May 12, 2020

පරිපාලන රැහෙන් පිට ලේකම්ලාගේ පැටිකිරිය !

අමාත්‍යාංශ ලේකම් තනතුරු සදහා ජනාධිපතිවරයෙකු විසින් පුද්ගලයින් පත් කරනු ලබන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සදහා ය. ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් පිට ලේකම්වරුන් ගණනාවක් කාලයෙන් කාලයට අමාත්‍යාංශ ලේකම් තනතුරු සදහා පත්ව ඇත. මේ රටේ සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කළ පරිපාලන සේවයේ නොවන ලේකම්වරුන් ගැන සිහි කිරීමකි. 

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන (හෝ පරිපාලන සේවයට අන්තර්ග්‍රහණය කළ) විශාල පිරිසක් රටේ සිටී. ලංකාවේ ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, අමාත්‍යාංශ ලේකම්, කැබිනට් ලේකම් ධූර දැරූ මේ අය විටෙක සාර්ථකත්වයේ ද, විටෙක අසාර්ථකත්වයේ ද ප්‍රතිමූර්ති බවට පත් ව ඇත.

1965 – 70 හත් හවුල් රජයේ (කැබිනට් අමාත්‍යාංශයක් වූ) රාජ්‍ය අමාත්‍යාංශය පැවරුණේ ජේ.ආර්. ජයවර්ධන ටය. ජේ.ආර්. ගේ සිය ස්ථිර ලේකම් ලෙස පත් කර ගත්තේ ආනන්ද තිස්ස ද අල්විස් ය. අද රටට වැඩිම විදේශ විනිමයක් ගෙනෙන ‘සංචාරක පනත‘ 1966 හැදුවේ ආන්ද තිස්ස ද අල්විස් ය. 1977 කථානායක ධූරයට පත් වූ අල්විස්, 1977 සැප්තෑම්බර් මස තමා ස්ථිර ලේකම් ධූරය දැරූ රාජ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ කෝට්ටේ මහජන මන්ත්‍රීවරයා ලෙස ය.

1977 ජේ.ආර්.ජයවර්ධන කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කළේ වැවිලිකරුවෙකු වූ රංජන් විජේරත්න ය. අක්කර 50 ට වඩා ඉඩම් සන්තකයේ තබා ගත නොහැකි වූ රාජ්‍ය ප්‍රතිපත්තියක සිට ලෝකයේ මුල්ම නිදහස් ආර්ථික ක්‍රමයක් සහිත බවට රටක් බවට පත් වූ ලංකාවේ කෘෂිකර්ම හා ඉඩම් ප්‍රතිපත්තිය සකස් කිරීමේ කාර්ය භාරයට රංජන් උර දුන්නේය. 1989 දී රංජන් විජේරත්න වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ද, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ද, එජාප මහ ලේකම් (1988 - 91) ද, ලෙස පත්විය.

ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය වික්‍රම වීරසූරිය සිදු කළ බොහෝ දේ ගැන ඉතිහාසයේ ලියවී ඇත. වික්‍රම, තම බලය පාවිච්චි කර, විෂය පථයට ද පිටින්, මහවැලි කාර්යාලයක් නුවරඑළියේ ස්ථාපනය කොට දිවාරත්න නම් නිලධාරියා එහි ස්ථානගත කළේය. නුවරඑළිය නගරයේ අනවසර පදිංචිකරුවන්ගේ ගැටළුව ‘රෙගුයුලයිස්‘ කිරීම කළ යුත්තේ ‘සහකාර ආණ්ඩුවේ ඒජන්තවරයා‘ ය. දිවාරත්න ෆයිල් හැදුවේය. ඉඩම් ආඥා පනතේ වගන්තිවලින් කනින් රිංගා, ආණ්ඩුවේ ඒජන්තට ගත නොහැකි තීරණය වික්‍රම කැබිනට් පත්‍රිකාවකින් ලබාගත්තේ වජිරපුර, රාහුලපුර අනවසර සිංහල පදිංචිකරුවන්ට ඉඩම් ලැබෙන අන්දමිනි. එදා, නුවරඑළිය මන්ත්‍රී ගාමිණී දිසානායක වික්‍රම ගේ මස්සිනාය. මහ නගර සභාවට අදටත් සිංහල නගරාධිපතිවරයෙකු පත්වන්නේ (එය හරිද? වැරදිද? යන්න වෙනම කථාවකි) ගාමිණී දිසානායකගේ නම ගිය, වික්‍රම ලේකම්ගේ මේ වික්‍රමය නිසාය. (මෙවැනි හපන්කම් පරිපාලන සේවයේ නිලධාරීන්ට කර ඇති බව (අම්පාර සම්බන්ධයෙන්) කොළඹ හිටපු දිසාපති සුනිල් කන්නංගර (Sunil Kannangara) ට පන්හිදේ සටහන් තබනු ඇත.

