May 25, 2019

පළිගැනීම නොව සුවකිරීම

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දැන් මාසයක් ගතවී ඇත. අප රටේ ජනයා තවමත් සිටින්නේ එම කම්පාවෙන් ගොඩ එන්නට වෑයම් කරමිනි. වෙසක් දිනයේදී ඒ සඳහා සෑහෙන උත්සාහයක් ගැනිණ. සාමාන්‍යයෙන් මීට පෙර සිදු නොවූ ආකාරයේ විවිධ ආගමික පූජාවන් අතර සහජීවනය සංකේතවත් කරන සිදුවීම් ගැන වාර්තා විය.

කතෝලික පල්ලිවල, බෞද්ධ සහ කතෝලික ජනයා එකට සිදුකළ පහන් පූජා සහ මුස්ලිම් පල්ලිවල මුස්ලිම් පූජකවරුන් හා බෞද්ධ භික්ෂූන් වහන්සේලා එකට හිඳගෙන, බෞද්ධ භික්ෂූන් මුස්ලිම් ජනයාට ධර්මය දේශනා කිරීම, සාමාන්‍යයෙන් මීට පෙර සිදු නොවූ දේවල්ය. මිනුවන්ගොඩ නගරයේ බෞද්ධ මුස්ලිම් සහ කතෝලික පැවිදිවරුන් සාම පාගමනක යෙදුණු බවට පින්තූර සහිත වාර්තාවක් ඉරිදා පුවත්පත්වල පළවිය.

මේවා වූ කලී, වෙසක් දිනයේ මා දුටු රූපවාහිනී සාකච්ඡාවක මැල්කම් රංජිත් කාදිනල්තුමා භාවිත කළ එක්තරා අදහසක අදාළත්වය සිහිගන්වයි. එතුමා කියා සිටියේ, දැන් අප රටේ ජනතාවට අවශ්‍යවන්නේ පළිගැනීමේ ක්‍රියාවලියක් නොව, සුව කිරීමේ උත්සාහයක් බවයි. එතුමා මෙය කියන්නට ඇත්තේ මීගමුවේ, කුරුණෑගල සහ මිනුවන්ගොඩ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියාවල පසුබිමේය. එම ප්‍රචණ්ඩ ක්‍රියාවල 1983 ජූලි මාසයේ අප දුටු දෙමළ විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සමග එක්තරා සමාන්තරයක් තිබිණ. එනම්, සුළුතර වාර්ගික ප්‍රජාවකට අයත් ඉතාම අතළොස්සක් වූ ත්‍රස්තවාදීන්ගේ සාහසික ක්‍රියාවකට, එම සුළු ජන ප්‍රජාවට දඬුවම් දීමේ නැත්නම් එම ප්‍රජාවගෙන්ම පළිගැනීමේ, ප්‍රතිචාරයයි. එම සාමූහික දඬුවමට ගොදුරු වූ කුරුණෑගල සහ මිනුවන්ගොඩ මුස්ලිම් වැසියෝ, තව්හීද් ජමාද් සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ නොවූ අයයි. එහෙත් ඔවුන්ට පහර දුන්, ඔවුන්ගේ දේපොළ විනාශ කළ සහ ඔවුන් බියගැන්වූ සිංහල කණ්ඩායම්ද, තම ‘දඬුවම් කිරීමේ’ ප්‍රතිචාරය සඳහා යොදා ගත්තේ ත්‍රස්තවාදයයි. ‘ත්‍රස්තවාදය, ත්‍රස්තවාදය උත්පාදනය කරන්නේය’ (Terrorism begets terrorism) යනුවෙන් කියමනක් තිබේ. එහෙත් ත්‍රස්තවාදය යනු ත්‍රස්තවාදයට දිය යුතු සැබෑ ප්‍රතිචාරයක් නම් නොවේ. එය, තමන් පිළිතුරු දීමට අදහස් කළ ත්‍රස්තවාදයම පෝෂණය කිරීමේ ක්‍රියාවකි. එබැවින්, ත්‍රස්තවාදය, ත්‍රස්තවාදය උත්පාදනය කරනවා පමණක් නොවේ. එය ප්‍රති-උත්පාදනයද, එනම් නැවත බිහිකිරීමද කරයි.

