Dec 26, 2018

දිලීරයකින් පුත්තලමේ ලූණු වගාවට කණ කොකා හඬයි

ලූණු ලොව පුරාම වගා කරන භාවිතා කරන ශාකයකි. ලූණු බොහෝවිට ද්විවාර්ශික හෝ බහුවාර්ශික ශාකයක් වුවත්, සාමාන්‍ය‍යෙන් වාර්ශික ශාකයක් ලෙස පිළිගැනේ. තවද ලූනු එහි ප්‍රථම වගා කන්නයේදී වගා කරනු ලැබේ.

නැතිවම බැරි ලූණු

ලූණු පැළෑටියෙහි අවාන් හැඩැති කුහර හා නිල්, කොළ පැහැති පත්‍ර එහි පිහිටා ඇති අතර නියමිත දින ගණන ළඟා වීමත් සමඟ ක්‍රමක්‍රමයෙන් තරව වර්ධනය වන බල්බ ශාකයේ මුල පිහිටම හට ගනී. හේමන්ත කාලයේදී පත්‍ර මියයන අතර බල්බයේ පිට පොත්තද වියලී ගොස් කැඩෙන සුළු ස්වභාවයක් ගනී. අස්වැන්න නෙළාගෙන වියලා ගත් පසු එය පරිභෝජනයට හෝ ගබඩා කිරීමට සුදුසු වේ.

Onion2සමහරු පරිභෝජනයට ගන්නවා සේම තවත් සමහරු මේවා නැවත රෝපණය කිරීමටත් අමතක නොකරති. අස්වනු නෙලීමෙන් පසු රෝපණය කිරීම වෙනුවෙන් තෝරා ගත් බීජ ලූනු ගබඩා කර තබා ගන්නා ලූනු ගොවියන් නැවත තමන්ගේ වගා කන්නයේ ආරම්භය උදාවන තුරු ඇඟිලි ගනිමින් සිටින්නේ තමන්ගේ ආර්ථිකය ගැන පමණක් නොව රටේ දේශිය ආර්ථිකයට අත හිත දීමේ බලාපොරොත්තුව ඇතිවය.

සෑම වසරක් පහේම වර්ෂාපතන කාලයන් වලදී සිය ලූනු ගොවියන් කඩිමුඩියේ තම වගාව සදහා අපමණ පරිශ්‍රමයක් දරමින් විවිධ කෘෂිකාර්මික උපකරණ භාවිතයෙන් බිම සකස් කිරීමට දින ගණනාවක් මෙලෙස වෙහෙසවෙති. එසේ සකස් කර ගන්නා භූමිය දින දෙක තුනක් ඇතුළත සම්පූර්ණයෙන්ම බිජ ලූනු වලින් වපුරවනවා කිවහොත් එය නිවැරදිය.

අක්කර දෙකක් වැනි භූමි ප්‍රමාණයක් සදහා තෝරා ගන්නා ලද බීජ ලූනු හොන්ඩර් 500ක් වැනි ප්‍රමාණයක් මෙසේ රෝපණය කිරීමට මොවුන් කටයුතු සිදුකරන බව කියයි. ඒ සදහා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් තමන්ට වැය කිරීමට සිදුවන බව ඔවුන් පවසති.

අස්වැන්නක පැතුම් ගොඩයි

එසේ වැය කරන මුදල් ගේ දොර ඔප්පු තිරප්පු, කනකර උකසට තබා මොවුන් දහසකුත් බලාපොරොත්තු හදේ පැලපදියම් කරගෙන බියකින් තොරව දැඩි ආත්ම විශ්වාසයකින් සිය ලූනු වගාව සඳහා නැඹුරු වෙති.

එසේ ගොවියන් තමන්ගේ සිහිනය යථාර්ථයක් බවට පත්කිරීම සඳහා දැඩි කැප කිරීමක් සිදු කරමින් වගාවට අවශ්‍ය කෘමිනාශක, පළිබෝධනාශක, ජලය සහ පොහොර සඳහාද අස්වනු නෙලීමට මත්තෙන් විශාල මුදලක් වියහියදම් කිරීමට පසුබට නොවන්නේ බලාපොරොත්තුව සඵල වනවායැයි කියන අදහසිනි.

නමුත් දින සති ගණන් ගෙවී යද්දි මේ සරුසාර ලූනු වගාවට විනකටින විවිධ රෝගකාරක දිලීර හටගැනීම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීමත් සමඟ ගොවියාගේ බලාපොරොත්තු සියල්ල සුනුවිසුනු කරමින් වගාවට කණකොකා හඩන්න පටන් ගැනීම ආරම්භ වී තිබේ.

