May 23, 2020

කොරෝනාවෙන් ගල් බෝල ගැසීම  Featured

අපි කුඩා කාලයේ ක්‍රිකට් ක්‍රීඩා නොකළෙමු. අපි ක්‍රිකට් ගැසුවෙමු. ඒ ටෙනිස් බෝලයෙනි. ඒ කාලයේ “අයියලා” ක්‍රිකට් ගැසුවේ ගල් බෝලෙනි. ඔවුන් “බිග් මැච්” ගැසුවේ කොළඹ ලොකු ක්‍රිකට් ග්‍රවුන්ඞ්ස්වලය. ඒ කාලයේ අපි ක්‍රිකට් “ස්ටේඩියම්” ගැන අසා නොතිබුණෙමු. ඇත්තෙන්ම අද කතා කරන ස්ටේඩියම් වර්ගයේ යෝධ ක්‍රිකට් පිට්ටනි එදා නොතිබුණි. එදා හැම ක්‍රීඩාවක්ම ජය පරාජය විඳ ගැනීමේ පුහුණුවක් ලබා දුනි. අද එසේ නොවේ.අද ක්‍රීඩා ගණනාවක්ම මුදල් ඉපයීමේ තවත් තරගකාරී ව්‍යාපාරයන් ය. ක්‍රිකට් එවැනි යෝධ ව්‍යාපාරයකි. එය ජාත්‍යන්තරව කෙතරම් විශාල කර්මාන්තයක් වී ඇතිදැයි කිවහොත් ජාතික කණ්ඩායම තරගය සඳහා පළඳින ඇඳුම නිර්මාණය කිරීමත් ලක්ෂ කිහිපයක් අය කරන්නාවූ විශේෂ නිර්මාණ කාර්යකි. ඒ ඇඳුම් පසුව වෙළෙඳපොළෙහි ජනප්‍රිය අලෙවි භාණ්ඩ ලෙස තොග පිටින් විකිණෙන්නේය. ක්‍රිකට් ක්‍රීඩාව වටා එලෙසින් අලුත් ජනප්‍රිය සංස්කෘතියක් වර්ධනය කර ඇත. එහිද මුදල් ඇත. ඒ හැමකක්ම අනුග්‍රාහකයින් සඳහා ඉල්ලුමක් හදන්නාවූ ප්‍රචාරක අවකාශයන්ද සහිත ය.

එලෙසින් විශාල ලෙස මුදල් ගැවසෙන කර්මාන්තයක් බවට පත් වූ ක්‍රිකට් ක්‍රීඩාව අලෙවි කිරීමට එවැනිම යෝධ ක්‍රීඩාංගණ අවශ්‍ය වන්නේ වෙනත් තැන්වල නොමැති නවීන පහසුකම්ද අලෙවි කළ හැකි හෙයිනි. වෙනකක් තබා ක්‍රීඩාංගණය වටාපිටාවේ ඇති පහසුකම්ද සෞන්දර්යද ක්‍රීඩාංගණය අලෙවියට එකතු කෙරෙන්නේය. ගාල්ල ක්‍රීඩාංගණයට එවැනි වාසියක් ඇත. එහෙත් එවැනි කිසිදු අමතර වාසියක් හෝමාගම ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇත්තේ නැත.මෙහි කතා කිරීමට උත්සාහ කරන්නාවූ මාතෘකාවට ගොඩවූයේ දැන්ය. පසුගිය සතියේ දිනක හෝමාගම ඉදිකිරීමට සැලසුම් කළ නවීන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන ප්‍රධාන මධ්‍යයන්හි වාර්තා වූ විගස විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විරෝධතා මතුවිය. ඉන් පළමු හා ප්‍රධානම ප්‍රශ්න කිරීම කෙරුණේ මහේල ජයවර්ධනගෙනි. ඉංග්‍රීසියෙන් සටහන් වූ ඔහුගේ “ට්විටර්” ප්‍රතිචාරය වූයේ තිබෙන්නාවූ ක්‍රීඩාංගණවලටද තරග නොමැති විට තවත් අලුතින් ක්‍රීඩාංගණ ඉදිකරන්නේ කුමටද යන්නය. ඒ සමග යෝජිත හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍යයට කියා තිබුණේ ඒ සඳහා වියදම් කෙරෙන්නේ රජයේ මුදල් නොවන බවය. ගම්මන්පිල මාධ්‍යයට කියූවේ ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ආධාර ලැබෙන බවය. දින දෙකකට පසු ඔහු ඒ තොරතුරු වැරදි යැයි ට්විටර් සටහනකින් සමාව ගනු ලැබූයේ බන්දුල ගුණවර්ධන ඇමති විසින් ඔහුට එම තොරතුර ලබා දුන් බව පවසමිනි. තවත් තර්කයක් වූයේ එවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නොමැතිව ඉදිරියේ ජාත්‍යන්තර තරග ලබා ගැනීම සඳහා අවාසියක් තිබෙන බවය.බොහෝවිට හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට අත පෙවූ කිහිප දෙන කොරෝනා වසංගතයට මුවාවී එය ක්‍රියාත්මක කළ හැකි යැයි සිතුවා විය යුතුය. මේ දිනවල සියල්ල කොරෝනා පැතිරීම සමග ගැට ගැසී ඇති බැවින් ක්‍රිකට් ක්‍රීඩාංගණයකට එතරම් අවධානයක් යොමු නොවනු ඇතැයි අනුමාන කරන්නට ඇත.

