Apr 13, 2020

ව්‍යවස්ථාව රකින්න ජනතාවක් - ජනවරමක් නොවුනාට පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි

දැනට පවතින “තාවකාලික ආණ්ඩුව” රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීති උල්ලංඝණය කරන බවට මේ දිනවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාරදයෝ කිහිප දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත් පාර්ලිමේන්තු මැතිවරණ පනතේත් වගන්ති උපුටා දක්වමින් බරපතල චෝදනා නගති. එහෙත් ඒවාට කන් දෙන කිසිවකු ගැන අසන්නට දකින්නට නැත. ඔවුන් කතා කරන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අයිතිකාරයින්ද නැත. එනිසා මේ රටේ 69 ලක්ෂයක් ඡන්දදායකයින් පසුගිය නොවැම්බර ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ තමන්ට කිසි සම්බන්ධයක් අදාලත්වයක් නැති මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නට නොව, එය ඕනෑ විදියකින් උල්ලංඝණය කර ඔවුන් බලාපොරොත්තුවන විසඳුම් ගෙනෙන්නටය.

මේ වියතුන්ට මතක ඇති නම්, පසුගිය නොවැම්බර ජනාධිපතිවරණය එළැඹෙන්නට පෙරාතුව ඔවුහු මෙලෙසින්ම නීති තර්කවල එල්ලී සිටියහ. ඊළග ජනාධිපතිවරණයෙන් තෝරා පත් කෙරෙන ජනාධිපතිවරයා 1978 ට පෙර සිටි ජනාධිපති විලියම් ගොපල්ලව වැනි යැයි කීහ. ඔවුන් ඒ දිනවල දිගින් දිගටම කීවේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු පත් කෙරෙන ජනාධිපතිවරුන්ට කිසිදු විධායක බලයක් නැතැයි කියා ය. විධායක බලය ඇත්තේ පාර්ලිමේන්තුවට යැයි ඔවුහු කීහ.

ඔවුන්ගේ ඒ ව්‍යවස්ථාමය තර්ක කිසිත් බහුතර සිංහල බෞද්ධ ජනයාට වැදගත් නොවුනි. ඔවුන්ට අවශ්‍ය වූයේ තීන්දු ගැනීමට නොපැකිළෙන, දැඩි අධිකාරවාදී, ශක්තිමත් නායකයෙකු ය. ඒ වනවිට ගෝසාකාරි සිංහල බෞද්ධ හඬ එක්තරා ආකාරයකට ඔවුන්ගේ නායකයා “සිංහල රජෙකු” ලෙස අර්ථ ගන්වා ගෙන තිබිණ. එනිසා 19 වන ව්‍යවස්ථා සංශෝධනය නොතැකූ ඒ සිංහල බෞද්ධ ඉල්ලුමට ගැලපෙන ලෙසින් ගෝඨාභය මැතිවරණ වේදිකාවල පෙනී සිටියේය. ඔහු පෙනී සිටියේ “රට කරවන” ජනාධිපතිවරයෙකු ලෙස දිවුරුම් දීමට මිස, නාම මාත්‍රික ජනාධිපති ධූරයකට තේරී පත් වන අපේක්ෂකයෙකු ලෙස නොවීය. ගෝඨාභය පොරොන්දු වූ සියල්ල සහ පෙනී සිටි දේශපාලනය, මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් කිහිප දෙන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු නැතැයි බැහැයි කියූ සියල්ලට පටහැනි විය. එබැවින් ගෝඨාභය රාජපක්ෂට දෙනු ලැබූ ඡන්ද 69 ලක්ෂයම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට දෙනු ලැබූ ඡන්ද මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්නට දුන් ඡන්ද නොවේ.

