Mar 20, 2019

ගිණි ගන්නා කාශ්මීරය එදා මිහිමත වූ දිව්‍ය ලෝකයයි

ඉන්දියාව සහ පකිස්තානය අතර මේ වන විට ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය නිසා ජනතාව සහ පරිසරය බරපතල ලෙස අවධානමකට ලක් වී තිබේ. නමුත් එකම කලාපයක රටවල් දෙකක් මෙලෙස බෙදී තමන්ගේම මිනිසුන් සහ පරිසරය විනාශ කරගන්නා බවක් අපට පෙනෙන්නට ඇත.ඉතිහාසය ගත් කල වසර 3500 ට පෙර ඉන්දු ගංඟාව ශිෂ්ටාචාර ගත වීමේදී හරප්පා ශිෂ්ටාචාරය ආරම්භ වන්නේ ඉන්දු ගංඟා නිම්නය පදනම් කරගෙනය.හරප්පා ශිෂ්ටාචාරය විශේෂයෙන්ම ඊජිප්තුව ඇතුළු බටහිරට කිට්ටු ශිෂ්ටාචාරයක් මෙන්ම ආසියාතික කලාපයේ බොහොම පැරණි ශිෂ්ටාචාරයක් ලෙස අපිට හඳුනාගැනීමට හැකි වේ.

දැනට හරප්පා ශිෂ්ටාචාරය ගිනිකොණදිග ඇෆ්ගනිස්තානය පාකිස්තානය හා උතුරු ඉන්දියාවේ ඉන්දු ගංඟා නිම්නය තුළ පිහිටා ඇත. විශේෂයෙන්ම හරප්පා ශිෂ්ටාචාරය තුළ පැරැණි යෝගීවරුන් සිටි බවට මුද්රා හමුවීමත් සමඟම අධ්‍යාත්මය සහ පරිසරය ජන ජීවිතයට කෙතරම් සමීප වූවා දැයි එය හොඳම සාක්ෂියක් වන අතර දියුණු මනසක් සහිත දියුණු තාක්ෂණයෙන් යුත් මිනිසුන් සිටි බවට එය හොදම උදාහරණයක් ලෙස දැක්විය හැක.

kashmir 759

හරප්පා ශිෂ්ටාචාරය ගවයන් හා ඔවුන්ගේ ආදායම මුල් කරගෙනත් රත්රන් ඇතුළු වෙළෙඳාම මුල් කරගෙනත් කෘෂි සම්ප්‍රදාය මුල් කරගෙන බිහි වූ ශිෂ්ටාචාරයක් ලෙස හැදින්විය හැකිය. මේ පිළිබඳව පර්යේෂණ කළ පර්යේෂකයන්ට අනුව කොට්න්(cotton ) නැත්නම් පුළුන්, සහල්, බඩඉරිඟු, තල වැනි ධාන්‍ය මේ තුළ වගා කරන්නට ඇතැයි විශ්වාස කරන අතර ඒ සඳහා වූ සාක්ෂිද මේ වන විට සොයාගෙන ඇත. හරප්පා ශිෂ්ටාචාරය පස්ගෝ රස මුල් කරගත් කෘෂි ශිෂ්ටාචාරයක් බවට සාක්ෂි මුද්රා මේ වන විට එයින් හමු වී ඇත.

ඉන්දියාව ඇතුළු මහා භාරතය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය දැනට වෙන් වී ඇති මේ රටවල් ශිෂ්ටාචාර ගත වීම(civilization) වැනි ඓතිහාසික තතු මේ හරහා අපිට සොයා ගැනීමට හැකිය. ඉන් අනතුරුව විශේෂයෙන්ම හරප්පා ශිෂ්ටාචාරය විනාශ වී යාමත් සමඟ එයට හේතු වූයේ අධික ජනගහනයක් හරප්පා ශිෂ්ටාචාරය තුළට ඇතුළු වීමත් මෙම නගර තුළ ජීවත් වීමත් ඉන්දු ගංඟා නිම්මය වියළි තත්ත්වයට පත් වූ බවත් ඒ නිසාවෙන්ම මිනිසුන් මේ ප්‍රදේශය අත්හැර යන්නට ඇතැයි එය කාලීනව වැලලෙන්නට ඇතැයි විද්‍යාඥයන් පවසයි. ඒ ආශ්‍රිතව මේ වන විට අවුරුදු 4500ත් 5000 ත් අතර කාලය තුළ තිබූ මීළඟ ආසියාතික ප්‍රබලම ශිෂ්ටාචාරය වූයේ මොහෙන්ජොදාරෝ ශිෂ්ටාචාරයයි.

