May 17, 2019

මේ දිග හැරෙන්නේ මුස්ලිම් “අන්තවාදය” නොවේ

පාස්කු ඉරිදා ප්‍රහාරයට තව දින පහකින් මාසයකි. එහෙත් මේ රට තවමත් භිතියෙන් කල් ගෙවති. “ඉස්ලාම් අන්තවාදී” ත්‍රස්ත ප්‍රහාර ගැන කතා හැදුනත් හතර අත වගා වන්නේ “මුස්ලිම් විරෝධී” සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වයකි. පාස්කු ඉරිදා ප්‍රහාර වලට සම්බන්ධ යැයි කියූ ජාතික තවුහීඞ් ජමාත් අන්තවාදය ගැන කතාවක් දැන් නැත.

දැන් දිග හැරෙන්නේ මුස්ලිම් පල්ලි, කඩ සාප්පු, ගොඩනැගිලි හා වත්කම් ඉලක්ක කර ගෙන පැතිරෙන ප්‍රචණ්ඩත්වයකි. එය සිංහල වෙළඳුන්ගේ ආශීර්වාද සහ බර පැන සමග 2014 ජූනියේ අලුත්ගම-බේරුවල සහ 2018 මාර්තුවේදී අම්පාරෙන් බස් නැග මහනුවර දිගනට පැමිණි මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ අන්තවාදී ප්‍රචණ්ඩත්වය වන්නේය. එයට නෛතික තහනමක් පැනවෙන්නේ නැත.

මෙවර ඒ මුස්ලිම් විරෝධය මුදා හැරුණේ පසුගිය මැයි 05 වන ඉරිදා රාත්‍රියේ මීගමුවේ පොතුපිටියෙනි. ප්‍රසිද්ධියේ කතා නොවුනත් එහි පසුබිමෙහි කතෝලික පූජකයින් කිහිප දෙනෙකු ඇතැයි මීගමුවේ ජනතාවට රහසක් නොවේ. එය වැල්ලවීදිය, දුංගල්පිටිය, කොච්චිකඬේ දක්වා පැතිරුණු බවද මුස්ලිම් නිවෙස් හා කඩ සාප්පු කිහිපයකට සහ පල්ලියකටද අලාභහානි සිදුව තිබුණු බවද ආරංචි විය. ඇඳිරි නීතිය ඒ අවට ප්‍රදේශයට පනවනු ලැබූයේ ඒ හේතුවෙනි. එය එතැනින් හලාවතට ගියේය. එහිද කතෝලික පියතුමෙකු විය. ඒ ප්‍රචණ්ඩ මුස්ලිම් විරෝධය එතැනින් කුලියාපිටියට පැමිණියේය. කුලියාපිටියෙන් එය කුරුණෑගල දිස්ත්‍රික්කයේ බස්නාහිර පැත්තට වන ප්‍රදේශ ගණනාවකට පසුදින සඳුදා වන විට පැතිරුණි. කුරුණැගල දිස්ත්‍රික්කය මායිම්වන ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකද මුස්ලිම්වරුනට පහරදී ඇතැයි අසන්නට ලැබිණ. එහෙත් ඒ කිසිවක් නොදන්නා යාපනය, මොණරාගල වැනි දුර බැහැර ප්‍රදේශද ආවරණය කරමින් රට පුරා ඇඳිරි නීතිය පනවනු ලැබිණ. හදිසි නීතිය හා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන විටද ඇතැම් ස්ථාන වල පහරදීම් සිදුවිනැයි වාර්තා විය. පසුදින අඟහරුවාදාද වයඹ පළාතේ මුස්ලිම්වරුන්ට පහරදීම් සිදුව ඇත. අඟහරුවාදා සවස් වන විට පළමු මුස්ලිම් ඝාතනය සිදුව තිබිණ. දෙවන දිනටත් නැවත රට පුරා රාත්‍රී ඇඳිරි නීතිය පනවනු ලැබිණ. ඒ මෙය ලියන මොහොතේදීය. මෙය පලවන විට මේ මුස්ලිම් විරෝධය කෙතරම් දුර පැතිර තියේදැයි අනාවැකි කියන ජ්‍යොතිෂවේදීන් ඇත්තේ නැත.

