Nov 29, 2019

දශක 7 ක ලතා මංගේෂ්කාර් ලකුණ

පුරුෂමූලික සමාජයේ කලාව, දේශපාලනය ආදී වැඩලෝකයේ අනවරත අරගලයක යෙදෙමින් සිය අනන්‍යතාව තහවුරු කරගැනීමේ කාර්යය, පෙරදිග රටවල විශේෂයෙන් භාරතීය සමාජයේදී, කාන්තා විෂයෙහි දුෂ්කර කටයුත්තකි. එහි නියැළීමටත් වඩා දශක හතක් එහි රැඳී සිටීම අභියෝගයකි.

දුටුවන් ප්‍රහර්ෂයට පත්කරවනසුලු චාම් මුහුණුවරකින්ද, ප්‍රභාමත් සිනාවෙන්ද සුසැදිව, සරල සාරියකින් සැරසී සංයමයෙන් ගී ගයන ලතා මංගේෂ්කාර් ඒ අභියෝගය ජයගත්තාය.

එල්විස් ප්‍රෙස්ලි, මයිකල් ජැක්සන්, ඒ. ආර්. රහුමන්, වැනි නන්විද ගායන ශිල්පීන්, සංගීතඥයින් අතර ඇය කාන්තා භූමිකාවේ වෙර ඉසිලූ තැනැත්තියකි. භාරතයේ යුග කිහිපයක් එක් කළ ගායිකාවකද වන්නීය.

ශ්‍රී ලංකාවේ නන්දා මාලිනී, මාලිනී බුලත්සිංහල, සුජාතා අත්තනායක ඈ ප්‍රවීණ ගායන ශිල්පිනියන්ද, ලතා වල්පොළ, ඇන්ජලීන් ගුණතිලක ආදී රිදී සීනුද, නිරෝෂා විරාජිනී වැනි ගීත කෝකිලාවියන්ද යෝග්‍ය කරගත් හඬටද යම් කාන්තා හඬක් භාරතයෙහි වේද, ඒ ලතා මංගේෂ්කාර්ය.  ඇය ගොඩනඟාගත් ආස්ථානය අදටද සෙලවිය නොහැකිව තිබේ.

භාරත සිනමාවේ විශිෂ්ටතම ගායන ශිල්පිනියක වන ලතා මංගේෂ්කාර්,  වෛජයන්තිමාලාගේ සිට ප්‍රීති සින්ටා දක්වා වූ නිළියන්ට සිය ස්වරයෙන් පණ පෙවුවාය. 30,000කට අධික ගී ගායනා කිරීම හේතුවෙන් ගිනස් වාර්තා පොතටද ඇතුළත් වීමට ඇයට හැකිවිය.

ලතා මංගේෂ්කාර් මහත්මිය, ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පසුගියදා මුම්බායිහි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි. ඇගේ තත්වය සුව අතට හැරෙමින් පවතින බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කළාය. මේ වනවිට 90 හැවිරිදි පසුවන ඇය ගායනයට පිවිස මේ වනවිට දශක සතක් ගතව ඇත.

ළමා කාලය

භාරතයේ ඉන්දෝර් පෙදෙසේ (මධ්‍ය ප්‍රදේශ්), සරස්වත් නම් බ්‍රාහ්මණ කුලයට අයත්, මහාරාෂ්ඨීය පවුලක, සංගීත පසුබිමකින් හෙබි නිවසක ඈ උපන්නාය. ඒ 1929 සැප්තැම්බර් 28 වැනිදාය.

සම්භාව්‍ය සංගීතඥයකු, වේදිකා නළුවකු, නාට්‍ය නිෂ්පාදකයකු වූ පණ්ඩිත් දීනනාත් මංගේෂ්කාර් සහ  ෂේවන්ති මහත්මියගේ වැඩිමල් දියණිය වූ ලතා මංගේෂ්කාර්ට  මීනා, ආෂා, ඌෂා සහ හ්‍රින්ද්‍යනාත් යන බාල සොයුරු සොයුරියෝ වූහ.