1978 මාර්තු මස උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඇරඹන විට එහි ලේකම් වූ මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ නම, උසස් අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ නම්වලට වඩා මිනිසුන්ට සමීපය. 1970 දශකයේ ආචාර්ය බද්දුදීන් මොහොමඩ් අධ්‍යාපන අමාත්‍යවරයා තරමටම ආධ්‍යාපන ලේකම් ආචාර්ය ප්‍රේමදාස උඩගම නාමය ද අද්විතීය වන්නේය. 1984 – 89 මෙරට අධ්‍යාපන කේෂ්ත්‍ර යේ දැවැන්තම පරිවර්තනය සිදුවූ සමයේ අධ්‍යාපන ලේකම් ඊ.එල්.විජේමාන්න අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියෙකි. හමුදා නිලධාරියෙකු වූ කර්නල් වී.එස්.කුඩලිගම ද අධ්‍යපන හා ක්‍රීඩා ලේකම් ලෙස කටයුතු කර ඇත.

අධ්‍යාපන පරිපාලන සේවයේ තිස්ස හේවාවිතාන යහපාලන අධ්‍යාපන රාජ්‍ය ලේකම් ය. දැන් එම තනතුර දරන රංජිත් චන්ද්‍රෙසේකර ද, අධ්‍යාපන පරිපාලන සේවයේ ය.

ඩී.ආර්.ඕ. මහත්තයෙකු ලෙස සිට පරිපාලන සේවයට (පැරණි සී.සී.එස් සේවයට) අන්තර්ග්‍රහණය කරන ලද ඩබ්.එම්.පී.බී. මැණික්දිවෙල ලංකාවේ පළමු විධායක ජනාධිපතිගේ ලේකම් විය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ලේකම් කේ. බාලපටබැදි ද පරිපාලන සේවයේ නිලධාරියෙකු නොවේ. ඒ නයින් බලන කළ, ආචාර්ය පී.බී.ජයසුන්දර මේ ලැයිස්තුවේ දෙවැන්නා නැතිනම් තුන්වැනියා ය.

1993 දී බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ + අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ලෙස චන්ද්‍රිකා කුමාරතුංග පත් කර ගත්තේ ගණකාධිකාරී සේවයේ වැලිමඩ, එස්.බී. අමරකෝන් ය. චන්ද්‍රිකා ජනාධිපතිනිය ධාරා විජේතිලක (නීති) - විද්‍යා හා තාක්ෂණ ලේකම් ලෙස ද තාරා ද මෙල් - අධ්‍යාපන ලේකම් ලෙස පත් කළේය. 1994 – 2000 සමෘද්ධි, යෞවන හා ක්‍රීඩා ලේකම් වූයේ ක්‍රමසම්පාදන සේවයේ ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක ය. 2000 – 2001 ආණ්ඩුවේ (ඇමති එස්.බී. ගේ) සමෘද්ධි, ග්‍රාම සංවර්ධන, යෞවන, ක්‍රීඩා හා පාර්ලිමේන්තු කටයුතු ලේකම් වූයේ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න Sunil Nawaratne ය. පේරාදෙණියේ මහාචාර්ය ගාමිණී.බී. කීරවැල්ල ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් කළ චන්ද්‍රිකා, පත්තරකාරයෙකු වූ ජනදාස පීරිස් ජනමාධ්‍ය ලේකම් කළේය.

