Mar 11, 2020

ඇම්ඩා ගේ “එදා වේල ටුවර්ස්” කරත්තය Featured

ඊයේ (මාර්තු 10) දහවල කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට විදේශයෙන් පැමිණි ශ්‍රී ලාංකික පිරිසක් වීදුරු කාමරයක හිර කර තැබූ සිදුවීමක් සජීවී විඩියෝ පටයක් ලෙස ෆේස් බුක්හි විශාල වශයෙන් බෙදා ගනු ලැබිණ. අතිශය අමානුෂික ලෙස ගුවන් තොටුපල බලධාරීන් ඔවුන්ට සැළකූ ආකාරය ඉන් ප්‍රදර්ශනය කෙරුණි.

පැය ගණනක ගුවන් ගමනකින් පසු කුඩා දරුවන් හා බඩු මලු කරගසා ගෙන පැමිණි මොවුන් කොටුකර තබනු ලැබූයේ කිසිදු අවම පහසුකමක් හෝ නැතිවය. වල් සතුන් කූඩුකර තබන්නාක් ලෙසිනි. වායු සමීකරණය කෙරුණු වීදුරු කාමරයක එවැනි පිරිසක් හිරකර තැබීමම කිසිදු වැදගත් හා වගකීමක් ඇති තීන්දුවක් නොවුනි. මෙවැනි වසංගත තත්ත්වයක එක් ආසාධිතයෙතු එහි සිටියේ නම් කෙරෝනා වයිරසය ඒ හිර කෙටුණු කාමරයෙහි බොහෝ දෙනෙකුට බෝවීමට විශාල ඉඩක් ඉන් සකසා තිබිණ. වෙහෙසට පත්ව සිටි ඔවුන් ලක් කරනු ලැබූයේ කිසිදු පිළිගත් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙතකට නොවුනි. ඒ සිද්ධිය පිළිබඳව වැඩි තොරතුරු ලබා ගැනීමට මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට මා කතා කළ විට ඔවුන් කියූවේ ඒ ගැන තොරතුරු අසන්නට ගුවන් තොටුපලේ ඉහළ පෙල නිලධාරීන් කිසිවකු සොයා ගත නොහැකිවූ බවය.

මෙම විඩියෝව අපගේ සමාජයේ “මනුස්සකම” සමග ආණ්ඩුවේ අසාර්ථකත්වය මැනවින් ප්‍රදර්ශනය කෙරුවකි. එම විඩියෝවට ෆේස්බුක්හි අදහස් දැක්වූවන් අතිශය අමනුස්ස, අශීලාචාර, කුරිරු සටහන් තබා තිබිණ. එළෙස පැමිණි ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අයිතියක් නැතැයි බොහෝ දෙන කියා තිබුණි. රාජපක්ෂ විරෝධීන් කියා තිබුණේ ”උඹලා ගෝඨාට ඡන්දය දෙන්නට කිව්ව නිසා උඹලට ඔහොම වෙලා මදි” යැයි කියාය. තවත් අය කියා තිබුණේ “රට ගිහින් කොරෝනා බෝ කර ගත්තනම් එහේම හිටපන්” කියා ය. තවත් අයගේ සටහන් මෙහි උපුටා දැක්වීමට නොහැකි තරම් අසික්කිතය. ඔවුන්ගේ මව හෝ පියා හෝ සහෝදරයෙකු සහෝදරියක එහි සිටියේ නම් එවැනි කුණුහරුප ඔවුන් නොලියනු ඇත. මේ සමාජයේ “මනුස්සකම” එබඳුය.

දැනට පැමිණ ඇත්තේ දකුණු කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේ සිටි ලාංකිකයින් යැයි මාධ්‍ය වාර්තා කර තිබිණ. ඔවුන් ඒ රටවල කඹුරා එවන විදේශ විනිමය නොවන්නට මේ රට බංකොලොත් රටක් බැව් ඔවුන්ට අපහාස කරන, ඔවුන්ට විරුද්ධවන අයට අමතකව ඇත. මේ රටට අවශ්‍ය fඖෂධ ආනයනය කරන්නටත් ඔවුන් ඒ රටවල උපයන මුදල් අවශ්‍ය බැව් මේ ආත්මාර්ථකාමීන් අමතක කර ඇත. එතරම්ම මෙරට බහුතර ජනතාව අවස්ථාවාදී අමනුස්සයින්ය. එවගේම ඔවුන්ට ඕනෑම අවස්ථාවක මේ රටට පැමිණීමට අයිතියක් ඇති බවත්, පැමිණි විට ඔවුන් ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස බාර ගැනීමට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රජයට වගකීමක් හා බැඳීමක් ඇති බවත් මේ ආත්මාර්ථකාමී අඳබාලයන් දන්නේ නැත.
ආණ්ඩුව ප්‍රතික්‍රියා දක්වන්නේ එවැනි අමන පිරිස් වලටය. වැලිසර ලාදූරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට ආණ්ඩුව ගත් තීන්දුවට විරුද්ධ වූයේත් ලෝගු, චීවර පැළඳ සිටියත් මෙවැනිම ආත්මාර්ථකාමී අඳබාල පිරිසකි. ආණ්ඩුව ඊළගට තෝරා ගන්නේ මඩකළපුවෙහි පෞද්ගලික විශ්ව විද්‍යාලය හා කන්දකඩුව නැගෙනහිර පුනරුත්තාපන කඳවුරය. මේවා කටුනායක සිට අවම පැය 08 ක දුර, ඉතා වෙහෙසකර බස් ගමන් යා යුතු ප්‍රදේශ ය. සාමාන්‍ය දැනුමක් ඇතිවුන් නිරෝධායනය සඳහා එවැනි ඈත දුෂ්කර ප්‍රදේශ තෝරන්නේ නැත. නිරෝධායන මධ්‍යස්ථාන පැවතිය යුත්තේ ඉක්මන් ගමන් බිමන් යා හැකි, සියලු පහසුකම් අත ළඟ ඇති ප්‍රදේශයක ය.