දීනනාත්ගේ උපන් ගම වූයේ ගෝවේ මංගේෂි පෙදෙසයි. සිය ගමට වූ ළැදියාව හේතුවෙන් හරිද්කාර් ලෙසින් වූ ඔහුගේ වාසගම, මංගේෂ්කාර් ලෙස හෙතෙම වෙනස් කරගත්තේය. ඇයට ඇගේ පියා හේමා යන නම් තැබීය.  පසුව ඔහු නිෂ්පාදනය කළ මරාති වේදිකා නාට්‍යයක ආ චරිතයක් ඇසුරින්ඇයට ලතා යන නාමය තැබීමට දෙමහල්ලෝ එකඟ වූහ.

මංගේෂ්කාර් පවුලේ සියලු දරුවෝ පියාගෙන් සංගීත පාඩම් උගත්හ. කේ.එල්.සයිගල් වැනි සංගීත ශිල්පීන් ඔවුන්ගේ වීරයන් බවට පත්විය. පස්හැවිරිදි වියේදී සංගීත් නාටක ලෙස හැඳින්වූ නාට්‍යවල පියා සමඟ රඟපෑමට කුඩා ලතා යොමුවූවාය.

ලතා පාසල් අධ්‍යාපනයක් ලැබුවේ නැත. එහෙත් ඇය සතුව අධ්‍යාපනය ලද අයකුගෙන්වත් නොදැකිය හැකි තරමේ කුසලතාවක් හා නිහතමානී අව්‍යාජත්වයක් දිස්විය.

ගායනයට පිවිසීම

1942 දී වසන්ත් ජොගල්කර් නිෂ්පාදනය කරන ලද ‘කිටි හසාල්’ නම් මරාති සිනමාපටය සඳහා ලතා පළමුවරට ගීත ගායනයෙන් යොමුවූවාය. කෙසේ වෙතත් සිය දූවරුන් සිනමාපටවල ගීත ගායනයට යොමුවීම පියාට අරුචි වූ බැවින් එම සිනමා පටයෙන් ලතාගේ ගීය ගැලවිණි.

හදවත් රෝගයක් හේතුවෙන් ලතා මංගේෂ්කාර්ගේ පියා එම වසරේදීම මියගියේය. ආර්ථික ප්‍රශ්න බලවත්වීම හේතුවෙන් වැඩිමහලු දැරියකව සිටි ලතා මුදල් සෙවීමේ පරමාර්ථයෙන්, බලවත් කැමැත්තකින් තොරව  හින්දි සහ මරාති සිනමාපටවලට රංගනයෙන් දායක වීමට ඉටාගත්තාය. පහිලී මංගලෝර්, මාස් බාල්, ජීවන් යාත්‍රා, චත්‍රපති ශිවාජී වැනි සිනමාපටවල ඇය නිළියක වූවාය.

සිනමා පටවලට ගීත ගායනයෙන් සහායවීමට ගිය අවස්ථාවලදී වාර ගණනාවක් ඇය ප්‍රතික්ෂේප කෙරිණි. එවක සංගීත අධ්‍යක්ෂකවරුන්ට ලතාගේ ස්වරය වුවමනාවට වඩා හීනිවූ අතර වරෙක, වුවමනාවට වඩා තියුණු විය.

සිය පවුලට හිතැති මිතුරකු වූ විනායක් දමෝදර් කර්නාටකි ඇයට රැකියාවක් සොයාදීමට උනන්දු වූ අතර, මාස්ටර් විනායක් ආයතනය බොම්බාය නගරයට ගෙන ආ දිනවලදී ඇය බොම්බායට පැමිණියාය.

උස්තාද් අමන් අලි ඛාන්ගෙන් හින්දුස්ථානි සංගීතය උගත් යොවුන් ලතා 1943 දී ‘ගජාභාවු’ සිනමා පටයට සිය පළමු හින්දි ගීතය ගායනා කළාය. මේ අවධියේදී ප්‍රකට සංගීත අධ්‍යක්ෂකවරයකු වූ ගුලාම් හයිදර්ගේ ඇසුර ලැබීමෙන් ලතාගේ සංගීත ගමන්මග වඩාත් ශාස්ත්‍රීය සහ හරවත් විය.