දින 100 ආණ්ඩුවේ කරුණාරත්න පරණවිතානන Karunarathna Paranawithana ජනමාධ්‍ය ලේකම් විය. මහින්ද ආණ්ඩුවේ අනුර සිරිවර්ධන ද, යහපාලන ආණ්ඩුවේ තවත් විවාදාත්මක චරිතයක් වූ නිමල් බෝපගේ ද ජනමාධ්‍ය ලේකම්වරු වූවේ චන්ද්‍රිකා පූර්වාදර්ශයට අනුව යමිනි. නීතිඥ නිමල් බෝපගේ ගණකාධිකාරිවරයෙකි. විගණන නිලධාරියෙකි. කවි ද ලියන ජනාධිපති උපදේශකවරයෙකි. ලේකම් ධූරයේ සිට කළ වැඩ නිසා බොහෝ කලකට අමතක නොවන්නෙකි. (නිමල් බෝපගේ කලක් පරිපාලන සේවයේ සිට 1996 දී ඉන් ඉවත් විය. (ලංකා පරිපාලන සේවයෙන් ඉවත් වී ලංකාවේ රැදී සිටින පළමු හා එකම පුද්ගලයා නිමල් විය හැකිය) නිමල් යහපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය ලේකම් වූයේ පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස නොවේ.

ඉන්ජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි ජල සම්පාදන හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වූයේ මහින්ද පාලන සමයේ ය. ඔහු යහපාලන රජයේ ආරක්ෂක ලේකම් වූයේය. ජර්මනියේ තානාපති ධූරය ද දැරීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන් වූ සේපාල ආටිගල, සිරිල් රණතුංග, තිස්ස වීරතුංග, සී.ඒ.ධර්මපාල, හැමිල්ටන් වනසිංහ, හේමසිරි ප්‍රනාන්දු, ශාන්ත කෝට්ටගොඩ, අසෝක කාන්තිලාල් ජයවර්ධන, ගෝඨාභය රාජපක්ෂ, කමල් ගුණරත්න හමුදාවෙන් පැමිණ ලේකම් පුටුවේ වාඩිවූ අයයි. සිරිල් හේරත් පොලිස්පතිවරයාව සිට පසුව ආරක්ෂක ලේකම් වූවේය. ලේකම් සේපාල ආටිගල ලංකාවේ වැඩිම කලක් (1967-1977) යුධ හමුදාපති ධූරය දැරූ පුද්ගලයා ය. 80 දශකයේ සුවිශේෂ හමුදා තනතුරු රැසක් දැරූ සිරිල් රණතුංග, වයඹ ආණ්ඩුකාර ධූරය ද දැරූ අසෝක ජයවර්ධන තනතුර බැබලවූ ආරක්ෂක ලේකම්වරුන් ය.

නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ 2010 අප්‍රේල් මස මහා මාර්ග ලේකම් විය.

වසර 5 කට පසුව රටේ ජනාධිපතිධූරයට පත්වන්නේ, 2005 – 15 ආරක්ෂක ලේකම් ධූරය දැරූ ලෙෆටිනන්ට් කර්නල් ගෝඨාභය රාජපක්ෂ යි.

කාලයෙන් කාලයට නම් වෙනස් වූ, පොලීසිය බාර අමාත්‍යාංශයට ද එයට වඩා වෙනසක් නැත. 1962 හමුදා කුමන්ත්‍රණයේ සැකකාර සිඩ්නි ද සොයියා අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද ලේකම් ධූරයට පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි වැඩ බලන හමුදාපති ධූරයෙන් පසුව නීතිය හා සාමය, ක්‍රීඩා අමාත්‍යාංශවල ලේකම් විය. බ්‍රිගේඩියර් ඩෙනිස් හපුගල හමුදාවෙන් විශ්‍රාම ලබා අභ්‍යන්තර කටයුතු ලේකම් විය.

