Apr 28, 2019

පාස්කු ඉරිදා ප්‍රහාරය : පීනික්ස් කුරුල්ලන් බවට පත්වූ දේශපාලුවෝ 

මළවුන් සමග දේශපාලනය කිරීමට මෙරට දේශපාලකයෝ උපන් හපනුන් වෙති. ඒ වෙනුවෙන් කිඹුල් කඳුළු ලොරි ගණන් ඔවුන් සතුය. පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරත් සමග මෙරට ජන මනස හිරිවැටී ගිය අතර දේශපාලකයෝ පීනික්ස් කුරුල්ලෝ බවට පත්වූහ.

අනාගත දේශපාලන නායක සිහින මේ ඛේදවාචක අතර නිතර හමුවිය. එජාපයෙන් සජිත්, රවි මෙන්ම කරුද ඒ අතර වූහ. ගෝඨාභය මේ අතර ඉක්මනින් මතුවෙතැයි සිතුවද එය සිදු නොවීය. එසේ නම් අනතුරක සේයා ගැන ඔහු කල්තියා දැනුවත් සේ ම ඉන් පසුවද පරිස්සම් බව පැහැදිලිය. හැම දේශපාලකයෙක්ම මේ ඛේදවාචක සමග කරනුයේ දේශපාලන සෙල්ලමක් බව කිව යුතුමය.

ප්‍රහාරයේ වගකීම:

මේ වනවිට ප්‍රහාරයේ වගකීම අයිඑස්අයිඑස් සංවිධානය භාරගෙන ඇත. ප්‍රහාරයට අවැසි මිනිස් මෙවලම් මෙරටින් තෝරාගෙන තිබුණි. ඒවා පිළිබඳ අද කෙස් පැලෙන තර්කය. කල්තියා මේ සංවිධාන ගැන අදහස් ඉදිරිපත් කළ අය අද දෙවිවරු වී සිටිති. ඒ ඔවුන් අනාගතය කල්තියා දුටු බැවිනි. 

විජේදාස රාජපක්ෂ ඒ අතර ලොකුම දෙවියාය. මධුමාධව අරවින්දගේ සිට තව දෙවිවරු එමටය. අප දැන් මේ අයට මල් තියා වැඳිය යුතු නොවේද? ඒ අයගේ තක්කඩි දේශපාලනය එසේ වුවත් එයට මග හැදූ රිෂාඞ් බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලිගේ තක්කඩි දේශපාලනයද ඔවුන් හෙළි කිරීම අගය කළ යුතුය. මන්ද තක්කඩින් හෙළිදරව් කළ යුත්තේද එවැනිම තක්කඩින් බැවිනි. එය දැන් මනාව සිදුවේ.

ප්‍රහාරයේ දිග පළල එය කාගේ වැඩක්ද සෙවීම අපිට අයත් නොවේ. එය මෙරට ආරක්ෂක අංශ මගින් කළ යුතුය. එය කිරීම නොකිරීම කෙසේ වෙතත් දැනට චෝදනා එල්ල වන නම් දෙස බලන කල මේ විමර්ශන වැඩිදුර නොයන බව නම් පැහැදිලිය.

රිෂාඞ් බදියුදින් මේ සියල්ල කළත් මේ ආණ්ඩුවට ඔහු අත්අඩංගුවට ගත නොහැකිය. මුජිබර් රහුමාන් මේ සිද්ධිය පිටුපස සිටියද අත්අඩංගුවට ගත නොහැකිය. ජනපතිගේ කිට්ටුවන්තයකු වී ඇති අසාද් සාලි ගැනත් කිවයුත්තේ එයමය. එසේ නම් මේ විමර්ශන දැනට අහුවන අයගෙන් එහාට ගමන් කරතැයි ව්‍යාජ විශ්වාසවල අපි ගිලෙනුයේ ඇයි?