මේ සියල්ලෙහි නොකියවෙන නමුත් යටිපෙළ දැකිය හැකි විසකුරු දේශපාලනයක් ඇත. සාමාන්‍ය රටේ ජනතාව කිසිවිටෙක බලාපොරොත්තු නොවුනු පාස්කු ඉරිදා ප්‍රහාර වලින් පසු මැයි 06 වනදා රජයේ ද්විතියික පාසල් සියල්ල විවෘත කිරීමට ආණ්ඩුව තීන්දු කෙරුවේ ජාතික ආරක්ෂක මණ්ඩලයේ එකඟත්වය ඇතිවය. ඒ වනවිට ජතික තවුහීඞ් ජමාත් සංවිධානයේ සියලු ත්‍රස්ත ජාල බිඳ හමාර බවත් ඔවුන්ගේ ක්‍රියාධාරීන් සැළකිය යුතු ප්‍රමාණයක් මිය ගොස් ඇති බවත් ඉතිරි පිරිස් අත් අඩංගුවට ගෙන ඇති බවත් හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මාධ්‍යයට කියා තිබිණ. ඔහුගේ ඉල්ලීම වූයේ සාමාන්‍ය ජීවිත දැන් යළි ආරම්භ කළ යුතු බවය. එසේ වූවත් පාසල් විවෘත කිරීමේ ආණ්ඩුවේ තීන්දුව නොතකා කාදිනල් මැල්කම් රංජිත් ප්‍රකාශ කෙරුවේ පෞද්ගලික කතෝලික පාසල් විවෘත කෙරෙන්නේ 14 වන අගහරුවාදා බවය. එයට හේතු දක්වමින් ඔහු අල් ජසීරා සමග පවසා තිබූයේ ඔවුන්ට විදේශයෙන් ලැබුණු තොරතුරු අනුව ත්‍රස්ත ප්‍රහාර ඉදිරියේ ඇති විය හැකි බවය. ඇතැම් විට වර්ධනයවන තත්ත්වයන් හමුවේ ඒවා වෙසක් පසුවන තෙක් විවෘත නොකිරීමටද ඉඩ ඇතැයි ඔහු පවසා තිබිණ.

මෙය මෙවැනි පසුබිමක වගකීමකින් කටයුතු කරන ආගමික නායකයෙකු නොගත යුතු වූ පියවරකි. කාදිනල් මැල්කම් රංජිත්ට එවැනි විශ්වාස කටයුතු තොරතුරු ලැබුණි නම් ඔහු එය කිව යුතුව තිබූයේ අල් ජසීරා මාධ්‍ය සමග නොව, රජයේ බුද්ධි අංශ වලට ය. එසේ නොකර ඔහු එය ජනප්‍රිය විදේශ මාධ්‍යයකට කීමෙන් අනවශ්‍ය බියක් සමාජගත කළේය. එවැන්නක් කීමෙන් අනවශ්‍ය බියකට සමාජය නතු කෙරෙන බව ඔහු නොදත්තේ යැයි මම විශ්වාස නොකරමි. පාස්කු ඉරිදා ප්‍රහාර වලින් පසු ඔහුගේ සියලු ප්‍රකාශ ඉතා ප්‍රවේසමින් කිරා මැන කරනු ලැබූ ප්‍රකාශ විය. මෙය පමණක් එසේ නොවන්නේ යැයි සිතිය නොහැකිය. එවගේම ආණ්ඩුවේ තීන්දුවට පටහැනිව පෞද්ගලික කතෝලික පාසල් විවෘත නොකරන බව කීමෙන් ඔහු අනෙක් පාසල් අනතුරක ඇතැයි නොකියා කීවේය. මේ රටේ අතිශය විශාල කතෝලික හා ක්‍රිස්තියානි පාසල්වල අයිතිය 1962 න් පසුව ඇත්තේ පල්ලියට නොව රජයට ය. ඒවායේ දරුවන් අනතුරකට පත්විය හැකි යැයි කාදිනල්ගේ තීන්දුවෙහි අරුත විය. ඔහු මෙන්ම මල්වතු අස්ගිරි මහනායකයින් බෞද්ධ පාසල් විවෘත කරන්නේ නැතැයි කීවේ නම්, මේ රටේ ඇතිවිය හැකිව තිබූයේ ගොඩ දැමිය නොහැකි අරාජිකත්වයකි. එහෙත් ඔවුන් පාසල් විවෘත නොකරන ලෙස ඉල්ලා සිටියේ ආණ්ඩුවෙන් ය.