අගමැති රනිල් වික්‍රමසිංහ සිය අතිජාත මිතුරෙකු හා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වූ චරිත රත්වත්තේ 2002 – 2004 දී මුදල් ලේකම් ලෙස පත් කළේය. 2004 දී ආණ්ඩුව බිද වැටීමට චරිත රත්වත්තේ භුමිකාව කොපමණ දායකත්වයක් දැක්වූයේ ද යන්න ගැන පර්යේෂණ නිබන්ධයක් ලිවිය හැකිය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පරිපාලන සේවයේ නොවන පුද්ගලයින් ස්ථිර ලේකම්ධූරවලට පත් කිරීමට පසුබට නොවීය. ඉංජිනේරු සේවයේ ඩී.කේ.යූ.ඒ. වික්‍රමසිංහ - වනජීවි අමාත්‍යාංශය, දකුණු පළාතේ වත්මන් ආණ්ඩුකාර විලී ගමගේ - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරුන් වූයේ ඒ සමයේ ය. ආචාර්ය සුනිල් ජයන්ත (එස්.බී.ගේ) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විය. ව්‍යාපාරිකයෙකු වූ එච්.පී.සී. හේරත් 2010 දී ආචාර්ය මර්වින් සිල්වා ඇමතිවරයාගේ ‘මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍යාංශයේ‘ ලේකම් විය. මර්වින් ද, අමාත්‍යාංශය ද එකවරම නැති විය. කීර්තිමත් ඉංජිනේරු අයිවන් සිල්වා 2010 දී වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ලේකම් ලෙස සුවිශේෂ භුමිකාවක නිරත විය.

මහින්ද යුගයේම, කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ප්‍රවාහන ලේකම් ද, පේරාදෙණිය වි.වි. යේ චරිත හේරත් ජනමාධ්‍ය හා පසුව පරිසර ලේකම් ද විය. ඉංජිනේරු ප්‍රේමසිරි - ජල සම්පාදන ලේකම් විය. ඉංජිනේරු ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි මාර්ග සංවර්ධන හා මහා මාර්ග ලේකම් විය.

කීර්තිමත් වරලත් ගණනාධිකාරිවරයෙකු වූ ගාමිණී වික්‍රමනායක, මෙරට පරිපාලන සේවයේ හදවත බදු වූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මහාචාර්ය රජීව විජේසිංහ යහපාලන රජයේ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ලේකම් වූවේය. මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පසුව මහාචාර්ය රජීව් දේශපාලනයේ ද, අමාත්‍යාංශයේ ද කළ කී දෑ රස කථා ගොඩකි.

පරිපාලන සේවයේ නොවන ලංකාවේ පළමු ලේකම් ආචාර්ය ගාමිණී කොරයා විය යුතුය. (ආනන්ද තිස්ස ද අල්විස් හා ඔහු එක ලග දිනවල පත්වීම් ලබා ඇත. මුල් පත්වීම කාටදැයි තහවුරු කර ගත නොහැකි විය), ගාමිණී කොරයා මිය යන විට කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ පැරණිය සමාජිකයා තමා යැයි ආඩම්බරයෙන් මිතුරු කථාවේ දී කීවේය. ගාමිණි කොරයා ගේ ගොල්ෆ් සගයා ඩඩ්ලි සේනානායක 65 - 70 ආණ්ඩුවේ අගමැතිය. 56-59 යුගයේ අගමැති බණ්ඩාරනායක රජය ජාතික සැලසුම් ගැන විශාල ලෙස උනන්දු වූවේය. කොරයා, ජාතික සැලසුම් ලේකම්කාර්යාලයේ ප්‍රධානීයා විය.

1965 ඩඩ්ලි ගේ ආණ්ඩුව පිහිටවූ විට ඔහු ගාමිණි කොරයාට මුදල් ඇමති වන්නට ආරාධනා කළේය. ගාමිණී එය පිළිගත්තේ නැත. අගමැති සැලසුම් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය බිහිකර එය තමා යටතේ තබාගෙන ලේකම් ධූරය ගාමිණී කොරයාට දුන්නේ මහ බැංකුවේ 8 වන මහලේ කාමරයේ සිට තමාට සෘජුව වගකියන තත්වය ද සමගය. මුදල් ඇමතිකම එපා කියූ ගාමිණී කොරයා ලංකාවේ පළමු (හෝ දෙවන) පරිපාලන සේවයේ නොවන ලේකම් වූවේය.