මෙවැනි මොහොතක හරබර කතා කියන ජවිපෙ පවා අද අග්ගලා කෑ ගොළුවන් ගාණය. දෙමටගොඩදී අත්අඩංගුවට පත්වනුයේ ඔවුන් සමගද දීග කෑ අයෙකි. සැවොම උගුලේ පැටලී හමාරය. සමහරු බලෙන් පැටලෙති. ආරක්ෂක ලේකම් එවැන්නෙකි.

වගකීම

මෙවැනි ප්‍රහාරයක් ගැන බුද්ධි අංශ කල්තියා දැනුවත්ව සිටි බවත් ඒ පිළිබඳ අදාළ අය දැනුවත් කළ බවත් දැන් නොරහසකි. එහෙත් ඒ ගැන සුළුවෙන් තකා, ක්‍රියාත්මක නොවීම ගැන සැවොම කිඹුල් කඳුළු හෙළති. රාජිත සේනාරත්න මෙයට විරුද්ධව හතර අතේ බැණ වදියි. අද බැණ වදින මේ අය නොකියන ඇත්ත නම් මේ යහපාලනය පවතින්නේ දෙමළ ඡන්දවලින් නිසා නැවත යහපාලනයට විරුද්ධව දෙමළ නැගිටීමක් ඔවුහු කිසිදා විශ්වාස නොකළෝය. 

රාජපක්ෂලා නැවත කොටි එතැයි කෑගැසුවද රනිල් කිසිදා එය විශ්වාස නොකළේය. ඒ දෙමළ මහා බලවතුන් ඔවුන් සමග නිසාය. ඔවුහු මුස්ලිම් අන්තවාදයක් කිසිදින ඇති වෙතැයි නොසිතූහ. කිසිදින නොවන දේවල් ගැන සිතනුයේ ඇයි? ආණ්ඩුව ක්‍රියා කළේ එසේය. අද පම්පෝරි ගහන රාජිතගෙන් මීට පෙර ඔය බුද්ධි අංශ වාර්තාවම පෙන්නා ප්‍රශ්න කළේ නම් රස කතා අසා ගන්නට ඉඩ තිබුණි. එහෙව් දේශපාලන තක්කඩින්ගෙන් අපි සාධාරණය බලාපොරොත්තු වෙමු.

දැන් යහපාලන දේශපාලනය ඉවරය. දැන් ඇත්තේ කාටවත් විග්‍රහ කළ නොහැකි අමුතුම පන්නයේ දේශපාලනයකි. මේ කිසිවක් ගැන අගමැති නොදනී. එමෙන්ම ජනපතිද නොදනී. එහෙත් අගමැති නොදන්නා රහස අගමැතිගේ ළඟම ඇමතිවරු දනිති. ජනපති නොදන්නා රහස ආරක්ෂක ලේකම් දනී. පොලිසියම දන්නා රහස හමුදාව නොදනියි. මේ නම් අරුම පුදුම ආණ්ඩුවකි. 

දැන් පොරකමින් තම තමන් නොදන්නාකම් ගැන කියවති. හරීන් තාත්තාගේ අනාවැකිය ගැන කියන්නට ඇවිත් හත්පොළම ගාගෙන වටපිටාවම ගඳ ගස්සමින් සිටී. මුජිබර් රහුමාන් බුද්ධි අංශයට බනින්නට ගොස් දැන් මන්දබුද්ධික වී ඇත. ඒ චෝදනා ඔහු මතද වැටෙන නිසාය. ආරක්ෂක ලේකම් කටට එන දේ කියන්නට ගොස් කටඋත්තර නැති කරගෙන සිටියි. මේ හැම එකකින්ම පෙනෙනුයේ යහපාලන දේශපාලනය හරහා බිහිවූ පුහු ආඩම්බරකමය. 

