May 06, 2019

පාස්කු ඛේදවාචකය: අපේ ඇඟිල්ල

21වෙනි පාස්කු ඉරිදා වුණේ 20/20 ක්‍රිකට් ‘මැච්‘ එකක් පැරදීමක් නොවේ. මිනිස් ජිවිත 251ක් නැතිවීමක් සහ 500ක් ආපත්තික වීමත් සහ ඔවුන්ගෙන් සමහරු අබ්බගාතයින්, අන්ධයින් සහ බිහිරන් වීමත්ය. පාලකයින් ඇඟ බේරාගැනීමට ඇඟිල්ලේ සහාය පතමින් ඇඟිලි සංදර්භයක් කළද සහ ජනාධිපති විසින් ‘ඇඟිල්ල දිගු කරන්නේ නැතුව ප්‍රශ්නයට මුහුණ දෙමු’ යැයි අවධාරණය කළද රටේ ජනතාව ඉල්ලා සිටින්නේ ඇඟිල්ල නොව හඳයි. එනම් ඇත්තටම සිදුවුයේ කුමක්ද යන්නය. මට හිතෙන පරිදි ජනතාවගේ මෙම අපේක්‍ෂාව වැරදි නැත. හේතුව මෙම රජය පත් කළේ ජනතාව නිසා. මැරුණු සංඛ්‍යාව තුළද මේ රජය බලයට පත් කළ අය සිටිය හැකි නිසා.

ඇරත් එකිනෙකාට ඇඟිල්ල දික්කිරීමට සිදුවීම යනුම ‘සිස්ටම්’ එකේ දියාරුකම සහ දේශපාලනයේ අපෘෂ්ඨිකභාවයයි. කැඳ හැළි ස්වභාවයයි. කැඳහැළියට ආඬින් වගකිවයුතු මිස එයට ජනතාව ජීවිතයෙන් වගකිව නොයුතුය. ඒ නිසා ‘ඇඟිල්ල දික් නොකර ප්‍රශ්නයට මුහුණ දෙමු යන්න මට සිහිපත් කරනුයේ ‘අශ්වයින් පැන ගියාට පසු දොර වසමු’ යන පැරණි පිරුළය.

අශ්වයින් පැනගියාට පසු දොර වැසීමට කටයුතු කිරීමට ඉස්තාල පාලන අධිකාරිය කටයුතු කිරීම නරක නැහැ. වෙන මොනවා කරන්නද? කොච්චිකඬේ, කටුවාපිටියේ, මඩකළපුවේ පල්ලිවලින් සහ ෆැන්ග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඞ් වැනි හෝටල්වලින් පරලොව ගියේ අශ්වයින් නොව දහසකුත් බලාපොරොත්තු පොදි බැඳගෙන මනුෂ්‍ය ලෝකයක ජීවත් වීමට පෙරුම්පුරා පැමිණි අහිංසක මනුෂ්‍යයින් පිරිසකි.

පණඅදිමින් සිටි IS ත්‍රස්තයින්ට අපි පණදීම

IS නැමැති ‘ඉස්ලාම් රාජ්‍ය’ බහුභූත සංකල්පය හිස දරාගෙන ඒ අනුව ම්ලේච්ඡ ලෙස ලෝ පුරා හැසිරී ජන ඝාතන රැසක් කළ සහ විශේෂයෙන් ඉරාකයේ සහ සිරියාවේ තම අණසක පතුරුවමින් එම රටවල නගර කිහිපයක් පාලනයට ගත් IS සටන්කරුවෝ පසුගිය මාස කිහිපයේදී පරාජයව ඒ නගර අතහැර පලා ගියෝය.

එම නිසා IS සංවිධානයේ බලය පිරිහී ගිය තැන නැවත තම බලය ස්ථාවර කරගැනීමට ඔවුහු වෙහෙසෙමින් සිටියහ. ඔවුන් සිටියේ අප්‍රාණිකවය. පරාජයෙන් පසු තමන් සක්‍රීය බව පෙන්වීමටත් තමන්ගේ සාමාජිකත්වය රඳවා ගැනීමටත් IS විවිධ රටවල වරින්වර සුළු සුළු ඝාතන කළමුත් මුලදී නයිජීරියාවේ, සෝමාලියාවේ, පකිස්තානයේ, ප්‍රංශයේ සහ ලන්ඩනයේ කළ මහා පරිමාණයෙන් ලොවම ත්‍රස්ත කරන ඝාතන කිරීමට ඔවුන්ට නොහැකි වූහ. හේතුව ඒ ඒ රටවල්වල ආරක්ෂක අමාත්‍යාංශය සහ බුද්ධි අංශ සංවේදීව සිටි හෙයිනි.