එය මේ රටේ සිංහල බෞද්ධ දේශපාලනයේ ප්‍රකාශනයකි. රටේ අභාග්‍ය, ඒ සිංහල බෞද්ධ මතවාදය නාගරික ඉහළ මැද පංතිකයින් විසින්ද කර පින්නා ගැනීමය. මෙතෙක් කෝවිඞ්-19 වයිරසය පැතිරීම පාලනය කිරීමට ගනු ලැබූ පියවර සතු නෛතික බලය කවරේදැයි එනිසා කිසිවකු ප්‍රශ්න නොකරති. හදිසි නීතියක් නැතිව ඇඳිරි නීතිය පනවන්නේ කෙසේදැයි මේ සමාජයේ ප්‍රශ්න නොවන්නේය. හදිසි නීතිය පැනවීමට පාර්ලිමේන්තුව නොකැඳවන්නේ මන්දැයි රටේ ජනතාව අසන්නේ නැත. කෝවිඞ්-19 වයිරසය මැඩළීම සඳහා මේ ගන්නා පියවර නිත්‍යානුකූලව කිරීමට පාර්ලිමේන්තුව කැඳවා අනුමැතිය ගන්නට යැයි සමාජය ඉල්ලා සිටින්නේ නැත. ජනාධිපතිවරයාට ඒ සියලු පියවර ගැනීමට ජන වරමක් ඇතැයි නාගරික සිංහල බෞද්ධ සමාජයෙහි බහුතරයක් පිළිගනු ලබති.

මේ සියල්ලෙන් එක දෙයක් තේරුම් ගත යුතුය. විධායක ජනාධිපති ධූරය ඇති කිරීමත් නැති කිරීමත් රටේ ජනතාවට අදාල වූ කාරණා නොවුනි. පළමු වරට 1978 පෙබරවාරියේ විධායක ජනාධිපති ධූරය ව්‍යවස්ථානුකූලව ස්ථාපිත කිරීමට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනෙනු ලැබූයේ ජනතාවගේ අවසරය හෝ අනුමැතිය ඇතිව නොවේ. වර්තමාන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උපත ලබන්නේම ජනතාවට කිසිදු සම්බන්ධයක් නොමැතිවය. අනතුරුව විධායක ජනාධිපති ධූරය කප්පාදු කෙරුණු 19 වන ව්‍යවස්ථා සංශෝධනය දක්වා ඊට එකතු කෙරුණු හැම සංශෝධනයක්ම ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් නොව, ආණ්ඩු බලයේ ඉන්නා පිරිසගේ දේශපාලන න්‍යාය පත්‍ර අනුව සිදු කෙරුණු සංශෝධන ය. එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා සංශෝධනවල ලියැවී ඇති කිසිවකට ජනතාවගේ සම්බන්ධයක් නොමැත.

එවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආරක්ෂා කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම අරුමයක් හෝ ජනතාවගේ නූගත්කම පිළිබඳ ගැටළුවක් නොවේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවට මොනම ආකාරයකින් හෝ අදාල නොවීම පිළිබඳ ගැටළුවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔවුන්ගේ මූලික අයිතීන් ආරක්ෂා කෙරෙන්නේ යැයි තර්ක කෙරුණද, එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේ එවැන්නක් අත්දකින්නට නැත. එය මේ සමාජයේ හැම ක්ෂේත්‍රයටම වාගේ පොදු අත්දැකීමකි.

චෝදනා කෙරෙන වරදට නියමිත දඩුවම මෙන් දෙවරක් පමණ දිගු කාලයක් රිමාන්ඞ් බන්ධනාගාරයේ සැකකරුවන් ලෙස ඉන්නා පුද්ගලයින් ඕනෑ තරම් ඇත. ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ ව්‍යවස්ථාවෙන් ඒවා ආරක්ෂා වන්නේ යැයි 03 වන පරිච්ඡේදයේ 13 වන අනු ව්‍යවස්ථාවට අනුව ලියා තිබියදීම ය. පෞද්ගලික අංශයේ අවම ලක්ෂ 20 ට වැඩි සේවක පිරිස් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන අනු ව්‍යවස්ථාවෙහි (1)(ඈ) හි සඳහන් වෘත්තීය සමිතියක සාමාජිකත්වය ගැනීමේ හා වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමේ මූලික අයිතිය, හීනෙකින් හෝ නොලැබෙන්නකි. ඒ මූලික අයිතිය මාධ්‍යවේදීන් අති බහුතරයටද නැත. අනුන්ගේ අයිතිවාසිකම් ගැන ලොකුවට කතා කරන ඔවුන්ට ඔවුන්ගේ මාධ්‍ය ආයතනයන්හි වෘත්තීය සමිතියක් පිහිටුවා ගත නොහැක. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂාකර ඇතැයි කියන්නාවූ ඒ මූලික අයිතීන් දිනා ගන්නට ඉදිරිපත් වූ සේවක සේවිකාවන්ට රැකියා අහිමිවීම සම්මතයක් බවට පත් වූ රටක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින්නට ඔවුන්ට වුවමනාවක් නොමැති වීම ඔවුන්ගේ අනුවණ කමක් නොවේ.

