nsb
Sathosa

Nov 06, 2018

සමලිංගිකයන්, විෂමලිංගික කිරීමට උත්සාහ කළ කෲර ප්‍රතිකර්ම

සමලිංගික ප්‍රජාවට මීට දශක කිහිපයකට පෙර ලෝකය තුළ අද මෙන් නිදහස් ජීවිතයක් උරුම නොවීය. රෝගීන් ලෙසත්, අපරාධකරුවන් ලෙසත් ඔවුන් දැඩි මර්දනයට සහ අවමානයට ලක්කර තිබුණි. ලෝකය තුළ කලින් කලට සිදු වූ ජනතා අරගල මඟින් විවර වූ නව දේශපාලන තත්ත්වයන් විසින් සහ වෛද්‍ය විද්‍යාව විසින් මෙහි ජීව විද්‍යාත්මක තත්ත්වය පිළිබඳ සත්‍යය අනාවරණය කිරීම මඟින් ද, විවිධත්වය ඇගයීමට සහ දුර්මත දුරුකිරීම හැකි වීම ඔස්සේ සමාජ දේශපාලන නිදහසක් උරුම කරගත හැකි විය. මේ සම්බන්ධ සංවාදයේ දී නැඟෙන පැනය නම්, අනෙකාගේ පුද්ගලික රුචිකත්වය තීරණය කිරීමට තවත් පිරිසක් වෙහෙසිය යුතු වන්නේ ඇයි ද යන්න යි.

rW7CHEiZOcxRqQOt 11969 සමලිංගික අයිතිය වෙනුවෙන් මෑන්හැට්න් හි පැවැත්වූ රැලිය (livefasttryingnottodieyoung)

එසේ අනෙකාගේ ලිංගික රුචිකත්වය බලහත්කාරී ලෙස ප්‍රතිකාර මඟින් වෙනස් කිරීමට උත්සාහ කළ ඛේදනීය ඉතිහාසයක් පවතියි. 1899 දී ජර්මන් ජාතික මානසික වෛද්‍යවරයෙකු වූ එරින් බ්ලේක්මෝර් යම් පරීක්ෂණයකින් පසු ව ප්‍රකාශ කළේ තමන් විසින් සමලිංගික පුරුෂයෙකු විෂමලිංගික බවට පත්කළ බව යි. අවස්ථා 45ක දී මෝහනයෙන් නින්දට පත්කර, එතෙක් පුරුෂයන් කෙරෙහි ඇල්මක් දැක්වූ සමලිංගික පුරුෂයෙකු කාන්තාවන් කෙරෙහි ආශාව ඇත්තෙකු බවට පත්කළ බව යි ඔහුගේ නිගමනය වූයේ. ‘සමලිංගික ප්‍රතිකාර ක්‍රමය’ පිළිබඳ ඉතිහාසයේ දී හමුවන ප්‍රධාන කේන්ද්‍රස්ථානයකි එය.

මෙසේ විද්‍යාත්මක ලෙස නම් කළ නමුත් ව්‍යාජ-විද්‍යාත්මක ක්‍රම මඟින් සමලිංගිකයන්, විෂමලිංගික කරවීමේ ක්‍රියාමාර්ග පසුගිය සියවසේ ප්‍රචලිත ව පැවති අතර, බොහෝවිට කතෝලික පල්ලිය ද එම ආයතන සමග කටයුතු කරමින් තම දායකත්වය සපයන ලදී. සමලිංගිකත්වය රෝගයක් ලෙස හඳුනාගැනීම නිසා ම, මෙවන් තත්ත්වයක් නිරීක්ෂණය වන ආරම්භයේ පටන් ම දෙමව්පියන් විසින් ම දරුවන් ව මෙම ආයතන වෙත බාර දුනි. අද වන විට මෙවන් කටයුතු වෛද්‍ය විද්‍යාව තුළ තහනමට ලක් ව ඇතත් 20 වන සියවස තුළ ඉතිරි කර ඇත්තේ කෲර සහ මනුෂ්‍යත්වයට නිගාදෙන ඉතිහාසයකි.

