Jul 09, 2019

“ටැබ්” සහ “ලැට්” අතර කට බලියන පරතරය

ඊළග ජනාධිපති වීමේ සිහින මවන අපේක්ෂකයින් සමූහයක් ඉන්නා රටක, මේ අධ්‍යාපන අර්බූදය ගැන දන්නා අය ඒ අතර ඇතිදැයි නොදනිමි. විශ්ව විද්‍යාල සහ තෘතියික අධ්‍යාපනයද ඇතුලු සමස්ථයෙහි විෂය මාලා, පාඨමාලා, ඉගැන්වීමේ ගුණාත්මක තත්ත්වය, පරිපාලනය සහ ප්‍රතිපත්ති සැකසීම ඇතුලු හැමකක්ම බිඳ වැටී තිබීමට අමතරව “නිදහස් අධ්‍යාපනය” අරුත් සුන් කෙරෙන විධිමත් පාසල් අධ්‍යාපනයෙහි නොදකින සහ නොසළකා හැරෙන විෂමතා සහ අතහැරීම් ගණනාවක් ඇත.

මෙරට රජයේ පාසල් 10,194 කි. ඒවායේ ඉගෙන ගන්නා සිසු සංඛ්‍යාව දස ලක්ෂ 4.1 කි. ගුරු සඛ්‍යාව 2,41,591 කි. එම පාසල් අතුරින් උසස් පෙළ සඳහා විද්‍යා සහ ගණිත පංති ඇති (1ඒබී) පාසල් ඇත්තේ 1,029 කි. උසස් පෙළ සඳහා කලා සහ වාණිජ පංති ඇති පාසල් (1සී) 1,818 ක් ඇත. ඉතිරියෙන් පාසල් (2 වන ශ්‍රේණිය) 3,288 ක සාමාන්‍ය පෙළ දක්වා එනම් 11 වසර දක්වා පංති ඇත.

පාසල් අධ්‍යාපනයේ මේ තොරතුරු වලින් ඔබ්බට යන්නේ නම්, කන්නන්ගර ප්‍රතිසංස්කරණ පදනම් වූ මූලික සංකල්පයම ගබ්සා කර ඇති බැව් දැකිය හැකිය. කන්නන්ගර ප්‍රතිසංස්කරණ සතු මූලික හා ප්‍රධාන අරමුණ වූයේ “ජාතික අධ්‍යාපන” ක්‍රියාවලියක් තුල සියලු ළමුන්ට, දුප්පත් පොහොසත් සහ නාගරික ග්‍රාමීය හැමට පොදු පහසුකම් සහිත සමාන අවස්ථා ඇති කිරීමය. රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය වූයේ සියල්ලන්ට එළෙසින් සම බිමක් හැදීම වෙනුවෙනි. ජාතික අධ්‍යාපන ක්‍රියාවලියෙහි මූල්‍ය හයිහක්තිය ඇති දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ට ලබා දිය හැකි පහසුකම් හා අවස්ථා ලබාදිය නොහැකි දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන් ඒ අවස්ථා හා පහසුකම් හැදීම වෙනුවෙනි. බදු මුදල් වැය කෙරුණේ ඒ අඩුව පිරවීමටය. එය ආරම්භ කෙරුණද කන්නන්ගර මැතිඳුන් බලාපොරොත්තු වූ සහ සැළසුම් කළ අයුරු එය ඉදිරියට නොගියේය. එබැවින් 50-60 දසක වලද සැළකිය යුතු විෂමතා පාසල් පද්ධතියෙහි පැවතින. පසුගිය අවුරුදු 40 ක පමණ කාලයේ ආණ්ඩු විසින් රාජ්‍ය වගකීම් ක්‍රමානුකූලව අත හැරි පසුබිමක විවෘත ආර්ථිකය විසින් අධ්‍යාපනයද ලාභ ඉපැයිය හැකි ක්ෂේත්‍රයක් ලෙස ආයෝජන සඳහා ඉඩ ලබා දුන්නේ ය. ඒ වෙනුවෙන් කිසිදු ප්‍රතිපත්තිමය වෙනසක් හෝ ප්‍රකාශයට පත් නොකෙරුණි.

