Sathosa

Oct 12, 2018

චම්පික හොර පාරෙන් කැළෑ වදී - තවත් විනාශයක් පුත්තලමේ Featured

දෛනිකව කොළඹ නගරයේ එකතු වන කැළිකසළ දුම්රිය මාර්ග ඔස්සේ අරුවක්කාලු ප්‍රදේශයට බැහැර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ. ඇමැති පාඨලී චම්පික මැදිහත් වී මහ නගර හා බස්නාහිර පළාත් අමාත්‍යාංශය හරහා මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට පියවර ගෙන ඇත.

අරුවක්කාලු ප්‍රදේශය පිහිටා තිබෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සිට පරණ මන්නාරම් පාරේ කිලෝමීටර් 40ක පමණ දුරකිනි. විල්පත්තු රක්ෂිතයේ ආරක්ෂිත කලාපය තුළ සිමෙන්ති නිෂ්පාදනය සඳහා හුණුගල් ලබාගත් වළවල්වලට කැළිකසළ දැමීමට මේ ව්‍යාපෘතිය යටතේ සූදානම් විය. එහෙත් මෙම ව්‍යාපෘතිය පසුගිය මාස හයක කාලයක සිට ආරම්භ වී ඇත්තේ අරුවක්කාලු ප්‍රදේශයේ නොව සේරක්කුලිය ප්‍රදේශයේය.

සේරක්කුලිය හා කාරතිව් ගම්මාන පිහිටා ඇත්තේ පුත්තලම කළපුව ආශ්‍රිතවය. එම ගම්මානවල ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය ධීවර රැකියාවයි. මේ කුණු ව්‍යාපෘතිය ආරම්භ වුවහොත් පුත්තලම කළපුව ආශ්‍රිත ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට පමණක් නොව පුත්තලම කළපුවටද දැඩි බලපෑම් එල්ල වෙන බව එම ප්‍රදේශයට ගිය අපට දැක ගත හැකි විය.

මීට පෙර මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ අරුවක්කාලුව මඟඩිය ගම්මානය ආසන්නයේ කලා ඔය කිට්ටුවට වෙන්නටය.

විල්පත්තු රක්ෂිතය ආසන්නයේ කුණු බැහැර කිරීමෙන් අලි - ඇතුන් ඇතුළු සතුන්ට ඉන් දැඩි බලපෑමක් සිදුවන නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව ඊට විරෝධය පළ කර ඇත. ඒ හේතුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය අදාළ ව්‍යාපෘතිය සඳහා පරිසර වාර්තාව ලබා දී නැත.

මේ හේතුවෙන් චම්පික රණවකට කොළඹ කුණු දැමීමට තැනක් නැති වී තිබේ. ඔහු ඒ සඳහා සේරක්කුලිය ගම්මානය තෝරා ගත්තේ එම ව්‍යාපෘතියට එම ප්‍රදේශය සුදුසු දැයි කියා විමසීමකින් තොරවය. සේරක්කුලිය ප්‍රදේශය පිහිටා ඇත්තේ අරුවක්කාලුවේ සිට කිලෝමීටර හයක පමණ දුරකිනි. පුත්තලමේ සිට කිලෝමීටර 35ක පමණ දුරකිනි. සේරක්කුලිය ගමට යන පාරෙන් ගොස් මෙම ව්‍යාපෘතිය ගැන සොයා බලනවා වෙනුවට ඇමැති චම්පික රණවක කැළෑ පාරෙන් ගොස් ව්‍යාපෘතියට සුදුසු කැළෑවක් ලෙස එම ප්‍රදේශය හඳුනාගෙන තිබේ.

bc96311fe3

හොඳින් හෝ නරකින් වැඩේට බසී

මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සේරක්කුලිය කාරතිව් ගම්මානයට ගොස් ඇමැතිවරයා අදාළ ව්‍යාපෘතිය ගැන සොයා බලා නැත.