මොහෙන්ජොදාරෝ ශිෂ්ටාචාරය තුළ විශේෂයෙන්ම කුකුළන් ඇති කිරීම ,කුකුළන් කෙටීම සහ මැදපෙරදිගට කුකුළු මස් වෙළෙඳාම් කිරීම ආදී ව්‍යාපාරවල මොවුන් නියැලෙන්නට ඇතැයි විශ්වාස කරන අතර දැනට ඉන්දු ගංඟා තැම්පත්වලින් වැසී ගිය මේ මොහෙන්ජොදාරෝ ශිෂ්ටාචාරය තුළ "කුක්කුටාරාම්සීල්" නැමැති සංකේතයක් හමු වී ඇති අතර ඒ තුළින් ඉහත කී කුකුළන් සම්බන්ධව තිබූ ගණුදෙනුව මෙයින් හෙලි වී ඇත.

මේ ශිෂ්ටාචාර දෙක දිහා බලන විට මුළු පකිස්තානය,ඉන්දියාව ඇෆ්ගනිස්තානය, බංගලිදේශය,නේපාලය ශ්‍රී ලංකාව වැනි රටවල් ශිෂ්ටාචාර ගත වීමේදී මෙම මොහෙන්ජොදාරෝ සහ හරප්පා ශිෂ්ටාචාර ප්‍රබල බලපෑමක් කර ඇති අතර දකුණු ආසියාවේ ඓතිහාසික ශිෂ්ටාචාරය තුළ පකිස්තානයත් ඉන්දියාවත් එකක් ලෙස පෙනී සිටි ඇති අතර අද වන විට මොහෙන්ජොදාරෝ හා හරප්පා ශිෂ්ටාචාරවල නටබුන් පිහිටා ඇත්තේ පකිස්තානය හා ඇෆ්ගනිස්තානය පදනම් කරගෙනය. එහෙයින් මෙය ඓතිහාසිකව වසර දහස් ගණනක් තිස්සේ මෙය එකම බිමක් ලෙස විවිධ ජනගහනයන් එක්ව ජීවත් වූ ප්‍රදේශයක් බවට හැඳින්විය හැකිය. විශේෂයෙන්ම හිමාලයෙන් පටන් ගන්නා චෙලු,චෙනාබ්,රවී, බෙයාස්,සතුජි යන ගංඟා පහ ඉන්දියාවේ සහ පකිස්තානයේ ප්‍රදේශ ගණනාවක් පෝෂණය කරනු ලබයි.maxresdefault

