Sathosa

Nov 26, 2018

යළි හුස්ම ගන්නත් අවශ්‍ය මැතිවරණයක්

"දේශපාලනඥයින් මේ රටේ මේ ඉරණම කවමදාවත් වෙනස් කරන්නේ නැහැ. ඔබලා ඔය පුටුවල වාඩි වෙලා, දේශපාලනඥයින් දිහා බලලා, ඔබලා හිතනවානම් ඔවුන් වෙනසක් සිදුකරයි කියලා, ඒක කවමදාවත් වෙන්නේ නෑ..." දෙසතියකට පෙර එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික‍්‍රමරත්න (විස්තර සඳහා - https://www.facebook.com/1398478163/posts/10213631340963346/&

ඉකුත් නොවැම්බර් 19 වැනි සඳුදා, පාර්ලිමේන්තුව කල් තැබුවේ සිකුරාදා (23) දින නැවත රැස්වීමේ තීන්දුව සමගය. විශේෂයෙන්ම පසුගිය නොවැම්බර 14 වැනි දින සිට කිසිදු වැදගැම්මක් නොමැති මේ පාර්ලිමේන්තු රැස්වීම් සඳහා වැය කෙරුණු මහජන මුදල අති විශාලය. පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් විසින් සහතික කරනු ලැබූ 2017 වසරේ වැය වීම් අනුව එක් දිනක පාර්ලිමේන්තු රැස්වීමකට වැය වූ මුදල රුපියල් දස ලක්ෂ 25.7 කි. රටේ ජනතාවට කිසිදු වැදගත්කමක් නොවුනු ඉතාම විනාශකාරී පසුගිය රැස්වීම් දින 04 ක් සඳහා වැයවූ රුපියල් දස ලක්ෂ 100 ට වැඩි සහ විනාශ කෙරුණු පාර්ලිමේන්තු දේපල ගණන් බැලූ විට, මහජන මුදලින් නැවත මේ පාර්ලිමේන්තුව රැස්වන්නට ඉඩදීමේ මොනයම්ම අරුතක් නැත.

ඉතිහාසයේ කෙටිම පාර්ලිමේන්තු රැස්වීමේ මුලසුන ගැනීමට හෝ කතානායකට නොහැකි වූ බැව් පසුගිය සඳුදා රැස්වීමෙන් ඔප්පු විය. එහි සියලු කාර්යන් විනාඩි 10 කින් අවසන්ව ඇත. එදින උදය පක්ෂ නායකයින්ගේ තීන්දුව අනුව පාර්ලිමේන්තුව එසේ කල් තැබීමේ වගකීම ගැනීමට සිදු වූයේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිට ය.

වල් වැදුණු පාර්ලිමේන්තු රැස්වීම් සඳහා මුල පිරුණු නොවැම්බර 14 වන දින කතානායක විසින් නැවත කැඳවනු ලැබූ පාර්ලිමේන්තුව, ආණ්ඩුව තමන් යැයි කියන්නාවූ ඒකාබද්ධ විපක්ෂය විසින් අභියෝග නොකළාට, වාර අවසන් කරනු ලැබූ පාර්ලිමේන්තුවක් ව්‍යවස්ථානුකූලව යළි ආරම්භ කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණි. එනමුත් ඒ ව්‍යස්ථාමය බලය අභියෝග කිරීමට කතානායකවරයා පියවර ගන්නේ නම්, එය පැහැදිලි විවෘත දේශපාලන තීන්දුවකි. විශේෂයෙන් දරුණු බෙදීමක් තිබෙන්නාවූ පාර්ලිමේන්තුවක ඒ සමග ගැට ගැසෙන බරපතල වගකීම ගැන කරු ජයසූරිය සතු කිසිදු අවබෝධයක් නොතිබුණු බැව් ඔහුගේ ක්‍රියාකලාපයෙන් ප‍්‍රදර්ශනය විය. එවැනි අභියෝගාත්මක පියවරක් ගැනීමට හැකි වන්නේ පාර්ලිමේන්තුවේ සියලු පාර්ශවයන්ගේ එකඟත්වය හා සහාය ඇතිව යැයිද ඔහු නොදත්තේය.