මේ ප්‍රදේශයේ ජනතාව ධීවර කර්මාන්තයේ යෙදෙන පුත්තලම කළපුවට කොළඹ කුණු දැඩි ප්‍රශ්නයක් වී තිබේ. ඒ ව්‍යාපෘතිය ඉදිවෙන අක්‍රමවත්කම නිසාය. පුත්තලම කළපුව ආශ්‍රිත කොටු ගසා මත්ස්‍ය ව්‍යාපාරය කරන ධීවරයෝ රැසක් සිටිති. එසේම කළපුව ආශ්‍රිත මත්ස්‍ය ව්‍යාපාරයේ යෙදෙන ධීවරයෝද රැසක් වෙති. අදාළ කුණු ව්‍යාපෘතියේ අපද්‍රව්‍යද පුත්තලම කළපුවට එකතු වුණහොත් මේ ජන ජීවිතවලට අත්වන ඉරණම ගැන ඇමැති චම්පික සොයා බලා නැත.

එසේම පුත්තලම ලුණු කර්මාන්තයද පවතින්නේ පුත්තලම කළපුව ආශ්‍රිතවය. චම්පිකගේ කුණු ව්‍යාපෘතිය නිසා මේ රටේ ජනතාවට මින් ඉදිරියට කෑමට සිදුවන්නේ කුණු ජලය මිශ්‍ර වී විස මුසු වූ මාළුය. කුණු හා විස එක්වූ ලුණුය.

චම්පික රණවක සිය ව්‍යාපෘතිය හොඳින් හෝ නරකින් කිරීමට සූදානම් වෙයි. නමුත් ඒ සඳහා අවශ්‍ය ප්‍රමිතිගත පරිසර වාර්තාද ලබාගෙන නැත. චම්පික රණවකට අදාළ පරිසර වාර්තාව ලබාදී ඇත්තේ වයඹ පළාත් වයඹ පරිසර අධිකාරිය මඟිනි. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය සේරක්කුලිය ප්‍රදේශයේ ආරම්භ වන කුණු ව්‍යාපෘතියටද අවසර ලබාදී නැත.

සේරක්කුලිය ප්‍රදේශයේ කුණු ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේද සිමෙන්ති සඳහා හුණුගල් ලබා ගැනීමට හෑරූ වළවල් ආශ්‍රිතවය. චයිනා හාබර් එම ව්‍යාපෘතියේ වැඩකටයුතු කරන අතර කුණු ප්‍රතිචක්‍රීයකරණය හා එහි තවත් ව්‍යාපෘති ගණනක් තවත් විදේශීය සමාගම් යටතේ ආරම්භ කිරීමට නියමිතය.

කුණු ගෙනැවිත් ගොඩගැසීමට හා ඒවායේ අපද්‍රව්‍ය ගලාගෙන යාමට ඉදිවෙමින් පවතින කාණු පද්ධතියද ප්‍රමිතියෙන් තොරව ඉදිකර ඇති බවද එහි ගිය අපට වාර්තා විය. සේරක්කුලිය අක්කර 65ක පමණ භූමියක ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතියේ සිට පුත්තලම කළපුවට ඇත්තේ මීටර් 278ක පමණ දුරක්ය.

මේ වන විට කළපුවේ සිට ව්‍යාපෘතිය දක්වා කොටස අඩි 30ක් පමණ පළලට ඩෝසර කර ඇත. ඒ කුණු අපද්‍රව්‍ය කළපුවට මිශ්‍ර කිරීමටය. මෙම ව්‍යාපෘතිය හරහා එලෙස කිරීමට නොහැකිය. පුත්තලම කළපුවේ සිට අඩි 100ක අධි ආරක්ෂිත කලාපයක් මුලින්ම වෙන් කළ යුතුය. එතැන සිට අඩි 300ක දුරින් ජල පද්ධතිය ස්ථාපිත කළ යුතු වුවත් දැන් කළපුවේ සිටම කුණු ටැංකි ළඟටම ඇත්තේ අඩි 278කි.

ජන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක

ඉදිවෙන ව්‍යාපෘතියේ කුණු ගබඩා කරන ටැංකිය කුඩාවට ඉදිකිරීමත් ඊට සමගාමීව කාණු පද්ධතිය ඉදි නොවීමත් මත වැසි කාලයට එම කුණු ජලය සේරක්කුලිය හා කාරතිව් ගම්මානවලට දැඩි තර්ජනයක් එල්ල කරයි. මෙම කුණු ව්‍යාපෘතිය හා මෙම ගම්මාන අතර මීටර් 20ක තරම්වත් පරතරයක් නැත. ගම්මානයෙන් අල්ලපු වැටේ ඉදිවෙන මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ ජල මූල පද්ධතියටද දැඩි බලපෑමක් එල්ල කරයි.