1947 ට පෙර වසර ගණනක් එකට තිබූ ඉන්දියාව සහ පාකිස්තානය 1947 න් පසුව බෙදා වෙන් කරන්නේ විශේෂයෙන්ම ඉංග්‍රීසි ආණ්ඩුවේ රැජිනගේ උවමනාව මතයි. මෙසේ දේශපාලනිකව බෙදීමක් සිදු කලද භෞතිකව වගේම භාෂා වශයෙන් ද තවමත් ඉන්දියාව සහ පකිස්තානය තුළ හින්දු ආගම සහ ඒ සංස්කෘතිය මේ රටවල් දෙක තුළ ම දැක ගත හැකිය.විශේෂයෙන්ම ඉන්දියාවේ පංජාබ් ප්රදේශය 1947 දී කොටස් දෙකකට වෙන් කරන්නේ ඉංග්‍රීසින් විසිනි. මේ වන විට එය ඉන්දියානු පංජාබ් සහ පකිස්තානු පංජාබ් ලෙස කොටස් දෙකකට බෙදී ඇත. පංජාබ් යනු පංජ්+ආබ් වේ. පංජ් යනු පහ ලෙසද ආබ් යනු ගංඟා ලෙසද හැදින්විය හැකිය. ඒ අනුව ගංඟා පහේ භූමිය ලෙස මේ ප්‍රදේශය පුරාණ කාලයේ සිට හදුන්වනු ලබයි. එම ගංඟා පහෙන් රවි, බෙයාස්, සතුජි යන ගංඟා මේ වන විට හිමාලයේ හිමාචල් ප්‍රදේශයෙන් ආරම්භ වී ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශයටත් චෙලුම්,ජෙනාබ් ගංඟා දෙක පකිස්තාන පංජාබ් ප්‍රදේශයටත් ගලා බසින අතර පකිස්තානයේ බොහෝ ප්‍රදේශයන් ජලයෙන් පෝෂණය කරන්නේ ඉන්දු ගංඟාව විසිනි.

මෙම ගංඟා පහම අවසානයේ ඉන්දු ගඟට එක්වන අතර පසුව එය අරාබියෙන් මුහුදට වැටෙන අතර පකිස්තානය හා ඉන්දියාවේ පකිස්තාන ප්‍රදේශය සශ්‍රික කරන්නේත් මිනිසුන්ගේ ජල අවශ්‍යතා සපුරන්නේත් මෙකී ගංඟා පහෙනි. නමුත් මෙකී ගංඟා පහ ආරම්භ වන්නේ ඉන්දියාවේ දැනට තියෙන ඉන්දියාවේ හිමාලය ප්‍රදේශයෙන් නිසා රටවල් බෙදීමින් පසු 1947 පසු ජලය සම්බන්ධ විශාල ගැටලුවක් පකිස්තානය තුළ ඇතිවන්නට පටන් ගත් අතර විශේෂයෙන්ම එයට හේතුව වන්නේ එක් රාජ්‍යක සිට තවත් රජ්‍යකට ජලය ගලා යන විට මේ ගංඟා ආරම්භ වන ඉන්දියානු රාජ්‍ය විසින් ඇතැම් කාලවල ගංඟා හරස් කිරීම නිසා පකිස්තානයේ ජනතාවට ජලය නොලැබීමත් දැඩි වර්ෂාව සහිත කාල වලදී එම බැමි කඩා දැමීම නිසා පකිස්තානයේ පංජාබ් වැනි ප්‍රදේශ විශාල ගංවතුර තත්ත්වයකට මුහුණ දීමත් වැනි ජලය මුල්කරගත් අර්බුද ගණනාවක් පැන නැගුනේ 1947 න් පසුවයි . එම නිසා 1960 දී පමණ india water reti ඉන්දියානු ජල ගිවිසුම අත්සන් කරන්නේ එවකට ඉන්දියාවේ අග්‍රමාත්‍යවරයෙක් වූ ජවහල්ලාල් නේරු සහ එවකට පකිස්තානයේ අග්‍රමාත්‍ය වූ අයුක් ඛාන් යන නායකන් දෙදෙනා විසිනි.