තර්කානුකූල මනසක් තිබූ අත්දැකීම් බහුල පරිනත දේශපාලනඥයෙකු සහ වරෙක පාර්ලිමේන්තුවේ කතානායක වූ අධිනීතිඥ ස්ටැන්ලි තිලකරත්න වැන්නකු සිටියේ නම්, ඔහු කිසි විටෙක කතානායක කරු ජයසූරිය 26/10 න් පසුව ගිය මග නොයනු ඇත. කතානායකවරයෙකුගේ ස්වාධීනත්වය ඇගයෙන්නේ ඔහුගේ පක්ෂයෙන් ඔහු කෙතරම් ස්වාධීනදැයි ප‍්‍රදර්ශනය කරන තරමටය. අතිශය අර්බූදකාරි අවස්ථාවන්හි ඒ ස්වාධීනත්වය මිල කළ නොහැක්කකි. එබැවින් කතානායක ලෙස තමන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසය සමග පිළිගැනුමක් සියලු පාර්ශවයන් අතර තහවුරු කර ගැනීමේ පරිසරය හදා ගැනීම, කතානායකවරයා ලෙස කරු ජයසූරිය උරදිය යුතු වූ පළමු හා ප‍්‍රධානම වගකීම විය. දේශපාලන වශයෙන් ඉතා ගැටුම්කාරී උණුහුම් බෙදීමක් තිබූ පාර්ලිමේන්තුවක අවසන් සම්මුතිය සඳහා සියල්ලන් එකඟ කරවා ගැනීමට කඩා නොවැටෙන අධිශ්ඨානයක් හා ඉවසීමක් පමණක් නොව, ඉතා විනය ගරුක සදාචාර සම්පන්න භූමියක තමන් සිට ගැනීම අවශ්‍ය යැයි යන්නද කරු ජයසූරිය දැන සිටිය යුතු විය.

කතානායක ලෙස කරු ජයසූරියගේ හැසිරීම ඊට හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධ විය. පොලිස් ආරක්ෂාව ඇතිව පාර්ලිමේන්තු සභා ගැබට පිවිසීමෙන්ම ඔහු එය ඔප්පු කළේය. කතානායක වටකර පොලිස් නිලධාරීන් තබා ගෙන ජනතා පරමාධිපත්‍ය රැකිය යුතු පාර්ලිමේන්තුවක දෛනික කටයුතු කළ නොහැකි බැව් සාමාන්‍ය දැනුම විය යුතුය. එවැනි කටයුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ජනතා පරමාධිපත්‍ය හා කිසිදු සම්බන්ධයක් නැත. පළමුව මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කෙරුණු ගැසට් නිවේදනය පිළිගන්නේ යැයි කියූ කතානායක ජයසූරිය, පසුව ඔහුගේ හෘදය සාක්ෂියට අනුව රාජපක්ෂගේ පත්වීම ව්‍යවස්ථානුකූල නොවන්නේ යැයිද බහුතරයක් ඇති ඔහුගේ පක්ෂයේ රනිල් වික‍්‍රමසිංහ එබැවින් අගමැති ලෙස පිළිගන්නේ යැයිද සිය ස්ථාවරය වෙනස් කළ විගස, ඔහුගේ පක්ෂග‍්‍රාහිත්වය නිරුවත් වූයෙන් ඔහුට පොලිස් ආරක්ෂාව නොලබා බැරි විය. පාර්ලිමේන්තුවේ සියලූ පාර්ශවයන්ගේ සහාය දිනා ගැනීම වෙනුවට, කොළඹ තම කාර්යාල සහ අරලියගහ මැදුරත් කානායක කාර්යාලයත් වරෙක ජනාධිපති ලේකම් කාර්යාලයත් අතර ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන් හා සම්මුතීන් මත අර්ථ ගැන්වෙන රාජ්‍යතාන්ත‍්‍රික වගකීමට පටහැනිව ගමන් ගිය බටහිර විදේශ තානාපතිවරුන්ගේ වුවමනාවන්ට අවනත වීමෙන් කරු ජයසූරිය 26/10 න් පසු අවලංගු කතානායකවරයෙකුගේ අවාසනාවන්ත තත්ත්වයට පත් විය.

