Jul 29, 2020

කාර්යාල කෝච්චි කල්ලිවලට කොරෝනාව කළ හදිය !

අපේ එක් මිතුරෙක් හොඳ ගායකයෙක්ය. ඔහු ගී ගයන්නේ සංගීත වේදිකාවේ නොව උදේ හවා ඔෆිස් එන කෝච්චියේය. කෝච්චියේ ගී ගයන ඔහුට යුග ගී කියන්නට සහය වන්නේ කෝච්චියේම එන තරුණියකි. ඈ හා හාද වෙන්න අපේ මිත්‍රයා නොදැමූ සෙල්ලමක් නැත. ඈ බහ දෙන්නට ඔන්න මෙන්න තියෙද්දී කොවිඩ් කඩන් පැන්නේය. මාස දෙකක් තිස්සේ ඒ කිරිකෝඩු ප්‍රේමය ලප් තැනම ලොප් වූවේය. අපේ මිත්‍රයා හිතාගෙන හිටියේ ආයෙත් කෝච්චි පුරුදු විදිහටම පටන් ගන්නටය. ඇයත් එක්ක ගී කියන්නය. එහෙත් ප්‍රේමයට ආණ්ඩුවෙන් උදැල්ලක් දැම්මේය. ඒ කාර්යාල පටන් ගත්තහම වෙලාවන් වෙනස් කිරීමෙන්ය. දැන් ඈ එක කෝච්චියකය. අපේ හාදයා තව කෝච්චියකය.

දවසට ලංකාවේ හතර අතේ කෝච්චි තුන් හාරසියයක් දිව්වත් මේ වගේ කතා වැඩියෙන් ඇත්තේ ඔෆිස් ට්‍රේන් හෙවත් කාර්යාල දුම්රියවලය.

දුම්රියවලට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සාගරිකා, සමුද්‍ර දේවි, ගාලු කුමාරි, උඩරට මැණිකේ, යාල් දේවි, මුතු කුමාරි, පොඩි මැණිකේ, රුහුණු කුමාරි ආදී බොහෝ නම් දුන්නාට හැමදාමත් කෝච්චියේ යන කාර්යාල සේවක සේවිකාවෝ එම නම් පාවිච්චි කරන්නේ නැත.

බංගේ, කැලෑ කුමාරි, මෙන්ඩිස් වීර, හිඟන්නා, ජෙට්, රෝසි, කැන්සල්ගොඩ, මළකඩ දේවි, ෆවුසි, පොඩි ෆවුසි, බට්ටි, සුරංගනී, හුටු හුටු කුමාරි, සම්බෝලේ, පොඩි විජේ, නිදි කුමාරි, කචල් මැණිකේ, ඉඩදෙන කුමාරි, හික්කා, ගප්පියා, රතු මැණිකේ, චිරි චිරි මැණිකේ, කෑෂ, වේදනා දේවි, හුණු කුමාරි, බජට් එක්ස්ප්‍රස්, නයනා කුමාරි එසේ අභිෂේක වූ නාම අතරින් කිහිපයකි.

අපේ රටේ දුම්රිය ගමන් මාර්ග කිහිපයකි. ප්‍රධාන දුම්රිය මාර්ගය වන්නේ කොළඹ සිට පොල්ගහවෙල දුම්රිය මාර්ගයයි. එතනින් ඉහළට ඇත්තේ උඩරට මැණිකෙලා පොඩි මැණිකෙලා යන උඩරට මාර්ගයයි. මුතු කුමාරිලා යන්නේ හලාවත දුම්රිය මාර්ගයේය. යාල් දේවිලා උදයදේවිලා යන්නේ උතුරු දුම්රිය මාර්ගයේය. දුම්රිය දෙපාර්තමේන්තුවෙන්ම නම් දීපු සාගරිකලා, සමුද්‍රදේවිලා, රුහුණු කුමාරි, ගාලු කුමාරි යන්නේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේය. උඩරට මැණිකෙලා, යාල් දේවිලා, රුහුණු කුමාරිලා කාර්යාල දුම්රිය නොවේ. දුම්රිය දෙපාර්තමේන්තුව නම් දී ඇති කාර්යාල දුම්රිය වන්නේ සාගරිකා හා සමුද්‍රදේවිය. අනෙක් කාර්යාල දුම්රියවලට ඉහත කී නම් දී ඇත්තේ සුවහසක් වූ දුම්රිය මගී ජනයෝය.