ඒ සමග බහුතරයකට මේ පාසල් අධ්‍යාපනයෙහි විඳින්නට සිදුව ඇති විෂමතා සහ අසාධාරණය කොතෙක්දැයි සසඳා බැලීම වටින්නේය.

මෙය ඔබ දන්නෙහිද?

සිසු සිසුවියන් 50 ට වඩා අඩු පාසල් 1,486 ක් මෙරට “ඇති බැව් ඔබ දන්නේද?

සිසු සිසුවියන් 50 ට වැඩි එහෙත් 100 ට වඩා අඩු පාසල් 1,560 ක් ඇති බවත් දන්නේද?
එහි සරළ සත්‍ය වන්නේ සමස්ථ පාසල් 10,194 න් සිසු සිසුවියන් 100 ට වඩා අඩු පාසල් 3,046 ක් ඇති බවය.
මේ පාසල් සංඛ්‍යාව ප්‍රාථමික සහ 08 වසර දක්වා පංති ඇති “03 වන ශ්‍රේණිය” පාසල් වන්නාහ.
මෙම පාසල් 3,046 හි දරුවනට “1ඒබී” හා “1සී” ශ්‍රේණිගත පාසල් දරුවන්ට ඇති පහසුකම් හා අවස්ථා ඇතැයි කිව හැක්කේ කාටද? මේ පාසල් පැහැදිලිවම ජාතික පාසල් පද්ධතිය තුල අතහැර දමා ඇති පාසල් ය.

මෙයද සටහන් කළ යුතුව ඇත.
එක ගුරුවරයෙකු පමණක් ඇති පාසල් 54 ක් ඇත.
ගුරුවරුන් 02 කු පමණක් ඇති පාසල් 97 කි.
ගුරුවරුන් 09 ට වඩා අඩු පාසල් 2,979 කි.
එනම් ගුරුවරුන් 09 ට වඩා අඩු පාසල් සම්පූර්ණ සංඛ්‍යාව 3,130 කි.

මේ පාසල් වල තත්ත්වය කුමක් විය හැකිද? මේ පාසල් 3,130 හි සිසු සිසුවියනට ලැබෙන අධ්‍යාපනය කුමක්ද?
මේ අසාධාරණය දුටුවාද?
සාමාන්‍ය පෙළ දක්වා, එනම් 11 වසර දක්වා පංති ඇති පාසල් 3,262 කි.
මේ පාසල් වලින් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබන සිසු සිසුවියන් උසස් පෙළ පංති ඇති වෙනත් පාසල් වෙත යා යුතුය.
ඔවුන්ගෙන් උසස් පෙළ සඳහා විද්‍යා හෝ ගණිත විෂයන් තෝරා ගැනීමට තීන්දු කරන සිසු සිසුවියනට රට පුරා ඇති “1ඒබී” ශ්‍රේණිගත පාසල් 1,029 අතුරින් තම දිස්ත්‍රික්කයේ පාසලක් තෝරා ගැනීමට සිදු වන්නේය. බස්නාහිර පළාතේ එවැනි පාසල් 201 කි (එහෙත් කළුතර අවාසිදායකය). නැගෙනහිර පළාතට ඇත්තේ 99 කි. මධ්‍යම පළාතට ඇත්තේ 64 කි. ඌවට ඇත්තේ 83 කි. අනෙක් පළාත් වඩා හොඳ යැයි ඉන් නොකියවේ.