සමලිංගිකත්වය තුළත් විශේෂයෙන් පුරුෂයන් අතර සමලිංගිකත්වය සියවස් ගණනාවක් පුරා ම සලකන ලද්දේ පාපිෂ්ඨ මෙන්ම අපරාධමය ක්‍රියාවක් ලෙස ය. 19 වන සියවසේ දී වෛද්‍යවරුන් සහ මනෝවෛද්‍යවරුන් විසින් මෙය සෞඛ්‍යය තත්ත්වයක් ලෙස විග්‍රහ කිරීමට පටන්ගත් අතර, එය රෝගයක් නිසා සුවපත් කර නැවත සාමාන්‍ය තත්ත්වය ලෙස බහුතරයක් දෙනා සලකන විෂමලිංගිකත්වය බවට හැරවීම සඳහා උත්සාහ දරන ලදී.

ඔස්ට්‍රියානු ජාතික කාය විශේෂඥයෙකු වූ ඉයුජීන් ස්ටෙනාච්ගේ (1861 – 1944) අදහස වූයේ සමලිංගිකත්වයට හේතුව වන්නේ වෘෂණ කෝෂවල පවතින ගැටලුවක් නිසා බව යි. ඒ අනුව සමලිංගික පුරුෂයන්ගේ වෘෂණ කෝෂ කප්පාදු කොට විෂමලිංගිකයෙකුට හිමි ව තිබූ වෘෂණ කෝෂ බද්ධ කිරීම මඟින් මීට විසඳුමක් දිය හැකි බව ඔහුගේ නිගමනය විය. මේ සම්බන්ධ පරීක්ෂණ 1920 දශකයේ පැවතුණි.

axXIvRpiUslF2dlV 2Eugen Steinach (history)

සමලිංගිකත්වය පිළිබඳ ඉහත පන්නයේ ශාරීරික එළඹුම්වලට අමතර ව මෙය මානසික තත්ත්වයක් ලෙස ද තවත් පිරිසක් තර්ක කරන ලදී. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මතය වූයේ පුද්ගලයා උපතින් ම ද්වි-ලිංගික ලක්ෂණ සහිත බව යි. එසේ ම සමලිංගික වීම රෝගී තත්ත්වයක් නොවන බව ද ඔහුගේ මතය විය. නමුත් ඔහුගේ සමකාලීනයන් බොහොමයක් එම මතයට එකඟ නොවී ප්‍රකාශ කළේ මෙය රෝගී තත්ත්වයක් බව යි.

proidසිග්මන් ෆ්‍රොයිඩ් (Wikipedia)

විද්‍යුත් ප්‍රතිකාරක ක්‍රම මඟින් මෙන්ම හිස සිදුරු කරන පිණ්ඩ විච්ඡේදන ක්‍රමය ද උපයෝගී කරගනිමින් සමලිංගිකයන්, විෂමලිංගික කරවීමට උත්සාහ කරන ලදී. මෙම ප්‍රතිකාරක ක්‍රම මඟින් බොහෝදුරට අවසානයේ සිදු වූයේ සාමාන්‍ය මිනිස් ජීවිත ගත කළ මිනිසුන්ගේ ජීවිත සදාකාලික ව වේදනාවෙන් පීඩා විඳන මිහිමත අපායන් බවට පත්වීම යි. විශේෂයෙන් ම පිණ්ඩ විච්ඡේදනය මඟින් මරණ පවා සිදුවිය.

cNg14zzGcfJTnekZ 4පිණ්ඩ විච්ඡේදනය (science.howstuffworks)

එක්සත් ජනපදයේ ලුසියානා ප්‍රාන්තයේ මනෝවෛද්‍යවරයෙකු වූ රොබට් ගැල්බ්‍රේත් (1915 - 1999) විසින් මෙසේ විද්‍යුත් ක්‍රමයක් මඟින් සමලිංගික පුරුෂයෙකු විෂමලිංගිකයෙකු බවට පත්කළ බවට පරීක්ෂණ වාර්තාවක් මඟින් ඉදිරිපත් කරන ලදී. ඔහු මේ සඳහා යොදාගත් පුද්ගලයා වූයේ B-19 නම් සංකේත නාමයෙන් හැඳින්වූවෙකි. මේ සඳහා ඔහු විසින් මුදල් ගෙවා ලිංගික ශ්‍රමික කාන්තාවක් ද, විෂම ලිංගික කාමෝද්දීපන දර්ශන ද යොදා ගන්නා ලදී. මුලින් ඔහු විසින් මිනිස් මොළයේ හැඟීම් දනවන කොටස වන ආවාර ප්‍රදේශය (septal region) ඉලක්ක කර විද්‍යුත් ඉලෙක්ට්‍රෝඩ මඟින් කම්පන ලබාදෙන අතරතුර ඔහුට ඉහත සඳහන් කාමෝද්දීපන දර්ශන පෙන්වීමට කටයුතු කරන ලදී. ඉන්පසු ව ඔහු ව පෙර කී කාන්තාව සමග ලිංගික සංසර්ගයේ යෙදීමට යොමුකළ අතර, ඉන්පසු ව පරීක්ෂණය සාර්ථක ව අවසන් වූ බවත්, සමලිංගිකත්වය ආපසු හරවන ලද බවත් වෛද්‍ය රොබට් ගැල්බ්‍රේත් නිගමනය කරන ලදී.

