nsb
Sathosa

Nov 05, 2018

වමත් දඟයාගේ ටෙස්ට් පිටියෙන් සමු ගැනීම Featured

90 දශකය අගභාගය වන විට ලොව අග්‍රගන්‍ය වමත් කසකාරයා වූයේ සනත් ජයසූරියයි.මේ දශකය අවසානයේ ලොව හොඳම වමත් දඟයා හෙවත් පන්දු යවන්නා වූයේ රංගන හේරත්ය.මේ එළඹෙන්නේ ඒ විශිෂ්ට වමත් දඟයාගේ ටෙස්ට් පිටියෙන් සමුගැනීමේ අවස්ථාවයි.

දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසය ලෙස හැදින්වෙන ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීම මෙලොව බිහි වූ අග්‍රගන්‍ය දග පන්දු යවන්නා වන මුරලි ටෙස්ට් පිටියෙන් සමුගත් ආකාරයටම රංගනද තම ටෙස්ට් දිවිය අවසන් කිරීමට ගාල්ලම තෝරා ගැනීම අපූරු සිද්ධියකි.

මුරලිට එදා තම අවසන් ටෙස්ට් තරගයේදී ටෙස්ට් කඩුලු 800 ලබා ගැනීමට තවත් කඩුලු 8 ක් අවශ්‍යව තිබිණ. තරගයද ශ්‍රී ලංකාවට දිනා දෙමින් එම කඩුලු 8 දවාගෙන කඩුලු 800 ඉලක්කය සපුරා ගැනීමට ඔහු සමත් විය.

මෙවර රංගනටද එවැනිම අභියෝගයක් ඉතිරිව ඇත. ගාලු ක්‍රීඩාංගණයේ ටෙස්ට් කඩුලු 100 සම්පූර්ණ කිරීමට ඔහුට අවශ්‍යව ඇත්තේ, තවත් එක් කඩුල්ලක් පමණි.මෙම තරගයේදී තවත් කඩුලු 5 ක් ලබාගත හොත් ඔහු ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ 7 වැනි ස්ථාන යට පැමිණෙනු ඇත. මෙම පුද්ගලික අභියෝග දෙක ජය ගැනීම මෙන්ම ශ්‍රී ලංකාවට තරගය දිනා දීමේ ප්‍රබල අභියෝගය ජය ගැනීමද රංගනට තම අවසන් ටෙස්ට් තරගයේදී කර මත වැටෙන හිසරදයක් වනු නොඅනුමානය.

මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියේ අනභිබවනීය වාර්ථාවක් පන්දුවෙන් තබමින් 2009 දී සමුගත් පසු ශ්‍රීලංකා කණ්ඩායමේ ටෙස්ට් තරග දිනවන්නා වූයේ රංගන හේරත්ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ බලගතුම පන්දු යැවීමේ තුරුම්පුව ලෙස මුරලි සිටින තාක් තවත් දග පන්දු යවන්නෙකුට කණ්ඩායමේ තැනක් හිමි නොවිම හේතුවෙන් රංගනගේ වටිනාකම යටපත්ව තිබිණ.

එම හේතුවෙන් රංගන නම් වූ ජාත්‍යන්තර මට්ටමේ වමත් දග පන්දු යවන්නා කළ එළි බැස්සේ, 2009 න් පසුවය. එවිට 30 වැනි වියේ පසු වූ හතළිස් හැවිරිදි වියේදී විශ්‍රාම ගන්නා තෙක් මුරලිගේ අඩුව පිරවීමට සමත් වූයේය. එහෙත් මුරලි යන විට රංගන සිටියාක් මෙන් රංගන යන විට එම තැන ගැනීමට පළපුරුදු දග පන්දු යවන්නෙකු අපට නොසිටිම කණගාටුදායක කරුණකි. මලින්ද පුෂ්පකුමාර, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ වැන්නන් සිටියද, ඔවුන් නිසි අත්දැකීම් ලබන්නට තවත් කලක් ගතවනු ඇත.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනියට ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් ලබාගත්තේද, රංගනය. එ් 2016 වසරේ ගාල්ලේදී ඕස්ට්‍රේලියාවට එරෙහිවය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රථමයෙන්ම ටෙස්ට් කඩුලු ත්‍රිත්වයක් ලබා ගන්නේ නුවන් සොයිසාය. 1982 දී එංගලන්ත ජාතික වමත් දග පන්දුයවන ක්‍රීඩක ජොනී බ්‍රිග්ස්ගෙන් පසු එම සමත්කම දැක්වූ වමත් දග පන්දු යවන්නා වූයේ රංගනය. එහිදි රංගන දවාත් පිතිකරුවන් වූයේ ඇඩම් වොග්ස්, පීටර් නෙවිල් හා මිචෙල් ස්ටාක්ය. එම තරගයේ ජය ශ්‍රී ලංකවට හිමි විය.

මේ වන විට රංගන දවාගෙන ඇති මුළු ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 430 කි. මෙය වමත් දග පන්දු යවන්නේකු දවා ඇති වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාව ලෙස ඉතිහාසියට එක් වේ. රංගනගේ දග පන්දු රංගනය බොහෝ විට දක්නට ලැබුනේ ටෙස්ට් පිටියේ වුවද, විස්සයි 20 තරග වලදි ඔහු පන්දුවෙන් විශිස්ට දස්කම් දැක්වීමට සමත් වූයෙකි. 2014 විස්සයි 20 ලෝක ශූරතාව ශ්‍රී ලංකාව දිනූ තරගාවලියේ අවන් පූර්ව තරගය ශ්‍රී ලංකාවට දිනා දුන්නේ රංගනගේ අති විශිස්ට පන්දු යැවීමෙනි. ලකුණු 119 කට දැවී ගොස් නවසීලන්තයට නියත ජයක් පෙනෙමින් තිබූ අවස්ථාවක රංගන ලකුණු 3 කට ලැබූ කඩුලු 5 හේතුවෙන් ශ්‍රී ලංකාව ලෝක කුසලාන විස්සයි 20 අවසන් තරගයට වරම් ලබා ගත්තේ නවසීලන්තය ලකුණු 60 කට සීමා කරමිනි.

නාරම්මල මයුරපාදයේ සිටියදී, මලියදේව පුහුණුකරු රොහාන් ධීරසූරියගේ ඇස ගැටී මලියදේවයට පැමිණ ඇරඹු ක්‍රිකට් ගමන් මගේ උපරිමයට පැමිණි රංගන හේරත් නම් වූ විශිෂ්ටතම වමත් දග පන්දු යවන්නාගේ ක්‍රීඩක භූමිකාව මෙම ටෙස්ට් තරගයෙන් නිමාවට පත් වුවද, ඔහුගේ වචන වලින්ම කිවහොත්, බැංකුකරුවෙකු ලෙස තමන් සේවය කරන සම්පත් බැංකුවට තවදුරටත් කරන්න බලාපොරොත්තු වන සේවය මෙන්ම දග පන්දු යවන්නන් සඳහා තමන් සතු අත්දැකීම් සම්භාරය කැටි කොට ලබා දීමට සමත් පුහුණුකරුවකුද වනු දැකීම අපේ ප්‍රාර්ථනයයි.

ටෙස්ට් පිටියෙන් සමු ගන්නා වමත් දඟයා ..... ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලද සේවයට ස්තූතියි.

- රංජන් පරණවිතාන

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top