මේ අතර සිංහල ‘දේශප්‍රේමී’ මැර කණ්ඩායම්වල ප්‍රචණ්ඩ ප්‍රහාරවලට ගොදුරු වූ කුරුණෑගල සහ මිනුවන්ගොඩ මුස්ලිම් පුරවැසියන් ගැන කිවයුතු දෙයක් තිබේ. එය නම් ඔවුන් පරම්පරා ගණනාවක් තිස්සේ සිංහල ජනයාද වසන කුඩා නගර සහ ගම්වල, සිංහල ජනතාව සමග සමාජමය, සංස්කෘතික, භාෂාමය සහ ආර්ථික වශයෙන් මිශ්‍රවෙමින් සහජීවනයෙන් ජීවත් වූ ජන කොටස්වීමයි. ඔවුන් බොහෝ දෙනා හොඳින් සිංහල කතා කරන අයයි. විශාල ප්‍රමාණයක් සිංහල පාසල්වල, සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත් සහ ඉගෙන ගන්නා අයයි. විශ්වවිද්‍යාලයේ මා දැන සිටි කොළඹ උතුර, කුරුණෑගල සහ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවලින් පැමිණි මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ භාෂාමය සහ සංස්කෘතිකමය වශයෙන් සිංහල සමාජය සමග බද්ධ වී සිටින අය වෙති. දේශපාලනඥයන්ගේ උසිගැන්වීම හෝ ව්‍යාජ දේශප්‍රේමය හෝ නිසා මුස්ලිම් ජනතාවට පහරදීමට පිට පළාත්වලින් පැමිණි සිංහල මැර කණ්ඩායම්, තම වෛරයට පාත්‍රවූ මේ මුස්ලිම් පුරවැසියන්ගේ මෙම පැත්ත දැන සිටියේවත් හිතුවේවත් නැත. පාස්කු දින කතෝලික පල්ලිවල සහ ගෙවල්වල බෝම්බ පුපුරුවා සිවිල් වැසියන් සිය ගණනකට විනාශය කැඳවූ මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමද තමන්ගේ ප්‍රහාරයට ගොදුරු වන සිවිල් ජනයා ගැන සිතුවේ නැත. එය ත්‍රස්තවාදයේ ස්වභාවයයි. කවුරුත්, කවර පරිමාවකින් සිදුකළත් අප ත්‍රස්තවාදය සපුරා ප්‍රතික්ෂේප කළයුත්තේ එබැවිනි.