පාර්ලිමේන්තු සම්මතයන් නොතකා ජනාධිපතිගේ බලයටද අභියෝග කරමින් කැඳවනු ලැබූ පාර්ලිමේන්තුවෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගැනීමට උත්සාහ කිරීමෙන් කරු ජයසූරිය තව දුරටත් කතානායක ලෙස ඔහුගේ පක්ෂග‍්‍රාහිත්වය නිරුවත් කර පෙන්වීය. නොවැම්බර 14 වන දින පාර්ලිමේන්තුව කැඳවීමේද ප‍්‍රතිවිරෝධයක් තිබිණ. දෙසැම්බර 07 වන දා තෙක් නාම යෝජනා බාර ගැනීම වළකා අතුරු තහනම් නියෝගයක් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි පාර්ලිමේන්තුව විසිරුවා හැරි ගැසට් නිවේදනය අවලංගු කිරීමක් නොවින. එනිසාම එමගින් නොවැම්බර 14 වන දිනට නැවත පාර්ලිමේන්තුව කැඳවූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමක් නොවින. එහෙත් අතුරු තහනම් නියෝගයෙන් නැවත පාර්ලිමේන්තුව කැඳවීමට අවසර ලැබුණි යැයි තර්ක කරනවුන්ගේ තක්කඩිකම තේරුම් ගත හැක්කේ ඉඩමක මායිම් පිළිබඳ මත භේදයකදී ඉදි කෙරුණු තාප්පයක් පිළිබඳව දෙනු ලබන අතුරු තහනම් නියෝගයක් මත ඒ තාප්පය වහා කඩා දැමිය හැකි යැයි තර්ක කරනවුන්ගේ අමනකම තේරුම් ගැනීමෙනි. එවැනි තක්කඩි අර්ථගැන්වීමක් බාර ගත්තද එමගින් කතානායකවරයාට පාර්ලිමේන්තතුව නැවත කැඳවීමට බලයක් ලැබෙන්නේ නැත.

එළෙසින්ම එළෙසින් කැඳවනු ලැබූ පාර්ලිමේන්තුවෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කර ගැනීමට සියලූ ස්ථාවර නියෝග අත්හිටුවීමට සුමන්දිරන් වැනි නීති විශාරදයෙකු ගෙනා යෝජනාවෙන්ද හෙළි කෙරෙන්නේ ඔවුන්ගේ හිතුවක්කාර උද්දච්චකමය. ඒ සම්බන්ධ නීති විශාරධයින් අතර වෙනත් තර්ක තිබිය හැකිය. එහෙත් ස්ථාවර නියෝග කිසිවක් නොමැති විට එය පාර්ලිමේන්තුවක් නොවන්නේය. කවර හෝ ‘‘නියෝජිත සමුළුවක’’ සහ ජනතා නියෝජිතයින්ගේ ‘‘පාර්ලිමේන්තු රැස්වීමක’’ වෙනස ඇත්තේ එහිය. පාර්ලිමේන්තු සංංකීර්ණයෙහි ස්ථාවර නියෝග සියල්ල අත්හිටුවා පවත්වන රැස්වීමක් අන් කවර නමකින් හැඳින් වූවත් එය පාර්ලිමේන්තු රැස්වීමක් නොවන්නේය.

එහි තවත් විහිළුවක් විය. විශ්වාස භංග යෝජනාව ගෙනෙනු ලැබූයේ මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීම නීති විරෝධී යැයි තර්ක කරමින්ය. එනිසා ඔහු තවමත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තුවරයෙකු පමණකැයි ඔවුහු කීහ. එබැවින් රනිල් වික‍්‍රමසිංහ තව දුරටත් අගමැති ලෙස ඔවුහු පිළිගත්හ. රනිල් වික‍්‍රමසිංහද නීතිඥයෙකි. සභානායක කිරිඇල්ලද, විපක්ෂ නායක සම්පන්තන්ද, දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශක සුමන්තිරන්ද, එ.ජා.පයේ තවත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක්ද නීතිඥයෝ ය. මේ සැවොම ඔවුන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායැයි හඳුන්වන මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කරන්නේ ඔහු අගමැති ලෙස පිළිගනිමින් ඔහුට බහුතරයක් නැතැයි යන තර්කය මතය. රාජපක්ෂ අගමැති ලෙසත් ඔහුගේ අමාත්‍ය මණ්ඩලය ආණ්ඩුව ලෙසත් පිළිගැනීමට නුසූදානම් රාජ්‍යතාන්ත‍්‍රික සම්මතයන් බිඳින්නාවූ බටහිර තානාපතිවරුන් සැසඳෙන ලෙස ජ.වි.පෙත් දෙමළ ජාතික සන්ධානයත් එ.ජා.පත් හවුල්ව මෙවැනි අනුවණකම් නොකළ යුතුව තිබිණ.

