Jul 23, 2020

කොරෝනාවෙන් පසු අපේ තේ දල්ලට අමිල වටිනාකමක් Featured

කොවිඩ් 19 නව කොරෝනා වයිර­සය මේ වන විට ලොව ආර්ථිකයට එල්ල කර ඇත්තේ මරු පහරකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාව, චීනය, ප්‍රංශය, ඉන්දියාව වැනි ලොව බලගතු රටවල් රැසක ආර්ථික කටයුතු මේ වන විටත් බිමටම සමතලා වී ගොස් තිබේ.

මේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය යම් තරමකට හෝ පාලනය කර ගැනීමට පසුගිය කාලය තුළ අප රටට හැකියාව ලැබී තිබුණද කොරෝනා වසංගතයත් සමඟ මෙරට ආර්ථිකයට වූ බලපෑම නම් සුළු පටු එකක් නොවේ. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින් රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ද සිදු වුණු අතර රටේ ආර්ථිකයේ වර්ධනයට දායකත්වය දුන් ක්ෂේත්‍ර රැසක නිෂ්පාදන හා සේවා කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ බිද වැටුණි.

"හැම කළු වලාවකම රිදී රේඛාවක් සැඟවී තිබේ" යැයි පැරණි කියමනක් තිබේ. ඇතැම් විට පැරැන්නෝ එලෙස කියා ඇත්තේ නිකමටවත්, ඔවුන්ගේ කට කහනවට­වත් නොවේ. කොවිඩ් 19 නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මෙරට තුළ ආරම්භ වූ කාල සීමාව තුළදී පවා අප රටේ වැවිලි ක්ෂේත්‍රය සක්‍රීය ලෙසම මෙරට ආර්ථිකය ඇද වැටෙන්නට ඉඩ නොදී එකී ජාතික ආර්ථිකයට ජීවය හා ජවය ලබා දුන් අතර කොරෝනා අවදානම ගැන නොතකමින් 140,000ක් පමණ වූ වතුකම්කරුවන් හා දසදහසකට ආසන්න මෙරට සමස්ත වතු ක්ෂේත්‍රය නියෝජනය කරන කාර්ය මණ්ඩලය ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාල සීමාව තුළදී පවා අඛණ්ඩව සිය රාජකාරී හා සේවා කටයුතු වල නිරත වූහ. විශේෂයෙන්ම දැනට අප රටේ ක්‍රියාත්මක වන ලොකු, කුඩා තේ නිෂ්පාදන කර්මාන්ත ශාලා 600 ක නිෂ්පාදන කටයුතු කොරෝනා ව්‍යාප්තිය මැද ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ මාස කීපය පුරාම ඉතා සාර්ථක ලෙස සිදු කරන ලදී.

මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වැවිලි අතුරින් මුල් ස්ථානය හිමි කර ගෙන ඇති තේ කර්මාන්තය තුළ කටයුතු කරන වැවිලි කරුවන්ගෙන් මෙන්ම එම ක්ෂේත්‍රය ආශ්‍රිත වතු කම්කරු ප්‍රජාවගෙන් එකී කාලය තුළ ඉටු වුණු මාහැගි සේවා­වයි. තේ වගාව ශ්‍රී ලංකාවේ විදේශ විනිමය උපයන එක් මාර්ගයක් වන අතර එම වගාව හා සම්බන්ධ රැකියාවල සේවකයන් විශාල පිරිසක් නිරතව සිටින හෙයින් තේ වගාව රටේ රැකි රක්ෂා සපයන ප්‍රධාන මාර්ග­යක්ද වේ. තේ,රබර්, පොල් හා කටුපොල් වගාකර ඇති මහා පරිමාණ වතු 428 ක් රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය ඇතුළුව මෙරට තුළ ක්‍රියාත්මක වැවිලි සමාගම් 27 ක් යටතේ පාලනය වන අතර එම මහා පරිමාණ වතු වල දැනටද වැඩි වශයෙන් වගා කර ඇත්තේද තේ වගාවයි.

ගත වූ වසරේ මහබැංකු වාර්තාවට අනුව මෙරට වගාකොට ඇති මුළු තේ වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර් 200,000 ක් වන අතර තේ දලු කැඩීම සිදුකරනු ලබන බිම් ප්‍රමාණය හෙක්ටයාර් 193,000 කි. 2019 වසර තුළ පමණක් නිෂ්පාදනය කර ඇති තේ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් මිලියන 300.1 ක් වේ. මීට වසර 153කට පෙර අතීතයේදී රටේ ප්‍රධාන ආර්ථික භෝගය වූ කෝපි වගාව කොළ අංගමාරය රෝගයට ගොදුරු වුණු අතර එතැන් සිට වාණිජ බෝගයක් ලෙස තේ වගා කිරීම 1867 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ටේලර් විසින් පළමු වාණිජ තේ වගාව සහ තේ නිෂ්පාදනය හේවාහැට ලූල්කඳුර වතුයායේ දී ආරම්භ කිරීමට කටයුතු යෙදූ අතර ඔහු විසින් ලාංකීය කෘෂිකර්මාන්තය සඳහා දායක වූවා පමණක් නොව තේ කර්මාන්තයේ සැපයුම් දාම පහසුකම් ලබා දීම උදෙසා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නිර්මාණය කිරීමට ද පුරෝගාමී වූ බව සඳහන් කිරීම වටී.