එහෙත් මහේල ඊට ඇති ඔහුගේ විරෝධය සමග ඉස්සර වූයෙන් එය පළමු පෙළ ප්‍රවෘත්තියක් බවට පත්විය. තවත් අයට ඔහුගේ විරෝධයෙන් ශක්තියක් ලැබිණ. රොෂාන් මහානාමද, අර්ජුන රණතුංගද හෝමාගම අලුත් ක්‍රීඩාංගණයක් හැදීමට විරුද්ධව අනතුරුව මාධ්‍යයට අදහස් පළ කර තිබුණි. හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම පිළිබඳව එහි ඇති යෝග්‍යතාව මත කතා කිරීම වෙනුවට එය ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර දේශපාලන කාරණාවක් බවට පත්විය. එබැවින් සිංහල-බෞද්ධ දේශප්‍රේමින් අතර මහේල දේශද්‍රෝහියෙකු විය. ඔහු මතු කළ අතිශය කාලෝචිත ප්‍රශ්නයට ප්‍රති පිළිතුරුදීම වෙනුවට දේශප්‍රේමීන් සමාජ මාධ්‍යය ජාලයන්ට ගොඩ බැස්සේ ඔහුට අපහාස කරමින් ඔහුගේ චරිතය ඝාතනය කිරීමටය. ඔවුන් අවසානයේ ඇත්තටම සිදු කෙරුවේ මහේලගේ චරිත ඝාතනයක් නොව, මේ විවාදයට කිසිදු සම්බන්ධයක් නැති මහේලගේ බිරිඳගේ චරිතය ඝාතනය කිරීමය. එය අපේ දේශපාලන සංස්කෘතිය, දේශපාලන හැදියාව නිරුවත් කෙරුණක් විය. මේ සමාජය, කිසිවක් එයට අදාළ කාරණා මත වැදගත් සේ සංවාදයට ගැනීමේ වුවමනාවක් හා පුරුද්දක් නැති දේශපාලන ප්‍රකාශකයින් රොත්තක් විසින් දේශපාලන සංවාද ඔවුන්ට රිසිසේ පාලනය කළ හැකි යැයි සිතා ඉන්නා සමාජයක් බව නැවත ඔප්පු කෙරුණි.

නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කළ යුතුද නැද්ද සහ ඉදි කරන්නේ නම් ඒ කොහේද යන්න පිළිබඳව අප කිසිවකුට වඩා ඒ ගැන අදහස් දැක්වීමේ දැනුවත්කමක් හා වගකීමක් මහේලට ඇතැයි මම විශ්වාස කරමි. එවැනිම විෂය දැනුමක් රොෂාන් මහනාමට හා අර්ජුන රණතුංගටද ඇත. කතා නොකළත් සංගක්කාර වැනි ජ්‍යෙෂ්ඨයින්ටද ඒ අයිතිය හා වගකීම ඇත. කතා කළයුතු අනෙකුන් ඒ ගැන කතා නොකළත් මහේල මතු කළ ප්‍රශ්නයට උත්තර නොදී හෝමාගමට යා නොහැක.
පසුගිය දශක කිහිපයේ සංචාරක ව්‍යාපාරය හා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා තරග අතර යම් ගනුදෙනුවක් හැදීමට ගත් උත්සාහයක් දැකිය හැකිවිය. එහෙත් ඒ සඳහා ඉදි කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ කිසිවක ඒවා නඩත්තු කිරීමට අවශ්‍ය ආදායම් ලැබිය හැකි ප්‍රමාණයට තරග කෙරෙන්නේ නැත.

