Feb 29, 2020

ජවිපෙ සහ හමුදාකරණය

“රටේ ජනාධිපතිවරයා හිටපු හමුදා නිලධාරියෙක්. ඊට අමතරව, ආරක්ෂක ලේකම්වරයාත්, කොළඹ වරාය හා ගුවන් තොටුපල ප්‍රධානීනුත් හිටපු හමුදා ප්‍රධානීන්. මීට අමතරව රැකියා ලක්ෂය ලබාදීම, වී මිලදී ගැනීම් සහ රථ වාහන පාලනය සඳහා පත්කර ඇත්තේත් හමුදාවයි. සාමාන්‍ය තත්ත්වයක් තුල රටක දෛනික සිවිල් කටයුතු මෙහෙයවීම සඳහා හමුදා භාවිතා කරන රටක් ගැන මින් පෙර අසා තිබෙනවාද?”

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙකුවන පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පසුගිය පෙබරවාරි 25 වන දින ඔහුගේ “ට්විට” ගිණුමෙහි ඉංග්‍රීසියෙන් තැබූ සටහනක මෙය මගේ සිංහල තේරුම් ගැනීමය. එය ඔහුගේ අදහසෙහි දළ සම්පිණ්ඩනයකි. මේ හා සම්බන්ධ මෙය තව දුරටත් තහුරු කළ ඔහුගේ තවත් ට්විට සටහන් දෙකක් විය.

ඉන් දිනකට පසු වෙනත් අයෙකු ඇයගේ “ට්විටර්” ගිණුමෙහි කොල්ලුපිටිය-දෙහිවල මුහුදුබඩ මාර්ගයේ “අද සවස පැවති අධික රථවාහන තදබදයට ස්තුතියි ඔබට, හමුදා සෙබළුනි” යැයි සටහනක් තබා තිබිණ. කොළඹ නගරයේ රථවාහන පොලීසියේ සහායට යැයි හමුදාවට අමතරව නාවික හමුදාවේ කාණ්ඩයක් සහ ගුවන් හමුදාවේ කාණ්ඩයක්ද එක්කර ඇත.

සිවිල් ජීවිතයට හමුදාව හවුල් කිරීම

military police sri lanka

මෙලෙසින් සිවිල් ජීවිතයට හමුදාව හවුල් කිරීම ඇත්තටම මේ සමාජය බරපතල අවධානයක් යොමු කළ යුතු දේශපාලන කාරණාවකි. රටක් හමුදාකරණය වෙනවාය කියන්නේ ඒ ප්‍රමාණයට රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කෙරෙනවාය කීම ය. හමුදාකරණය යනු ඡන්දදායකයාට වග කියන්නට බැඳී නැති රාජ්‍ය යාන්ත්‍රණයේ අධිකාරවාදී බල ආයතනයකට සමාජය පාලනය කිරීමේ අවසරය ලබා දීමකි. ජනතාව විසින් ඡන්දයෙන් පත්කරන ආණ්ඩු පවා එවැනි ගමන් යන්නේ ඔවුන්ට ජනතාව ඉල්ලා සිටින, අනාගතයට අවශ්‍ය විසඳුම් ලබාදීමේ හැකියාවක් හා වැඩපිළිවෙලක් නොමැති විටය. “ජාතික සංවර්ධනය” වෙනුවෙන් වැදගත් යෝජනා ක්‍රියාවට දැමීමට ඇති නොහැකියාව නිසා ය. ඒ නොහැකියාව හා නුවූවමනාව සමග අතිශය දූෂිත වංචනික රාජ්‍ය පාලනයක් නඩත්තු කිරීමට හමුදා සහාය ගැනීම හමුදාකරණයට අත්තිවාරමකි. රාජ්‍ය පාලනයේ යෝධ දූෂණ හා කුරිරු මර්දනය හැමවිට නිවුන් සාධකය.

