Jan 17, 2019

'ජඩ මාධ්‍ය කතිකාව' - "සත්‍ය" කියන්නෙ මොකක් ද ?

ඊයේ (16) අලුත් පාර්ලිමේන්තුවෙදි මාධ්‍යවේදයෙ දි "සත්‍ය" කියන්නෙ මොකක් ද කියල ලොකු වාදයක් ගියා. කාටවත් හරි උත්තරයක් දීගන්න බැරි වුනේ සංයමයක් නැති මිනිස්සු වැඩ සටහනට ගෙන්නල තිබ්බ හින්ද. ඒ වෙලාවෙ මාලින්ද කිව්ව "උවිඳු කුරුකුලසූරියගෙ කළම්බු ටෙලෙග්‍රාෆ් එකේ 'In journalism truth is a process'" කියල කියන්නෙ ඒකයි. ඒත් එයාටවත් හරියට විස්තර කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා පොඩි සටහනක් ලියන්න හිතුනා.

ඇත්ත අනිත් හැම තැනදිම වගේ මාධ්‍යයෙදිත් සත්‍ය කියන එක ගැන එක එක විචාර තියෙනව. මාධ්‍යයේ අරමුණු අතර සත්‍ය, නිවැරදි, අපක්‍ෂපාතී, සාධරණ, අවංක වගේ මූලධර්ම තියෙනව. ඒත් ඇයි මේ සත්‍යයි, නිවැරදියි කියල දෙකක්? නිවැරදි කියන්නෙ අපි ඉදිරිපත් කරන කරුණු නිවැරදි වෙන්න ඕනෙ කියන එක.

උදාහරණකින් කියනව නම්, ජනාධිපති අපේක්‍ෂකය කියනව "රාජපක්‍ෂ ඇමරිකාවෙ බකිංහැම් මාලිගාවෙන් රත්තරං අස්පයො ගෙනත් ළමයින්ට දුන්න" කියල. එතකොට ඒක කිව්ව විදියටම වාර්තා කිරීම නිවැරදි බව. ඒත් ඒක සත්‍යයක් ද? ඊට පස්සෙ අනිත් අපේක්‍ෂය කියනව "මම එහෙම අස්පයො ගෙනත් නැහැ" කියල. එත කොට ඒකත් කිව්ව විදියටම වාර්තා කරනව. ඒත් මිනිස්සුන්ගෙ කොටසක් හිතනව ඔය යකා බොරු කියන්නෙ කියල අරය තමා ඇත්ත කියන්නෙ කියල. ඒක දෙපැත්තටම වෙන්න පුලුවන්.

දැන් ඒක හවස රැස්වීමක ප්‍රධාන අපේක්‍ෂකයෙක් කියන කොට උදේ පත්‍තරේ එලියට දාන්න හදන කෙනෙකුට හරි, විනාඩි කීපයකින් නිවුස් බුලටින් එකට ඒක දාන විද්‍යුත් මාධ්‍යකටවත් ඒක ගවේශණය කරන එක කරන්න තියා චෝදනාවට ලක්වුණු කෙනාගෙන් එයාගෙ මතය අහල දාන්න වත් ප්‍රායෝගිකව කරන්න බැරිවෙනව. පස්සෙ තමා ඒ ගැන ගාවේශනාත්මක වාර්තා කරන්න වෙන්නෙ.

ඒ කියන්නෙ ඉතිං දිගටම හොයල බැලුවහම අද වෙනකොට ඔක්කොමල දන්නව එහෙම ගෙනාපු අස්සයෙක් නැහැ කියල. ඒ කියන්නෙ ඕනම වාද විශයක සත්‍ය කියන එක මතුවෙන්නෙ, යමක් දිගටම හැම පැත්තක්ම වාර්තා කරන කොට. එහෙම නැතිව, අර ටියුඩර් කිව්ව වගේ සත්‍ය කියල එකකට මාධ්‍යයේ බැඳීමක් නැහැ කියල කියන්න බැහැ.