තමන්ගේ ආගම ඇදහීම, බුද්ධ සාසනයට විශේෂ සැළකිල්ලක් ඇතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් [03 වන පරිච්ඡේදයේ 10 වන අනු ව්‍යවස්ථාව සහ 14(1)(ඉ) සහ (ඊ) අනු ව්‍යවස්ථා අනුව] සහතික කර ඇති රටේ, ඒ අයිතිය රැකෙන්නේ අතීත සම්මතයන් මත මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොවන බව, පසුගිය වසර කිහිපයේ මුස්ලිම් ජනතාවගේ අවාසනාවන්ත අත්දැකීම විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන්නාවූ ආරක්ෂාවක් නොමැති විට, එය රකින්නට ඔවුන් අවදානමක් ගන්නේ නැත.

අවුරුදු ගණන් සමෘද්ධිලාභීන් ලෙස ඉන්නා සහ දරිද්‍රතා රේඛාවෙන් දුප්පතුන් යැයි නොපිළිගන්නා නමුත් පවුලක් නඩත්තු කිරීමට තබා තනිව යැපීමට හෝ ස්ථිර ආදායමක් නොලබන ලක්ෂ ගණන් දුගී ජනතාවට අක්‍රීය, අජීවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අයිතිවාසිකම් සම්බන්ධ වගන්ති සතු වටිනාකමක් නැත. “අයිතිවාසිකම් කන්නටද” කියා ඔවුන් අසන්නේ එබැවිනි.

එයට එකතු කළ යුතු අනෙක් වැදගත් කාරණය වන්නේ මේ ව්‍යවස්ථා අර්බූද ගැන හා ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී පියවර ගන්නේ යැයි තර්ක කරන පුද්ගලයින් සතු සමාජ පිළිගැනීම හා ඔවුන්ගේ දේශපාලන යයි. 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කරමින් පාර්ලිමේන්තුව ශක්තිමත් කෙරෙන, දූෂණ වංචා වලින් තොර යහපාලනයක් පිහිටුවන බවට ජනතාව හමුවේ සපථකර සිටියේද මේ ව්‍යවස්ථා විශාරදයින් හා විද්වතුන් ය. කතාව කෙටියෙන් කිවහොත් ජනතතාවට අමූලික බොරු කියා අතිශය දූෂිත “යහපාලන” ආණ්ඩු හදන්නට දර දිය ඇදි පිරිස් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රැකීමට යළි කතා කෙරුවාට ජනතාව ඔවුන්ට කන් දෙන්නේ නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝණය පිළිබඳ කතා එවැනිය. කෝවිඞ්-19 සමග අද භාවිත වන්නේ ජනතාවට කෙදිනකවත් අදාල නොවුනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් හදා ඇති ඒ බරපතල අවුල ය. එවැනි අවුලක් මැද, මෙවැනි භයානක ගෝලීය වසංගතයකට අප මුහුණ දෙන මොහොතක ජනාධිපතිගේ මූලිකත්වයෙන් ආණ්ඩුව ගන්නා පියවර සාධාරණය කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොව, ලොව අනෙක් රටවල් සමග කෙරෙන සැසඳීම් සමගින්ය. ඒ ගැන මාධ්‍යයෙහි කෙරෙන අසම්පූර්ණ සැසැඳීම් හමුවේ ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වැනි ප්‍රබල රටවලට අප මෙන් සාර්ථකව කෝවිඞ්-19 පැතිරීම පාලනය කරගත නොහැකිව ඇතැයි නිතර මතක් කෙරෙන්නේය. ඒ සමග මේ ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත නිවැරදි යැයිද මාධ්‍ය විසින් සමාජ මතයක් තහවුරු කෙරෙන්නේය. ඒ සඳහා අනෙක් රටවල ජනගහනය සහ ආසාධනය විය හැකි යැයි ගණන් බලා ඔවුන් දිනකට පරීක්ෂාවට ලක් කරන පුද්ගලයින් සංඛ්‍යාව, දෛනිකව සුවය ලබා පිටත්වන සංඛ්‍යාව, ඔවුන්ගේ රටේ ආර්ථිකය අඩපණ නොවන්නට ඔවුන් ගෙන ඇති පියවර වැනි කිසිදු සාධකයක් ගැන කතා වන්නේ නැත. එබැවින් අපගේ ආර්ථිකයට සිදුවන්නේ කුමක්දැයි කතා වන්නේද නැත. සන්සන්දනය කරනු ලබන්නේ ආසාධිත සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව පමණි. එසේ ගත් විට මිලියන 21 ක ජනගහනයක් ඇති අප, ඉදිරියෙන් යැයි කිව හැක.