දැනට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන්නේ යැයි ලේඛනගතව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩා සමාජ 22 කි. ඉන් ඇතැම්වා ඇත්තටම ලේඛනගත සමාජ පමණි. ඇන්තෝනියන් ක්‍රීඩා සමාජය, චිලව් මේරියන්ස් ක්‍රිකට් ක්ලබ්, සීදුව රද්දොළුව ක්‍රිකට් ක්ලබ්, රාගම ක්‍රිකට් ක්ලබ් වැනි නම්වලින් පළමු පෙළ තරග සඳහා ඉදිරිපත් වන ක්‍රීඩා සමාජ ස්ථාවර කණ්ඩායම් සතු ක්‍රීඩා සමාජ නොවේ. ඔවුන් පළමු පෙළ සීමිත ඕවර තරග සඳහා සහභාගි වී ඇත්තේ විටින් විටය. අනෙක් වැදගත් කාරණාව නම් මේ තරගාවලි කෙතරම් පළමු පෙළ තරගාවලි යැයි නම් කිරීමට තරම් උසස් මට්ටමේ තරගාවලිද යන්නය. අනෙක මේ ක්‍රීඩා සමාජ ගත් විට, දෙක තුනක් හැරුණු විට අනෙක් සියල්ලම කොළඹ කේන්ද්‍රීය සමාජයන් ය.

මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා පිළිගනු ලබන ක්‍රීඩාංගණ 10 ක් ඇත. ඉන් දෙකක් සූරියවැව හා පල්ලෙකැලේ ඉදිකරනු ලැබුවේ 2011 ඉන්දියාව හා බංගලාදේශය සහභාගි වූ සීමිත ඕවර ලෝක කුසලානය වෙනුවෙනි. එනමුත් පල්ලෙකැලේ විවෘත කෙරුණේ ශ්‍රී ලංකාව හා දකුණු ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර 2010 දෙසැම්බරයේ පැවති ටෙස්ට් තරගයෙනි. සූරියවැව ක්‍රීඩාංගණය විවෘත කෙරුණේ 2011 එක් දින ලෝක කුසලානය සමගින්ය. ඉන්පසුව ඒවායේ පැවති තරගාවලි ඇත්තේ තනි අතක ඇඟිළි ගණනටත් අඩුවෙනි. කලක් තරමක ජනප්‍රියත්වයක් තිබූ මොරටුවේ ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය දැන් අමතක වූවකි. රන්ගිරි දඹුළු ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තිලංග සුමතිපාල විසින් විශාල ව්‍යාපෘතියක් ලෙස එවැනිම විශාල ප්‍රචාරයක් සමගින් නිම කෙරුණු ආසන 16,800 ක් සහිත යෝධ ක්‍රීඩාංගණයකි. එය විවෘත කරනු ලැබූයේ 2001 මාර්තු මාසයේ සීමිත ඕවර තරගයක් පවත්වමින්ය. ඉන්පසු ගෙවුණු අවුරුදු 18 ක කාලයේ එහි පැවති තරග සංඛ්‍යාව 55 කි. ඒ සියල්ල සීමිත ඕවර තරග විය. අවසාන තරගය පවත්වා ඇත්තේ 2014 නොවැම්බරයේ නේපාලය හා හොංකොං අතරය.

මෙවැනි ක්‍රීඩාංගණ නඩත්තු කිරීමට විශාල මුදලක් අවශ්‍ය වේ. තණ නිල්ල අඛණ්ඩව ඉතා ඉහළ මට්ටමකින් නඩත්තු කරගෙන යාම ඉන් ප්‍රධාන කාර්යකි. වාර්ෂිකව ඒ වියදම සොයා ගැනීමට නම් අවට ප්‍රදේශයේ පාසල් සහ ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිය යුතුය. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාව අධි මිලැති ක්‍රීඩාවකි. ඒ සඳහා තමන් සතු පිත්තක්, පන්දු කිහිපයක්, ශරීර ආවරණ, පා සහ අත් ආවරණ තිබිය යුතුය. ඒවා මිලට ගැනීම එතරම් පහසු නැත. හොඳ පිත්තක් දළ වශයෙන් රුපියල් 8,000 ට වැඩිය. පන්දුවක් රුපියල් 1,000 ට වැඩිය. පා ආවරණ යුවලක් රුපියල් 4,000 ට වැඩිය. එබැවින් කොළඹින් පිට එවැනි වියදම් දැරීමේ හැකියාව ඇති නගර ආශ්‍රිත පාසල් සහ ක්‍රීඩා සමාජ බිහිව නැත. උසස් පෙළ දක්වා පන්ති ඇති පාසල් රට පුරා ඇත්තේ 2,800 ක් පමණය. ඒවායින් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදිය හැකි ආර්ථික ශක්තියක් ඇති පාසල් දැනට ඇත්තේ සියයක් පමණය. ඒවාද කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, නුවර, කුරුණෑගල, බදුල්ල සහ යාපනය වැනි නගර ආශ්‍රිත පාසල් වේ. ඒ නගර ආශ්‍රිතව ක්‍රිකට් සමාජ ඇත්තේ අල්පයකි.