සුව කිරීම

මැල්කම් රංජිත් කාදිනල්තුමා යොදා ගත් ‘සුව කිරීම’ යන සංකල්පය ගැන කෙටියෙන් හෝ විමසා බැලීමට, මෙම පසුබිම අපට අවස්ථාව සපයයි. එය Healing යන ක්‍රිස්තියානි සංකල්පය සිංහලයෙන් ප්‍රකාශ කිරීමකි. අසනීප සුවකිරීම, තුවාල සුව කිරීම යන අර්ථය ඇති එහි අර්ථ දෙකක් තිබේ. පළමුවැන්න, දෙවියන්ට යාඥා කිරීමෙන් සහ දෙවියන්ගේ දිව්‍යමය බලයෙන්, ඇතිවන ලෙඩ සුව වීමයි. ‘ඇදහිල්ලෙන් සුව කිරීම’ (Faith Healing) සඳහා ප්‍රසිද්ධියේ, එළිමහනේ සාමූහික, යාඥා පැවැත්වීම ක්‍රිස්තියානි පූජකවරුන් සිදුකරන්නේ මේ විශ්වාසය නිසාය. කාදිනල්තුමා රූපවාහිනී සාකච්ඡාවේදී ‘සුවකිරීම’ යන සංකල්පය පාවිච්චි කළේ ඊට වෙනස් දෙවැනි අර්ථයක් දෙනු පිණිසය. එය නම්, අප්‍රේල් 21දා මහා ඛේදවාචකයෙන් මානසික සහ සංවේදනාත්මක වශයෙන් තුවාල ලැබූ කතෝලික, මුස්ලිම්, බෞද්ධ, හින්දු යනාදී ආගමික ජන කණ්ඩායම් ලැබූ සාමූහික තුවාලවලින් ඔවුන් සුව කිරීමේ අවශ්‍යතාවයි. ඇත්ත වශයෙන්, පාස්කු ඉරිදා අප රටේ ජන කණ්ඩායම් ලැබූ තුවාල සුළුපටු ඒවා නොවේ. ඒ තුවාල සුව නොවී පවත්නා තාක් දුරට, කුරුණෑගල සහ මිනුවන්ගොඩ සිදුවූ ප්‍රචණ්ඩ ප්‍රතිචාර යළි ඇතිවීමේ ඉඩකඩද දිගටම පවතිනු ඇත. ඒවා නැවත සිදුවුවහොත්, තව තවත් තුවාල සිදුවීම්ද, පවත්නා තුවාල පෑරීමද නැවැත්විය නොහැකි වනු ඇත.

කාදිනල්තුමා ඉදිරිපත් කළ එම අනගි සංකල්පය වෙතින්, තවත් බැරෑරුම් ප්‍රශ්නයක් අප සියලුදෙනා ඉදිරියේ මතුවෙයි. එය නම් ආගමික අනන්‍යතාව සම්බන්ධ කරගෙන ඇතිවූ මෙම මහා තුවාල සුව කිරීමේ ප්‍රයත්නයට ආගමික චින්තන විසින් කවර දායකත්වයක් ඉටු කරනු ලැබෙන්නේද යන්නයි. මගේ අදහස නම්, කාදිනල්තුමා යෝජනා කළ ‘සුව කිරීම’ නම් සංකල්පය, අනෙක් සෑම ආගමික ප්‍රජාවකගේම චින්තනයට අදාළ කරගත හැකි පොහොසත් චින්තනමය රාමුවක් සපයන්නේය යන්නයි. එවිට ලංකාවේ ජනතාවට අද අවශ්‍ය වී තිබෙන ‘සුව කිරීම’ යන ප්‍රතිමානීය. එනම් චර්යාධාර්මික ඉලක්කයට තවත් අර්ථ දෙකක් ලබාදිය හැකිය. ඉන් පළමුවැන්න ආගමික එකකි. දෙවැන්න, දේශපාලන එකකි.

ආගමික අර්ථය : ආගමික අර්ථයෙන් බලන විට, ‘සුව කිරීම’ යනු එක් එක් ආගමික, එයටම සුවිශේෂී ඉගැන්වීම් සහ විශ්වාසවලට අනුව ආධ්‍යාත්මික පාරිශුද්ධතාව වත් පිළිවෙත්, මාධ්‍ය කොටගෙන, එකනෙකා අතර අවිශ්වාසය, සැකය සහ භීතිය ඇති කරගෙන තිබෙන ප්‍රජා කණ්ඩායම් අතර, සමගිය සහ සහජීවනය ඇති කිරීම යන ‘සුව කිරීමේ’ ක්‍රියාවලියයි. බෞද්ධ, හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ආදී සෑම ආගමික කණ්ඩායකම පූජ්‍ය සහ ගිනි ප්‍රජාව සාමූහිකව සිදුකරන පුද පූජා සහ වත්පිළිවෙත් වනාහී මෙවැනි සාමූහික සුවකිරීමේ භාවිතයක් වීමට විශාල විභවතාවක් ඇත්තකි. මෙවර වෙසක් දින සුළුවෙන් ආරම්භ වූයේ එවැන්නකි. දැන් පවතින්නේ මුස්ලිම් ප්‍රජාවගේ රාමසාන් උපවාස කාලයයි. රාමසාන් උත්සවය මුස්ලිම් ප්‍රජාවගේ වැදගත්ම වාර්ෂික ආගමික උත්සවයයි. මෙය කතෝලික, ක්‍රිස්තියානි, බෞද්ධ, හින්දු, ආගමික ප්‍රජාවට සාමූහික තුවාල සුවකිරීමේ ක්‍රියාදාමය අලුත් කිරීමට ඉතා කදිම අවස්ථාවකි.