එවැනි පාලනයකට පසුබිම සැකසෙන්නේ ආර්ථික හා සමාජීය සුභසාධනයෙන් බහුතරයක් ඉවතට විසිවෙන විටය. එසේ එළියට වැටෙන බහුතර ජනතාව දේශපාලන බලය හා ගැට ගසා තබා ගැනීමට දේශපාලන නායකයින්ට අත්‍යාවශ්‍ය වන්නකි. ඔවුනට “සංවර්ධනාත්මක” විසඳුම් නැති හෙයින් පහසු විසඳුමක් ලෙස ඉදිරිපත් කෙරෙන්නේ සමාජයේ අතරමංවන බහුතර වාර්ගික හා ආගමික ජනතාවගේම ඓතිහාසික උරුමයන් සඳහා දෙනු ලබන ජාතිවාදී වටිනාකම්ය. දේශපාලන පක්ෂ අතර එය තරගකාරීව තහවුරු කෙරෙන බහුතරයගේ මතවාදයක් බවට පත් වන්නේ ඡන්ද වෙනුවෙනි. ඒ වෙනුවෙන් සුළුතර වාර්ගිකයින් හා ආගමිකයින් බහුතර අනන්‍යතාවයට අනතුරුදායක යැයිද ඊට එරෙහිව පෙනී සිටීම “දේශප්‍රේමි” යැයිද බහුතර අධිපති මතවාදයක් හදනු ලබන්නේය.

හිටපු ලුතිනන් කර්නල් ගෝඨාභය

EHcutveUEAMTriO
මෙය අපේ රටේ මැතිවරණ දේශපාලනයට ආදේශ කළ විට, එ.ජා.පය සහ ශ්‍රී.ල.නි.ප පමණක් නොව, 60 දසකය වන විට සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂද බහුතර සිංහල-බෞද්ධ මතවාදයට ගාල්වූ හැටි තේරුම් ගත හැකිය. මැතිවරණ කොට්ඨාශ භූගෝලීය පදනමින් නිර්ණය කෙරෙන විට බහුතර ආසන සංඛ්‍යාවකින් සිංහල-බෞද්ධයින් මන්ත්‍රීවරුන් ලෙස පත්කර ගැනීමේ හැකියාව තිබිණ. එනිසා ඒ සංඛ්‍යාවෙන් වැඩි සංඛ්‍යාව දිනා ගැනීම සඳහා දේශපාලන පක්ෂ වැඩි වැඩියෙන් සිංහල-බෞද්ධ දේශපාලනයකට ගොඩ විය. ජ.වි.පෙ උපත ලබන්නෙම ඒ සිංහල-බෞද්ධ බහුතර දේශපාලන මතවාදයෙහි ය. ප්‍රධාන ධාරාවෙහි වෙනත් දේශපාලන පක්ෂ විසින් වෙනත් විකල්ප මතවාදයක් සමාජගත කිරීමට ගන්නා වැදගත් උත්සාහ නොමැති කල, සිංහල-බෞද්ධ ආධිපත්‍ය, දේශපාලන බලය හා රාජ්‍ය යාන්ත්‍රනයේ අධිකාරවාදී බලය ලෙස සමාජගත වන්නේය. ආරම්භයේ සිට එයට ශ්‍රී.ල.නි.ප විසින් දේශපාලන කර්තෘත්වයක් දෙනු ලැබිණ. ඒ සමග දසක ගණනාවක් පුරා රාජ්‍ය යාන්ත්‍රණය සංඛ්‍යාත්මකව පමණක් නොව මතවාදීමය වශයෙන්ද සිංහල-බෞද්ධ වන්නේය. පොලීසිය හා ත්‍රිවිධ හමුදාවද ඊට අයත් වන්නේය.