එවැනි සමාජ පසුබිමක යෝධ ක්‍රීඩාංගණ අවුරුද්ද පුරා නඩත්තු කළ නොහැක. සූරියවැව, පල්ලෙකැලේ, රන්ගිරි දඹුළු ක්‍රීඩාංගණවලට සිදුව ඇත්තේ එය ය. ඒ වටා ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන හා ඒ වෙනුවෙන් අවශ්‍ය පමණ මුදල් වියදම් කළ හැකි පාසල් හා ක්‍රීඩා සමාජ නැත. මහේල සහ අනෙකුන් මතු කරන ප්‍රශ්නවලට ඔවුන්ටද ස්ථාවර විසඳුම් ඉදිරිපත් කළ නොහැක්කේද එබැවිනි. පාසල් ක්‍රීඩා පදනමක් නොවන ප්‍රදේශවල ක්‍රීඩා සමාජ තහවුරු නොවන්නේද විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය වියදම් දැරීම එතරම් පහසු නොවන හෙයිනි. ඉතා කෙටියෙන් කියන්නේ නම්, විසිල් ගසන්නට, හුරේ දමන්නට ගම්දනව් පුරා විශාල පිරිස් එකතු වූවාට, ක්‍රිකට් ක්‍රීඩාව අපේ රටට ඔරොත්තු දෙන්නක් නොවේ. එය නාගරික මැද පන්තියට සහ පොහොසතුන්ට සීමා වූ ක්‍රීඩාවක් පමණි. ජනප්‍රිය ක්‍රීඩාවක් වූවාට හෝමාගම ක්‍රීඩාංගණයට විරෝධයක් මතුවූයේද එනිසාවෙන්ම ය. අපට එය ඔරොත්තු නොදෙන්නේය යන තර්කය මතය.

එහි පසුබිමෙහි නාමල් සහ යෝෂිත කොරෝනාවද හේතුකර ගනිමින් හෝමාගම ක්‍රීඩාංගණයට ඔවුන්ගේ අකමැත්ත ප්‍රකාශ කර තිබුණි. ඉන්පසු මහින්දානන්ද අලුත්ගමගේද හිටපු ක්‍රීඩා ඇමතිවරයෙක් ලෙස ඔහුගේ විරෝධයද එකතු කර තිබිණ. සමාජයේ ගොනුවූ විරෝධය ආණ්ඩුවේ ඉහළට දැනී ඇති බැව් එමගින් දැකිය හැකිය. ඒ සමග හෝමාගම ක්‍රීඩාංගණය ගැන සාකච්ඡා කිරීමට මෙය ලියන මොහොත වනවිට මහේලට, මහානාමට සහ සංගක්කාරට අගමැති මහින්ද රාජපක්ෂ ආරාධනා කර ඇතැයි මාධ්‍ය වාර්තාකර තිබිණ. මෙය පළ වනවිට, බොහෝ විට, ඔවුන් සමග කරනු ලැබූ කතාබහෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ හෝමාගම ව්‍යාපෘතිය අත්හිටවූ බවට වාර්තා වන්නට බෙහෙවින් ඉඩ ඇත.

එවැනි තීන්දුවකට මහින්ද රාජපක්ෂ පැමිණෙන්නේ ඔහුට අනෙක් සියල්ලන්ට වඩා දේශපාලන ඉවක් ඇති බැවිනි. දැනට ක්‍රියාකාරී දේශපාලනයේ ඉන්නා වඩාත්ම අත්දැකීම් ඇති ජය පරාජය දෙකම විඳ පුරුදු අවුරුදු 52ට වැඩි දේශපාලන පළපුරුද්දක් ඇති එකම පුද්ගලයාද ඔහුය. ඒ කිසිත් අඩුවෙන් තක්සේරු කළ හැකි නොවේ. ඒ අනුව සැලකුවහොත් හෝමාගම නව ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම නතර කිරීමේ වීරයා බවට අගමැති මහින්ද රාජපක්ෂ පත්වනු ඇත. ඉන්පසු හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් මහේලලා, මහානාමලා, අර්ජුනලා ගැන අසන්නටවත් නොලැබෙනු ඇත. එනිසා එවැනි තත්ත්වයක් ඇතිවන්නට කලියෙන්ම ඔවුන් මුල පිරූ විරෝධය වෙනුවෙන් ඔවුන්ට හිමිවිය යුතු නිසි ගෞරවය මෙහි සටහන් කර මෙය අවසන් කරමි.

කුසල් පෙරේරා

රාවය 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top