Jul 28, 2019

“කුණු කතාවේ” ඇත්ත නැත්ත

ශ්‍රී ලාංකේය දේශපාලන සහ සමාජ කතිකාව තුළ ඉදිරියෙන් ම පැනනැගී ඇති මාතෘකාව නම් එක්සත් රාජධානියෙන් හේලීස් සමාගම් සමූහයට අයත් හේලීස් ෆ්‍රී සෝන් සමාගම විසින් මෙරට කසළ තොගයක් ගෙන්වා ඇත යන්නය.

යම් මාධ්‍ය ආයතන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරිකයන් කිහිප දෙනෙකු විසින් මෙම පුවත විවිධ දේශපාලනික වුවමනා වෙනුවෙන් උළුප්පා දක්වනු මේ දිනවල දැකගත හැකිය.

ඒ කෙතරම්ද යත්, මෙතෙක් කාලයක් කතිකා සටහනේ අංක එකේ වැජඹුණු දොස්තර ෂාෆිට හෝ ලසිත් මාලිංගට හෝ අමාත්‍ය රංජන් රාමනායකට හෝ එම තත්ත්වය අභිබවා යන්නට හැකි වූයේ නැත.

කන්ටේනර් තුළ සැබවින් ම ඇත්තේ මොනවාද?

හේලීස් සමාගම මෙරටට 'කුණු' කන්ටේනර් ගෙන්වා ඇති බවත් ඒවායේ රෝහල් අපද්‍රව්‍ය ඇති බවත් කිහිප දෙනෙකු නගන ප්‍රධානත ම චෝදනාවයි.

කෙසේවෙතත්, එම බහාලුම් තුළ ඇත්තේ රෝහල් අපද්‍රව්‍ය නොව; භාවිත කරන ලද හානිකර නොවන මෙට්ට තොගයක් බව එක්සත් රාජධානිය විසින් සිදු කර ඇති කාණ්ඩකරණය අධ්‍යයනය කිරීමෙන් ම පැහැදිලි වේ.

එම බහාලුම් තුළ රෝහල් අපද්‍රව්‍ය අන්තර්ගත වේ නම් එම කාණ්ඩකරණය නියත වශයෙන් ම වෙනත් ස්වභාවයක් ගනු ඇත.

තවද, මෙම බහාලුම් තුළ මිනිස් සිරුරු කොටස් ඇති බවට ද සාවද්‍ය පුවත් ප්‍රචාරය කෙරුණු අතර එවැනි සිරුරු කොටස් ඇතැයි මෙතෙක්හමු වී නොමැති බව ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා තහවුරු කර ඇත.

කන්ටේනර් ගෙන්වා ඇත්තේ කවුද?

මෙම කන්ටේනර් මෙරටට ගෙන්වා ඇත්තේ නිදහස් වෙළඳ කලාපයේ සමාගමක් බව නැගෙන තවත් චෝදනාවකි.

ප්‍රශ්නගත කන්ටේනර් 130මෙරටට ගෙන්වීම හෝ හිමිකාරිත්වය සම්බන්ධව කිසිඳු සබඳතාවක් නිදහස් වෙළඳ කලාපයේ කිසිඳු සමාගමට නොමැති බව මේ වන විට සනාථ වී තිබේ.

එම බහාලුම් මෙරටට ගෙන්වා ඇත්තේ Ceylon Metal Processing Corporation සමාගමවන අතර එම සමාගමේ අතරමැදි භාණ්ඩ ප්‍රවාහන සේවා සම්පාදන සමාගමක්වන ETL Colombo සමාගම එම බහාලුම්වල ගබඩාකරණ, අගය එකතු කිරීමේ සහ ප්‍රති අපනයන කටයුතු සඳහා පමණක් හේලීස් ෆ්‍රී සෝන් සමාගම තෝරාගෙන ඇත.

ඒ අනුව එම භාවිත කරන ලද මෙට්ට තොගයේ හිමිකාරිත්වය Ceylon Metal Processing Corporation සමාගම සතුවන බවත්, හේලීස් ෆ්‍රී සෝන් සමාගම සිදු කර ඇත්තේ එහි ලොජිස්ටික් සේවා සැපයීමක් පමණක් බවත් පසුගිය 28 වනදා Ceylon Metal Processing සමාගමේ අධ්‍යක්ෂවරයා වන මුතුරාමර් සසිකුමාරන් විසින් සංවිධාන කරන ලද මාධ්‍ය හමුවේදී ද ඔහුපිළි ගත්තේය.

කොළඹ වරායේ ඇති කන්ටේනර් මොනවාද?

මාධ්‍ය කිහිපයක් ම කොළඹ වරායේ ඇති කන්ටේනර් 102ක් සහ හේලීස් ෆ්‍රී සෝන් අංගණයේ ඇති කන්ටේනර් අතර සබඳතාවක් ගොඩනැගීමටත් ඒ හරහා දිගින් දිගට ම එම සමාගමට පහර එල්ල කිරීමටත් කටයුතු කරමින් සිටී.

කෙසේ නමුත් එම කන්ටේනර් මෙරටට ආනයනය කිරීම හෝ භාරකාරීත්වය හෝ ලොජිස්ටික් සේවා සම්පාදනය සම්බන්ධව හේලීස් ෆ්‍රී සෝන් සමාගමට කිසිඳු සබඳතාවක් නොමැති බව ශ්‍රීලංකාරේගුවදතහවුරුකරඇත.