යහපාලන දේශපාලනය නිතර සිටිනුයේ ජනතාව පහළටම දමාය. ඔවුන්ගේ පයට පෑගෙන තැනට දමාය. ඒ තරමට ඔවුහු කෙරුමෝය. මේ කෙරුමෝ නම් සියල්ල කල්තබා දැනගෙන ඔවුහු ආරක්ෂා වූහ. දැනගත්තද ලොකු අනතුරක් නොවෙතැයි සිතා ජනතාව බිලිදී අනාගතය ප්ලෑන් කළහ. අදටත් මේ වගකිවයුතු කිසිවකුට අවංක වේදනාවක් ඇතැයි නොපෙනේ. ඒ තරමට මේ දේශපාලනය හිරිකිත වී ඇත.

බෝම්බ පුපුරන අවස්ථාවේ ජනපති පිටරටය. මෙරට සිට අගමැති බැලුවේ සියල්ල ජනපතිගේ කරමත තබා ඇඟ බේරා ගන්නටය. රාජිතගේ ඇඬියාවලින්ද ඒ බව පැහැදිලිය. එහෙත් ජනපති වෙනදා මෙන් රනිල්ට තබා බැන වැදීම වෙනුවට වෙනම පන්නයේ කතාවක් කළේය. මේ නම් හිතාගත නොහැකි දේශපාලන සෙල්ලමකි.

මේ අතර සැමගේ වීරයා වීමට මහින්ද නොගන්නා වෙහෙසක් නැත. අද ඔහු ෆොන්සේකාවද අගයමින් සිටී. ආණ්ඩුවට සහය දෙන බව කියමින් ආණ්ඩුව පතුරු ඇරීම ඔහුගේ ශෝක පණිවුඩය වී ඇත.

මේ අතර මියගිය ගණන දිනෙන් දින ඉහළ යති. මළවුන් මිහිදන් කරන විට කාදිනල් මෙය කළවුන්ටද සෙත් පතති. ආගමද අද තනිකරම දේශපාලනික වී ඇත. එය මෙරට දේශපාලන පක්ෂ තරම්ම නන්නත්තාර වී ඇත.

ආගම් සුද්ධ

මෙය නවසීලන්තයේදී මුස්ලිම් පල්ලියක් ඉලක්ක කොට සිදුවූ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාර දැක්වීමක් බව ප්‍රසිද්ධ කතාවය. මුස්ලිම් පල්ලියක් වෙනුවට ක්‍රිස්තියානි පල්ලි තුනක් ඉලක්කය විය. එසේ නම් මුස්ලිම් අයට අත තැබීම පොලී ඇතිව වන්දි ගෙවිය යුතු කරුණකි. ඒ කුමන රටක කොතැනක හෝ විය හැකිය. මේ අනතුර එබඳුය. 

එසේ නම් දැන් මෙය අහවරද? අයිඑස්අයිඑස් ලාගේ ඉලකක්ය ඉවරද? ලංකාව සුරක්ෂිතද? තවත් බෝම්බ ලොරි ඇතැයි, කාර් ඇතැයි, වෑන් ඇතැයි කතා පවතී. එසේ නම් නවසීලන්ත ප්‍රහාරයේ පලිය ගෙන අවසන් නැතිද? ඊට තව කොතෙක් වන්දි ගෙවිය යුතුද

නොවිය යුත්ත

මේ ප්‍රශ්නයේදී නොදන්නා දේ කතා නොකර සිටීම දේශපාලකයන්ට සේ ම මාධ්‍යයටත් වැදගත්ය. බොරු විග්‍රහ දීම් ලොකු අනතුරු මවනු නියතය. එබැවින් කළයුත්තේ පරීක්ෂණ වන්නට දී බලා සිටීමය. පරීක්ෂණ හරහා කිසිවක් සිදුනොවෙතැයි සිතිය හැකි වුවත් එයද නොකියා සිටීම වටී. 

මේ හැම එකකටම දේශපාලනය සම්බන්ධය. ඒ නිසාම අල්ලා ගන්නා අයගෙන් එහාට මේ ප්‍රශ්න ගෙනයෑමද ලේසි නැත. යහපාලන ආණ්ඩුවේම අයට චෝදනා එද්දී ඒ අය තරාතිරම නොබලා දඬුවම් දෙන්නේ කෙසේද? ඒ හැමදේම අතනොහැරියද නොවිය යුත්ත නම් මුස්ලිම් විරෝධයක් ව්‍යාප්ත වීම වැළැක්වීමය. හැම මුස්ලිම් ජාතිකයෙක්ම එක ගොඩට දා සැක නොකළ යුතුය. 

