විද්‍යුත් සංඛ්‍යාත ලබා දීමේ කොන්දේසි වහා ප්‍රසිද්ධ කිරීම හා සියලු රාජ්‍ය මාධ්‍ය ආයතන ඇමතිවරයෙකුගේ විෂය පථයෙන් ඉවත් කර ස්වාධීන අධිකාරයක් යටතට පත් කිරීම ප්‍රධාන සටන් පාඨ හා ඉල්ලීම් විය යුතුයි. විද්‍යුත් සංඛ්‍යාත ලබා දීමේ කොන්දේසි වහා ප්‍රසිද්ධ කිරීම හා සියලු රාජ්‍ය මාධ්‍ය ආයතන ඇමතිවරයෙකුගේ විෂය පථයෙන් ඉවත් කර ස්වාධීන අධිකාරයක් යටතට පත් කිරීම ප්‍රධාන සටන් පාඨ හා ඉල්ලීම් විය යුතුයි.
Jan 15, 2019

“ජඩ මාධ්‍යයට” විරුද්ධවීමේ වගකීම

පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් යැයි හඳුන්වාගත් පිරිසක් පෞද්ගලික මාධ්‍යය ආයතන “ජඩ මාධ්‍යය” ලෙස නම් කරමින් ඒවාට එරෙහිව සංවිධානය කළ “කලු” විරෝධය සමග මගේ අදහස ඉදිරිපත් කළ යුතු යැයි සිතුනත් එය වහා සිදු නොවුනි.

එහෙත් ඒ සම්බන්ධයෙන් මගේ ප්‍රතිචාරය මා මුහුණු පොතෙහි සටහන් කෙරුවේ එම විරෝධයෙහි හරය වැදගත් නමුත් එවැනි විරෝධයකට සංක්‍රමණීය සටන් පාට නොමැතිව හුදු ආයාචනා ලෙස ඉදිරිපත් කිරීමේ අර්ථයක් නොමැති බවය.

එනිසා මගේ යෝජනාව වූයේ පෞද්ගලික මාධ්‍ය ආයතනයන්හි සියලු මාධ්‍යවේදීන්ට වෘත්තීය සමිති අයිතිය සහතික කිරීම, විද්‍යුත් සංඛ්‍යාත ලබා දීමේ කොන්දේසි වහා ප්‍රසිද්ධ කිරීම හා සියලු රාජ්‍ය මාධ්‍ය ආයතන ඇමතිවරයෙකුගේ විෂය පථයෙන් ඉවත් කර ස්වාධීන අධිකාරයක් යටතට පත් කිරීම ප්‍රධාන සටන් පාඨ හා ඉල්ලීම් විය යුතු බව ය.

ඉන් පසු මෙය ලියැවෙන්නේ මා හා ඉතා හිතවත් මේනකා (ජයසූරිය) පළමු ගල රාජ්‍ය මාධ්‍ය වෙත ගැසීම පිළිබඳව මුහුණු පොතට ලියූ කෙටි සටහන පාදක කර ගනිමිනි. ඇයගේ අදහස සමග අවුලක් හෝ මත ගැටුමක් නැත. ඇය යෝජනා කර තිබූයේ මාධ්‍ය භාවිතය නිවැරදි කිරීමේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ හා ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්න පිළිබඳ ඇයගේ කියැවීමය.

ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන රාජ්‍ය මාධ්‍ය ජනතාව වෙනුවෙන් පිරිසිදු කර ගැනීමට පළමුව මැදිහත් නොවී, “කලු” හෝ “ජඩ” මාධ්‍ය ලෙස නම් කරමින් පෞද්ගලික මාධ්‍යයට එරෙහිව සංවිධානය කෙරෙන විරෝධතා ගැන මේනකා මතු කරන කාරණාව සැබවින්ම වලංගු කාරණාවකි. ජනමාධ්‍ය සම්බන්ධව බලයේ ඉන්නා ආණ්ඩුවේ වගකීම ප්‍රශ්න නොකර, මාධ්‍ය ආයතන හිමි පෞද්ගලික ව්‍යාපාරිකයින්ගේ සේවකයින්ගෙන් “සමාජ වගකීමක්” ඉල්ලා සිටීම ඇත්නේම ප්‍රශ්නකාරීය.