ඒ වෙනුවෙන් අප කතා නොකරන්නේ ඉකුත් අප්‍රේල් 11 වන දා වනවිට මිලියන 162 ක් ඉන්නා බංගලිදේශය ආසාධිතයින් 424 ට හා මරණ 27 ට සීමා කර ගත්තේ කෙසේදැයි කියාය. මිලියන 52 ක ජනතාවක් ඉන්නා කෙන්යාවේ ආසාධිතයින් 187 ට හා මරණ 07 ට සීමා කෙරුණේ කෙසේද යන්නය. මිලියන 29 ක ජනගහනයක් ඇති වෙනිසියුලාව ආසාධිතයින් 175 ට හා මරණ 09 ට සීමා කරගත්තේ කෙසේද යන්නය. සිංගප්පූරුව, තායිවානය හා හොංකොං වැනි රටවල් කෝවිඞ්-19 පැතිරීම සාර්ථකව පාලනය කර ගනිමින් ඔවුන්ගේ ආර්ථිකයද රැක ගත්තේ කෙසේදැයි අපි කතා නොකරමු. එනිසා අපට අපගේ අත්දැකීම ඉතා ඉහළය.

නාගරික මැද පංතිය සිතන්නේද එළෙසින්ය. අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව හෝ කෝවිඞ්-19 පාලනය කිරීමේදී ජනාධිපති ප්‍රමුඛව ආණ්ඩුව ගන්නා පියවර පිළිබඳව හෝ ඔවුන් ප්‍රශ්න නොකරන්නේ ඔවුන්ද ඒ ගොඩ නැගෙන සමාජ මතයට හවුල් වන බැවිනි. ජනාධිපති හා ආණ්ඩුව තීන්දු කරන්නාවූ පියවර හා ප්‍රතිපත්ති සමග ඔවුන්ට ගැටළුවක් ඇත්තේද නැත. ඔවුන්ගේ දෛනික අවශ්‍යතා දිනක් දෙකක් පමා වී හෝ ඉටුකර ගත හැකි ඉඩක් දැන් ඇති හෙයිනි.

කෝවිඞ්-19 යේ සියලු බලපෑම් සමස්ථයක් ලෙස ගෙන විස්තර කතා කරන විපක්ෂයක් අපට ඇත්තේ නැත. විපක්ෂයේ කිසිදු පාර්ශවයකට, කිසිදු පක්ෂයකට අද හමුදා මැදිහත්වීම් හා අධීක්ෂණය සමග ආණ්ඩුව ගන්නා පියවර සතු අයහපත් බලපෑම් ගැන, සමාජයේ බහුතරයකට සිදුවන අවහිර සහ අසාධාරණය ගැන, රටේ ආර්ථිකයට සිදුවන හානිය ගැන කතා කිරීමට කොන්දක් නැත. කෝවිඞ්-19 යොදා ගනිමින් ජනාධිපති හිතුවක්කාර අත්තනෝමතික පාලනයකට පාර සකසා ගන්නේ යැයි “සමගි ජන බලවේගය” ලෙස නිකුත් කර ඇති නිවේදනයද ආත්ම විශ්වාසයක් සහිත තමන්ගේ දේශපාලනය ඉදිරිපත් කරන නිවේදනයක් නොවන්නේය. මේ අර්බූදයෙහහි ජ.වි.පෙ කොහේදැයි සොයා ගන්නටවත් නොසිට, පාර්ලිමේන්තුව යළි කැඳවීමට හා ලැබී ඇති විදේශාධාර සම්බන්ධව සාකච්ඡා කළ යුතු යැයි හදිසියේ ප්‍රකාශ කර ඇත. කෝවිඞ්-19 සමග ව්‍යවස්ථාමය ආරවුල ගැන සවිස්තර ප්‍රකාශයක් කරමින් එය මේ පමණට හෝ දකුණේ සමාජයෙහි අවධානයට යොමු කිරීමට උත්සාහ ගනු ලැබූයේ දෙමළ ජාතික සන්ධානය විසින් පමණි.

