Jul 06, 2019

ඊළඟ ජනාධිපති වෙන්න බලා ඉන්න සියල්ලන්ට !

2018 වසරේ ලෝකයේ ඉන්ධන ආනයනය කළ යෝධයින් 05 දෙනා වූයේ චීනය, ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව ය. ඒ රටවල විශාල ජනගහනයක් ඉන්නා අතර, පුද්ගල ගමනා ගමනයට අමතරව, යෝධ නගර අතර බර ප්‍රවාහනයද විශාල වශයෙන් කෙරෙති.

ලංකාවේ ජනගහනය මිලියන 21 ක් වනවිට මුම්බායි නගරයේ පමණක් ජනගහනය මිලියන 18.7 කි. තෝකියෝ සහ සෝල් නගරවල ජනගහනය ලංකාවේ ජනගහනයෙන් අඩකි.

එහෙත් ශ්‍රී ලංකාව 2018 දී දිනකට බොර තෙල් බැරල 32,520 ක් ආනයනය කළේය. එළෙසින් ආනයනය කරන රටවල් ලේඛනයෙහි අපි 59 වැනියා ය. ඒ ආනයනය සඳහා වියදම? දිනකට ඇමෙරිකානු ඩොලර 2.1 කි.

ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම 2017 වූයේ ඇමෙරිකානු ඩොලර බිලියන 17 කි. එය එතෙක් ඉපැයූ විශාලම අපනයන ආදායම ලෙස ආඩම්බරයෙන් කියනු ලැබිණ. එය දිනක ආදායම ලෙස ඇමෙරිකානු ඩොලර මිලියන 46.6 කි.

ඊළගට 2017 අලුතින් ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව 451,653 කි. ඉන් සියයට 50 ක් යතුරු පැදි සහ 15,000 ක් පමණ ත්‍රීරෝද රථය. ඉතිරි 208,000 ක් පමණ සෙසු වාහනය. ඉන් පොදු ප්‍රවාහනයට සහ කෘෂිකාර්මික කටයුතු සඳහා සියයට 10 ක් පමණ වෙන් කළ පසු, 2017 පෞද්ගලික වාහන ආනයනය 190,000 ක් පමණ විය.

ඉතා අවම මට්ටමින් ගණන් හැදුවහොත් නැවෙන් බෑමට පෙර වාහනයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර 18,000 ක් වුවහොත් 2017 පෞද්ගලික වාහන ආනයනය සඳහා දිනකට ඇමෙරිකානු ඩොලර මිලියන 9.6 ක් අප වැය කර ඇත.

ඉන් ඔප්පු වන්නේ දෛනික අපනයන ආදායම වන ඇමෙරිකානු ඩොාලර 46.6 න් අප දෛනිකව ඇමෙරිකානු ඩොලර 11.7ක් ඉන්ධන සහ පෞද්ගලික වාහන ආනයනය වෙනුවෙන් වැය කරන බවය.

ඒ සමග පැය ගණන් ජනතාවගේ පලදායි කාලය සහ එක පෙළට නවතාගෙන සිටින්නට සිදුවන වාහනවල ඉන්ධන අපතේ පුලුස්සා දමන කාලකණ්නි මාර්ග තදබදයක්ද නිර්මාණය කරන බවය.
මේ විනාසකාරී තත්ත්වය තව තවත් වර්ධනය වන බවද අමතක නොකළ යුතුය. මේ වනවිට යතුරු පැදි මිලියන 3.5 ක් සමග ලංකාවේ වාහන මිලියන 6.6 ක් ඇති බවද මතක තබා ගනිමු.

ප්‍රධාන ධාරාවේ ජනාධිපති අකේෂකයින් සහ ඔවුන් හෑල්ලුවට ලක් කරමින්, විකල්ප උත්තර තමන්ට ඇතැයි කියමින් ඉදිරිපත් වන්නට සූදානම් වන සියලු ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඇසිය යුත්තේ මෙම කාලකණ්නි අර්බූදය විසඳීමේ ඔබේ පිළියම කුමක්ද?

- කුසල් පෙරේරා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top