Neelam Valley මෙම ගිවිසුමට අනුව විශේෂයෙන්ම ඉන්දියාවෙන් ගංඟා ආරම්භ වුවද මෙම ගංඟා වල ජලයේ අයිතිය චෙලුම් ජෙනාජ් ගංගා වල ජලයේ අයිතිය 80% පකිස්තානයට ද 20%ඉන්දියාවට ද වන සේ සම්මත අනිත් ගංඟා වල අයිතිය සමසේ බෙදන ලෙස මෙම ගිවිසුමේ දී අත්සන් කරන ලදි. නමුත් 1960 න් පසුව ලෝක බැංකුවේ මැදිහත් වීමෙන් ඉන්දියාවේ විද්යුත් අවශ්‍යතා මත විශාල ඇලවේලි ඉදිකිරීමට සැලසුම් සකස්කර ඉන්දියාවට භාර දී ඒ සඳහා මුදල් ආධාර ද ලබා දුන් පසු ඉන්දියාව විසින් ගංඟා හරස් කිරීම සිදුකල අතර පකිස්තානයට ගලා එන ජලයේ ප්‍රමාණයන් අඩු වීමත් ගං වතුර කාලයේදී ජලය නිදහස් කිරීමත් නිසා ඇතිවන ගැටලු නිසාත් ඉන්දියාව සහ පකිස්තානය අතර විටින් විට ගැටලුකාරී තත්වයන් ඇතිවන්නට විය. එය ඉන්දියාවේ පංජාබ් සහ පකිස්තානයේ පංජාබ් දේශසීමවත් කාශ්මීර දේශසීමාවත් අතරත් විවිධ අවස්ථාවල මෙවැනි ගැටුම් ඇතිවන්නට විය.

ඉන්දියාව සහ පාකිස්තානය අතර 750km ක දේශසීමා රේඛාවක් මෙම නිසාම ලකුණු වුණ අතර සුන්දර කාශ්මීරය විටින් විට යුධපිටියක් බවට පත් වන්නේ මින් අනතුරුවයි. කාශ්මීර ප්‍රදේශය ගත්කල කාශ්මීරය යනු ඉන්දියාවටත් පකිස්තානයටත් චීනයටත් අයිති කොටස්වලින් සමන්විත වූවකි.ලෝකයේ බොහෝ සුන්දර තැන් අයිස් කඳු ග්ලැසියර් වලින් පිරුණු කාශ්මීරය තුළ ක්ෂීරපායි විශේෂ 75 ක් කුරුලු විශේෂ 358 ක් මාළු විශේෂ 44ක් ගෙම්බන් විශේෂ 14 ක් කෘමීන් විශේෂ 225ක් සහ ශාක විශේෂ 3054 ක් පමණක් ඇති අති පොහොසත් ජෛවිවිධත්වයක් විද්‍යාඥයන් විසින් සොයා ගෙන ඇත.

කාශ්මීරය, ලදාක් නැත්නම් ලෝකයේ පියස්ස ලෙස හදුන්වන ඉතාමත් රමණීය ප්‍රදේශයන් මේ ආශ්‍රිතව පිහිටා ඇති අතර විවිධ කාලවලදී සංචාරකයින්ගේ දැඩි ආකර්ශණය මේ ප්‍රදේශවලට යොමු වී තිබුණි. නමුත් පකිස්තානය හා ඉන්දියාව අතර ඇති වන යුධ ගැටුම් නිසා විශේෂයෙන්ම මෙම ප්‍රදේශයෙන් සත්ත්ව විශේෂ වඳ වී යාමේ තර්ජනයකටත් මෙම අයිස් කඳු ග්ලැසියර් දිය වීමේ ප්‍රවණතාවක් ඇති වී ඇති අතර අද වන විට සත්ත්ව හා ශාක විශේෂ වඳ වීමත් එමෙන්ම මෙම සුන්දර ප්‍රදේශය විනාශකාරි විස සහිත බෝම්බ පතරොම් සහ අනෙකුත් ගිනිඅවි සහ පුපුරන ද්‍රව්‍ය නිසා විනාශ වීමේ අවධානමකට පත් වී ඇත. පකිස්තානය හා ඉන්දියාව එක්ව කාශ්මීරය සහ ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශ සාමකාමීව පාලනය කරේ නම් ලෝකයටම බොහොම සුන්දර ප්‍රදේශයක අහිමි වීම නවතා දැමිය හැකිය.