ඒ අනුව කරුණු විමසීමේදී එම සමාගම සඳහන් කළේ තමන්ට කිසිඳු සම්බන්ධයක් නොමැති බහාලුම් තොගයක් සම්බන්ධව තමන්ගෙන් විමසීම පවා විමතිය දනවන්නක් බවය.

රතුපස්වල සිදුවීමනැවත කරළියට ආවේ කොහොමද?

මෙම භාවිත කරන ලද මෙට්ට තොගය සම්බන්ධව කතාව තවත් පුද්ගලික මඩ ප්‍රහාරයක් පමණක් බව මනාව පැහැදිලි වන්නේ, මෙම සිදුවීම සහ 2013අගෝස්තු මසදී සිදුවූ රතුපස්වල සිදුවීම ද යළි කරළියට ගෙන ඒමට යම්පාර්ශ්වකිහිපයක්දරන උත්සාහය නිසාය.

2013වසරේදී යම්කිසි පිරිසක් විසින් උසිගන්වන ලද ගම්වැසියන් කියා සිටියේ හේලීස් සමාගමට අයත් අත්වැසුම් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව නිසා තම පානීය ජලයට අපද්‍රව්‍ය මුදා හැරෙන බවය.

එම තත්ත්වය අරබයා සමාගමට එරෙහිව නඩුවක් විභාගයට ගැනුණු අතර අදාළ සමාගම කිසිඳු පාරිසරික හානියක් හෝ පානීය ජලයට අපද්‍රව්‍ය මුදා හැරීමක් සිදු කර නොමැති බව තහවුරු විය.

කෙසේවෙතත් මෙම උසිගැන්වීම් හේතුවෙන් සිදු වූයේ වටිනා මිනිස් ජීවිත තුනක් අහිමි වීමත්, මෙරටට අත්‍යවශ්‍ය වී තිබූ විදේශවිනිමයකර්මාන්ත ශාලාව යළි ස්ථාපනය කිරීමේ කාලය තුළ රටට අහිමි වීමත්, ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා රැසක් අහිමි වීමත් පමණි.

ධම්මික පෙරේරා ඉලක්කයක් වූයේ කෙසේද?

ප්‍රශ්නගත කන්ටේනර් තොගය සමගින් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ඉලක්ක කර ගනිමින් වෙනම චෝදනා රැසක් එල්ල වෙමින් පවතී.

මේ සියල්ල චෝදනා නොව, හුදු උපකල්පන පමණක් බව බැලූ බැල්මට පෙනී යන කරුණකි.

2013වසරේදී ධම්මික පෙරේරා මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දරන කාලයේ එතුමාට වාසි වන අයුරින් ඉහත සේවා මධ්‍යස්ථාන සම්බන්ධගැසට් නිවේදනය නිකුත් කෙරුණු බව එලෙස නැගෙන එක් උපකල්පනයකි.

කෙසේවෙතත් නිදහස් වෙළඳ කාලපය තුළ ක්‍රියාත්මක වන එකම සමාගම හේලීස් ෆ්‍රී සෝන් සමාගම නොවන අතර ඒ තුළ සමාගම් හයක් ක්‍රියාත්මක වේ. ඒ අනුව හේලීස් ෆ්‍රීසෝන් සමාගමට ඉතිරි සමාගම් පහ සමග මෙන්ම සිංගප්පූරුව සහඩුබායිවැනි ජාත්‍යන්තර නිදහස් කලාප වෙළඳපොළ සමග ද තරග කිරීමට සිදු වී ඇත.

එමෙන්ම එම ගැසට් නිවේදනය නිකුත් කරමින් එවක රජය සඳහන් කළේ, මෙය ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ ලොජිස්ටික් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද බවය.

ඒ අනුව ධම්මික පෙරේරා මහතා කොටස් හිමිකාරිත්වය පමණක් දරන, කිසිඳු කළමනාකරණ හෝ මෙහෙයුම් ක්‍රියාවලියකට ඔහුගේ සම්බන්ධයක් නොමැති සමාගමක් අරභයා දිගින් දිගටම එල්ල කෙරෙන උපකල්පන වලින් පෙනී යන්නේ, ඔහු ඉදිරි ජනාධිපතිවරණයේදී තර්ජනයක් වේ යයි සිතන කිසියම් පාර්ශ්වයක් විසින් මේ සමස්ත ප්‍රචාරණය මෙහෙයවනු ලබන බවය.

එළඹෙන ජනාධිපතිවරණ සමයත් සමග මෙම ගැටළුව ද පක්ෂ-විපක්ෂ සියලු දෙනාට සිය දේශපාලන ව්‍යාපාර සඳහා කදිම මාතෘකාවක් වනු ඇත.

ජනතාවට වඩාත් සංවේදී 'කුණු' වැනි ප්‍රශ්නයක්, මෙරට 4%කට ආසන්න අපනයන දායකත්වයක් ලබාදෙන, වැඩිම පිරිසකට රැකියා අවස්ථා ලබාදෙන සමාගමක් හෝ බිල්ලට දෙමින් වේදිකාවට ගෙන ඒමට දේශපාලකයන් පසුබට නොවනු ඇත.

එවැනි තත්ත්වයක් මත හේලීස් සමාගම හෝ ධම්මික පෙරේරා හෝ තවදුරටත් මුනිවත රැකීම කෙතරම් සුදුසුදැයි විමසා බැලිය යුතුය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top