මේ සියල්ලෙන් එක දෙයක් ඉතා පැහැදිලිය. මේ ආණ්ඩුව ඒ වෙලාවට මොනවා හෝ අහුලාගෙන අලෙවි කරණ ඇම්ඩා ගේ “එදා වේල ටුවර්ස්” කරත්තය වැනිය. මෙවැනි වසංගතයකට මුහුණ දීමේදී අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් කාර්යක්ෂමව යොදා ගැනීමේ සැළසුමක් හා හැකියාවක් තවමත් ආණ්ඩුවට නැත.

චීනයේ වූහාන් ප්‍රාන්තයේ කොරෝනා වයිරසය පැතිරීම සම්බන්ධ පළමු ප්‍රවෘත්ති පළ වූයේ පසුගිය දෙසැම්බර අවසානයේ ය. එය සීඝ්‍රයෙන් චීනයේ පැතිර යාමත් එහි මරණ සංඛ්‍යාව ඉහළ යාමත් චීනය සමග ගනුදෙනු කරන බොහෝ රටවල දැඩි අවධානයට ලක් වූවකි. සති දෙක තුනක් ඇතුළත තවත් රටවල් 12 ට කොරෝනා වයිරසය පැතිර යාමත් සමග එය ලෝ පුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයකට හේතු වන්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළේය. ඊට දින 04 ට පෙර ජනවාරි 27 වන දින ලංකාවේ පළමු කොරෝනා වයිරස් රෝගියා හමුවිය. ඇය චීන කාන්තාවක් වූවාය. ඉන්පසු ආසාධිත රෝගීන් 12 කු හමු විනැයි විටින් විට වාර්තා තිබිණ.
පළමු රෝගියා හමුවීමේ දින සිට ඊයේ (මාර්තු 10) කටුනායක ඉතාම අවලස්සණ සිදුවීම දක්වා මාසයකුත් සති දෙකක් ගෙවී ගොස් තිබිණ. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඒ වන විට මාසයකුත් දින 10 ක් ගෙවී තිබිණ. මේ කාලය තුල කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ආණ්ඩුව ගෙන තිබූ පියවර මොනවාද? ජනතාව දැනුවත් කරන්නට පියවර ගෙන තිබුණිද? ජනතාව දැනුවත් කිරීම තබා කටුනායක ගුවන් තොටුපලේ නිලධාරීන් හා සේවක සේවිකාවන් හෝ දැනුවත්කර නොතිබුණු බව ඊයේ සිද්ධියෙන් මොනවට පැහැදිලි විය.

ජනතාව වෙනුවෙන් වගකීමක් ඇති පාලනයක් වුනි නම්, මේ මාසයකට වැඩි කාලයේ මහජන සෞඛ්‍ය සේවාවන් ජනතාව දැනුවත් කිරීමටත් රෝග බෝවීම වළකාලීමට අවශ්‍ය පියවර ගැනීමටත් තම ප්‍රදේශ ඉතා කාර්යක්ෂමව නියාමනය කිරීමටත් අවශ්‍ය ආකාරයෙන් මෙහෙයවා ගනු ඇත. මේ වනවිට අත හැර දැමුණු තත්ත්වයෙන් පවතින මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාල ජනතාව දැනුවත් කිරීමේ ඉතාම වැදගත් ප්‍රජා මට්ටමේ ආයතන වේ. ඒවායේ එවැනි කාර්යන් පැවරිය හැකි මහජන සෞඛ්‍ය පිළිබඳව පුහුණු ක්ෂේත්‍ර නිලධාරීන් හා නිලධාරිනියන්ද ඇත. අවශ්‍ය වන්නේ ඒවා නැවත සක්‍රීය ආයතන බවට පත් කිරීමය. අවශ්‍ය වන්නේ ඒවා සම්බන්ධීකරණය කරමින් තොරතුරු දෛනිකව ගොනුකර ගැනීමය. ලබාදිය යුතු උපදෙස් සමග ඒවා අවශ්‍ය පරිදි බෙදා හැරීමේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා සම්බන්ධ කාර්ය සාධන මධ්‍යස්ථානයකි. සතියක් ඇතුළත එවැනි සංවිධාන ව්‍යුහයක් ස්ථාපිත කිරීම ලංකාවේ එතරම් අපහසු කාර්යක් නොවේ. එහෙත් මාසයකටත් වඩා ගොසින් එවැන්නකට අත ගැසීමක් හෝ නැත.

අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් තීන්දුගත හැකි දේශපාලන නායකත්වයකි. නැත්තේද එයම ය. එනිසා අප ඇදී යන්නේ අවදානම් සහගත ගමනකය. දැනට ලෝකයේ වෙනත් රටවල අත්‍යාවශ්‍ය හේතුවක් නොවන්නේ නම් විශ්‍රාමිකයින්ට නිවසින් බැහැර නොවන ලෙස ඉල්ලීම් කෙරෙන්නේය. දියවැඩියාව, අධි රුධිර පීඩනය, පෙනහළු රෝග වැනි රෝග තිබෙන අයට කොරෝනා වයිරසය බෝවීමේ සම්භාවිතාව වැඩි යැයිද එනිසා එවැන්නෝ තම නිවසේම රැඳී සිටින්නට වග බලා ගත යුතු යැයිද නිවේදනය කරනු ලැබේ. චීනයෙන් පිටත රටවල එහි පැතිරීම ඇත්තේ පුද්ගල සම්බන්ධතා මත යැයි වන නිගමනය සමග, රංචු ගැසීම් අහිතකර යැයිද එබැවින් ප්‍රසිද්ධ උත්සව, රැස්වීම් සංවිධානය නොකළ යුතු යැයිද නොපැවැත් විය යුතු යැයිද බොහෝ යුරෝපීය රටවල් තීන්දුකර ඇත.

අපේ ජනතාවට එවැනි දැනුවත් කිරීම් කිසිවක් කර නැත. පවතින තත්ත්වය පිළිබඳව භූතානයේ වැනි සවිස්තරාත්මක නිල වාර්තා ඇත්තේද නැත. අපට ඇත්තේ මාධ්‍ය විසින් ඔවුන්ගේ අඩි කෝදුවට අනුව වැදගත් යැයි තෝරාගෙන පල කරන වාර්තා පමණි. ඊයේ කොරෝනා වයිරසයෙන් ආසාධිත පළමු ලාංකිකයාද හමු විය. ඔහු සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ අයෙකු යැයි වාර්තා වේ. ඉතාලි සංචාරකයින් කිහිප දෙනෙකු සමග ගමන් ගිය බවද සඳහන්ව තිබිණ. ඔවුන් නතරව සිටි තැන්, හමුවූ පුද්ගලයින් පිළිබඳ නිවැරදි තොරතුරු තවම සමාජයට දැනුම් දී නැත. එයම අවදානම් සහගත තත්ත්වයකි.

මෙය ඉදිරි සති කිහිපය වනවිට තවත් අවදානම් විය හැක. මැද පෙරදිග රටවලින් පවා සංක්‍රමණික ශ්‍රමිකයින් පැමිණිය හැකිය. දෙසතියක් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳ වූවත් ඔවුන් යන්නේ ගම් බලා ය. දෙසතියකට පසු ශරීරගත වයිරසය සක්‍රීය නොවෙතැයි කොතැනකවත් සහතික නැත. ඒ අතර කොළඹ හා අවට විශාල වශයෙන් ගාල් වී ඉන්නා පිරිස් ගමේ යන්නට පෙර අවුරුදු සේල් වල පොදි ගැසෙනු ඇත. බක්මහ උළෙලවල් සංවිධානය වෙමින් ඇත. අනිද්දා සිට මැතිවරණ රැස්වීම්ද ආරම්භ වෙනු ඇත. ඒවාට සෙනඟ කැඳවනුද ඇත. ඒ සම්බන්ධ මැතිවරණ කොමිසම ගන්නා පියවර කවරේදැයි තවම ප්‍රකාශයට පත්කර නැත.

ඒ අතරතුර, ඇඟළුම් හා අනෙක් අපනයන නිෂ්පාදන ඇණ හිටින තත්ත්වයකටද අපි මුහුණ දෙමින් සිටිමු. ඒවායේ සෘජු සේවාවන්වල ලක්ෂ 05 ට වැඩි සේවක පිරිසක් ඇත. fඖෂධ ගෙන්වීමද සීමා වන්නේය. මේ හැම, චීන අමුද්‍රව්‍ය මත යැපෙන හෙයින්ය. ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන්ට තවමත් ආණ්ඩුවේ ආරක්ෂණවාදී සැළැස්මක් නැත. විසඳුම් නැත.

සැළසුම් නොමැති, පවතින මහජන සෞඛ්‍ය සේවා ආයතන හා ක්ෂේත්‍ර නිලධාරීන් හවුල් නොකර දැන් කෙරෙන්නේ හමුදාව කැඳවා ඔවුන්ට කොරෝනා වයිරසය පාලනය කිරීමට බාර දීමකි. මෙලෙසින් මේ වසංගතය පාලනය කරගත හැකි වුවහොත් එය මහා විශ්ව කර්ම වැඩකි.

කුසල් පෙරේරා

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top