ශත වර්ෂයකටත් අධික කාලයක් මුළුල්ලේ සිට තේ කර්මාන්තය මගින් රටේ ආර්ථිකයේ තිරසර පැවැත්ම සඳහා අඛණ්ඩ දායකත්වයක් ලබා දෙමින් පවතී. මෑත වසරවල දී ආදායම් උපයන මාර්ග එකක් හෝ දෙකක් ඉස්මතු වුවද ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ඉක්මවා යමින් රට වෙනුවෙන් වැඩිම විදේශ විනිමය ඉපැයීම් ක්‍රියාවලියේ දී තේ කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. රටේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 20‍%ක් සෘජු හා වක්‍ර ආකාරයෙන් තේ කර්මාන්තයේ නියැළී සිටින අතර, එය ගබඩා පහසුකම් සැපයීම, ප්‍රවාහන, මුද්‍රණ, ඇසුරුම් ආදී උපයෝගී කර්මාන්ත ගණනාවක් දක්වා විසිරී පවතියි. මීට අමතර ව තේ මෙරට සමස්ත විදේශ විනිමය ඉපැයීම්වලින් 15‍%ක දායකත්වයක් සහ කෘෂිකාර්මික අපනයන ආදායමෙන් 65‍%ක් උත්පාදනය සිදු කරන බවද සඳහන් කර සිටිය යුතුය.

කෙසේ වුවත් කොරෝනා වසංගතය පැතිරෙන්නට පෙරගත වූ වර්ෂ කීපය අපේ තේ වගාවට එතරම් හොඳ කලක් උදා කර දී තිබුණේ නැත. කොරෝනාවට පෙර මෙරට අමු තේ දලු කිලෝවක් පැවතියේ රුපියල් 80ක් 85 වැනි මුදලකට වන අතර එම මිල ගණන් අපේ තේ නිෂ්පාදකයන්ගේ උද්යෝගයට කිසි ලෙසකින් වත් හේතු වූයේද නැත. කෙසේ වුවත් කොරෝනාවත් සමඟ මෙරට තේ කර්මාන්තයට සුබදායී වාතාවරණ­යක් උදා කර ඇති අතර ඒ නිසාම අන්තර්ජාලය හරහා සංවිධානය වුණු තේ වෙන්දේසිය තුළදී මෙරට නිමි තේ කිලෝවක් සඳහා ඉහළම මිලක්ද හිමි වුණි. එම මිල ගණන් නිසා තේ දලු කිලෝව රුපි­යල් 120, 130 දක්වා ඉහළ යන ලදී. කොරෝනා වසංගතයේ බලපෑම නිසා මෙම තේ වෙන්දේසිය අන්තර්ජාලය හරහා පැවැත්වීමට කටයුතු යොදා තිබීමද ඉතාම සුවිශේෂ කාරණාවක් වේ.

කොරෝනා පැතිරීම වර්ධනය වීමත් සමඟ තේ කර්මාන්තයට නමක් දිනා ගෙන සිටි අපේ අසල්වැසි ඉන්දියාව සම්පූර්ණයෙන්ම වසා දැමීමත්, තවත් රසවත් තේ නිෂ්පාදකයකු වන කෙන්යාව වැනි රටවල තේ නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහත වැටීමත් සමඟ වයිරස වලට එරෙහිව සටන් කරන ශක්තිමත් ශාරීරික ප්‍රතිශක්තියක් ඇති කරන ඉහළම ප්‍රමිතියෙන් හා ගුණයෙන් යුත් ලොව පිනවන ශ්‍රී ලාංකික තේ සඳහා සමස්ත ලෝක ප්‍රජාවගෙන්ම ඉහළම ඉල්ලුමක් ඇති වීමට හේතු සාධක වුණු බව ආර්ථික විචාරකයන්ගේ මතයයි. මේ ඉහළ ඉල්ලුම නිසා ශ්‍රී ලාංකික තේ අපනයන සමාගම් හා තේ කම්හල් වෙත කලකට පසු කරළ පැහුණු ඉතා සුබ කාලයක් උදා වන ලදී.

ඇත්ත වශයෙන්ම මේ වන විට අපේ රටේ තේ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තරයෙන් හොඳ මිලක් මෙන්ම හොඳ තක්සේරුවක්ද ලැබී ඇති බව පැහැදිලිය. එහෙයින් අභියෝග, දුෂ්කරතා පරදමින් හිමි වූ මේ කිරුළ රැක ගැනීමට තේ කර්මාන්තය තුළ කටයුතු කරන සියලුම පාර්ශ්ව වගකීමකින් යුතුව කටයුතු කළ යුතු කාලය දැන් උදා වී තිබේ. නොපමාව පැහැදිලි වැඩපිළිවලක් මෙන්ම එම වැඩපිළිවෙළ ශක්තිමත් ලෙස ඉදිරියට ගමන් කරවිය හැකි ප්‍රබල යාන්ත්‍රණයක්ද වහ වහා ගොඩනගා ගත යුතුය. අවාසනාවකට හෝ ඒ කියන වැඩපිළිවෙළ හා යාන්ත්‍රණය ගොඩනගා ගැනීමට අප රටට නොහැකි වුවහොත් හෝ එය තවදුරටත් පමා වුවහොත් මෙරට තේ නිෂ්පාදන සඳහා ජාත්‍යන්තරයෙන් ලැබුණු හොඳ මිල මෙන්ම තක්සේරුවද අභියෝගයට ලක්ව ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අභියෝගාත්මක, අති දුෂ්කර සමයක් වෙත ගමන් කරවනු නිසැකය. එහෙයින් එය එසේ නොවන්නට වග බලා ගැනීම තේ වගා කරුවන්ගේ, කර්මාන්ත ශාලා හිමියන්ගේ, වතු කම්කරු ජනතාවගේ මෙන්ම දේශපාලන අධිකාරිය ඇතුළු තේ හා සම්බන්ධව කටයුතු කරන සියලුම පාර්ශ්වවල වගකීම වන බව සටහන් කර සිටිමු.

(සිළුමිණ)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top