දිගුදුර කාර්යාලයීය දුම්රිය යනු වෙනස්ම ලෝකයකි. යන්න පැය දෙකයි එන්න පැය දෙකයි යන දවසේ පැය විසිහතරෙන් පැය හතරක් කෝච්චියේ ගතකරන ජීවිත නිසා ඒ තුළ ඇති වී ඇත්තේ වෙනස්ම ලෝකයකි. ඒ ලෝකේ විවිධ චරිත ඇත. විවිධ කල්ලි ඇත.

සමහර කල්ලි සින්දු කල්ලිය. ඔවුන් කරන්නේ හීනියට ගීයක් කියා සතුටු වීමය. තවත් අය කරන්නේ ඕමි අතක් ගැසීමය. ගෙදර යන ගමන් භීතියට අඩියක් ගහන්න කල්ලිත් කෝච්චියේ නැතුවාම නොවේ. ඉන්දියාවේ බොලිවුඩයේ සිට අල්ලපු ගෙදරට අලුතින් දැමූ දොර රෙදි දක්වා ඕප දූප දොඩවන කල්ලි චීනයේ හා ඇමෙරිකාව අතර රාජතාන්ත්‍රික ප්‍රශ්නවල සිට සිරිකොතේ පක්ෂ රැස්වීම දක්වා දේශපාලන කරුණු විශ්ලේෂණ සංස්ලේෂණය කරන කල්ලි දක්වා මේ කල්ලි වර්ගීකරණයේ විවිධත්වයක් ඇත. මේ අතරේ සමහරු මේ කාලය කැප කරන්නේ තහනම් ගහේ ගෙඩි කන්නය. තවත් අය කරන්නේ සයිබර් අවකාශයේ අහුමුළු අතගෑමය. දැහැමෙන් සෙමෙන් සියල්ල සුපුරුදු පරිදි මෙසේ වෙත්දී චීන දේශයේ සිට අපේ රටේ බින්න බසින්නට ‘කොවිඩ් 19’ ආවේය. එය හිටි හැටියේ සියල්ල උඩු යටිකුරු කළේය.

‘මම අවුරුදු පහළොවක් තිස්සේ පානදුරේ ඉඳන් කොටුවට උදේ හවා වැඩට යන එක මනුස්සයෙක්. පැයක් විතර ට්‍රේන් එකේ ඉන්නේ. සමුද්‍රදේවී සාගරිකා වගේ ට්‍රේන්වල මේ කල්ලි ප්‍රශ්නේ තදටම තියෙනවා. ඕමි ගහනවා. සින්දු කියනවා හරිම කරදරයි. මම ට්‍රේන් එකේ නිදාගන්නේ. වැඩකරලා කරලා එන්නේ මහන්සියෙන්. මෙගොල්ලෝ කල්ලි ගැහුණහම එතනට වෙන මනුස්සයෙක්ට එන්න දෙන්නේ නෑ. ඒත් මේ කොවිඩ් ආවායින් පස්සේ මේ තත්ත්වය ගොඩක් වෙනස් වෙලා. මිනිස්සු ඉස්සර වගේ කල්ලි ගැහිලා කාඩ් ගහන්නේ සිංදු කියන්නේ ඒ මොකුත් කරන්නේ නෑ. තැන තැන වෙන්නෙ. නැත්තෙමත් නෑ හැබැයි අඩුයි.’ මෙසේ කියන්නේ සුගතපාල ගුණසේකරය.

දුම්රියේ ගමන් කරන මොහොතේ සමහරු උපන්දින සමරන්නේ ය. පුංචි පහේ පාටියක් දුම්රිය පෙට්ටියේ දාන්නේය. සිංදුවක් කියා ආතල් එකක් ගත්තේය. සමහරුන්ට විටක එය කරදරයක් වෙන්නේ එය පමණ ඉක්මවූ විටය.