‘ප්‍රේමසිරි කේමදාස චරිතාපදානය’ විචාරාත්මකව ගෙන එන එරික් ඉලයප්ආරච්චි කේමදාසගේ සංගීත සන්දර්භය මවු සංඥාවේ උත්තරීකරණයක් ලෙසින් දක්වයි. කේමදාසට අහිමි වූ උපන් තොටිල්ල ඔහු සිය සංගීතයෙන් සොයායන්නට වූ බව, දැක්වීම මෙහිදී ලතා මංගේෂ්කාර් හා සිය පියා විෂයෙහි අපට ගළපාගත හැකිය. පියාගෙන් අහිමි වූ සංගීත පෙළඹවීම ඇගේ අඩු වූ ආශාව විය. ඇයගේ සංගීත සංඥාව පීතෘමූලික එකක් වූවා විය හැකිය.

හයිදර් මහතාගේ මග පෙන්වීම යටතේ 1948 දී මජ්බූර් සිනමාපටය සඳහා ඇය ‘දිල් මෙරා තෝඩා’ නම් ගීය ගැයූ අතර, එය ඇගේ අනන්‍යතාව පළ කළ ගීය විය. 1949 දී ජනප්‍රිය රංගන ශිල්පිනී මධු බාලාට හඬ දෙමින් ‘මහල්’ චිත්‍රපටය වෙනුවෙන් ඇය ගැයූ ‘ආයේගා ආනේවාලා’ ගීය භාරතයේ ජනප්‍රියත්වයට පත්වූයේ ලතා එතෙක් කලක් සෙවූ තැන ඇයට උරුම කරදෙමිනි.

ඇය ගැයූ  ගීයේ නමින් එහි රගපෑ නිළියන් ජනයා අතර ප්‍රකට විය. 1949දී ‘ඒක් ති ලඩ්කී’ චිත්‍රපටය වෙනුවෙන් මීනා ෂෝරේ රංගන ශිල්පිනියට ඇය ගැයූ ‘ලාරා ලප්පා ලාරා ලප්පා’ ගීය කෙතරම් ජනප්‍රිය වූයේද යත්, එතැන් පටන් භාරතීය ජනයා මීනාව හඳුන්වා දෙන්නට වූයේ ලාරා ලප්පා ලෙසිනි.

ජ්‍යෙෂ්ඨ සංගීතඥයින්ගේ ඇසුර

ලතා මංගේෂ්කාර්ගේ ජීවිතය වූයේ සංගීතයයි. ඇය ඇසුරු කළේ සංගීතයට ලැදි පරිණත පිරිසකවයි.

සචින් දේව් බර්මන් හෙවත් එස්. ඩී. බර්මන්, රහුල් දේව් බර්මන් (ආර්. ඩී. බර්මන්) සලීල් චෞද්‍රි, ශංකර් ජයිකිෂන්, නවුෂාඩ්, මදන් මෝහන්, පණ්ඩිත් අමර්නාත් හුසන්ලාල්, ලක්ෂ්මිකාන්ත්-ප්යාරේ ලාල් වැනි සංගීත විෂයෙහි ප්‍රවීණයන්ගේ ඇසුර ලැබීමට ඇයට හැකිවිය.

 1950 දශකයේදී මදර් ඉන්දියා(1957), බව්ජි බව්රා(1952), දේව්දාස්(1955), චෝරි චෝරී(1956), මධුමතී(1958) වැනි සිනමාපට සඳහා ගීත ගායනයෙන් දායක වූ ලතා මංගේෂ්කාර් සොයා සංගීත අධ්‍යක්ෂකවරු පැමිණෙන්නට වූහ. එස්. ඩී. බර්මාන් වැනි සංගීත රචකයන් සඳහා ගී පටිගත කිරීමට ද ඇය යොමුවිය.

1958 දී ඇය පළමු ෆිල්ම්ෆෙයර් සම්මානය හිමිකරගත්තාය. ඒ, ‘මධුමතී’ චිත්‍රපටයට ගැයූ ‘ආජා රේ පර්දේසී’ ගීතය වෙනුවෙනි.