පැතුම් නැසුව ඩිස්කෝ

ග්‍රාමිය මට්ටමෙන් ගොවියන්ගේ ව්‍යවහාරයට අනුව මෙම රෝගය මොවුන් ඩිස්කෝ නමින් හඳුන්වනු ලබයි. එසේ ඩිස්කෝ නමින් හඳුන්වනු ලබන මෙම රෝගකාරයක මේ වන විට කල්පිටිය අර්ද්වීපයේ සීඟ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන අතර, එය දෙගුණ තෙගුණ කරමින් පුත්තලමද සිය ගොදුරට නතුකරගෙන සිටිනවා කිවහොත් එය නිවැරදිය. මේ වන විට පුත්තලම විලුක ප්‍රදේශයේ ලූනු වගාවට වැළදී සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මෙම දිලීරය සමහරු ඇන්ත්‍රකෝස් නමින් හඳුන්වනු ලබයි ගැමි ව්‍යාවහාරයේ මෙය ඩිස්කෝ නමින් හැදින්වීමට හේතුව ලෙස ඔවුන් පාධක කරගෙන ඇත්තේ සිය ලූනු ශාකයේ කොළ සියල්ල කහ පැහැති වර්ණයෙන් වර්ණ ගැනීමෙන් පසුව කොළ හැකිලීම මෙලෙස ඩිස්කෝ නමින් හඳුන්වනු ලබන බව කියයි.Onion19

මෙම ඩිස්කෝ හෙවත් ඇන්ත්‍රකෝස් නැමති දිලීරය අක්කරයක් වැනි වගා භූමිය තුළ දින දෙකක් වැනි කාලයකදී සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම සිදුවන බව ගොවියන් ලෙන්වා දෙති. එසේ ව්‍යාප්ත වන මෙම රෝගය රුදුරු පිළිකාවක් ලෙස නිර්වචනය කලහොත් එය නිවැරදියැයි සිතමු. පිළිකාවක සෛල ශරීරය පුරා සීඟ්‍රයෙන් ව්‍යාප්ත වන්නා සේ මෙම දිලීරය වගා භූමිය පුරාවට පැතීරයාමේ ප්‍රවණතාවය ගණනය කිරීමට තරම් කාලයක් නිශ්චිතව සඳහන් කල නොහැකි බවයි ගොවියන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ණය බර කරුමයක් වෙයි කඳුළ උරුමය වෙයි

මෙලෙස අවාසනාවන්ත ඉරණමකට ගොවියන්ට මුහණ දීමට සිදුව ඇත්තේ අවාසනාවක මහිමියක්දෝ යැයි වරෙක සිතෙනු ඇත. දහදිය මුගුරු වඟුරවමින් වගාව වෙනුවෙන් ජීවිතය වැය කල මොවුන්ට අවසානයේ ඉතිරිව ඇත්තේ කඳුළ පමණි. එක් පසෙකින් කඳුළු උරුම වෙද්දි වගාව වෙනුවෙන් වැය කල ණය බර කරුමයක් ලෙස ඔවුන්ට භාර ගැනීමට සිදුව තිබේ.

දින පලයන් පඩිය වරෙන්

එසේ කරුමයත් ණය බරේ උරුමයත් ගොවියන්ට දැරීමට සිදුව ඇත්තේ කාගේ වරදින්දැයි කිවහොත් ඔබ පුදුමයට පත්විය හැකි තරම්ය. ඒ අන් කවරක් නොව දින පලයන් පඩිය වරෙන් කියා ගන්නා නමින් කෘෂිකර්ම උපදේශක පට්ටම දරණ පුත්තලම ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත කෘෂිකර්ම උපදේශක ඇතුළු ක්ෂේත්‍ර පරික්ෂක කණ්ඩායමට සිය ලූනු ගොවියන් තරයේ චෝදනා කරති.

නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ

ඒ පිළිබදව ගොවියන් හඩ අවිදිකලේ හදේ දරාගත නොහැකි වේදනාවත් දෙනතේ නැගුණ කඳුළත් එකට මුසුකර ඒවා මෙලෙස වචන බවට පෙරන්නට විය. වැටයි නියරයි ගොයම් කද්දි අපි කාට කියන්නද? නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ ඒ ග්‍රාමිය ව්‍යවහාරයේ කතාවල සැබෑ අරුතක් නැතුවාම නොව.