හමුදාකරණය ගැන ජ.වි.පෙ මන්ත්‍රී බිමල් රත්නායකගේ අඳෝනාව ගැන කතා කරන්නට සිදුවන්නේ එවැනි දේශපාලන පසුබිමකය. අවුරුදු 25 ට වැඩි කාලයක් පුරා අතිශය ම්ලේච්ඡ යුද්ධයක් ලෙස දිගු ඇදුණු වාර්ගික යුද්ධය ගැන කතාව ඇත්තේද ඒ සිංහල-බෞද්ධ පසුබිමෙහිම ය. ඒ වෙනුවෙන් සිංහල-බෞද්ධ ආධිපත්‍ය හැදීම සමග සිවිල් පරිපාලන තනතුරක් වන ආරක්ෂ අමාත්‍යාංශ ලේකම් ධූරය සඳහා හිටපු ඉහළ හමුදා නිලධාරීන් පත් කිරීම ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය හෝ ප්‍රශ්න කළේ නැත. එබැවින් ජනාධිපති ජයවර්ධනට කර්නල් සී.ඒ. ධර්මපාල, ජෙනරාල් ඩී. එස් ආටිගල, ජෙනරල් සිරිල් රණතුංග පත් කිරීමේ කිසිදු අභියෝගයක් නොවුනි. 1993 මැයි පළමු දින සිය දිවි නසා ගැනීමේ විමුක්ති කොටි ප්‍රහාරයෙන් පසු ප්‍රේමදාස ජනාධිපතිගේ ධූර කාලය සම්පූර්ණ කළ ඩී. බී. විජේතුංග ජනාධිපති ගුවන් හමුදා ප්‍රධාන මාෂල් වෝල්ට ප්‍රනාන්දු සහ ජෙනරල් හැමිල්ටන් වණසිංහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලෙස පත් කරන්නේ සමාජය ඒ සියලු පත්වීම් අනුමත කළ හෙයිනි. හිටපු ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ 2005 නොවැම්බර 21 වන දින ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස පත් කිරීම ජ.වි.පෙ සමග අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රශ්න නොකළේ ඔවුන්ට එය ප්‍රශ්නයක් නොවන බැවිනි.

එළෙසින් අවසන් කෙරුණු යුද්ධයෙහි විශේෂයෙන් අවසාන අවුරුදු කිහිපය “සිංහල-බෞද්ධ” දේශප්‍රේමි යුද්ධයක් වෙනුවෙන් දකුණේ සමාජය තියුණු ලෙස සූදානම් කෙරුණු අවුරුදු කිහිපයක් විය. ඒ වෙනුවෙන් එදා ජ.වි.පෙ දායක වූයේ සිංහල-බෞද්ධ දේශප්‍රේමයක් වෙනුවෙනි. ඒ වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුවේ සියලු අනුග්‍රහ සමගින් හමුදා කඳවුරුවල සිංහල-බෞද්ධ දේශප්‍රේමී උත්තේජකයින් ලෙස ජ.වි.පෙ නායකයෝ දේශන පැවැත් වූහ. යුද්ධය සම්බන්ධ විචාරාත්මක අදහස් දැරූවන් “එන්.ජී.ඕ කාක්කන් - ඩොලර් කාක්කන් - සිංහල කොටි - කොටි ඔත්තුකරුවන්” යැයි නම් කරමින් දකුණේ සමාජය යුදවාදී සිංහල-බෞද්ධකරණයට ඇදගෙන යාමේ ලොකුම දේශපාලන කොන්තරාත්තුව කර ගැසුවේ බිමල් ඇතුලු ජ.වි.පෙ ය. එකල ඔවුන්ට “සුදු වෑන්” ප්‍රශ්නයක් නොවුනි. මාධ්‍යවේදීන් පැහැර ගැනීම, වධ දීම, අතුරුදහන් කිරීම, ඝාතනය කිරීම ජ.වි.පෙට කිසිදු ප්‍රශ්නයක් නොවුනි. ඒ හැමකක්ම ඔවුන්ට යුද්ධය වෙනුවෙන් කොටි දඩයම් කිරීමේ තවත් ක්‍රියාන්විත විය. යුද්ධය සඳහා ඔවුන් ගොඩනැගූ සිංහල-බෞද්ධ අධිපතිවාදී මතය රටම හමුදාකරණය කිරීමේ මතවාදයක් යැයි ඔවුන් එදා පිළිගත්තේ නැත. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන් හෙළ උරුමයට ඉහළින් ඉන්නේ යැයි යුද්ධය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ඉහළට ඔසවා තබන්නටය. එනිසා ජ.වි.පෙ නායකයෝ රාජපක්ෂ පාලනයෙන් ස්වාධීනව යුද්ධයේ සිංහල-බෞද්ධ වාසිය තමන්ට ගත හැකි යැයි ගණන් හැදූහ. පශ්චාත් යුධ වසර කිහිපයේ හමුදාකරණය සඳහා වූ දේශපාලන දිගුව තේරුම් ගැනීමට හැක්කේ ජ.වි.පෙ ඉතා ගෝසාකාරීව ඉටු කළ සිංහල-බෞද්ධ දේශපාලන කාර්ය හරහා ය.