එමෙන්ම විශේෂයෙන්ම ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ ඇතිවන ගැටලුවලට මුල් ම හේතුව වන්නේ ජලය මුල් කරගෙන ඇති වන සටන් බව බොහොම පැහැදිලි ව පෙනෙන්නට ඇත. එම නිසාම හිමාලය වැනි අධික ජෛව විවිධත්වයක් හිමි සුන්දර ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමේ වගකීම පෙර දී එක්ව රටක් ලෙස තිබූ නමුත් එංගලන්ත ආණ්ඩුව විසින් බෙදා දමන ලද පාකිස්තානය සහ ඉන්දියාව එක්ව පියවර ගත යුත්තේ මෙම භූමිය ආරක්ෂා කර ගැනීමටය. රටවල් බෙදා එංගලන්තය හිරු නොබසින අධිරජ්‍ය ලෙස අද වන තෙක් ඔවුනොවුන් යුධ කර ගන්නා අයුරු දෙස හොඳින් බලා සාමකාමී රටක් ලෙස ජීවත් වෙතත් ඔවුන් කඩා දමා ගිය රටවල් අදවන විට ලෝකය පුරා ම යුධගිනි ඇවිලෙන තත්ත්වයට පත්ව ඇත. උදාහරණයක් විදියට අප්‍රිකාවේ බොහෝ රටවල මෙම තත්ත්වය පැන නැගී ඇති අතර ඊශ්‍රායල, ඉරානය, ඉරාකය වැනි රටවල් ද අද වන විට ඉන්දියාව පාකිස්තානය වැනි මහා භාරතය තුළ තිබූ නමුත් පසුව බෙදා දමන ලද ප්‍රදේශත් දේශසීමා වෙනුවෙන් අරගල කරමින් ඇත.kashmir bomb attack

මෙම දේශසීමා වෙනුවෙන් අරගල කිරීම නිසා විශේෂයෙන්ම අහිමි වන්නේ එම ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ ජීවන අයිතියත් ඔවුන්ගේ මරණය ඉක්මනින් ලංවීමත් ඔවුන්ගේ දරුවන්ට සුන්දර ප්‍රදේශයක් සහ ඔවුන්ගේ ජීවිත අහිමි කරමින් අදවන විට එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සුන්දර භූමියක සිටියත් එම සුන්දර භූමියේ ජීවත් වීම වෙනුවට යුධගිනි සහ එහි බිය විඳගැනීමට සිදු වී ඇති අතර විශේෂයෙන්ම දෙපසින්ම සිදුවන කෙනහිලිකම් ළමා දූෂණ කාන්තා දූෂණ ළමා අපයෝජන කාන්තා අපයෝජන මිනීමැරීම් මෙවැනි ක්‍රියා නිසා ඉන්දියාවේ කාශ්මීරයත් පකිස්තානයේ කාශ්මීරයත් යන ප්‍රදේශ විනාශ වීමට පටන් ගෙන ඇත. මහපොළවේ දිව්‍යලෝකය අපායක් බවට පත්ව ඇත්තේ මෙවැනි කාරණා නිසාවෙනි. එම නිසා ලෝකයටම වටිනා පරිසර විද්‍යාත්මකව ඉතාමත් ඉහළ අගයක් ගන්නා ලෝකයේ දේශගුණික විපර්යාස අවම කිරිමේ හැකියාවක් ඇති සුන්දර කාශ්මීරය ආරක්ෂා කිරීම දෙරටේම වගකීමක් වනුයේ තව දුරටත් ඔවුන් රටවල් දෙකක මිනිසුන් නොවන නිසාය.

5000ක ඉතිහාසයක සිට එකට සිටි ජනතාව අවුරුදු 72 ක බෙදා වෙන් කිරීමේදී කාලය තුළ අත්පත් කර ඇති ඉරණම තුළින් ලෝකයටම අදවන විට කාශ්මීරය වැනි සුන්දර සහ ජෛවිවිධත්වයෙන් ඉතා ඉහළ වැදගත් ප්‍රදේශ අහිමි වී ඇත. එම නිසා එය රැක ගැනීමේ වගකීම ඉන්දියානු කාශ්මීර හා පාකිස්තානු කාශ්මීර යන මෙම රටවල් දෙක සතුවම ඇත.

රවීන්ද්‍ර කාරියවසමි / නිමාශා සෙවිවන්දි

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top