nS3Z4MSPaODDHpJD 5විද්‍යුත් ප්‍රතිකාරයට සූදානම් කරන අවස්ථාවක් - 50 දශකයේ දී (history)

තවත් ප්‍රතිකාරක ක්‍රමයක් ලෙස 'අරුචි ප්‍රතිකාරක ක්‍රමය’ (Aversion Therapy) යොදාගන්නා ලදී. මෙම ක්‍රමය සාමාන්‍යයෙන් භාවිතයට ගනු ලබන්නේ පුද්ගලයන්ගේ පවතින විවිධ හැසිරීම් සඳහා අරුචියක් ඇති කිරීම සඳහා යි. බැහැර කළ යුතු ක්‍රියාවන් පිළිකුල් කරන තත්ත්වයක් ඇති කිරීම මෙහි දී කෘතිම ව සිදුකරයි. සමලිංගික ගැටලුව සඳහා ද මෙය භාවිතයට ගන්නා ලදී. මෙහි දී සමලිංගික පුද්ගලයන් තම ආදරවන්තයාගේ ඡායාරූපයක් හෝ සමලිංගික කාමෝද්දීපන දර්ශන වැනි දේ පෙන්වා, එවිට වමනය ඇතිවීම සඳහා ඖෂධ ලබාදෙයි. එසේ නොමැති නම් විද්‍යුත් කම්පන ඇති කරයි. ඒ මඟින් ඔවුන්ට සමලිංගිකත්වය අත්හැරවිය හැකි ද යන්න පිළිබඳ පරීක්ෂා කරන ලදී.

මෙවන් ශාරීරික ක්‍රමවලට අමතර ව ආගමික හැඩයෙන් යුතු මානසික ප්‍රතිකාර ක්‍රම ද පැවතුණි. එහි දී ඔවුන් පවුල්වලින් වෙන්කර තබා සමලිංගිකත්වය තමන්ගෙන් ඈත්වන තෙක් යාඥා කිරීමට යොමු කරවයි. සමලිංගිකත්වය අස්වාභාවික බවත්, පාපකාරී බවත් එහි දී අවධාරණය කරන ලදී.

1960 සහ 1970 දශකවල නැඟී ආ අරගල නිසා ම අවසානයේ සමලිංගිකත්වය රෝගයක් ද යන්න නැවත සිතා බැලීමට වෛද්‍යවරුන්ට සිදු වූ අතර, 1973 දී එක්සත් ජනපදය විසින් සමලිංගිකත්වය මානසික රෝග ලැයිස්තුවෙන් ඉවත් කරගන්නා ලදී. එසේ ම ඉහත සඳහන් කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් විද්‍යාත්මක පිළිගැනීමක් ඇති ක්‍රම ද නොවේ. වෛද්‍ය විද්‍යාව තුළ ඉහත ආකාරයේ භයානක ක්‍රම තහනමට ලක් ව තිබෙන නමුත් විවිධ ක්‍රම මඟින් සමලිංගිකත්වය වෙනස් කිරීමේ කටයුතු අදත් සිදුවෙයි.

පසුගිය දා තිරගත වීම ආරම්භ වූ Boy Erased චිත්‍රපටය මෙසේ ප්‍රතිකාර සඳහා පිටත් කළ තරුණයෙකුගේ කතාව යි.

උපුටා ගැනීම - Roar සිංහල වේබ් අඩවිය
සටහන - චතුර්ක මධුශාන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top