රාජපක්ෂ ජනාධිපති 2010 ජනවාරි ජනාධිපතිවරණයෙන් ජය ගැනීම සහතික වන්නේ ජ.වි.පෙද හවුල්වී හැදූ සිංහල-බෞද්ධ මතවාදය හේතුවෙනි. එය යුද්ධය දිනීමේ කීර්තිය සමග බැඳුනකි. ඒ සිංහල-බෞද්ධ මතවාදයම යොදා ගනිමින් රාජපක්ෂ ජනාධිපති පරාජය කිරීම සඳහා යුද ජයග්‍රහණයට අයිතිවාසිකම් කිව හැකි සිංහල-බෞද්ධ වීරයෙකු ඉදිරිපත් කිරීමේ කොන්තරාත්තුව ජ.වි.පෙ බාර ගත්තකි. යුද්ධය අවසන් කෙරුණු විගස ජනාධිපති රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ සමග හමුදාපති ධූරය පිළිබඳව ඇතිකරගත් විරසකය සමග හමුදාවෙන් ඉවත් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා යුධ වීරයෙකු ලෙස විපක්ෂයේ පොදු ජනාධිපති අපේක්ෂකයා වූයේ ජ.වි.පෙද හවුල් වීමෙන්ය.

රාජපක්ෂ පරාජය කිරීම වෙනුවෙන් හිටපු හමුදාපති කෙනෙකු විශේෂයෙන් යුධ වීරයෙකු ලෙස සමාජය ඉදිරියට ගෙන ඒමේ කිසිදු අවදානමක් ජ.වි.පෙ සහ විපක්ෂයේ කිසිවකුට නොවුනි. 2009 නොවැම්බරයේ සහ දෙසැම්බරයේ මා ඒ අවදානම ගැන අවධාරණය කළ ලිපි කිහිපයක් ලියූ විට, රාජපක්ෂ ජනාධිපති පරාජය කිරීම ගැන අයෙකු මට කීවේ “ඌරගෙ මාළු ඌරගෙ පිටේ තියල තමයි කපන්න ඕනෙ” කියා ය. තවත් අයෙකු කීවේ “පැරණි මිත්‍රයාට හොරෙන් කfඩි යන්න එපා, කෙළින්ම යන්න” කියා ය. විධායක ජනාධිපති ධූරය සඳහා ෆොන්සේකා තේරීමෙහි වූ දේශපාලනය ඔවුන්ට අදාල නොවුනි. රාජපක්ෂ පරාජය කිරීම සඳහා ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය ඔසවනු ලැබූයේ ඔහු පූර්ණ හමුදා ඇඳුමින් ඉන්නා ඡායාරූප සමගින් ය. ජ.වි.පෙ ඉතා ක්‍රියාශීලීව හවුල් වූ ප්‍රචාරක කාර්යන් විසින් සමාජගත කළ ප්‍රධානම මතය වූයේ සිවිල් පුරවැසියෙකු වන රාජපක්ෂ ජනාධිපති යටතේ වූ යෝධ දූෂණ නැති පිරිසිදු විනයක් ඇති පාලනයක් ජෙනරාල් ෆොන්සේකා ජනාධිපති කිරීමෙන් අරඹන බවය.
විධායක ජනාධිපති ධූරයට හමදා නිලධාරීන් පත් නොකළ යුතු යැයි තර්ක කළ මගේ එක් ඉංග්‍රීසි ලිපියක (The Presidential “merry go round” that stops where it starts) 2009 දෙසැම්බර 01 වන දින මම මෙවැනි සඳහනක් කර ඇත්තෙමි.

“......තමන්ගේ දේශපාලන ඉදිරි දර්ශනය ගැනවත් පැහැදිලි අදහසක් නැති, මානුෂිකත්වයට එරෙහි සහ යුධ අපරාධ සම්බන්ධ චෝදනා ඇති, යුධ මානසිකත්වයකින් පදම්වූ, අධිකාරී බලය වෙනුවෙන් ගැටුම් හදා ගත් දෙශපාලනයට ආධුනිකයෙකු වන මෙවැන්නකු මෙවැනි විධායක බලයකට ඔසවා තැබීමේ අරුතක් නැතුවාට වඩා එය අනතුරුදායකද වන්නේය.”

