photographic 2
සිහින සැබෑ වූ පුංචි වීරයා - ආචි ශිලර් සිහින සැබෑ වූ පුංචි වීරයා - ආචි ශිලර්
Dec 26, 2018

බොක්සිං දින තරගයේ පුංචි වීරයා

අද (26)ට යෙදී ඇති බොක්සිං දිනයේ එනම්, නත්තල් දිනට පසු දින ආරම්භ කෙරෙන ඉන්දු - ඕස්ට්‍රේලියා තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ඕස්ට්‍රේලියා පිල නම් කිරීමේදී තම කණ්ඩායමට 7 හැවිරිදි කුඩා ක්‍රීඩකයෙකු ඇතුලත් කිරීමට ඕස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් පුමුඛ එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර ඇත.

දකුණක් පා දග පන්දු යවන්නෙකු ලෙස නම්කර ඇති කුඩා ආචි ශිලර් එම කණ්ඩායමේ සම නායකයා ලෙසද නම්කර තිබීම විශේෂත්වයකි.මෙය ක්‍රිකට් ඉතිහාසයේ විරලම සිදු වීමක් ලෙස වාර්තා පොත් අතරට ඇතුළත් වන්නේ, එම සිද්ධියට අදාල මානූෂිය ගුණාංගයක්ද හේතුවෙනි.

උත්පත්තියේ සිටම දුර්ලභ හා දරුණු හදවත් රෝගයකින් පෙළෙන කුඩා ආචි මේ වන විට සැත්කම් තුනකට භාජනය කොට ඇති අතර, මෙම තරගය අවසානයේ තවත් තීරණාත්මක සැත්කමකට භාජනය කිරීමට නියමිතය. එම සැත්කම බොහෝ විට ආචිගේ ජීවිතය පිළිබඳ තීරණාත්මක සැත්කමක් වනු ඇතැයි වෛද්‍යවරු පවසති.

09400e6ef7decc2f61b3a2eb5e180e31 650466
ආචි, සිය දෙමාපියන් වන ඩේමියන් හා සාරා ශිලර් මෙන්ම සිය බාල සහෝදරයා වන හැරී සමග

මුල සිටම ක්‍රිකට් ලෝලියෙකු වූ ආචි ක්‍රිකට් ක්‍රීඩාවේද යෙදෙමින් දකුණතින් පා දග පන්දු යැවීම සිදු කරයි. තම ජීවිතය පිළිබඳ පැහැදිලි අනාගතයක් නොමැති ආචිගේ එකම බලාපොරොත්තුව බවට පත්ව ඇත්තේ, කෙදිනක හෝ ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කිරීමත් එහි නායකත්වය දැරීමත්ය. ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන සත් හැවිරිදි මෙම හුරුබුහුටි දරුවාගේ ආශාව පිළිබඳ ඔහුගේ දෙමාපියන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් බලාධාරීන් වෙත දක්වන්නට යෙදෙනු අතර මානුෂීය මුහුණුවරකින් මෙම ඉල්ලීම සලකා බැලූ ඔවුහූ කුඩා ආචි බොක්සිං දින තරගය වෙනුවෙන් ඕස්ට්‍රේලියා පිළේ ක්‍රීඩකයන් 15 දෙනා අතරට නම් කිරීමට තීරණය කළහ. 



දිනක් ආචි හා පවුලේ සැම මවිතයට පත් කරමින් ඕස්ට්‍රේලියා ටෙස්ට් පිලේ පුහුණුකරු ආචිට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඔහුව ඉන්දියාව සමග තෙවැනි ටෙස්ට් තරගයට තෝරාගෙන ඇති බව දැන්වීය.

ඒ අනුව කුඩා ආචිගේ ප්‍රමාණයට සරිලන ක්‍රිකට් නිල ඇදුම් සකස් කරන්නට යෙදුණු අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පුහුණුවීම් වලටද කැඳවනු ලැබීය.

SSL ARCHIEjpg 550367
ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පුහුණුවීම් වල නිරත වන ආචි

නත්තලත් සමග එළඹෙන මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ආචිගේ ආශාව මුදුන්පත් කරවමින් ටිම් පේන් සමග ඔහු ඕස්ට්‍රේලියානු පිලේ සම නායකත්වයටද පත්කර ඇත. කෝලි සමග කාසියේ වාසිය උරගා බැලීමට මේ අනුව එම්.සී.ජී ක්‍රීඩාංගණයට පේන් සමග කුඩා ආචිද යනු ඇත. කෝලිට ඉල්ලන්නට කාසිය උඩ දමන්නේ ආචි විය හැක. තරගයේ ආචිට හිමි තැන ක්‍රීඩක කාමරය වුවත්, ඔහු විටින් විට පිටියට පිවිසෙනු ඇත.

ec9eda81984ba1f0898c69b780bbbc39
තරගාවලි කුසලානය සමග ඡායාරූප සඳහා පෙනී සිටින ඉන්දීය නායක විරාට් කෝලි , ඕස්ට්‍රේලියානු සම නායකයවරුන් වන ටිම් පේන් හා ආචි ශිලර්

මෙම තරගයේ තමන්ට පන්දු යැවීමේ අවස්ථාවක් ලැබුණහොත් තමා කෝලිගේ කඩුල්ල දවා ගන්න බව ආචි පවසා තිබේ. මෙයට ප්‍රතිචාර දක්වමින් කෝලි පවසා ඇත්තේ, එසේ වුවහොත් තම කඩුල්ල ඔහුට පූජා කිරීමට තමන් සූදානම් බවයි. කෙසේ වෙතත් සාමාන්‍යෙයන් එම්.සී.ජී ක්‍රීඩාංගණයේ බොක්සිං දින තරගයක් නැරඹීමට පැමිණෙන ලක්ෂකයට අධික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් මෙන්ම ලොව වටා මෙම තරගය රූපවාහියෙන් නරඹන මිලියන ගණනකගේ ආකර්ෂණය මෙම අහිසංක කුඩා දරුවා වෙත යොමුවනු නොවනුමානය. ඔහුගේ හදවත් සැත්කම සාර්ථක කර ගැනීම සදහා මේ සියලු දෙනාගේම හඳවත් උණු කරවමින් ඔහුට සෙත් පතනු ඇත.

දෙපිළටම ජයග්‍රහණය වෙනුවෙන් තීරණාත්මක තරගයක් වුවද, තරගකාරීත්වය පරයමින් මානූෂියත්වය ඉස්මතු කරවන තරගයක් බවට මෙම තරගයට ඉතිහාස ගත වනු ඇත. සියලු රටවල සියලු ක්‍රිකට් බලධාරීන්ට ආදර්ශයක් ගෙන දෙමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් සිදුකරනු ලබන මෙම කටයුත්තද ඒ සමග ඉතිහාස ගතවනු නොවනුමානය.

ආචි ශිලර් ... අපේ සුභ පැතුම් ! ඔබට නීරෝගි සුව !

- රංජන් පරණවිතාන

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top