'' දූෂණයෙන් තොර දේශපාලනයක් අද ඇත්තේ නැත''

මාධ්‍ය භාවිතාව සම්බන්ධ සාකච්ඡාවට එළැඹිය යුත්තේ රටේ දේශපාලනය පසුබිමෙහි තබා ගෙනය. මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයක මොනම ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ ඇත්තේ නැත. එවගේම ඒවායේ නායකයින් අතිශය දූෂිතය. ඇත්තම කිවහොත් දූෂණයෙන් තොර දේශපාලනයක් අද ඇත්තේ නැත.

මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි හැදෙන්නේද ජාවාරම්කාර “හඩු” සල්ලිකාරයින්ය. පක්ෂ නඩත්තු කරන්නේ ඔවුන්ය. ඒ දේශපාලන පක්ෂ සමග පිහිටුවන ඕනෑම ආණ්ඩුවක් එනිසා හැම අතින්ම දූෂිතය. පසුගිය අවුරුදු 40 පුරා ඒ සියල්ල සමග වෛද්‍ය, නීතිඥ, ගණකාධිකාරි ඇතුලු සියලු වෘත්තීන්ද දූෂණයවී හමාරය. ඒවා දූෂිත වූ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ජනමාධ්‍යවේදීන් ලෙස ඉන්නා අයද නොයෙකුත් ආකාරයෙන් දූෂිතව ඇත. එවැනි පසුබිමක, ජන මාධ්‍ය භාවිතය පමණක් පිරිසිදුව, සමාජ වගකීමක් වෙනුවෙන් පැවතිය යුතු යැයි ඉල්ලා සිටීමම ප්‍රෝඩාවකි.

වර්තමානයේ ජනමාධ්‍යයන්හි ඇත්තේද වෙනත් ඕනෑම ආයතනයක මෙන් සේවක සේවිකාවන්ය. රජයේ මාධ්‍ය ආයතනවල රජයේ මාධ්‍ය සේවකයින් ඉන්නා අතර පෞද්ගලික මාධ්‍ය ආයතනවල ඇත්තේ පෞද්ගලික අංශයේ මාධ්‍ය සේවකයින්ය. මේ මාධ්‍ය ආයතන සේවකයින් හා රටේ අනෙක් සේවකයින් අතර වෙනස ඇත්තේ රාජකාරියෙහි පමණය.
අනෙක් සියලු අතින් සියල්ලන්ම සමානය.

ඉතා ආත්මාර්ථකාමී සමාජ සංස්කෘතියක ස්ථාවර ජීවිත හදා ගැනීම වෙනුවෙන් ඔවුන් හැම පොර බදන්නාහ. එනිසා ඒ වෙනස වෛද්‍යවරයෙකු හා ගණකාධිකාරිවරයෙකු අතර වෙනස වැනිය. රජයේ හා පෞද්ගලික අංශයේ වෙනසද එවැනිම ය. එබැවින් ඔවුන්ගේ මාධ්‍ය භාවිතාව තීන්දු වන්නේ මේ දූෂිත වෙළඳපලෙහි ලාභය වැඩිකර ගැනීමට දේශපාලනයද යොදා ගන්නා හාම්පුතා අනුවය.

කර්තෘ සංසදයේ ආචාර ධර්ම පද්ධතිය ?

මීට අවුරුදු 25 ට පමණ පෙර කර්තෘ සංසදය විසින් පුවත් පත් මාධ්‍ය වෙනුවෙන් සකසා ගත් ආචාර ධර්ම පද්ධතිය කර්තෘවරුන් විසින්ම අතහැර දමා ඇත්තේ එවැන්නක් මේ දේශපාලන ආර්ථික පසුබිමෙහි ක්‍රියාත්මක කිරීමට හාම්පුතුන් ඉඩ තබන්නේ නැති නිසාම නොවේ. එවැනි ආචාර ධර්ම පද්ධතියක් සමග හාම්පුතාට අවශ්‍ය පරිදි සේවය කිරීමට නොහැකි නිසා ය.