පොයින්ටර් ඉන්ස්ටිටියුට් එක "පුවත්පත් කලාවේ සිද්ධාන්ත 9ක්" එලියට දාපු වෙලාවෙත් පළමු එක හැටියට කිව්වෙ "සත්‍ය වෙත ඇති පුවත්පත් කලාවේ පළමු වගකීම" කියල.

ඒ ගොල්ලො ඒක මෙහෙම විස්තර කරනව: "ප්‍රජාතන්ත්‍රවාදය රඳා පවතින්නේ පුරවැසියන් වෙත විශ්වාස කටයුතු සහ නිවැරදි කරුණු අර්ථාන්විත සන්දර්භයක් තුල ලැබීම මතයි. පරිපූර්ණ හෝ දාර්ශණික අර්ථයකින් සත්‍ය ගවේශණයක් පුවත්පත් කලාවේදී සිදු නොවේ. නමුත් සත්‍ය ප්‍රායෝගික අර්ථයකින් ගවේශණය කිරීම එයට කළ හැක්කක් මෙන්ම කළ යුත්තක්ද වේ. මෙම මාධ්‍යවේදී සත්‍යය කරුණු එකලස් කිරීමේ හා සත්‍ය ගවේශණය කිරීමේ වෘත්තීය ශික්‍ෂණය සමඟ ඇරඹෙන ක්‍රියාදාමයකි.

ඊ ළඟට මාධ්‍යවේදියා උත්සාහ කරනුයේ ඔවුන්ගේ අර්ථය පිළිබඳ සාධාරණ හා විශ්වාස කටයුතු විස්තරයක් ලබාදීමයි. එය වර්තමානය සඳහා වලංගු තවදුරටත් ගවේශණය කළයුතු විෂයකි. මාධ්‍යවේදියා හැකිතරම් දුරට මූලාශ්‍රය සහ ක්‍රමවේදය පිළිබඳව විනිවිදභාවයකින් යුක්ත විය යුතුය.

පාඨකයාට තොරතුරු පිළිබඳව තමන්ගේම තක්සේරුවක් කර ගැනීමට හැකිවන්නේ එවිටය. ව්‍යාප්ත වන හඬවල් වලින් සමන්විතවන ලෝකයක වුවද සියල්ල රඳා පවතින පදනම වන්නේ නිරවද්‍යතාවයයි. එනම් සන්දර්භය, අර්ථ විග්‍රහය, විග්‍රහය, විවේචනය, විශ්ලේශණය හා වාද කිරීමයි. කාලයත් සමඟ සත්‍ය මතුවන වේදිකාව මෙයයි. පුරවැසියන්ට සදාකාලිකව වැඩිවන දත්ත ධාරාවක් හමුවන විට ඔවුනට එය අඩුවෙන් නොව වඩාත් වැඩියෙන් අවශ්‍යවේ. කවර කරුණක් සඳහා ද යත් එම තොරතුරු සත්‍යේක්‍ෂණය කිරීම සඳහා කැපවූ හඳුනාගත හැකි මූලාශ්‍රයන් සහ එය සන්දර්භගත කිරීම සඳහාය.

ඉතිං මාධ්‍යයේ පළමු වගකීම තියෙන්නෙ සත්‍යයට කියන එක තමා මගෙත් විශ්වාසය. සත්‍ය කියන්නෙ ක්‍රියාවලියක්.

(උවිඳු කුරුකුලසූරිය - FB පිටුවෙන් ..)

 සබැඳි සටහන් :

“ජඩ මාධ්‍යයට” විරුද්ධවීමේ වගකීම

'ජඩ-මාධ්‍ය අධිරාජ්‍යයට' එරෙහි අරගලයට 'වම' එක්විය යුතුයි - සුමිත් චමින්ද

ආණ්ඩුවේ මාධ්‍ය මහජන සේවා මාධ්‍ය ආයතන කරන්න - ආචාර්ය ප්‍රදීප් වීරසිංහ

කළු මාධ්‍ය සුදු කරන හැටි මෙන්න !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top