විපක්ෂ දේශපාලනයේ ඇබිත්තකම් හමුවෙහි, තාවකාලික වැඩ බලන ආණ්ඩුවක් වන මේ ආණ්ඩුවේ ආසන්නම බලහත්කාර පියවර ලෙස වාර්තා වන්නේ සෞඛ්‍ය ඇමතිනිය විසින් මෘත දේහ ආදාහනය කිරීම සඳහා නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමය. මැතිවරණයකින් තෝරා පත් කළ ආණ්ඩුවක ඇමතිවරයෙකුට හෝ පාර්ලිමේන්තුවෙහි සම්මත නොකර නීති, අණ පනත් සංශෝධනය කළ නොහැක. ආණ්ඩුව මෙවැනි ගමන් යෑම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවා ලිපියකින් හෝ ආණ්ඩුවෙන් මෙතෙක් ප්‍රශ්නකර නැත. පසුගිය වසර කිහිපයේ මානව හා සිවිල් අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් විශිෂ්ට මැදිහත්වීම් කිහිපයක් කළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද ජනාධිපතිගේ මූලිකත්වයෙන් ගනු ලැබූ පියවර කිසිවක් මෙතෙක් ප්‍රශ්න කර නැත.

ජනාධිපතිගේ මූලිකත්වයෙන් මේ ආණ්ඩුව පනවන සියලු ඇඳිරි නීති නියෝග විපක්ෂයත් නීතිඥ සංගමයත් මානව හිමිකම් කොමිසමත් වෘත්තිකයින්ගේ සංවිධාන හා වෘත්තීය සමිතිත් සමස්ථ සමාජයත් පිළිගනිති. පිලිපදිති. ඊට යටත් වෙති. ඒවා එළෙසින්ම පිළිපැදිය යුතු යැයි සමාජ මතය හැදීමටද දායක වෙති. අනෙක් සියලු නිවේදන සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරද එසේම ය. කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව රටම පිළිගනිමින් අවනත වන ආණ්ඩුවේ තීන්දු, තීරණ, නියෝග රටේ පිළිගත් වලංගු නීතිය බවට පත්වන විට, සමාජ අවධානයක් නොලැබෙන, ජනතාවට වැදගත් නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාජ පැවැත්මෙහි වලංගු නීතිය වන්නේ නැත. අද අර්බූදය ඇත්තේ එහිය.

එය ව්‍යවස්ථාමය අර්බූදයක් නොව, බරපතල දේශපාලන හෙයියම්මාරුවකි. සම්මත ව්‍යවස්ථානුකූල පැවැත්මට පිටින් සිංහල බෞද්ධ හඬ නැගීම්ද ඇතිව ගමන් අරඹා ඇති මේ දේශපාලනයට මුහුණ දිය හැක්කේ නීති තර්ක මත නොව, සමාජයක් හැටියට මේ අර්බූදයෙහි දේශපාලනයට අලුත් විසඳුම් සෙවීමෙනි. ජනතාවට අවශ්‍ය නොවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රතිපාදන අනුව කටයුතු කළ යුතු යැයි තර්ක කිරීමත් අද විහිළුවකි. පසුගිය නොවැම්බරයේදී ජනතාව ඡන්දය දුන්නේ ඒ වෙනුවෙන් නොවන නිසාවෙනි. එහෙත් ආණ්ඩු පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම හා ජනතාවට වගවීම විනය ගරුක, ශිෂ්ට සම්පන්න සමාජයක අත් හල නොහැක්කකි.