පාර්ලිමේන්තුවෙහි කතානායක ජයසූරිය මුල් කරගෙන දියත් කෙරුණු කට්ටිවාදී අවස්ථාවදී සහ බලයට ගිජු දේශපාලන හැසිරීමත් ඊට එරෙහිව රාජපක්ෂ පාර්ශවයේ අශීලාචාර, මැර විනාශකාරී ප‍්‍රතිචාරත් මේ පාර්ලිමේන්තුවෙහි සුජාත බවක් ඉතිරිකර නැත. මෙය ආරම්භ වූයේද ජනතා ඡන්දයෙන් තීන්දු කළ තේරීමට ගරහා මන්ත්‍රීවරුන් ඇමතිකම් සහ බලයට කෑදරකමින් වැට පැනීමෙනි. මෙය පැවතියේ ජනාධිපතිගේ හයිය මත ඉතාම අසික්කිත ලෙස දේශපාලන නායකයින් ජනතාවගේ තේරීම් වෙනස් කිරීමට කෙරුණු කුමන්ත‍්‍රණ සමගය. එවැනි පාර්ලිමේන්තුවක් අධිකරණ තීන්දු මත සුජාත කළ නොහැක.

විවිධ මත නිපදවමින් විදේශ ආධාර මත යැපෙන ඉහළ පැලැන්තියේ විශාරදයින් සහ කොළඹ මැද පාංතික ප‍්‍රජතන්ත‍්‍රවාදීන් පිළිගැනීමට සූදානම් නොවුනත් ඔවුන් ‘‘විප්ලවීය වෙනසක්’’ යැයි කියූ 2015 ජනවාරි ‘‘වෙනස’’ මේ ඛේදවාචකයෙන් මිස වෙනත් ආකාරයකින් අවසන් විය නොහැකි වූවකි. රාජපක්ෂ ඉවත් කිරීම එකම අධිෂ්ඨානය කර ගනු ලැබූ ඒ වෙනසින් රාජපක්ෂ යුගය මෙන්ම හෝ ඊටත් වඩා දූෂිත ‘‘යහපාලන’’ දෙබිඩි ආණ්ඩුවක් ඇති කළේය. දෙමසක් යන්නටත් පෙර මහ බැංකු බැඳුම්කර කොල්ල කෑමට අගමැතිවරයාද කෙළවරක ඇත. තවත් ඇමතිවරුන්ගේ මහා සොරකම් ඒ පිටුපසින් ඇත. රාජපක්ෂගේ දෙවැනි පාලන යුගයට වඩා වෙනස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වගවීම් සහිත පාලනයක් යහපාලනයෙහි නොවුනි. කොළඹ මැද පංතික ‘‘යහපාලන’’ ලබ්ධිකයින් කියන්නාවූ අලූත් ප‍්‍රජාත්ත‍්‍රවාදයක් ඇතැයි පිළිගත්තද එය කොළඹ කේන්ද්‍රීය සිංහල බෞද්ධ ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට සීමා වූවකි. එහි යුද්ධයෙන් අතිශය පීඩාවට පත්ව ඉන්නා උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාවට ලැබුණු පිළිසරණක් නැත. ඒ රාජපක්ෂ විරෝධී ‘‘වෙනසෙහි’’ යහපාලකයින් පොරොන්දු වූ කිසිවක්ද නැත. ඔවුන් මැතිවරණ සමයේ මහා ගෝසාකාරී ලෙස ප‍්‍රතික්ෂේප කළ චීනයද එහි ඉහළින්ම ඇත.