එසේ වූවත් පාස්කු ඉරිදා ප්‍රහාර වලින් පසු ඔහුගේ ප්‍රකාශ සමග කාදිනල් මැල්කම් රංජිත් සිංහල බෞද්ධ සමාජයෙන් දිනාගත් ප්‍රසාදය ඉතා අවස්ථාවාදී ලෙස යොදා ගනිමින් මෙරට පාසල් අධ්‍යාපනය මුලුමනින් වාගේ කඩාකප්පල් කළේය. කතෝලික පාසල් විවෘත නොකරන්නේ නම්, අපේ දරුවන් පමණක් අවදානමට ලක් කරන්නේ මන්දැයි සිංහල බෞද්ධ දෙමාපියන් ආණ්ඩුවට දොස් නැගීමට පටන් ගත්හ. ඒ සමග මුස්ලිම් විරෝධය උත්සන්න කිරීමට පදනමක් වැටින. පළමු වරට මීගමුවේ මුස්ලිම් ප්‍රජාව ප්‍රහාරයන්ට හසු වූයේ එළෙසිනි. එතැන් සිට අද වෙන තුරු මුස්ලිම් විරෝධය මැද පාසල් අධ්‍යාපනය අඩාලව පවතින්නේය.

පාසල් අඩපන කිරීමෙන් සමස්ථ සමාජයම අස්ථාවර කෙරුණි. ඒ සමග සේවක පිරිස් රාජකාරී වාර්තා කෙරුවද රජයේ අනෙක් සේවාවන්ද අක්‍රීයව අඩාලව පවතින්නේය. ඒ අක්‍රීය රජයේ සේවාද මුස්ලිම් විරෝධය සමග හවුල් වෙමින් බුර්කාව පැළඳීමේ තහංචිය ඔවුන්ගේ කොන්දේසි අනුව ක්‍රියාත්මක කරන්නට පටන් ගැණින. එළෙසින් සමස්ථ රාජ්‍ය ක්ෂේත්‍රයම මුස්ලිම් විරෝධය සමග අක්‍රීයව ඇත. ඒ සමග මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් අලුත් හයියක් ලැබූහ. එය වහා ප්‍රකාශයට පත් වූයේ විශේෂයෙන් මුහුණු පොත සමග සමාජ මාධ්‍ය ජාලයන්හිය. එයට ගොඩවන අන්තවාදී පිරිස් මුස්ලිම් විරෝධී ප්‍රචාර ගෙන යන්නේ ප්‍රබන්ධ සාහිත්‍යයක් සමගින්ය. මුහුණු පොත මුස්ලිම් විරෝධී වෛරී මතවාදයකට සාධක සපයන අතර, විශේෂයෙන් ඇතැම් සිංහල දෘශ්‍ය මාධ්‍යයද එයට හවුල් වන්නේය. රාජපක්ෂ යුගයේ ආරම්භ කෙරුණු මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ අන්තවාදී කල්ලි දිගන ප්‍රහාර වලින් පසු නිද්‍රාහීලීව සිටියද ඔවුන්ගේ “යළි පැමිණීම” ඔවුහු මුහුණු පොතෙහි සටහන් කරමින් මෙවර කුරුණෑගලින් ප්‍රචණ්ඩත්වය ආරම්භ කළහ.

මේ අස්ථාවර කිරීමේදී අන්තවාදී කල්ලි සඳහා පොලීසිය හා ආරක්ෂක අංශ විසින් යම් ඉඩක් ලබා දෙන්නේ යැයි මේ වනවිට ප්‍රසිද්ධ චෝදනා ඇත. ඇතැම් ස්ථානවල පහරදීම් නොදැක්කා සේ සිටියේ යැයිද බොහෝ තැන්වල මැර කල්ලි පාලනය කිරීමට මැදිහත් වන්නේ සැළකිය යුතු විනාශයකට පසුව යැයිද චෝදනා ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කය යුද සමයේ වැඩිම සොල්දාදුවන් පිරිසක් බිහි කළ දිස්ත්‍රික්කය බවද, එනිසාම විශාල සොල්දාදුවන් සංඛ්‍යාවක් රාජකාරියෙන් බැහැරව එහි ඉන්නා බවද සැළකිය යුතු කාරණාවකි. කෙසේ නමුත් කුරුණැගල දිස්ත්‍රික්කයේ කුඩා නගර හත අටක් ආශ්‍රීතව දෙදිනක් ඇතුළත මුස්ලිම් ව්‍යාපාර හා නිවෙස් 500 ක් පමණ විනාශ වී ඇතැයි වාර්තා විය. මේ පසුබිමෙහි දිවයින පුරා රාත්‍රී ඇඳිරි නීතිය පනවනු ලැබිමේ ප්‍රායෝගික අවශ්‍යතාවක් තිබේදැයි ප්‍රශ්නයක්ද ඇත. මේ කිසිවකට සම්බන්ධයක් නැති දුර ඈත යාපනය හා මොණරාගල වැනි ප්‍රදේශ සඳහා රාත්‍රී ඇඳිරි නීතිය කුමටදැයි තේරුම් ගැනීමේ අපහසුවක් ඇත. දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමෙන් සාමාන්‍ය ජීවිතයට එය බලපාන්නේ බිය තුරන් කිරීමකට නොව, බිය යළි යළිත් තහවුරු කිරීමට ය. නැවත ස්ථාවර සමාජයක් තහවුරු කිරීමේදී සමාජයක් දිගටම බියෙන් රඳවා තැබීමේ වාසියක් ඇත්තේ නැත.