එබැවින් නැවත පාර්ලිමේන්තුව කැඳවීම ඉල්ලා සිටිය යුත්තේ ව්‍යවස්ථාවේ වගන්ති අනුව නොව, ජනතාව හමුවේ ආණ්ඩුව සතු වගකීම ඉටු කිරීමටය. කෝවිඞ්-19 ක්‍රියා පිළිවෙත සංවාදයට තබන්නටය. ආණ්ඩුව පිහිටුවා ඇති කෝවිඞ්-19 සඳහාවන අසීමිතව ආධාර එකතුවන මහජන අරමුදලත් යුරෝපා සංගමයෙන් හා වෙනත් රටවලින් ලැබුණු විදේශාධාර ජනතාවට මිස ආණ්ඩුවේ නායකයින්ට ලැබුණු මුදල් නොවන බවත් සමාජය හමුවේ අවධාරණය කරමින් රුපියල් කෝටි ගණනක එම ආධාර හා අරමුදල් භාවිත කරන්නේ කවර වැඩ සටහන් සඳහා කෙසේද යන්න දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇතැයි සමාජ මතයක් තහවුරු කළ යුතුව ඇත. එවගේම, රටේ ආර්ථිකය පවත්වා ගැනීම උදෙසා යැයි ආණ්ඩුව අත්‍යාවශ්‍ය අපනයන නිෂ්පාදන සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් සමග ඇතිකර ගන්නා සම්මුතීන් ලක්ෂ ගණනක් සේවක සේවිකාවන්ට කෙසේ බලපානු ඇතිද යන කාරණාද සමාජය හමුවේ විවෘතව සාකච්ඡා කළ යුතු අතිශය වැදගත් කාරණා ය.

මේ හැම දැන් අතිශය වැදගත් වන්නේ ආණ්ඩුව හදිසියේ කෝවිඞ්-19 මැඩලීමෙන් ඉවත්වීමේ මූලෝපායකට (Exit Strategy) සේන්දුවන බවක් දැකිය හැකි බැවින්ය. ලබන 19 වන දිනෙන් කෝවිඞ්-19 වසංගතය අවසන් වනු ඇතැයි සෞඛ්‍ය ඇමතිනිය කියූ විට එය හාස්‍යයට ලක් කෙරුණත් ඊළඟ පාසල් වාරය මැයි 11 වන දින ආරම්භ කෙරෙන බවත් විශ්ව විද්‍යාල පියවර දෙක තුනකින් එදින සිට විවෘත කරන බවත් වාර්තා කෙරුණු විට එය හාස්‍යයක් නොවන බව ඒත්තු යන්නකි. ඉවත්වීමේ මූලෝපායකට මුල පිරීම අතිශය ප්‍රවේසමෙන් කළ යුත්තකි. සමාජයේ දෛනික ජිවිතය නැවත යථා තත්ත්වයට ගෙන ඒම යළි කෝවිඞ්-19 ට ඉඩ නොතබා කළ යුත්තක් වන අතර, ආර්ථිකය යළි ගොඩ ගැනීමත් එවැනිම භාරධුර කාර්යකි. එබැවින් කෝවිඞ්-19 සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙල පාර්ලිමේන්තුව හමුවේ තැබීම ව්‍යවස්ථා වගන්ති වලට සීමා වන්නක් නොවන බව විපක්ෂය තේරුම් ගත යුත්තකි. එය ජනතාවගේ අනාගතය පිළිබඳව ආණ්ඩුව සතු ප්‍රජාතන්ත්‍රවාදී වගකීමක් වාගේම විපක්ෂය සතු වගකීමක්ද වන්නේය.

එබැවින් ඒ වගකීම පාර්ලිමේන්තුවට නතු කර ගැනීම ආසන්න සංක්‍රමණික පියවරක් ලෙස සමාජය හමුවේ තැබිය යුත්තේ අත්‍යාවශ්‍ය හදිසි ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමක් වශයෙනි. එහෙත් එයම අවසාන විසඳුම නොවන බව දැනගෙන ඉදිරි යෝජනා සමාජගත කළ යුතුව ඇත. ඒ සඳහා විශ්වාසයක් සහ වැඩපිළිවෙලක් ඇතිව ඉදිරිපත් වන්නට විපක්ෂයේ දේශපාලන නායකත්වයක් නොමැති වීම, වඩාත්ම බරපතල අර්බූදය වන්නේය. ඒ තාක් කල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රකින්නට ජනතාවකුත් ජනවරමකුත් හමු නොවනු ඇත.

කුසල් පෙරේරා
2020 අප්‍රේල් 12 වන දින

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top