Jan 20, 2019

සමකය: ඔහුත් නැති මව්බිම

ජනවාරි 12 වැනිදා ලාල් අයියා හදිසියේ මෙන් නික්ම ගියේය.

රවී විසින් වත්පොතෙහි තැබූ සටහනක් දුටු අයකුගෙන් එය දැනගන්නා විට ඔහු පිටව ගොස් පැයක් හෝ දෙකක් ගත වී තිබුණා විය හැක. නමුත් ප්‍රභූ පත්තරකාරයකු නොවූ නිසා ප්‍රේමලාල් වෙඩික්කාර ගැන දීර්ඝ ගුණ සමරු වැනුම් කිසිත් නොලියැවුණු තරම් ය. ඒ නොලියැවුණු දෑ වැදගත් ඉතිහාසයක පංගුවකි. ඒ ඉතිහාසය අයිතිවන්නේ මරණයෙන් දරදඬු අතීත සමයක මෙළැවුණු දකුණේ යුක්තිගරුක සාමූහික අභිලාෂයන්ගෙන් පිටුබල ලැබූ මිනිස් වෑයම්වලට ය. ප්‍රේමලාල් වෙඩික්කාර ඒ මිනිස් ප්‍රයත්නයන්ගේ වැදගත් කොටස්කරුවෙකි. 1993 සැප්තැම්බරයේ දී මහර බන්ධනාගාරය තුළ පහර දී මරා දැමූ ‘ලක්දිව’ පත්‍රයේ පිටු සැළසුම් කළ උදය කුමාර රණතුංග සහෝදරයාගේ අකල් මරණයෙන් පසු, ඒ භීම සමයේ ජීවිතය අනලස්ව බෙදාගත් සහෝදර පත්තරකාරයන්ගෙන් අප හැරගිය පළමුවැන්නා ප්‍රේමලාල් වෙඩික්කාර ය.

1990 පෙබරවාරියේදී පටන්ගත් ‘ලක්මිණ’ පත්තරය, ඊට පෙර පැවති ධවල භීෂණ සමයේ මිනිස් මාංශ පිළිස්සුණු ගිනිජල් දකුණේ වෙඩි දුමාරයෙන් නැගී ආ පළමු ෆීනික්ස් පක්ෂියා යැයි බොහෝදෙනා කල්පනා කළහ. ඒ ‘ලක්මිණ’ පත්තරයේ කුරුඳුවත්ත වාර්තාකරු වශයෙන් ලාල් අයියා වැඩ කළ බව මම පසුව දැනගතිමි. ඒ කාලයේත්, ඔහු පුරහල අසල ත්‍රී රෝද රථ ගාලෙහි රැඳී හයර් දිව්වාට සැක නැත. සති හතළිහක් පළ වූ ‘ලක්මිණ’, 1991 මුල් කාර්තුවේදී ඇණ හිටියේය. එයින් වසරක් ඇවෑමෙන් පටන් ගත් ‘ලක්දිව’ පත්තරයේ පළමු පිටපත නිකුත් වූයේ 1992 ජනවාරි 26 වැනිදා ය. නමුත් කර්තෘ මණ්ඩල කටයුතු 1991 නොවැම්බරය වනවිටත් ඇරඹී තිබුණි. උසස් පෙළ ලියා දෙමසකින් පත්තර රස්සාවට ඇතුල් වූ මා ලාල් අයියා දැන හැඳින ගත්තේ ඒ නොවැම්බරයේදී ය.