එහෙත් ජනාධිපති යටතේ තිබෙන අපේ ආරක්ෂක අමාත්‍යාංශය අපේ බුද්ධි අංශය නොව IS වලින් අපට ප්‍රථම කිහිපවරක් බැට කෑ ඉන්දියාවේ පක්ෂ දේශපාලනයට ගැතිකම් නොකළ පක්ෂයට ඉහළින් රට තැබූ සහ එයින් පාලනය නොවූ රටේ ආරක්ෂාව ගැන පමණක් අතිසංවේදීව සැමදා ක්‍රියා කළ ඉන්දියාව කල්තියා පාස්කු ප්‍රහාරයේ සියලු කරුණු කාරණා අපට දැන්වූයේ වරක් දෙවරක් නොවේ.

අප්‍රේල් 4, 11, 19 පමණක් නොව ප්‍රහාරයට පැයකට පෙර දන්වා ඇත. කාර්යයෙහි බරපතළකම වටහාගත් එකකු දෙන්නකු ඒ බව ලිඛිතව අදාළ අයට දැන්වූ බවට ලිඛිත සාක්ෂිද ඇතිමුත් ඉහළ බලධාරීන් ගත් ක්‍රියා මාර්ගයක් නැත. අපේ නොසැලකිල්ල පණඅදිමින් සිටි IS සංවිධානයට නව ප්‍රාණයක් ගෙන දුන්නේය. තේරෙන භාෂාවෙන් කිවහොත් අපේ ‘ජනතා අනාරක්ෂක’ ආරක්ෂක අමාත්‍යාංශය මියැදෙමින් සිටි IS සංවිධානය නැගිටවීය.

IS වලින් දරුණු ලෙස බැට කෑ ආසියාතික රටවන පාකිස්තානය සහ දෙවරක් බැටකෑ ඉන්දියාව අපේ ආරක්ෂක අංශය ගැන අප්‍රසාදය පළකරනුයේ මෙහෙයිනි. හේතුව අපෙන් IS ලබාගත් නව දිරිය ඔවුන්ටද තර්ජනයක්වූ හෙයිනි. අද වනවිට IS ඉන්දියාවට සහ බංග්ලාදේශයට ප්‍රහාරයන් එල්ල කරන බවට දැනුම් දී ඇත.

මැද පෙරදිගින් බැටකෑමෙන් පසු යුරෝපයේද ‘මහා විනාශයක්’ කළ නොහැකිවූ IS සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදී විසින් කලකට පසු පසුගිය 29 වෙනිදින වීඩියෝවක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ සිය ප්‍රහාරය සාර්ථකවීම ගැන ආඩම්බර උදම් ඇනීමක් කළේය.

ජමාත් සංවිධානය ශ්‍රී ලංකාවේ රෝපණය

එහිදී අනිවාර්යයෙන්ම ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කැපවීම ඔහු අගය කරන්නට ඇත. එසේම IS බග්දාදි යටි හිතින් අපේ ජනාධිපතිට, ආරක්ෂක ලේකම්ට, අපේ අගමැතිට, ආරක්ෂක අමාත්‍යාංශයට මෙන්ම මේ ප්‍රහාරය සාර්ථක කරගැනීමට සහාය වූ සැමදෙනාටම ස්තූතිය පුද කරන්නට ඇත.

එපමණක් නොව මේ ප්‍රහාරය ජීවිත පරිත්‍යාගයෙන් අති සාර්ථකව නිමා කළ තවුහිත් ජමාත් සංවිධානය ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව ස්ථාපිත කිරීමට අනුග්‍රහය දුන් එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂට සහ ඔහුගේ ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂටද ස්තූතිය අනිවාර්යයෙන්ම පුද කරන්නට ඇත. ඒ ඔවුන් නොසිටින්නට ඔවුන්ගේ අනුග්‍රහය සහ ආශීර්වාදය නොලබන්නට ජමාත් සංවිධානය ශ්‍රී ලංකාවේ රෝපණය නොවන්නට ඉඩ තිබුණ බව ෂී ත්‍රස්තවාදී නායක බැග්දාදී දැන සිටි නිසාය.