හාම්පුතාගේ වත්කම්, ආදායම්, දේශපාලනඥයින් හා කේවල් කිරීමේ බලය සුරැකීමට වැඩියෙන් මහන්සිවන සේවකයින්ට වැඩියෙන් සැළකීමක් ඇත්තේ පෞද්ගලික මාධ්‍යයන්හි පමණක් නොවේ. එය රජයේ මාධ්‍යයන්හිද එවැනිමය. එබැවින් මාධ්‍ය සදාචාරය හැදී ඇත්තේ ඒ වෙනුවෙන් මිස සමාජ වගකීමකට නොවේ. මාධ්‍ය ආචාර ධර්ම එයට අවශ්‍ය නොවන්නේද එනිසාය.

මේ සමස්ථය තේරුම් නොගෙන තෝරාගත් පෞද්ගලික මාධ්‍ය වෙත ඇතුලුවීමෙන් විරෝධය එල්ල කෙරුණේ මාධ්‍ය ආයතනයේ හැඩ රුව තතීන්දු කරන හාම්පුතාට නොව, ඒවායේ මාධ්‍යවේදීන් ලෙස වැටුපට ඉන්නා, සේවක අයිතිවාසිකම්ද අහිමි සේවකයින්ටය.

“ඔබලා ජාතිවාදය වපුරනවා, මිථ්‍යාව වපුරනවා. ඔබලා පක්ෂග්‍රාහී” යැයි මේ මාධ්‍ය සේවකයින්ට චෝදනා කිරීමෙන් ඔවුන්ගේ කැමැත්තට මේ මාධ්‍ය අවභාවිතාව ඔවුන් හදා ගත්තක් යැයි ඉතා වැරදි අර්ථ ගැන්වීමකට යට කෙරුණි.

''මාධ්‍ය රැකියාව වෘත්තියක් ලෙස වර්ධනය වන්නට හැකි ස්වාධීනත්වයක් කිසිදු මාධ්‍ය ආයතනයක නැත''

කෙටියෙන්ම කියන්නේ නම්, මාධ්‍ය රැකියාව වෘත්තියක් ලෙස වර්ධනය වන්නට හැකි ස්වාධීනත්වයක් කිසිදු මාධ්‍ය ආයතනයක නැත. මාධ්‍ය ආයතනයන්හි සේවක අයිතීන් අහෝසි කර හාම්පුතුන් හදා ගන්නා අධිකාරි බලය යටතේ සිටිය හැක්කේ අනුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන තමන්ගේ අයිතිවාසිකම් නොදන්නා මාධ්‍ය සේවකයින්ට පමණි.

අද විශේෂයෙන් පෞද්ගලික අංශයේ මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන කිසිවකු ඔවුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 14(1) වගන්තියේ (ඈ) යටතේ “වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැඳීමේ නිදහස” මූලික මානව අයිතියක් ලෙස ඇති බව දන්නේ දැයි සැකයකි.

ඒ අර්ථයෙන් ඔවුන් හා නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවන් අති බහුතරයක් අතර කිසිදු වෙනසක් නැත. ඉතාම පසුගාමී යැයි කියන වැවිලිකරයේ කම්කරුවන් මේ මාධ්‍ය සේවකයින් මෙන් ඔවුන්ගේ වෘත්තීය සමිති අයිතිය තවමත් පාලකයින්ගේ වුවමනාවන්ට යට කරන්නට සූදානම් නොවීමත් මාධ්‍ය භාවිතාව හා සැසඳිය යුත්තකි.