උසස් පෙළ සඳහා විද්‍යා හෝ ගණිත විෂයන් තෝරා ගැනීමට තීන්දු කරන සිසු සිසුවියනගෙන් කී දෙදෙනකුට දෛනිකව පාසල් යා හැකි දුරකින් එවැනි පාසලක් හමුවන්නේද? එබැවින් අති දුබල පොදු ප්‍රවාහන සේවාවක් ඇති රටක ග්‍රාමීය සමාජයේ බොහෝ දෙමාපියනගේ දරුවන්ට විද්‍යා හා ගණිතය උසස් පෙළ සඳහා ඉගෙනීම අත හරින්නට සිදුවේ. ඔවුන් සමහරක් ඒ වෙනුවට කලා හෝ වාණිජ විෂයන් තෝරා ගනිති. තවත් අය උසස් අධ්‍යාපනය අතහැර රැකියා සොයති. මේ නිදහස් අධ්‍යාපනයෙහි සැමට සමාන පහසුකම් සහ සමාන අවස්ථා ඇතැයි කිව හැකිද?
මෙය අන් සියල්ලට වඩා අසික්කිතය

පානීය ජලය නැති සහ ජල පහසුකම් කිසිවක් නැති පාසල් මේ රටේ ඇතැයි ඔබ දැන සිටියේද?
බස්නාහිර පළාතේ මහ නගර, නගර හෝ ප්‍රාදේශීය සභා විසින් නල ජලය සපයන පාසල් සියයට 54 කි. තවත් සියයට 40 ට විවෘත ළිං හෝ නල ළිං ජලය ඇත.
උතුරු පළාතේ මහ නගර, නගර හෝ ප්‍රාදේශීය සභා විසින් නල ජලය සපයන පාසල් සියයට 12 ක් පමණි. විවෘත ළිං හෝ නල ළිං ජලය ලබන පාසල් සියයට 73 කි. සියයට 05 ක් බවුසර් මගින් ජලය ලබති. සියයට 10 ට ජලය නැත.
වයඹ පළාතේ පාසල් සියයට 25 ට ජලය නැත.
ඌව පළාතේ පාසල් සියයට 26 ට ජලය නැති අතර, සියයට 21 ක් ගංගා හෝ උල්පත් ජලය ලබති.
උතුරු මැද පළාතේ පාසල් සියයට 21 ට ජලය නැත.
මධ්‍යම පළාතේ පාසල් සියයට 23 ට ජලය නැති අතර, සියයට 20 ක් ගංගා හෝ උල්පත් ජලය ලබති.
මධ්‍යම පළාතේ පාසල් සියයට 19 ට ජලය නැති අතර, සියයට 20 ක් ගංගා හෝ උල්පත් ජලය ලබති.
නැගෙනහිර පළාතේ පාසල් සියයට 13 ට ජලය නැත.
මෙහි සැබෑ කතාව කුමක්ද? ජල සැපයුම ගැන සහතිකයක් නැත යනු වැසිකිළි, කැසිකිළි නැත යන්නයි. ගංගා හෝ උල්පත් පමණක් නොව, විවෘත ළිං හා නල ළිං තිබුණද පාසලක වැසිකිළි, කැසිකිළි භාවිත කළ නොහැක. එබැවින් පානීය ජලය නොමැති සහ වැසිකිළි, කැසිකිළි නොමැති පාසල් අවම සියයට 20 ක් හෝ ජාතික පාසල් පද්ධතියෙහි ඇත. සියයට 20 ක් යනු පාසල් 2,038 කි. එහෙත් ජලය නොමැති පාසල් ලෙස ජාතික වශයෙන් ගණන් බලන්නේ සියයට 16 කි.

මේ අතර යහපාලන ආණ්ඩුව සහ එහි අධ්‍යාපන ඇමති උසස් පෙළ පංති ඇති පාසල් 2,847 ක සිසු සිසුවියනට නවීන “ටැබ්” ලබා දීමට යෝජනා කරන්නේය. එය පළමුව ජාතික පාසල් 353 ට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මැදිහත්ව ඇතැයි වාර්තා විය.

“ටැබ්” සහ “ලැට්” අතර මේ කට බලියන පරතරයක තරම. ඊළඟ ජනාධිපති වන්නට බලා සිටින වුන්ගෙන් කී දෙනෙකුට මේ අධ්‍යාපන අවුල විසඳීමට පිළියම් තිබේද?
(සියලු සංඛ්‍යා හා දත්ත අධ්‍යාපන අමාත්‍යාංහයේ 2017 පාසල් ගහනය වාර්තාවෙනි)

- කුසල් පෙරේරා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top