සේරක්කුලිය ප්‍රදේශයේ භූගත ජලය පානීය අවශ්‍යතා සඳහා සුදුසු බවත් ප්‍රකාශ කරන වාර්තා පවා තිබියදී පරිසර වාර්තාද ලබා නොගෙන කරන කුණු ව්‍යාපෘතිය හරහා ඇමැති චම්පික ජන ජීවිතය විනාශ කිරීමේ උත්සාහයක නිරත වෙයි.

මේ ගම්මානවල පවුල් 3,000ක් පමණ ජීවත් වන අතර වසර 200කටත් වඩා ඉතිහාසයක් එම ජනතාවට තිබේ. පරම්පරා ගණනක් ජීවත් වන එම ගම්මානවලින් ඔවුන්ව ඉවත් කිරීමට ඇමැති චම්පික කුණු ව්‍යාපෘතිය හරහා සූදානම් වෙයි.

දැන් කුණු ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අක්කර 65ක පමණ භූමියේද ජනතාව ජීවත් වී තිබේ. විල්පත්තුව ආසන්නයේ නිසා අලි කරදර හෙයින් ජනතාව එම ප්‍රදේශයෙන් ටිකක් පහළට පැමිණ ඇත. එසේම මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති ඉඩම පෞද්ගලික ඉඩමකි. එය සිමෙන්ති කර්මාන්තශාලාවට හුනුගල් ලබා ගැනීමට බදු මඟින් ලබාදී ඇත. දැන් එම ඉඩම මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය යටතට ගෙන මෙම කුණු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සූදානම් වෙයි.

වැඩුණු ගස් උස්සාගෙන ගොස් සිටුවීමේ ප්‍රෝඩාවක්

පුත්තලම කළපුව දක්වාම එළිපෙහෙළි කරමින් කුණු කානු ගෙනයෑමට ඇමැති චම්පික සූදානම් වීම ගැන පුවත් වාර්තා වීමත් සමඟ එම එළිපෙහෙළි කිරීමෙන් ගැලවූ මධ්‍ය ප්‍රමාණයේ ගස් කළපුව ආශ්‍රිතව සිටුවා තිබේ. මුල් කැඩී ගිය ගස් සිටුවා කළපුව ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපය සුරකින බව පෙන්වීමට අදාළ ව්‍යාපෘති නිලධාරීන් උත්සාහයක් ගනී. එම ගස් ඒ තරමට උස යෑමට වසර 4-8ක පමණ කාලයක් ගතවන නමුත් එක් දිනකින් මධ්‍ය ප්‍රමාණයේ ගස් සිටුවා මහත් විස්මයක්ද කර තිබේ.

කුණු ව්‍යාපෘතියේ ටැංකි ප්‍රමාණයෙන් කුඩා නිසා විශාල ටැංකියක් හෝ තවත් කානු පද්ධතියක් කළපුව ආසන්නයේම ඉදි කිරීමට අදාළ චීන සමාගම හොර රහසේම මැනුම් කටයුතු සිදු කරමින්ද සිටියි.මේ ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ඇමැති චම්පික ජනතාවගේ පැත්තෙන් කිසිදු ආකාරයකට සිතන්නේ නැති බව ඔප්පු කිරීමට තවත් සාධකයක් තිබේ. ඒ මෙම ව්‍යාපෘතිය ආරක්ෂා කර ගැනීමට පමණක් අලි වැටක් ගැසීමය. කුණු ගඳට කුණු ආහාරයට ගැනීමට අලි සේරක්කුලිය ප්‍රදේශයට ආවොත් ජනතාවගේ එකදු පොල් පැළයක්, කජු පැළයක්, කෙසෙල් පැළයක් ආරක්ෂා කර ගැනීමට බැරි වනු ඇත.

