේකෙ මූලික බලාපොරොත්තුව ඇවිල්ලා කම්කරුවා ගැනවත් කර්මාන්තය ගැනවත් නෙමෙයි ලුණු මිටියකින් ලැබෙන ගාණ ගැන තමයි යෝජනා ගේන්නෙ. අද වෙද්දි කම්කරුවට යන එන මං නැති වෙලා තියෙනවා. ඒ මිනිහා අද බල්ලෙක් වෙලා ඉවරයි. මම කුඩා කලේ ඉදලා මේ ලුණූ කර්මාන්තය කරන්නෙ කිසිම විනිවිදභාවයක් නැහැ ඔහේ යන්නම් වාගේ කරනවා. ලුණු සල්ලි අරගෙන ලුණූ සංගමේ අය විවාහ උත්සව ශාලා හදනවා එව්වා හදන්න උදේ දවල් දාඩිය හෙලන කම්කරුවට යන්න වැසිකිලියක් ගැන කියද්දි මහවංශයෙන් අපිට පොත පෙරලනවා. සෞඛ්‍යට අහිතකරනවාලු. ලුණු ලේවායේ වැසිකිලි ඉදිකෙරුවොත් අපි කියන්නෙ මේ වැසිකිලිය ලුණු ලේවාය මැද ගහන්න කියලා නෙමෙයි ලුණු ලේවායෙ ඉදලා මීටර් 250ක් දුරින් රජය සතු ඉඩම් තියෙනවා ඒ ඉඩමක කොටසක මේ වැසිකිලි ඉදිකරලා දෙන්න එහෙමත් බැරිනම් ජංගම වැසිකිලි ස්ථාපිත කරලා දෙන්න ඇයි බැරි සංගමයෙන් නිකරුනේ පාරට වතුර හලගන වේලා මිනිහෙකුට බොන්න වතුර ටිකක් ගෙනල්ලා දුන්නොත් මොකද වෙන්නෙ?".

සටහන සහ සේයාරූ
ප්‍රියංකර කළුපහන - පුත්තලම

Spolt14

Spolt15

Spolt16

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top