මුස්ලිම් ප්‍රජාව සහ බෞද්ධ, කතෝලික ප්‍රජාවන් සම්බන්ධව අන්තර්-ප්‍රජා සුව කිරීමේ ක්‍රියාවලිය දේශපාලන එකක්ද වෙයි. එය ආගමික අර්ථයෙන් ගන්නා සුව කිරීමේ පියවර සමග එකට යා යුතුය. සුව කිරීම, අවසාන විග්‍රහයේදී දේශපාලන ඉලක්කයකි. පසුගිය කාලයේ බොහෝ කතා කෙරුණු, එහෙත් අඩුවෙන් ක්‍රියාත්මක වූ ‘සංහිඳියාව’ යන උත්තර අරමුණට දැන් අලුත් දේශපාලන අර්ථයක් සහ සන්දර්භයක් ලැබී තිබේ. විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් බලන විට, ‘දේශපාලන සුවකිරීමේ’ ක්‍රියාවලියකින් තොරව එම ජනතාවට සුවවීමේ ඉඩකඩක් තිබෙන බවක් නොපෙනේ.

මේ කාරණය තරමක් පැහැදිලි කළ යුතු එකකි.

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අද සිටින්නේ අතිවිශාල ආධ්‍යාත්මික හා තම පැවැත්මේ අර්ථය පිළිබඳ (existential) අර්බුදයකි. පාස්කු ඉරිදා, තම ප්‍රජාවගේ තරුණයන් පිරිසක් දියත් කළ සියදිවි නසා ගැනීමේ ත්‍රස්තවාදී ප්‍රහාරය, එයින් ඇතිවූ මහා විනාශය, එම මුළු ප්‍රජාවම සොලවා බිමට දැමූ තත්ත්වයකට පත් කළ එකකි. එය, කතෝලික ප්‍රජාව, සිංහල ප්‍රජාව, ලංකාවේ සියලු ප්‍රජා කණ්ඩායම් මෙන්ම, රාජ්‍යය සමගද ඔවුන් පවත්වාගෙන සිටි සාපේක්ෂ වශයෙන් සාමකාමී සහසම්බන්ධතාව දෙදරා යවන සිදුවීමක් විය. අනෙක් ප්‍රජාවන් වෙතින් ඔවුන් වෙත ක්ෂණිකවම එල්ල වූ, වැළැක්විය නොහැකි, ප්‍රතිචාරය වූයේ, අත්‍යන්ත සැකය, අවිශ්වාසය, විශ්වාසය, බිඳ වැටීම සහ භීතියයි. සාමූහික ලැජ්ජාවකින් මුළු මුස්ලිම් සමාජයම හිරිවැටී ගිය බව පෙනේ. මේ අතර, මීගමුවේ පළමුවත්, කුරුණෑගල සහ මිනුවන්ගොඩ පසුවත් සිදුවූ සිදුවීම්වලින්ද, මුස්ලිම් දේශපාලනඥයන් පිළිබඳ සිදුවූ අනාවරණවීම්වලින්ද, සිංහල දේශපාලනඥයන්ගේ ප්‍රතිචාරද, ජනමාධ්‍යයෙන් සිදුවූ අතිශයෝක්තිමය වාර්තාකරණයද මැද, මුස්ලිම් ප්‍රජාව පත්වූයේ අනෙකුත් ප්‍රජාවන්ටත්, රාජ්‍යයට එල්ල වූ අලුත්ම ආරක්ෂණ තර්ජනයේ මූලාශ්‍රය බවටයි. මෙය වනාහී බහුවාර්ගික සමාජයක, කුඩා සුළු ජන ප්‍රජාවක් පත්වන අසමසම සාමූහික අර්බුදයකි. සිංහල, දෙමළ, බෞද්ධ, කතෝලික, හින්දු ප්‍රජාවන්ට මේ තත්ත්වය තේරුම් ගැනීම තවමත් පහසු නැත. එයට හේතුව තවමත් ජනමාධ්‍යය සහ දේශපාලනඥයන් මගින් සමාජයේ පැතිරෙන්නේ, මුස්ලිම්/ඉස්ලාමීය භීතිය උත්පාදනය කරන ප්‍රචාරවීමයි. 