ශ්‍රී ලංකාකාරයකු වූ ඔහු කලක් ‘දිනකර’ පත්තරයට ලීවේය. එවකට නීති විද්‍යාල ශිෂ්‍යයකු වූ ඩලස් හා ‘80 වර්ජකයකු වූ ලාල් අයියා අතර යාලුකම දළුලා වැඩෙන්නට ඇත්තේ ඩාලි පාරේ ගෙවී ගිය ඒ දවස්වල විය යුතු ය. පළමුව ‘ලක්මිණේ’ත්, දෙවනුව ‘ලක්දිවේ’ත් කුරුඳුවත්ත වාර්තාකරු වූ ලාල් අයියා, ත්‍රී වීලරය දුවන අතරේ ප්‍රාදේශීය වාර්තා ලීවේ ඒ දැන හැඳුනුම්කම හරහා ය. බොරැල්ලේ සුපර් මාකට් සංකීර්ණයේ දෙවැනි මහල කෙළවරේ කුඩා කුටි දෙකකට කොටු වූ ‘ලක්දිව’ කර්තෘ මණ්ඩල පරිශ්‍රය ඔහුගේ උස් සිනා හඬින් නිතර පිරී ගිය ඒ දවස් හරහා රාජ්‍ය භීෂණයේ දිගු අඳුරු සෙවණැලි වැටී තිබුණි. නමුත් ‘ලක්දිව’ යාවජීව සාමාජිකයකු වූ ඔහු බදාදා හවසට මුල්පිටුවේ පුවත් ලියන්නට ද සහාය වන්නට නොපැකිලුණේය.

පත්තර දිවියට කලින්, මණ්ඩතිවු හා පරන්තන්හි රාජ්‍ය ඉංජිනේරු සංස්ථා වැඩබිම්වල කලක් නේවාසිකව වැඩ කළ ඔහු, ඒ නිසාම චතුරව දෙමළ බස කතා කළේය. යාපනයේ වීරසිංහම් ශාලාවේ වේදිකාගත වූ වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගයට සවන් දෙන්නට ආ දෙමළ ජනයා, සිංහල - දෙමළ සමගිය ගැන පබැඳුණු ඕලාරික ගීතයක් අවසානයේ නැගී සිට විනාඩි කිහිපයක් අත් පොළසන් දුන් ආකාරයත්, ජයවර්ධනගේ රාජ්‍ය මර්දන පිළිවෙත් හමුවේ අවිගත් තරුණ දේශපාලනය අර්ධද්වීපය සිසාරා ක්‍රමයෙන් පැතිර ගිය ආකාරයත් ගැන කතා මගේ මතකයේ පත්ලට කිඳා බැස්සේ ලාල් අයියාගේ සජීවී විස්තරයන්ගෙනි.

ජනාධිපති ප්‍රේමදාස, ආමර් වීදියේ එක්සත් ජාතික පක්ෂ මැයි දින පෙළපාලියේදී ඝාතනය වූයේ 1993 මැයි පළමුවැනිදා ය. ‘ලක්දිව’ සමස්ත කාර්ය මණ්ඩලයම සිය රැකියාවලින් ඉල්ලා අස් වී පාරට බැස්සේ මැයි 19 වැනිදා ය. මැයි 27 වැනිදා ‘අප ලක්දිවෙන් ඉල්ලා අස් වූයේ ඇයි?’ මැයෙන් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ මුළුදුන් පළමු රැස්වීම සාර්ථක කරගනු වස් සංවිධාන කටයුතුවලට දායක වූ ලාල් අයියා අප කැටුව සරසවි හා වැඩබිම්වලටත්, කලා - සංස්කෘතික ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයන්ගේ නිවෙස්වලටත් රෑ දවල් නොබලා දිව්වේය. සැප්තැම්බරයේ දී ‘හිරු’ පත්තරය ආරම්භ කරන තෙක් ලාල් අයියාගේ ත්‍රී වීලරය අපට තිබූ එකම වත්කම විය.

premalal wedikkara december1992 december'ලක්දිව' පුවත්පත මුල් වී සංවිධානය කළ පළමු ජනතා සාහිත්‍ය උළෙලේ කැට ව්‍යාපාරයට එක් වූ ප්‍රේමලාල් වෙඩික්කාර - 1992 දෙසැම්බර්, කොළඹ කොටුවේදී