මෙම කල්ලිවලට සම්බන්ධ ඉතා සුළු පිරිසක් විය හැකිය. එහෙත් 83දී කළ ගොන්කම් කිසිසේත්ම නොවන්නට ඉඩ ඇහිරිය යුතුය. දර්ගා නගරයේ හෝ තෙල්දෙණිය, දිගන දේ නැවත නොවන්නට ඉඩ සැකසිය යුතුය. මන්ද එසේ වුවහොත් දැනට මෙයට විරුද්ධ බහුතරය පීඩනය මත සුළුතරයට එකතු වන බැවිනි. 

අවසානය වනවිට දෙමළ ජනයා ප්‍රභාකරන්ට යටි සිතින් ආදරය කළහ. ඒ සිංහල ජනයා දිනෙන් දින ඔවුන් පීඩාවට පත් කළ බැවිනි. ඒ පූර්වාදර්ශය ඕනෑවටත් වඩා දන්නා නිසා මුස්ලිම් ජනයා සමග වඩා මිත්‍රවනු හැර ඔවුන් දෙස සැකයෙන් බැලීම නතර කළ යුතුය. කොටින්ම ජනතාව නීතිය අතට නොගත යුතුමය.

මොනතරම් හිරිකිත දේශපාලනයක් පැවතියත් මෙතැනදි මොවුන් ඒ හිරිකිතකම කැතම දේශපාලනයකට නොයෙදිය යුතුය. සියලු ගිනි ඇත්තේ දේශපාලකයන් අතේය. මෙයට මැදිහත් වූයේ ජාත්‍යන්තර ත්‍රස්ත කල්ලියක් වුවත්, ක්‍රියාත්මක කළේ අපේ අයමය. 

එසේ නම් ආගමේ නාමයෙන් ඝාතන ව්‍යාප්ත නොවිය යුතුමය. කොයි ආගමකවත් ඝාතන අනුමත නොකරන මුත් ආගම අදහන අයට තම ආගම තරම් ආගමක් නැති බවට ආගම් උගන්වා හමාරය. එයම ඝාතනවලට අනුබලදීමකි. තමන්ගේ දේ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සූදානම්ය. ඒ තරමට ආගමද තමන්ගේ වී ඇත. දේශපාලනයට මේ සැම අවැසිය. එසේ නම් අප පරිස්සම් විය යුත්තේ දේශපාලනයට අවැසි හැම දෙයක්ම ලබා නොදෙන්නටය.

කිරිබත්

ප්‍රභාකරන් මියගිය පසු කිරිබත් කා සැමැරූ නිදහස හමාර වී ඇත. දස වසරකට පසු නැවත හැම හදවතකම අවිනිශ්චිතතාව, බිය පහළ වී ඇත. නැවත ජීවිත නොවටිනා ගාණට ඇද වැටී ඇත.

පාස්කු ඉරිදා වැදගත් වූයේ ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් අවදි වූ හෙවත් ‘උත්ථානය’ ලද දවස නිසාය. එහෙත් සිදුවූයේ එය සමරන්නට ගිය බොහෝවුන් මළවුන් අතරට යෑමය. දැන් නැවත ‘රටක්’ ලෙසම අවදි වන්නට ‘උත්ථානය’ වන්නට සිදුව ඇත. එය ලේසි නැත. ඊට ලොකු උත්සාහයක් අවැසිය.

අතීතයේදී ගොඩාක් වේදනා අත්විඳි මිනිසුන් ලෙස එය නැවත නොවන්නට පරිස්සම් වීම අමාරුවෙන් හෝ කළ යුතු අමාරුම කාර්යයයි.

(රාවය  - ටිරන් කුමාර බංගගමආරච්චි)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top