කෙසේවුවද ‘කල්තියා ක්‍රියාත්මකවූයේ නම් මෙම ඛේදවාචකය වැළැක්විය හැකිව තිබුණේය’ යන්නෙන් ගම්‍යවනුයේ නොව ඍජුවම කියවෙනුයේ මේ සඳහා වගකිවයුත්තන් සිටින බවයි. ෂී සහ ජමාත් ත්‍රස්තයින් ‘ක්‍රියාකාරී අපරාධකාරයින් (active perperators) වන අතර අපරාධයක් වෙන බව දැන එය වැළැක්වීමට පියවර නොගත් සියලුදෙනාම ‘නිෂ්ක්‍රීයාකාරී අපරාධකරුවන් (passive perperators) වේ.

අපේ ඇඟිල්ල අපරාධකාර මේ දෙපාර්ශ්වයටම දික්වෙනුයේ මේ නිසාය. සාමාන්‍යයෙන් අනතුරක් වැළැක්වීමට කටයුතු නොකිරීම ද නීතිය ඉදිරියේ වරදකි. ඇරත් මෙය ‘කාරයක් තවත් කාරයක ගැටීම වැළැක්වීමට කටයුතු නොකිරීමේ’ වරද වැනි රුපියල් 2000 ක හෝ 3000ක දඩ කොළයක් නිකුත් කිරීම වැනි සුළු ගණයේ එකක් නොව ජීවිත 251 ක් පරලොව හැරි 500ක් ආපත්තිකයින් කළ මහා ගණයේ වරදකි.

ජනාධිපති සහ අගමැති අතර විරසකය:

අනික් අතට ජනාධිපති සහ අගමැති අතර වසරක දෙකක සිට මෝදුවූ විරසකභාවය මුළු රටම දනී. දේශපාලන සහ ආර්ථික තීන්දු ගැනීමේදී සහ ජනාධිපතිගේ කතාවලදී එය කැපී පෙනුණි. එහෙත් මෙම සිද්ධියේදී එම මතභේදය පසෙක තබා කටයුතු කිරීමට ජනාධිපතිට තිබිණ. එහෙත් ඔහු එසේ කළේ නැත.

අහිමිවූ ජීවිත ගණන 251කි. හිමිවූ අනාගතය අතිශය අඳුරුය. භයංකරය. කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වැයවිය. අපේ ප්‍රතිරූපය විනාශ විය. තොරතුරු කල්තියා ලැබී තිබියදිත් වැළැක්වීමට බැරිවීමෙන් අපි මොනතරම් පසුගාමීද යන්න මුළු ලෝකයම දැන ගති. එසේම ජනපති-අගමැති භේදය (the rift) මෙම ඛේදවාචකයට හේතුවූ බව CNN, BBC, Al Jazeera වැනි ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කළෝය.

Asia Times මෙසේ ලීවේය. කල්තියා තොරතුරු ලැබී තිබියදීත් මෙම ඛේදවාචකය නොවැළැක්විය හැකිවූයේ “අගමැති සහ ජනාධිපති අතර තිබූ විරසකභාවයයි.“ Sunday Times දේශපාලන සංස්කාරක ඉක්බාල් අතාස් 27 වෙනි දින සම්මුඛ සාකච්ඡාවකදී කීවේ “ශ්‍රී ලංකාවේ ආණ්ඩු දෙකක් තිබෙන” බවයි. එකක් ජනාධිපතිගෙ අනික අගමැතිගෙ. මේ දෙදෙනාගේ මතභේදය තුළ ඔත්තුව නතර විය. වන්දි ගෙවනු ලැබුවේ අහිංසක ජනතාවයි. එමනිසා අනතුරක් වැළැක්වීමට කටයුතු නොකිරීමේ වරදට රටේ නායකයින් දෙදෙනාම වගකිව යුතු බව Asia Times ඉහත වාක්‍යයෙන් කෙළින්ම කීවේය.

ඉරාකයේ ආරක්ෂක ඇමති ධුරයෙන් ඉවතට :

ඉරාකයේ IS ප්‍රහාරයක් හේතුවෙන් ඉරාකයේ අගමැති ප්‍රමුඛ නීති සම්පාදක මණ්ඩලය විසින් එහි ආරක්ෂක ඇමතිව සිටි කාලාඞ්. අල්. ඔබේදීව ඉරාක පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙනැවිත් ධුරයෙන් පහකරනු ලැබීය. ඒ ප්‍රහාරයක් වළක්වා ගැනීමට කටයුතු නොකළ නිසාය.