‘හිරු’ පත්තරය පටන්ගන්නට වෙහෙස නොබලා වැඩකළ සිව් මාසයක කාලයේ ආධාර වැඩසටහන් සම්බන්ධීකරණ කටයුතුවල මූලික වගකීම වැටී තිබුණේ උදිත ගයාෂාන්, විමල් වීරවංශ හා මගේ කර මත ය. කඩවත පදිංචිකරුවකු වූ උදිත විඩාපත් දවස කෙළවර රෑ මැද හෝ ගෙදර ගියේය. නවතින්නට තැනක් නැතිව, නොදන්වා රෑ මැද නිරාහාරව කඩා වදින විමල්ටත්, මටත් මැදියමේ නැගිට බත් බෙදා දෙන්නට කිසිවිටක නොපැකිළුණු තැන් දෙකක් කොළඹ තිබිණ. එකක් නුගේගොඩ ගම්සභා හන්දියට නුදුරේ ජීවත් වූ විනී හෙට්ටිගොඩ සහෝදරයාගේ නිවස ය. අනෙක, මාලබේ තලාහේනේ, සමගි මාවතේ ලාල් අයියාගේ කුඩා කුලී නිවස ය. ‘හිරු’පත්තරය ආරම්භයේ සිට එහි ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ධූරය දැරෑ ලාල් අයියා ත්‍රී වීලරයත් රැගෙන මුද්‍රණාලවලත්, මහපාරේත් රස්තියාදු වූයේය. කොල්ලුපිටියේ පහළොස්වැනි පටුමගේ පිහිටි පළමු ‘හිරු’ කාර්යාලයේ, සංජීවගේ කවටකම් ගහන පරිගණක කාමරයේ රෑ මැදක් වනතුරු ඔහුගේ සිනා හඬින් පිරී තිබුණේ ඒ කාලයේ ය.

1995 මැද භාගය වනතෙක් ‘හිරු’ හා එක්ව සිටි ලාල් අයියා පසුව ඉන් මදක් දුරස් විය. අන්‍යෝන්‍ය අනවබෝධයන් විසින් ඇතිකළ සිත් රිදීම් ගහණ සමයක ඈත් වූ ලාල් අයියා වෙනත් පුවත්පතක් හෝ දෙකකට දායක වූ කෙටි කාලයකින් පසු යළිත් පුරහල අසළ ත්‍රී රෝද රථ ගාලේ නිත්‍ය සාමාජිකයකු විය. පැරණි මිතුදම් කිසිවිටක අමතක නොකළ ඔහු හමු වූ හැම විටකම ‘බඩගිනි’දැයි විමසා ප්‍රත්‍යන්ත ඔසු පැන්හලට බලෙන් කැටුව ගොස් කොළ කැඳ රැගෙන දුන්නේය. නැතහොත් යාබද කුඩා කඩයෙන් තේ ඇණවුම් කොට ත්‍රී වීලරයටම වී පිළිසඳරේ යෙදුණේය. 2006 නොවැම්බරයේ මැද අඳුරු වැසිබර සන්ධ්‍යාවක පුංචි බොරැල්ල මංසන්ධියේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගම් කාර්යාලයට යන්නට කැනීස් අවන්හල ඉදිරිපිටින් පාර පනින විට ලාල් අයියා හමු වූ බව මට මතක ය. ත්‍රී රෝද රිය මග අයිනක නවතා, රූටා වැටෙන කලිසම සුපුරුදු පරිදි උඩට අදිමින් ලාල් අයියා අඩ අඳුරේම දිව ආවේය. රෑ ගමන් බිමන් ගැන දොස් කී හේ ගිහින් ඇරලවන්නට යන තැනක් කියන්නැයි බල කළේය. ඒ අවසන් වතාවට ය. මගේ පිටුවහල් දිවිය ඇරඹුණේ ඉන් දෙතුන් සතියකට පසු ය.