යහපාලනයෙන් සිදු කළ සියල්ලෙන් වාසි ලැබූයේ රාජපක්ෂවාදීන්ය. මේ ඓතිහාසික විප්ලවීය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනසකැයි කියූවෙහි ඇත්තේ කෑදර මැද පංතිකයින් තමන් බුක්ති විඳින සුඛවිහරණ සියල්ල අනෙකුන්ද එසේම බුක්ති විඳින්නේයැයි ඉදිරිපත් කරන මෝඩ තර්කය පමණි. මෙහි අති බහුතර ග‍්‍රාමීය ප‍්‍රජාව සහ නාගරික දිළින්දන් ඇත්තේ නැත. මුරලිදරන් මුග්ධ යැයි කොළඹ පණ්ඩිතයින් මොර දුන්නද, ඔහුගේ ප‍්‍රකාශයෙහි වූයේ කොළඹ මැද පංතිකයින් බුක්ති විඳින ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ සහ ග‍්‍රාමීය හා නාගරික බහුතරයගේ ‘‘ජීවන පොරය’’ පිළිබඳ පංතිමය විග‍්‍රහයකට අයත් කතාවකි. කොළඹ මැද පංතිය ඔවුන්ගේ සුඛෝපභෝගි ජීවිතයෙහි තබා ගන්නා සමාජ වටිනාකම් හා ප‍්‍රමුඛතා, ග‍්‍රාමීය සමාජයේ සහ නාගරික දුප්පතුන්ගේ ජීවන පොරයෙහි වටිනාකම් හා ප‍්‍රමුඛතා නොවන බැව් කීමකි. එය ඉතා ප‍්‍රබල ප‍්‍රකාශනයක් ලැබූයේ අවුරුදු 03 ක යහපාලනයෙන් ලද අත්දැකීම් විසින් 2018 පෙබරවාරියේ පළාත් පාලන මැතිවරණයේදී රාජපක්ෂවාදීන් දස ලක්ෂ 05.01 (සියයට 40.5) ක ඡන්ද සමූහයක් ලබා ගෙන යහපාලන දෙබෑයන්ගෙන් වික‍්‍රමසිංහගේ එ.ජා.පය ඡන්ද දස ලක්ෂ 03.6 (සියයට 29.4) ක් දක්වා පල්ලම් බස්සවා ජනාධිපති සිරිසේනගේ ශ්‍රී.ල.නි.පය අන්ත පරාජයට පත් කිරීමෙහිය.

මේ විකෘති යහපාලනයෙන් මේ රට දණ ගස්සවා ඇත. එරාන් වික‍්‍රමතුංග මන්ත්‍රීවරයා කියා ඇති අයුරු මේ ඉන්න"දේශපාලනඥයින් මේ රටේ මේ ඉරණම කවමදාවත් වෙනස් කරන්නේ නැත". එබැවින් අලුත් ගමන් ආරම්භ කිරීමට නම් මේ රටේ ජනතාවට නැවත හුස්මක් ගැනීමට අවස්ථාවක් තිබිය යුතුය. එය ලබා ගත හැක්කේ නොපමාව මහ මැතිවරණයක් පැවැත්වීමෙන් පමණි. ජනතාව විසින් ඔවුන්ගේ කැමැත්ත මත ආණ්ඩුවක් පත්කර ගැනීමෙන් පමණි. එහෙත් ඒ ගැනද අවධාරණය කළ යුත්තක් ඇත. මේ පවතින ක‍්‍රමයෙහි මැතිවරණ මගින් පිරිසිදු පාර්ලිමේන්තු පත්කර ගත නොහැක. එබැවින් හුස්මක් ලබා ගැනීමට ඉල්ලා සිටින මැතිවරණය මගින් ලබා ගන්නා සමාජ අවකාශය යොදා ගත යුත්තේ විකල්ප සංවර්ධන ක්‍රියාවලියක් සමඟ සක්‍රීය සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පාලනයක් වෙනුවෙන් දියුණු කතිකාවක් දිග හැර ගැනීමටය. වහා අවශ්‍ය වන්නේ එවැනි සමාජ කතිකාවකි. එවැන්කින් තොර මැතිවරණ මගින් සහ අලූත් මුහුණු සෙවීමෙන් කිසිදු වෙනසක් නොවනු ඇත.

කුසල් පෙරේරා
ඉරිදා ලක්බිම
2018 නොවැම්බර 25

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top