IS ප්‍රහාර පිළිබඳව කල්තියා දැනගත් වහාම එම ප්‍රහාරයන් වැළැක්වූ රටවල්ද නොතිබුණා නොවේ. අපේ ලැජ්ජාව දෙගුණ තෙගුණ වනුයේත් නිෂ්ක්‍රියාකාරීවීම ගැන කළකිරීමක් සමඟ කෝපයක් මතුවනුයේත් මේ නිසාය.

වැළැක්වූ ප්‍රහාරයනට උදාහරණ රාශියක් සැපයිය හැකිමුත් කිහිපයක් මෙසේය : ඕස්ට්‍රේලියාවේ ක්‍රව්න් කැසිනෝ ප්‍රහාරය. ඉන්දුනීසියාවේ 2012 ජකාර්තා පාස්කු පල්ලි ප්‍රහාරය: ස්විස් රජය IS ප්‍රහාර සැලසුමම කල්තියා විනාශ කිරීම: 2012 නිව්යෝර්ක් උප මාර්ග පද්ධති ප්‍රහාරයට ආ අල් ඛයිඩා බෝම්බ ප්‍රහාරයේ අපරාධකරුවන් අල්ලා සිරගත කිරීම.

මේ සියල්ලන්ගෙන්ම පැහැදිලිවෙනුයේ ඒ ඒ රටවල ආරක්ෂක අමාත්‍යාංශයන් සහ රජයන් මොනතරම් සෝදිසි මාදිසියෙන් සිටිනවාද, මොනතරම් යුහුසුළුව ක්‍රියාත්මක වනවාද යන්නය. අනික් අතට අපේ හමුදාව කළු පාස්කු දිනයේ සිට මේ දක්වා මොනතරම් දක්ෂ ලෙස සහ තීක්ෂණ ලෙස තම රාජකාරිය කළේද යන්න මුළු ලෝකයම දනිති. මතභේද පසෙකලා අපේ හමුදාව ප්‍රහාරය පිළිබඳව දැනුවත් කළේ නම් මෙම ඛේදවාචකය සිදුවීමට ඔවුන් ඉඩ නොතබන බව මගෙත් ජනතාවගේත් විශ්වාසයයි.

මළවුන්ට සාධාරණය ඉටුකිරීමට :

අපේ ඇඟිල්ල පළමුව ජමාත් සංවිධානයටත් ෂී සංවිධානයටත් දික්විය යුතුය. එසේම මෙම ඛේදවාචකයට අපේ ඇඟිල්ල ජමාත් සංවිධානය ලක් පොළොව මත සක්‍රීයවීම සඳහා සහාය දුන් පසුගිය රජයත් ප්‍රහාරය ගැන කල්තියා දැනුවත්ව සිටියද එය පුවත්පතක පළවූ වාක්‍ය ඛණ්ඩයක භාෂාවෙන් දැක්වුවහොත් ‘සත පහකට ගණන් නොගැනීම’ නිසා වත්මන් රජයත් සිදුවූ ව්‍යසනයට තරාතිරමකින් තොරව වගකිවයුතුය.

ජමාත් ත්‍රස්තවාදය සමඟ සම්බන්ධවූ සියලුදෙනාම නීතිය ඉදිරියට ගේන්නේ නම් එම අපරාධය වැළැක්වීමට නිල වශයෙන් බැඳී සිටි එහෙත් කිසිවක් නොකළ තම වගකීම් නොසලකා හැරි අපේ ඇඟිල්ල එල්ලවූ රජයේ සියලුදෙනාමද නීතිය ඉදිරියට රැගෙන ආ යුතුය. එසේ නොමැතිව ඒ අයට ඉල්ලා අස්වීමට හෝ වෙනත් සේවයක පිහිටුවීමෙන් නොවේ. මළවුන්ට සාධාරණය ඉටුවෙනුයේ එවිටය.

(මහාචාර්ය ඩෙස්මන්ඞ් මල්ලිකාරච්චිගේ මෙම ලිපිය මැයි මස 05දා රාවය පුවත්පතේ පලවිය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top