සියල්ල අස්ථාවර වීම සමගින් අද ආණ්ඩුව ඉන්නේ කිසිවක් කර කියා ගත නොහැකි අසරණ පිරිසක් සමගය. අගමැති තවමත් කියන්නේ ගෝලීය ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාවට විදේශ විශේෂඥයින්ගේ සහාය ලැබී ඇති බවත් වහා ප්‍රති ත්‍රස්ත පනත සම්මත කරගත යුතු බවත්ය. ඒ කිසිවකින් මුස්ලිම් විරෝධය සමග සමස්ථ රාජ්‍ය සේවයත් සමාජ ජීවිතයත් යළි යතා තත්ත්වයට පත් කළ නොහැකි බැව් ආණ්ඩුවේ සහ එ.ජා.ප නායකත්වය තේරුම් ගන්නේ නැත. මෙයට මුහුණ දීමට නම් ඔවුන් දිස්ත්‍රික්ක හා ආසන මට්ටමින් ඔවුන්ගේ දේශපාලනය ශක්තිමත්ව සමාජගත කළ යුතුව ඇත. එහෙත් සමස්ථ රට අස්ථාවර කිරීමේදී මුස්ලිම් විරෝධය වේදිකාවක් කර ගන්නේ සිංහල බෞද්ධ බලයක් වෙනුවෙන් හෙයින් එයට අභියෝගකර ශ්‍රී ලංකාව සියල්ලන්ගේ රටක් යැයි කීමට එ.ජා.ප නායකයින්ද සූදානම් නැත. ඔවුන්ද ඒ සිංහල බෞද්ධ ඡන්ද ගණන් හදමින් ඉන්නා බැවිනි.

ආණ්ඩුවේ දේශපාලන නායකත්වයේ නිවටකම හමුවේ රට අස්ථාවර කිරීමෙන් ඊළගට හැදෙන සහ හැදීමට ඉඩ ලැබෙන සමාජ මතය වන්නේ රට පාලනය කිරීමට නොහැකි ආණ්ඩුව නිසාවෙන් සියල්ල විනාශ වන්නේය යන සරළ මතය වේ. ඒ මතය වැරදි යැයි තර්ක කිරීමටද නොහැකිය. එබැවින් එය ඉතා වේගයෙන් මුල් අදිනු ඇත. එයද ආගමික නායකයෙකු ලෙස පළමු වරට ඉදිරිපත් කරනු ලැබූයේ කාදිනල් මැල්කම් රංජිත් විසින් ය. දේශපාලන භාෂාවෙන් නොවුනත් තේරෙන භාෂාවෙන් ඔහු කොටහේනේ ශාන්ත ලූසියා දෙව් මැදුරේ පසුගිය ඉරිදා පැවති දේව මෙහෙයේදී කියූවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් බාර ගැනීමට නොහැකි සියලු නිලධාරීන් හා පාලකයින් ඉවත් කළ යුතු බවය. එවැනි පාලකයින් රටේ පාලනයෙන් ඉවත් කළ යුතු බව ඔහු අවධාරණය කෙරුවකි. විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ අලුත්ගම-බේරුවල මුස්ලිම් විරෝධයේ විනාශ ගැන නොකියා, නැවත ‘83 කලු ජූලියකට ඉඩ නොතබන්න යැයි කියමින් මේ ආණ්ඩුවට රටේ ජනතාවට ආරක්ෂාව දීමට නොහැකි යැයි කීවේද ඒ කතාවමය. එළෙසින් ගොඩ නැගෙන්නේ “ආණ්ඩුව වහා විසුරුවා හරිනු” යැයි බිත්ති පුරා ලියැවෙන සටන් පාඨය සඳහා පූර්විකාව ය. එතෙක් මේ අස්ථාවර වීමද නඩත්තු කෙරෙනු ඇත.

කුසල් පෙරේරා

ලංකාදීප 2019 මැයි 16 වන දින

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top