1955දී ලතා මරාති චිත්‍රපටවලට සංගීත රචනයෙන් දායක වූවාය. පසුව ඈ සිය බාල සොහොයුරා වූ, ප්‍රකට සංගීත අධ්‍යක්ෂක හ්‍රින්ද්‍යනාත් මංගේෂ්කාර් සමඟ එක්ව මරාති ගීත ගායනා කළාය. 1956 දී ‘එන්තන් කන්නලන්’ නම් දෙමළ ගීය ගායනා කළ ඇය, ක්‍රමයෙන් කන්ණඩ, මලයාලම් භාෂාවලින්ද ගායනයට යොමුවූවාය. සිය උපන් ගම සහ හැදුණු වැඩුණු මරාති සංගීතය ඇයට විවිධ භාෂාවලින් ගී ගායනයට මහෝපකාරී විය.

භාරතයේ ජනප්‍රිය ගීත

1960 දශකය වනවිට සිනමාපට පසුබිම් ගායනය සඳහා ලතා සිය භූමිකාව ඉදිරියට මෙහෙයවා තිබිණි.

‘ආප් කී නසරෝ නෙ සම්ජියා’, ‘නේනා බර්සෙ රිම් ජිම්’, ‘ලග් ජා ගලේ’, ‘තූ කිත්නේ බරස් කා’, ‘ආජා රේ පර්දේසී’, ‘කුච් නා කහෝ’, ‘ආජ් පිර් ජීනේ කී තමන්නා හේ’, ‘ගාතා රහේ මෙරා දිල්’ ආදී ගී ඒ අතර විය. රාග අනුව යමින් ගැයූ මොහේබෝල් ගයේ සාවරියා(1952), බටහිර සංගීත හුරුව අනුව ගැයූ අජීබ දාසතා හෙ යේ(1960), බජන් ආකාරයේ ගීයක් වූ අල්ලා තේරා නාම්(1961) ආදී ගී, 60 දශකයේ  ඇය ගැයූ සිනමා පසුබිම් ගී අතර ජනප්‍රිය විය.

මොහොමඩ් රාෆි, කිෂෝර් කුමාර්, හේමන්ත් කුමාර්, මහේන්ද්‍ර කපූර් ආදීහු ඈ සමඟ ගී ගායනා කිරීමට ලැබීම පවා භාග්‍යයක් ලෙසින් සැලකූහ.

1970-1980 කාලයේදී ඇය කිෂෝර් කුමාර් සමඟ ‘ආරාධනා’(1969) චිත්‍රපටයට ගැයූ ‘කෝරා කා ගර්’, ‘අන්ධි’(1971) සිනමාපටයෙහි ‘තෙරෙ බිනා සින්දගී සේ’, ‘අභිමාන්’(1973)හි ‘තෙරේ මේරේ මිලනි කී යේ ’, ‘ගර්’(1978)හි ‘ආප්කි ආකෝමේ කුච්’  වැනි ගී මගින් භාරත සිනමාවේ සිය ලකුණ සනිටුහන් කළාය.

80 දශකයේදී ලක්ෂ්මීකාන්ත් ප්යාරේලාල් නම් සංගීත අධ්‍යක්ෂකවරයා සමඟ ගොඩනගා ගත් සංගීත ආස්ථානය, වර්තමානයේ පවා ඉන්දීය ජනයා උත්කර්ෂයෙන් වැළඳගන්නා ගී සමුච්චයක් දක්වා ගොඩනැගිණි. 

අනූ මලික්, ඒ. ආර්. රහුමන්, ජතින් ලලිත් වැනි 1990 දශකයේ සංගීත අධ්‍යක්ෂකවරුන් සමඟ කටයුතු කළ ලතා මංගේෂ්කාර් බොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට වූ, සිනමා ශාලා රසිකයන්ගෙන් පිරීතිරී ගිය, ‘දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ’, ‘හම් ආප්කේ හේ කෝන්’, ‘දිල් සේ’, ‘රන්ග් දෙ බසන්ති’ චිත්‍රපටවල ගී ගායනා කළාය. මෙම ගී ඊට පණ පෙවූ නිළියන්ගේ ස්වභාවට උචිතම ස්වර ලෙසින් සිනමාලෝලීහු ද පිළිගත්හ.