ස්වාධීන වෘත්තියක් ලෙස වර්ධනය වන්නට අවශ්‍ය සංවිධානය වීමේ හා සංවිධානාත්මකව තම ස්වාධීනත්වය රැක ගැනීමට නොහැකි මාධ්‍යයන්හි මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ඉලක්කය විය යුත්තේ මාධ්‍ය සේවකයින් නොව, මාධ්‍ය හිමිකරුවන්ය.

මේ “ජඩ මාධ්‍යයට” විරුද්ධව “කලු” විරෝධයට එදින හවුල් වූවන්ගේ අවංකත්වය ප්‍රශ්න කෙරෙන්නේද එතැනින් ය. ඔවුන් බොහෝ දෙන “රනිල් නොව ප්‍රජාතන්ත්‍රවාදය” යැයි කියූ කොළඹ මැද පංතික සිවිල් ක්‍රියාධරයින් ලෙස පෙනී සිටිය වුන්ය. “රනිල් නොවේ” යැයි කියූවට ඔවුන්ගේ උද්ඝෝෂන අවසන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමෙන් නොව, යළි රනිල් අගමැති වීමෙනි.

රනිල් වික්‍රමසිංහගේ චෝදනාම:

මේ මාධ්‍ය මෙසේ හැසිරෙන්නේ අද ඊයේ සිට නොවේ. එහෙත් ඔවුන් ඊට විරුද්ධ වන්නේ පසුගිය දින රනිල් වික්‍රමසිංහ “කලු මාධ්‍ය” ගැන කතා කර ඊට ප්‍රවේසම් වන්නට යැයි කියූවට පසුවය. ඔවුන් කලු පැළඳ යාමද රනිල් වික්‍රමසිංහ අනුකරණයක් මෙන් පෙණින. මාධ්‍ය හිමිකරුවන් ඉලක්ක නොකර මාධ්‍ය සේවකයින්ට චෝදනා කිරීමත් රනිල් වික්‍රමසිංහගේ චෝදනාම විය.

එළෙස වල්ගය පාගා ගැනීමෙන් මාධ්‍ය භාවිතය නිවැරදි කළ නොහැකිය. එනිසා මා යළි කියන්නේ මාධ්‍යවේදය වෘත්තියක් ලෙස වර්ධනය කර ගැනීමට ඔවුන්ගේ අයිතිවාසිකම් අප හෝ පෙරට ගත යුතුය. ඒ වෙනුවෙන් සියලු මාධ්‍ය ආයතනවල වෘත්තීය සමිති පිහිටුවීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩු විසින් සහතික කළ යුතු බවත් මාධ්‍ය හාම්පුතුන් එය මූලික මානව අයිතියක් ලෙස පිළිගත යුතු බවත් මේ විරෝධයන්ගේ පළමු ඉලක්කය විය යුතුය.

දෙවැනි හා තෙවැනි ඉල්ලීම් විය යුත්තේ විද්‍යුත් සංඛ්‍යාත ලබා දීමේ කොන්දේසි වහා ප්‍රසිද්ධ කරන මෙන් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලි සිටීමත් සියලු රාජ්‍ය මාධ්‍ය ආයතන ඇමතිවරයෙකුගේ විෂය පථයෙන් ඉවත් කර ස්වාධීන අධිකාරයක් යටතට පත් කිරීමත් විය යුතුය. “ජඩ මාධ්‍ය” හීලෑ කළ හැක්කේ එළෙසින් මිස ඉලක්කයක් නැති හිස් “කලු” විරෝධයන්ගෙන් නොවේ.

කුසල්
2019 ජනවාරි 14

සබැඳි පුවත් :

'ජඩ-මාධ්‍ය අධිරාජ්‍යයට' එරෙහි අරගලයට 'වම' එක්විය යුතුයි - සුමිත් චමින්ද

ආණ්ඩුවේ මාධ්‍ය මහජන සේවා මාධ්‍ය ආයතන කරන්න - ආචාර්ය ප්‍රදීප් වීරසිංහ

කළු මාධ්‍ය සුදු කරන හැටි මෙන්න ! 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top