මුදල් ලේකම්වරයෙකු වූ ආචාර්ය ලාල් ජයවර්ධන, හිටපු මහ බැංකු අධිපති එන්.යූ. ජයවර්ධනගේ පුතා ය. ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ස්වාමියා ය. World Institute for Development Economics Research (WIDER) හි පළමු සභාපතිවරයා ය. ටී.බී.ඉලංගරත්න, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක හා එන්.එම්.පෙරේරා මුදල් අමාත්‍යවරුන් සමග මහ බැංකුවේ හා අමාත්‍යාංශවල විවිධ තනතුරු දැරූ, ආචාර්ය ජයන්ත කැලේගම විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද පළමු මහාචාර්යවරයා ය. මුදල් ඇමති එන්.එම්. ගේ ගෝලයා යැයි කීවේ කැලේගම ටය. 1970 – 1977 සමගි පෙරමුණු රජයේ, විරුද්ධවාදීන් කියන විදිහට සාගත යුගයේ, කරවල, භුමිතෙල් රෙදි, බීජ, ඇතුළු සියළු දේ පිළිබද තීරණගත් බලවත්ම අමාත්‍යාංශය වූ අභ්‍යන්ත හා ජාත්‍යන්තර ‍වෙළද ලේකම් වූයේ ජයන්ත කැලේගම ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය වෘත්තිකයින් රැසක් ලේකම් තනතුර දරා තිබේ. සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1970 සෞඛ්‍ය ලේකම් ලෙස පත් කළේ වෛද්‍ය සෝමදාස වීරතුංග ය. වෛද්‍ය නිහාල් ජයතිලක, වෛද්‍ය අතුල කහදගම හා උගුරු කණ නාස විශේඥ වෛද්‍ය රුබේරු යන අය ද පරිපාලන සේවයේ නොවූ සෞඛ්‍ය ලේකම්වරු ය. වෛද්‍ය නිහාල් ජයතිලක ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ද, (පළාත් පාලන ආයතනයන් හි සීමා නිර්ණය කිරීමේ කාලයේ දී) පළාත් සභා අමාත්‍යාංශයේ ද ලේකම් ධූරය දැරුවේය. රේණුකා හේරත් යුගයේ සෞඛ්‍ය හා වනිතා කටයුතු ලේකම් වූයේ (1994) වෛද්‍ය ජෝ ප්‍රනාන්දු ය.

පාලිත කොහොන (2009) යුද්ධය පැවති, විදේශ බලපෑම් විශාල ලෙස රටට එල්ල වූ සුවිශේෂ කාල පරාසයකට විදේශ ලේකම් වූවේය. එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත ආදී තනතුරු රැසක් ඔහු දරා තිබුණේය. විදේශ ලේකම්කම නිසා ලෝකයට පාලිත කොහොන නැති විය.

ශිරාල් ලක්තිලක Shiral Lakthilaka මැයි 7 මුහුණුපොතේ මෙසේ ලියා ඇත. ‘‘නිහාල් ජයවික්‍රම 1970 – 77 රජයේ අධිකරණ අමාතයාංශයේ ලේකම්වරයා ය. මගේ පැරණි ගුරු ජී.එල්. ගේ මස්සිනාය. දෙදෙනාම නීති විශාරදයන්ය. හැබැයි අර්බුද අවස්ථාවල දී ජී.එල්., නිහාල් මහතා ගෙන් උපදෙස් ගන්නා හැටි මම දැක තිබේ. මගේ අදහස නීතිය පිළිබද විශ්ලේෂනයේ දී නිහාල් මහතා සැම විටම මගේ ගුරුදේවයන් වු ජී.එල් ට වඩා ඉදිරියෙන් සිටී.‘‘ සුහද ගම්ලත් හා මර්වින් විජේසිංහ පරිපාලන සේවයට පිටින් අධිකරණ ලේකම් වූ තවත් දෙදෙනෙකි.

පළාත් සභා ක්‍රමය ආරම්භ වූ යුගයේ අද මෙන් නොව පරිපාලන සේවයට පිටතින් පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් පත්විය. මධ්‍යම පළාතේ දෙවන මාර්ග අමාත්‍යාංශ ලේකම් (1990 - 91) කේ.ඒ.ටී. නිකපිටිය මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයෙකි.