ඔවුන් විසින් ජෙනරාල් ෆොන්සේකා ඉදිරිපත් කරමින් සමාජයෙහි තහවුරු කළ මතය වූයේ රටේ ඉහළම විධායක තනතුරට වූවත් හමුදා නිලධාරියෙකු පත් කිරීමේ කිසිදු දොසක් නැත යන්නය. එය සමාජය හමුවේ සාධාරණය කෙරුවේ ෆොන්සේකා සිංහල-බෞද්ධ නායකයෙකු යැයිද සහතික කරමින්ය. එවැනි දෙමුහුන් දේශපාලන ව්‍යාපාර හමුදා කොටස් දේශපාලන ක්‍රියාකාරිත්වයටද හවුල් කරගනු ලබන්නේය. එය ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයෙහි කැපී පෙණුනකි. එවිට සිවිල් සමාජයේ දේශපාලන වගකීම් හමුදා පිරිස් සමග බෙදා ගැනීමක් සිදුවීම වැළකිය නොහැක. එතැනින් නතර නොවුනු ජ.වි.පෙ 2010 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය යැයි ජෙනරාල් ෆොන්සේකා සමග හවුලේ තරග වැදුණි.
ජ.වි.පෙ හවුල්වී එළෙසින් හැදූ හමුදාකරණ මතවාදයෙන් රාජපක්ෂලා පළමු ප්‍රයෝජන ගත්හ. ඉතා විවෘතව විදේශ සේවාව හමුදාකරණය කරනු ලැබූයේ 2010 න් පසු රාජපක්ෂ ආණ්ඩුවෙනි. විදේශයන්හි හා එක්සත් ජාතීන්ගේ ඉතා වැදගත් ප්‍රධාන තනතුරු සඳහා විදේශ රාජ්‍ය සේවාවෙහි පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවට යුද්ධයේ ක්‍රියාන්විතව සිටි ඉහළ අණ දෙන හමුදා නිලධාරීන් පත්කර යවනු ලැබිණ. ජනාධිපතිවරණයේදී ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස කර ගැසූ සැවොම සමග ජ.වි.පෙද එවැනි පත්වීම් අනුමත කිරීමට සිංහල සමාජය හැඩ ගස්වා තිබිණ. එබැවින් ජ.වි.පෙද ඒ කිසිදු පත්වීමක වරදක් දුටුවේ නැත.
වාන් දොර ඇරියට පසු ජලය ගැලීම නතර කළ නොහැක.

වාන් දොර ඇරියට පසු ජලය ගැලීම නතර කළ නොහැක. දෙවන රාජපක්ෂ යුගයේ හමුදා නිලධාරීන් සිවිල් තනතුරු වලට පත් කිරීම හා සිවිල් කටයුතු සඳහා හමුදාව හවුල්කර ගැනීම මේ සමාජයේ සාමාන්‍ය රීතියක් බවට පත් වූයේ ජ.වි.පෙද ඉහළින්ම දායකවී ආණ්ඩු පක්ෂ විපක්ෂ සියල්ලන් එකතුවී හැදූ දේශප්‍රේමී මතවාදය සමගය. පළාත් සභා සඳහා හිටපු හමුදා නිලධාරීන් ආණ්ඩුකාරවරුන් ලෙස පත් කිරීම එනිසා සාමාන්‍ය දෙයක් විය. උතුරු-නැගෙනහිර සිවිල් පරිපාලනය එළෙසින් හමුදා විධානයන්ට යටත් කිරීම දකුණේ සිංහල-බෞද්ධ මානසිකත්වයට අවුලක් නොවුනි. ජ.වි.පෙටද අවුලක් නොවුනි. ජනප්‍රිය පාසල් 23 ක විදුහල්පතිවරුන්ට විදුහල්පතිනියන්ට 2013 දී ස්වේඡා හමුදාවේ කර්නල් පදවි පිරිනැමුණු විට සහ තවත් මධ්‍ය මහ විද්‍යාල හා මහ විද්‍යාල 4,000 ක විදුහල්පතිවරුන්ට හා විදුහල්පතිනියන්ට හමුදා පත්වීම් දිම සඳහා කැඳවීමේ ලිපි නිකුත් කිරීමට තිබූයේ තැන තැන නැගුණු මැසිවිලි පමණි. සිවිල් පාලනයට කෙරෙන එවැනි හමුදාමය මැදිහත්වීම් බරපතල අනතුරුදායක ඇඟවීම් යැයි ජ.වි.පෙ ඇතුලු ප්‍රධාන විපක්ෂය සමාජයට කීවේ නැත.

