Mar 27, 2019

උෂ්ණත්වය ඉහල යාම කෘෂිකර්මාන්තයට කෙසේ බලපායි ද?

මේ වන විට ශ්‍රී ලංකාව පුරා අධික උෂ්ණත්වයක් වාර්තා වන අතර කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇත. වායුගෝලයේ හරිතාගාර වායු ප්‍රතිශතය ඉහල යාම නිසා සිදුවන හර්තාගාර ආචරණය නිසා සිදු වන දේශගුණික විපර්යාසයත් සමග සමස්තයක් ලෙස මිහිතලය උණුසුම් වීම දැකිය හැකි කරුණකි.

ශ්‍රී ලංකාවට ඉහලින් සුර්යයා ගමන් කිරීම , ඉහල අහසේ වලාකුළු නොමැති වීම නිසා සූර්ය කිරණ සෘජුවම පොලවට ලගා වීම සහ වේගවත් සුළං නොමැති වීම මේ දිනවල මෙරටට බලපාන දැඩි උෂ්ණත්වයට හේතුවයි.

දේශගුණික විපර්යාසය අධ්‍යයනය කිරීමේදී මූලික වසර ලෙස යොදා ගන්නා වසර 1880 සිට සමස්තයක් ලෙස මිහිමත උෂ්ණත්වය ඉහල යාම සෙල්සියස් අංශක 0.8 ක් වන අතර මෙහි විශේෂත්වය වන්නේ මෙසේ වැඩිවූ උෂ්ණත්වයෙන් තුනෙන් දෙකක් පමණ 1975 වසරින් පසුව වැඩි වීමයි. මෙම අගය කුඩා අගයක් ලෙස පෙනී ගියත් උෂ්ණත්වය වැඩි වීම නිසා කෘෂි කර්මාන්තයට සිදු වූ හානිය මෙන්ම මුහුදු මට්ටම ඉහල යාම හා පාරිසරික බලපෑම සුළුපටු නොවේ. නවතම පර්යේෂණ වලට අනුව උෂ්ණත්වය ඉහල යාම නිසා තිරිඟු, වී සහ බඩ ඉරිඟු වැනි ප්‍රධානම බෝග වල අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර තව දුරටත් විශාල ලෙස අඩු වීමක් අපේක්ෂා කෙරේ.

දේශගුණික විපර්යාසය සැලකිල්ලට ගැනීමේදී එයට දායක වන හරිතාගාර වායු විමෝචනය අතින් ශ්‍රී ලංකාව ප්‍රමාණවත් වායු විමෝචනයක් සිදු නොකරන නමුත් ශ්‍රී ලංකාව දැනටමත් දේශගුණික විපර්යාසයේ ගොදුරක් බවට පත් වී අවසානය. මෙරට දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ උෂ්ණත්වය ඉහල යාමක් පෙන්නුම් කරන අතර ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය ඉහල යාම ලෝකයේ සාමාන්‍ය අගයට වඩා වැඩි වීම සුවිශේෂී කරුණකි. එමෙන්ම විවිධ ප්‍රදේශ වල වාර්ෂික වර්ෂාපතනය ඉහල යාම සහ පහල යාම දැකිය හැකි අතර අධික වැසි (extreme) සහ වර්ෂාපතන රටා වෙනස් වීම ද මෙරට දැකිය හැකිය.

දේශගුණික විපර්යාසය නිසා මෙරට වී සහ බඩ ඉරිඟු වල අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු වීම දැනට සිදු වී ඇති අතර තවදුරටත් අස්වැන්න අඩු වීම කෘෂිකාර්මික රටක් ලෙස අහිතකර ලෙස බලපානු ලබයි. මෙරට ප්‍රධානතම ආහාරය සහ කෘෂිකාර්මික බෝගය වන වී වගාවට ද උෂ්ණත්වය ඉහල යාම අහිතකර ලෙස බලපෑමක් එල්ල කිරීමට සමත්ය. මෙරට වී වගා කරන බොහෝ ප්‍රදේශ වල උෂ්ණත්වය සාමාන්‍යයෙන් ඉහල අගයක් ගන්නා අතර උෂ්ණත්වය තව දුරටත් වැඩි වුවහොත් (සෙල්සියස් අංශක 35-36 පමණ) වී ශාකයේ පරාග වල ජිවිතාවය (sterility) අඩු වීම හා නැති වීම සිදුවේ. එවිට නව බීජ නිපදවිය නොහැකි නිසා අස්වැන්න විශාල වයෙන් අඩුවීම සිදු වේ. නමුත් මේ වන විට ලංකාවේ බොහෝ ප්‍රදේශ වල මහ කන්නයේ අස්වැන්න ලබාගනිමින් සිටින බැවින් උෂ්ණත්වය අධික ලෙස ඉහල යාම වී වගාවට විශාල බලපෑමක් එල්ල නොකරයි. නමුත් පොල් වැනි බහු වාර්ෂික බෝග වලට ද මෙසේ උෂ්ණත්වය ඉහල යාම තර්ජනයක් එල්ල කිරීමට සමත්ය. පසුගිය කාලයේ වී වගාවේ පැතිර ගිය දුඹුරු පැල කිඩා හානිය ඉහල උෂ්ණත්වයේ වක්‍රාකාර ප්‍රතිපලයකි.

පසුගිය වසරේ අවසාන කාලයේ සිට පැසිපික් සාගරයේ වර්ධනය වෙමින් පවතින එල් නිනෝ තත්වය තවදුරටත් විශාල ලෙස වර්ධනය වීමක් අපේක්ෂා කරන අතර එය එසේ වුවහොත් ශ්‍රී ලංකාවට නුදුරු අනාගතයේදී තවදුරටත් ඉහල උෂ්ණත්වයක් අපේක්ෂා කල හැකිය. එබැවින් නිසි ආකාරව ජල සම්පත කළමනාකරණය, වියලි කාලගුණික තත්ත්ව වලට ඔරොත්තු දෙන බෝග හඳුන්වා දීම සහ දැනට ඇති බෝග වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එමෙන්ම දේශගුණික අනතුරු දර්ශකයේ දැනට දෙවැනි තැන පසු වන ශ්‍රී ලංකාව නුදුරු අනාගතයේදී එහි මුල් තැන ලබා ගැනීම ද වැඩි ඇතක නොවනු ඇත.

ආචාර්ය එරංග එම්. විමලසිරි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top