එසේම මේ ප්‍රදේශයේ නිදහසේ ජීවත් වන ජනතාවට අලි ප්‍රශ්නයකට මුහුණ දීමටද සිදුවෙයි. දැනට අලි වැටවල් ගසා ගම ආරක්ෂා කර ගන්නා ජනතාවට කුණු ව්‍යාපෘතිය හරහා තවත් ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වනු ඇත.මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් හේතුවෙන් අසල නිවාසවල බිත්තිද ඉරිතළා තිබෙන අයුරු අපට දැකගත හැකි විය. අරුවක්කාලු ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට යෑමෙන් වන සතුන්ට හානි යැයි කියා ව්‍යාපෘතිය නැවතිය හැකි නම් සේරක්කුලිය ගමේ ජනතාවටද ඇත්තේ එවැනි පීඩාවකි.

කළපුවේ සිට මීටර් 100ක තරම්වත් දුරකින් ඉදිවෙන කුණු ව්‍යාපෘතිය හරහා ඍජුවම කළපුවට දැඩි බලපෑමක් එල්ල වෙයි. යුද්ධය පැවැති කාලයේත් මේ ගම්මාන සුරක්ෂා කර ගනිමින් සිටි ජනතාවට දැන් සිදුව ඇත්තේ සිය ගම්බිම්ද හැරයෑමටය.

අරුවක්කාලු ප්‍රදේශයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට උත්සාහ කළත් ඊට පරිසර අනුමැතිය නොලැබුණු බව ඇමැති චම්පිකම පිළිගනී. ඇමැති චම්පික උත්සාහ ගන්නේ අලුත් ව්‍යාපෘතියක් අරුවක්කාලු ප්‍රදේශයේම ඇති කළා යැයි කීමටය.

නමුත් ඇත්තටම එම ව්‍යාපෘතිය ඉදිවෙන්නේ සේරක්කුලිය ප්‍රදේශයේය. මේ සඳහා පරිසර වාර්තා ජනතාව දැනුවත් කිරීම් සිදු කළා යැයි කීවත් ඇත්තටම එවැනි දෙයක් සිදු වී නැත. එසේ වූවා නම් එක දිගට පුත්තලම නගර මධ්‍යයේ ජනතා විරෝධයක් පවත්වන්නේ නැත. දින 12ක පමණ කාලයක් තිස්සේ විරෝධය පාන ඔවුන් උත්සාහ කරන්නේ මීට ස්ථීර විසඳුමක් ලැබෙන තුරු එය ගෙන යෑමටය. මේ විරෝධතාවට සහාය දීමට ලුණු ලේවායේ සේවකයන්, ධීවරයන් සහ පුත්තලම, මන්නාරම් ප්‍රදේශවල ජනතාවද එක්වෙමින් තිබේ.

ජන විරෝධයක් පවතින විට ඊට ඇහුම්කන් නොදී, වයඹ පළාත් පරිසර අධිකාරිය නිකුත් කළ වාර්තාවක් පදනම් කරගෙන අරඹා ඇති මෙම ව්‍යාපෘතිය ගැන පරිසර ඇමැතිවරයා ලෙස ජනාධිපතිතුමාගේද අවධානය යොමු විය යුතුය.

එසේම වයඹ පළාත් පරිසර අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරියේ නියෝග නොතකන බව සැලවෙයි. මෙරට පළාත් සභාවක් සතුව ඇති එකම පළාත් පරිසර අධිකාරිය වන්නේ වයඹ පළාත් පරිසර අධිකාරියයි. පරිසර ගැටලු රැසක් උද්ගත වී ඇති නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය වෙනුවෙන් පරිසර වාර්තා ලබා දී ඇත්තේද මෙම ආයතනයයි.

ඒ නිසා එවැනි ආයතනයකින් ලබා ගත් පරිසර වාර්තාවක් යොදාගෙන ඇමැති චම්පික ජන විරෝධයද නොතකා කිරීමට සැරැසෙන්නේ තවත් පරිසර විනාශයක් බව පෙනේ.

ඒ නිසා අදාළ බලධාරීන් මේ පිළිබඳව සොයා බලා සේරක්කුලිය ජනතාවට විසඳුමක් දිය යුතුය. එසේ නොකොට හිතුවක්කාර ලෙස තීන්දු තීරණ ගනිමින් ජනතාව තළා පෙළා දැමීම සුදුසු නැත.

සටහන - අදීශ ජයතුංග
ඡායාරූප - උදේෂ් රණසිංහ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top