මන්ද මහ වංශයෙන් කෘෂිකර්ම උපදේශකලා යැයි කියා ගන්නා මොවුන් වසමේ ගොවිතැන් කරන්නේ කව්රුන්ද වගා කරන බීජ ප්‍රභේද මොණවාද එවැනි බීජ වගා කිරීමට සුදුසු කාලය පිළිබද තුට්ටුවකට මායිම් නොකර කාර්යාලයේ අඹ කවි කියන මොවුන්ව අවසානයේ මාධ්‍ය මඟින් දැනුවත් කරනතුරු ඔවුන් ඇස් කන් පියාගෙන මර නින්දේ සිටීම පුදුමය දනවන්නක්ව තිබේ.

ධීවරයින්ට ගොවියන් යැයි කියා ගන්නා මොවුන් මාධ්‍ය මඟින් දැණුවත් කිරීමෙන් අනතුරුව අළාභයට පත් සිය වගා බිම් නිරික්ෂණය කිරීමට රජයේ නිළ වාහනයෙන් පැමිණියේද දරු සුරතල් විදිමින් බව නොසඟවා කිව යුතුය. රාජකාරි කාලය තුළ දරුවන් වාහනයේ පටවාගෙන ඒමට තරම් මොවුන්ට අවසරය දී ඇත්තේ කුමණ පදනමක් මතදැයි ගොවියන් මාධ්‍යයෙන්ම ප්‍රශ්ණ කරති. දරු නැලවිල්ලට මුල් තැන දෙමින් ගොවියන්ටම වරද පැටවූ කෘෂිකර්ම උපදේශකවරු පවසා සිටියේ කාගේ වූවමනාවකටදැයි මාධ්‍යට දැනුම් දීම සිදුකලේ යන්නය.

එපමණක් නොව එම සිද්ධිය ආවරණය කිරීමට පැමිණ මාධ්‍යටද මොවුන් නොයෙකුත් හරස් ප්‍රශ්න ගෙනෙමින් තමන් නිර්දෝෂීයැයි කියා ගන්නට සමත් වුවද ගොවියන් ඉදිරියේ මොවුන්ට කියා ගැනීමට දෙයක් ඉතිරි නොවීය.
අලාභ හානිය සුළු පටු නැත එසේ අලාභය පියවි ඇසින් දැක දැක සියලුම කුණු බේරෙ වැවට කියන්නා සේ මොවුන් ගොවියන්ටම සිය වරද පටවා ප්‍රාණ ඇපයෙන් මිදීමට මොවුන් පුදුමාකාර වෙහෙසක් දැරීමට ගත් උත්සහය මොවුන්ටම ආවේණිකවූ හැට හතර මායම් වර්ගයක් දැයි සිතා ගත නොහැකි තරම්ය.

උපදේශකලා දැක්කෙත් අද

මේ සම්බන්ධයෙන් අපත් සමඟ හඩ අවදිකල පාරම්පරික ගොවි මහතෙකු වන සෙම්බුලිංගම් මහතා පවසා සිටියේ දුක්බර කතාවකි.

Onion7අපි පරම්පරා ගොවියෝ අපි කෑවනම් කෑවේ ඇඳුමක් ඇන්දනම් ඇන්දෙ මේ මහ පොළොව එක්ක තරඟ කරලා දුක්මහන්සි වෙලා. අපිට මේ ගොවිතැනට අමුතුවෙන් කැටයම් දාන්න අවශ්‍ය නැහැ මොකද අපි පාරම්පරික ගොවියො. පුත්තලමෙ ඉන්නවා කෘෂි කර්ම උපදේශකලා කියලා පිරිසක් එයාලගෙ කුස ගැන බලනවා මිසක් අපේ කර්මය ගැන බලන්නෙ නැහැ. මම දැනට අවුරුදු 30-35ක් එක දිගටම ගොවිතැන් කරන්නෙ. හැබැයි මම අද තමයි දැක්කෙ පුත්තලමෙ කෘෂිකර්ම උපදේශකලා ඉන්නවා කියලා ඒත් මාධ්‍යට පිං සිද්ධ වෙන්න. ඒ ඇවිල්ලා මොකද කෙරුවෙ අපිටම දෙහි කපලා ගියා මිසක් අපේ අලාභයට වන්දි දෙනවා කිව්වෙත් නැහැ මුකුත් නැහැ. දැන් මට මේ වෙද්දි ලක්ෂ 3ක් විතර සම්පූර්ණයෙන්ම පාඩුයි ඒ ගැන හොයලා බලලා අපිට දිරි දෙන වැඩක් මේ වෙන කම් කරලා නැහැ අඩුම තරමෙ අපට උපදෙසක් දෙනවද නැහැ ආශාවට මම මේ වෙනකම් රජයෙන් කියලා එක පොහොර ඇටයක් ලැබිලා නැහැ කියලා මම වගකීමෙන් කියන්න කැමතියි. රටේ දේශිය නිෂ්පාදන ගැන ජනාධිපති තුමා ලොකුයට මාධ්‍යයෙන් කතා කරනවා මේ වගේ කම්මැලි හොරු දිස්ත්‍රික්ක වල ඉද්දි දේශිය නිෂ්පාදන ඉහළ යාම කෙසේ වෙතත් පහළ නම් යයි.

මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී එස්.රවී කුමාර් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

කෘෂිකර්මාන්තය බඩගෝස්තරය කරගෙන

මේ රට කෘෂිකාර්මික රටක් කියන්න පුළුවන්ද ලැජ්ජයි කියන්න හේතුව අද කෘෂිකර්මාන්තය බඩගෝස්තරය කරගෙන බඩගෝස්තරවාදියෝ කෘෂිකාර්මික මාෆියාවක් කරගෙන සිටිනවා ඒ කව්ද කිව්වොත් මේ හානියට සෘජුවම වග කියන්න ඕනෙ පුත්තලම කෘෂිකර්ම උපදේශක සහ ක්ෂේත්‍ර පරික්ෂකවරු මොකද ඇවිල්ලා අපි ගැන හොයලා බලන්නෙ නැහැ. අපිට අවශ්‍ය උපදෙසක් දෙන්නෙ නැහැ. අපිව ලියා පදංචි කරලා නැහැ. අව්‍ය තෙල් පොහොර මොණවාද ඒ කාලවලදී වැළදෙන රෝග මොණවාද කියලා හොයලා බලන්නෙ නැහැ. දැන් මේ පාර අවේත් මාධ්‍ය දැණුවත් කෙරුවට පස්සෙ නැත්නම් ආත්මෙකට මේ පැත්ත පළාතකට එන්නෙ නැහැ. එයාලා හොයනවා කියන්නෙ හරියට කළු නික හොයනවා වගේ වැඩක් හැමදාම රැස්වීම් හැබැයි බලන් යද්දි කරන ඇති කෙහෙල් මලකුත් නැහැ.

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අප කල විමසුකදී පුත්තලම ගොවි ජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත නම සඳහන් කිරීමට අකමැති කෘෂිකර්ම උපදේශකවරිය පවසා සිටියේ මෙවැන්නකි.Onion61

කව්ද ඔයාට මේ පැමිණිල්ල කලේ මට මේකට උත්තර දෙන්න බැහැ මොකද මට මාධ්‍යට කියන්න තරම් නිදහස නැහැ. (දුරකථනය විසන්ධිය) සිද්ධිය නිරික්ෂණයට පැමිණීමෙන් පසු කල විමසීමේදී පවසා සිටියේ. කව්ද මාධ්‍යයට කිව්වෙ මාධ්‍යයට කියන්න කලින් අපිට කියන්න එපායැයි. ඔයා මේ ගමේ හින්දනෙ මේක මාධ්‍යට දාන්න හදන්නෙ ඔයා දුර පළාතකනම් මේක කොහොමද දාන්නෙ. අනෙක මේකෙ ලොකු බලපෑමක් නැහැ. මේ පොඩි කොටසක්නෙ. ඔයා කොහොමද කියන්නෙ මේකෙ හානිය ව්‍යාප්ත වෙනවා කියලා. එකක් මතක තියා ගන්න මාධ්‍යට කියන්න කලින් අපිට කියන්න (ගොවියන්ට තර්ජනාත්මකව පැවසීය)

රටේ මාධ්‍ය වගකීම පිළිබදව පවා හයක් හතරක් නොතේරන මෙවැනි අමන නිළධාරින් රට තුළ සිටීම රටක සංවර්ධනයක් සිදුවනවාද වරෙක ප්‍රහේලිකාවකි. අද මාධ්‍ය නිසාවෙන් මෙවැනි නිළධාරින්ගේ යටිකූට්ටු වැඩ කොතරම්නම් අප ඔබට හෙළිදරව් කර තිබේද ඒ වගකීම ඒකාන්තයෙන් ඉෂ්ඨ කරන අපි අදත් හෙටත් ඔබ වෙනුවෙන් ඇප කැප වන්නෙමු.

සටහන සහ ඡායා- ප්‍රියංකර කළුපහන

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top