ජ.වි.පෙ නැගූ යම් විරෝධයක් ඇසුණේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා තෝරාගනු ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හමුදාව විසින් නායකත්ව පුහුණු වැඩ සටහන් පැවැත්වීමට තීන්දු කළ විටය. එහිදී නිහඬව සිටින්නට නොහැකි ඉතා ප්‍රබල හේතුවක් ජ.වි.පෙට තිබිණ. ඒ වනවිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ (අන්තරේ) බලය ඩැහැගෙන තිබූ පෙරටුගාමීන් එයට විරුද්ධවන විට ජ.වි.පෙට නිහඬ සිටිය නොහැක. එකල දෙගොල්ලන් අතර අන්තරේ බලය සඳහා තියුණු තරගයක් පැවති යුගයක් වූයෙනි. එහෙත් විශ්ව විද්‍යාල සිසුන්ට සීමා කෙරුණු ඒ විරෝධය දෙගොල්ලන්ම නොපමාව අත හැර දැමූහ.

ඒ වනවිට මේ සිංහල සමාජයේ ආණ්ඩු පාලනය සඳහා හමුදාව හවුල්කර ගැනීම විය යුත්තක් යැයි පුළුල් පිළිගැනීමකට ලක්ව තිබිණ. රටේ ඉහළම ව්‍යවස්ථාපිත ධූරය වන විධායක ජනාධිපති ධූරයට හිටපු හමුදාපතිවරයෙකු අවශ්‍යයැයි කියූ පසු, ඉන් පහළ ධූර සඳහා හමුදා නිලධාරීන් නුසුදුසු යැයි තර්ක කිරීමේ අරුතක් නැත. අවාසනාවකට හෝ ජෙනරාල් ෆොන්සේකා ජනාධිපති වූවානම්, මේ රට අදට වඩා බරපතල ලෙස හමුදාකරණය වීමේ අනතුරුදායක ඉඩක් තිබිණ. හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා ජනාධිපති ධූරයට ඉදිරිපත් කළ ජ.වි.පෙට ඊට පහළ ධූරයක් ඉසිලූ ගෝඨාභය රාජපක්ෂගේ අපේක්ෂකත්වයට හමුදා සාධකය මත විරුද්ධ වන්නට නොහැකි වූයේ හමුදාකරණය වෙනුවෙන් ඔවුන් සෘජුව දායකවූ බැවින්ය. එබැවින් බිමල් රත්නායක දැන් “ජනාධිපති හිටපු හමුදා නිලධාරියෙක්” යැයි කීම කුහක විහිළුවකි.

මේ සමාජය මෙලෙසින් හමුදාකරණයට ලක්වීම පිළිබඳව ජ.වි.පෙට පැවරෙන වගකීමෙන් අත සෝදා ගැනීමට ඔවුන්ට නොහැක. කළ වැරදි ගැන කතා නොකර සුදනන් ලෙස පෙනී සිටීම ජ.වි.පෙ සම්ප්‍රදායකි. නමුත් හමුදාකරණය පිළිබඳ වගකීමෙන් මිදෙන්නට නම්, පසුගිය අවුරුදු 14 ක පමණ කාලයේ හමුදාකරණය වෙනුවෙන් තමන් ගත් දේශපාලන තීන්දු සියල්ල වැරදි යැයි ජ.වි.පෙ පැහැදිලිව සමාජයට කිව යුතුය. ඒ බරපතල දේශපාලන වරද මග හැර හමුදාකරණය මේ ඊයේ පෙරේදා ආරම්භ කෙරුණක් සේ කතා කිරීමට ජ.වි.පෙට ඇත්තටම අයිතියක් නැත.

කුසල් පෙරේරා
2020 පෙබරවාරි 29

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top