ඉකුත් ජූලි මාසයේ දී දුරකතනයෙන් ඔහු ඇමතූ විට හේ හැඟුම්බර හඬින් දෙපැයක් පමණ කතා කළේය. කියා නිම නොවූ තතු කතා කරන්නට යළිත් කතා කරන්නෙමැයි මම පොරොන්දු වීමි. මෑත දී ඔහු විසින් ‘දිනමිණ’ට ලියූ තීරු ලිපි කියවා බලන්නැයි හේ මහත් ඕනෑකමින් ඉල්ලා සිටියේය. නමුත් නොවැම්බරයේ අග දී ලාල් අයියා බරපතල ලෙස ගිළන් වී ඇතැයි මා දැනගත්තේ පැරණි මිතුරු සුදත් ලියා එවූ පණිවිඩයකිනි. රෝගී තත්ත්වය ගැන නොදන්නා සේ කතා කරන්නැයි සුදත් ඉල්ලා තිබිණ.

‘ජීවත්වීමේ හේතුව, දිගු කාලයක් මරණයෙහි ගැලී සිටීමට සූදානම් වීම’ යැයි විලියම් ෆෝක්නර්ගේ ‘As I Lay Dying’ හි කතා නායිකාව වන ඇඩී බන්ඩ්‍රන්ගේ කෙටි ස්මරණයන් අතරේ කියැ වේ. දෙසැම්බර් මාසයේ අවසන් වරට කතා කළ ලාල් අයියා ඒ දිගු මරණයට කෙතරම් සූදානම්ව සිටියේදැයි මම නොදනිමි. දෙසැම්බර් 9 වැනිදා මා හා කතා කළ ඔහු විටෙක හැඬුවේය. විටෙක කවටකම් කොට සිනහසුණේය. දේශපාලන තත්ත්වය ගැනත්, අතීත මිතුදම් ගැනත් ශෝකයෙන් කතා කළේය. ඒ සමය දිවියේ හොඳම කාලය යැයි දුක්බර ප්‍රීතියකින් ස්මරණය කළේය. යළි හමු නොවන බව දැන 2011 ජූනි මාසයේ දී දුරකථනයෙන් අමතා තාත්තාගෙන් සමුගත් පරිද්දෙන්ම, මේ දෙසැම්බරයේදී මම පෑරුණු හදින් ලාල් අයියාගේ කටහඬ විඳ ඔහුගෙන් සමුගතිමි. ඒ ඔහුට ඒ බැව් නොකියා ය.

මතුයම් දිනක අගනුවර නිදහසේ යන්නට අහම්බෙන් හෝ ඉඩක් ලදොත්, බෞද්ධ කාන්තා විදුහල අසළින් හිස පොවා 201 – 5005 ත්‍රී වීලරය ඇතිදැයි බලා බසයෙන් බසින්නට දැන් ඉඩක් නොලැබේ. ඒ ඔහු නැති නිසාවෙනි.

පසමිතුරුතාවන්ට වඩා ජීවිතය විශාල ය. පසමිතුරුකම් ජීවිතය කොටගත්තෝ ඒ රහස නොදනිති. ලාල් අයියා අයිතිවන්නේ ඒ විසල් ජීවිතයට ය.

සමාජ යුක්තිය පිළිබඳ නොතිත් අපේක්ෂාවන්ගෙන් මෙළැවුණු ‘89 සංහාරයෙන් පසු එළැඹී ගෙවී ගිය අතීත දිවිය, අඳුරේම ගිලිහී බිඳුණු පළිඟුවක් බඳු ය. තැවුල්පත් සිතින් හැරී බලා විඳිය යුතු සොඳුරු දුක්බර මතක අංශු, විසිරුණු පළිඟු කැබලිති මෙන් ඒ අඳුරේත් දිදුලයි.

ලාල් අයියා පිළිබඳ මතකය ඒ වන් පළිඟු අංශුවකි; නිමක් නැති මතක අඳුරේ පවා දිදුලන, කිසිකලෙක නොනිවෙන ආලෝක තිතකි.☐

(මෙම ලිපිය 2019 ජනවාරි 20 වැනිදා 'අනිද්දා' පත්‍රයේ මුල්වරට පළවිය.)

රෝහිත භාෂණ අබේවර්ධන

(jdslanka.org)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top