දින 52 ආණ්ඩුවේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ලේකම් එස්.අමරසේකර ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය ය. කෘෂිකර්ම හා මහා මාර්ග අමාත්‍යාංශවල ලේකම් තනතුරු දැරූ අමරසේකර, දී.මූ.ජයරත්න අග්‍රාමාත්‍ය ලේකම් ද විය. ඔහු අද කැබිනට් ලේකම් ය. 2010 - 15 කෘෂිකර්ම ලේකම් ඊ.කේ. කරුණාතිලක ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයෙන් ලේකම් තනතුරට පත්වූවෙකි.

වී.සිවඤාණසෝති යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ පැවති ආර්ථික හා ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් විය. චාන්දනී විජේවර්ධන මලික් සමරවික්‍රම ගේ ආර්ථික ප්‍රතිසංස්කරණ හා ජාත්‍යන්තර වෙළෙදාම අමාත්‍යාංශ ලේකම් විය. මුදල් කොමිෂන් සභාවේ ලේකම්වරුන් ලෙස කටයුතු කළ ටී.ජී.ජයසිංහ, ඩබ්ලිව්.එච්. මුණසිංහ සහ වත්මන් ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් යන සියළු දෙනාම ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීහු වෙති. ආචාර්ය දමිතා ද සොයිසා 2010 - 13 ධීවර අමාත්‍යාංශයේ ද, 2014 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ද ලේකම්වරිය වූවේය. 2002 දී මධ්‍යම ප්‍රදේශ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වූ සී.මාලියද්ද වයස අවු. 80 දී ද අග්‍රාමාත්‍ය (රනිල් වික්‍රමසිංහ) උපදේශක, ආර්ථික කළමනාකරණ කොමිටිය ආදියේ සාමාජික වූ ක්‍රමසම්පාදන සේවයේ අයෙකි. (* ක්‍රමසම්පාදන සේවය ඔසවා තැබීමට මාලියද්ද සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කළේය)

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය නන්දා වික්‍රමසිංහ 2014 සමයේ දී ජාතික උරුමයන් පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ධූරයට පත් කෙරෙුණි.

ගෝඨාභය ජනාධිපතිතුමා ගේ සමයේ නාගරික සංවර්ධන හා ජල සම්පාදන ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම ය. මහ බැංකුවේ නිලධාරියෙකු වූ එස්.ආර්. ආටිගල, වත්මන් මුදල් ලේකම් ය. මහාචාර්ය රංජිත් දිසානායක, නාගරික සංවර්ධන රාජ්‍ය ලේකම් ය. මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර, තොරතුරු සහ සන්නිවේදන රාජ්‍ය ලේකම් ය. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන සේවයට පිටින් ලේකම් ධූරයක් ලැබූ පළමුවැන්නා විය හැකිය.

සුනන්ද මද්දුම බණ්ඩාර Sunanda Maddumabandara‍ෙ, 1990 ජනාධිපති ප්‍රේමදාස සමයේ පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ තනතුරක් වන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය (දැන් විශේෂ ශ්‍රෙණියේ තනතුරකි) ද දැරීය. ලේකම්වරු ගැන කථා කරන අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය ගැන කියන්නට තවත් හේතුවක් තිබේ. යහපාලන රජයේ 2019 ඔක්තෝබර් දක්වා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදර්ශන ගුණවර්ධන Sudarshana Gunawardana යි. ඊට පෙර 2016 සිට 2017 අගෝස්තු දක්වා එම තනතුර දරූවේ රංග කලංසූරිය Ranga Kalansooriya යි. ඊට ත් ඉස්සර, යහපාලන මුල්ම අවධියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ද එම තනතුර දැරීය. මට ත්, ඇය සමග වැඩ කළ ආයතනවල බොහෝ දෙනෙකුට මතක නැත.

මිනිස්සු තනතුරුවලට යති. එති. සමහර පුද්ගලයින්ගේ නම් තනතුරු සමග බොහෝ කල් මතකයේ නොමැකී පවතී.

ප.ලි. 2020 මැයි 10 දින දැනට ක්‍රියාන්විත සේවයේ සිටින මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, (විකීරණ විශේෂඥ වෛද්‍ය) සෞඛ්‍ය ලේකම් ධූරයට පත් කොට ඇත. ඔහු හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරමින් සිටී.

රජිත් කීර්ති තෙන්නකෝන්
හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top