1983දී සිංහල සමාජයෙන්, දෙමළ ජනතාව පිළිබඳව සහකම්පිත ප්‍රතිචාරයක් ඇතිවීම දුෂ්කර වූ ආකාරයටම, පසුගිය මාසය තුළම ලංකාවේ මුස්ලිම් ජනතාවගේ සාමූහික අර්බුදය පිළිබඳ සහකම්පික ප්‍රතිචාරයක් ඇති කිරීම දුෂ්කර වී තිබේ. වාර්ගික වශයෙන් බෙදී ගිය ලංකාව වැනි සමාජයක ඇති සමාජ-මානසික ව්‍යාධිවල එක් ලක්ෂණයක්ද වන්නේය. ඒ ගැන බැරෑරුම්ව සිතා බැලීමට දැන් අපට බලකෙරී තිබේ. එය වනාහී අවුරුදු ගණනාවක් තිස්සේ සිංහල මෙන්ම දෙමළ සමාජවලද ගොඩනැගුණු මුස්ලිම් ප්‍රජාව සැක කිරීමේ දේශපාලන සහ සංස්කෘතික විඥානය කෙතරම් ප්‍රබලද යන්න ප්‍රකාශ කරන්නකි. මෙය ලංකාවේ සිංහල සහ දෙමළ සමාජවල අතිවිශාල ප්‍රමාණයක්, පසුගිය දශක කිහිපය පුරාම, මැද පෙරදිග ඉස්ලාමීය සමාජයට සහ සංස්කෘතියට අනාවරණය වී තිබීමේ පසුබිම තුළ සිදුවීමද මවිතය දනවන්නකි.

ලංකාවේ මුස්ලිම් සහ අන්‍ය ප්‍රජා කණ්ඩායම් අතර සුව කිරීමේ ක්‍රියාවලියක ආගමික සහ දේශපාලනය යන ප්‍රවේශ දෙකම සංකලනය වූ සංහිඳියා ප්‍රයත්නයකට සම්බන්ධ කළයුත්තේ මේ නිසාය. ආගම යනු ප්‍රජාවන් වෙන් කරන සාධකයක් නොව, ප්‍රජාවන් අතර අන්‍යොන්‍ය සාකච්ඡාවට සහ අවබෝධයට අවශ්‍ය පරිකල්පනය පුබුදුවන සාධකයක් වන්නට, එක් එක් ආගම්වල ඇති දාර්ශනික සහ චර්යාධාර්මික සංකල්ප කෝෂය වෙතින් සුදුසු සංකල්ප සොයා යාමට අපට සිදුවෙයි. කාදිනල්තුමා පාවිච්චි කරන ‘සුව කිරීම’ නමැති සංකල්පයට සමාන බෞද්ධ සහ හින්දු සංකල්ප මතුකර ගැනීමට සුදුසු මොහොත වන්නේ දැන්ය. ‘පළිගැනීම වෙනුවට සුව කිරීම’ ට සමාන්තර සංකල්ප බෞද්ධ සහ හින්දු ශිෂ්ටාචාරවලින් සොයා යාම දුෂ්කර කාර්යයක් නොවිය යුතු බව මගේ හැඟීමයි.

ජයදේව උයන්ගොඩ
රාවය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top