සංගීත අධ්‍යක්ෂකවරියක සහ නිෂ්පාදිකාවක ලෙස

ඇගේ මලනුවන් හ්‍රින්ද්‍යනාත් සමග එක්ව ‘චලා වහි දේස්’(1979), ‘රාම් රතන් දන් පායෝ’(1983) සහ ‘ශ්‍රද්ධාංජලී’(1994) මැයෙන් ඈ සංගීත ඇල්බම කිහිපයක්ද නිකුත් කළාය.

‘රාම් රාම් පව්හනේ’(1963) ආදී මරාති චිත්‍රපට කිහිපයක සංගීත අධ්‍යක්ෂකවරිය ලෙස කටයතු කළ ලතා මංගේෂ්කාර්, ‘වාදල්’(1953), ‘ජාන්ජර්’(1953) වැනි චිත්‍රපට නිෂ්පාදනයෙන් චිත්‍රපට නිෂ්පාදිකාවක බවටද පත් වූවාය.

සුවිශේෂ අවස්ථා

ඇය ගැයූ දේශාභිමානී ගීතයක් වන ‘ඒ මේරේ වතන් කී’ ගීය, එවක ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු තුමා කඳුළු රැඳි දෙනෙතින් අසා සිටීම ඇගේ ගායනයට කළ ප්‍රශංසනාවක් බඳු විය. ‘ලතා ඔබ මගේ ඇස්වලට කඳුළු ගෙන ආවා’ යැයි ලතා හමුවූ නේරුතුමා පැවසීය.

ඉන්දියාවේ ප්‍රාන්ත භාෂා 31 කින් සහ විදෙස් භාෂාවන්ගෙන්ද ගීත 30,000කට වැඩි සංඛ්‍යාවක් ගායනා කර ඇති ලතා මංගේෂ්කාර් 1974දී වැඩිම චිත්‍රපට ගණනක ගී ගැයූ සංගීත ශිල්පිනියයි.

ලතා මංගේෂ්කාර් සිංහල භාෂාවෙන්ද ගීතයක් ගායනා කර තිබේ.

“ශ්‍රී ලංකා... මා ප්‍රියාදර ජයභූමි” ගීතයේ මුල් ගායිකාව වන්නේද ලතා මංගේෂ්කාර් මහත්මියයි. ඇය විසින් මෙම ගීතය ගායනා කරන ලද්දේ ටී. සෝමසේකරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සැඩ සුළං’ චිත්‍රපටය වෙනුවෙනි. මෙය ආනන්ද සමරකෝන් මහතාගේ ගේය පද රචනයකි.

ඇයගේ මලණුවන් මෙන්ම නැගණිය වූ ආශා බෝස්ලේද භාරත සංගීත ක්ෂේත්‍රයේ අනන්‍යතාව සනිටුහන් කිරීමට සමත් වූවාය.

2001 වසරේදී ඇයට ඉන්දීය රජය විසින් ‘භාරත රත්න‘ සම්මානය පිරිනමන ලදී. ඉන්දියාවේ තෙවැනියට උසස්ම සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් 1969දී ඇය පිදුම් ලබා තිබේ.  ෆිල්ම්ෆෙයාර් ඇතුළු විවිධ දේශීය සහ විදේශීය සම්මාන උලෙළවලදී ඇයට 40කට අධික සම්මාන ප්‍රමාණයක් ලැබී තිබේ.

ඉන්දියාවේ, ශිවාජී විශ්වවිද්‍යාලය, කොල්හපූර් විශ්වවිද්‍යාලය, පූනෙයි විශ්වවිද්‍යාලය, හයිද්‍රබාද් විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවලින් ලතා මංගේෂ්කාර් මහත්මියට සංගීතය පිළිබ‍ඳ ආචාර්ය උපාධිය පිරිනමා ඇත.

ඩිල්ෂානි චතුරිකා දාබරේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top