‘ඇත්තටම මහන්සිවෙලා හිරවෙලා යන වෙලාවේ මිනිස්සු කැමැතියි සිංදුවක් කියාගෙන අහගෙන නිදහසේ යන්න. ඒත් වෙලාවකට මේක සීමාව ඉක්මනවා. කාටවත් කරදරයක් බාධාවක් කරන්නේ නැතුව මේක හෙමින් සීරුවේ කරනවනම් ප්‍රශ්නයක් නෑ. මම උදේ හවස ට්‍රේන් එකේ වැඩටයන මනුස්සයෙක්. පානදුරින් නගින්නේ, බහින්නේ කොටුවෙන්. ඔය සමුද්‍රදේවි ට්‍රේන් එකේ ලොකු සීන් කට්ටිය වැඩියි. අනිත් අයට බාධා කරනවා.’ මෙසේ කියන්නේ වෘත්තියෙන් දුරකථන ක්‍රියාකරුවෙක් වූ සමිත ජයරත්නය.

දිගු දූර කාර්යාලයීය දුම්රියේ මගියෝ සියලුදෙනාම පාහේ ඊට නගින්නෙත් බහින්නෙත් මහන්සියෙන් හෙම්බත්ව නහුතයක් වූ ප්‍රශ්න ඔළුවේ තියාගෙනය. මෙසේ කියන්නේ වෘත්තියෙන් සිවිල් ඉනංජිනේරුවකු වූ ඩබ්ලිව්.ඒ. සම්පත් සඳරුවන්ය.

‘මිනිස්සු කෝච්චි අයිති කරගෙන සමුද්‍රදේවි, සාගරිකා, රුහුණු කුමාරි වගේ ට්‍රේන්වල මේ ප්‍රශ්න වැඩියි. ඇතුළට යන්න කිව්වට ඇතුළට යන්නේ නෑ. අපි කාන්තාවන්ට නගින්න ඉඩ දීලා ෆුඩ් බෝර්ඩ් එකේ යනවා. කළුතර ඉඳන් බම්බලපිටියට යන්න විනාඩි හතළිස් පහක් පැයක් විතර යනවා. මේ කාලේම අපි ෆුඩ් බෝර්ඩ් එකේ හිරවෙලා එල්ලිලා යන්නේ. අපි මෙහෙම යද්දි තවත් කට්ටියක් ඇතුළේ කේක් කනවා. පාටි දානවා. කාඩ් ගහනවා.’

කාලය සියල්ල වෙනස් කර ඇත. කෝච්චි ඇතුළේ කාටවත් වෙනස් කරන්නට බැරි වූ දේ කොවිඩ් වෙනස් කර ඇත. ‘සමාජශීලී රටකට සමාජ දුරස්ථභාවය ලේසි දෙයක් නම් නොවෙයි. ඒත් කොවිඩ් 19 එය කර ඇත.

‘කොවිඩ් නිසා මිනිස්සු මාක්ස් දාගෙන ඉන්නේ. ඒ නිසා සිංදු කියන්නේ කතා කරන්නේ නෑ. උපන් දින පාටි දාන්නේ නෑ. එකට රැස්වෙන්නේ නෑ. ඉඳලා හිටලා මේව වෙනවා. ඒත් ළඟදී නම් බර්ත්ඩේ පාර්ටි එහෙම නෑ.’ එසේ කියන්නේ වෘත්තියෙන් ලිපිකරුවෙක් වූ තිලංක මහේෂ් කුමාරය.

කොවිඩ් නැති කර ඇත්තේ කල්ලි පමණක් නොවේ කිරිකෝඩු හිතට මෝදු වෙච්ච ආල හැඟුම්ද දඬු කෝඩු හිත මෝදු වෙච්ච ආල හැඟුම්, කොවිඩ් නිසා මෝදු නොවී ලප්තැනම ලොප් වී ඇත.

‘මම වැඩට එන්නේ රඹුක්කන – පානදුර ට්‍රේන් එකේ. සිංදු පෙට්ටියේ. ඒකට සිංදු පෙට්ටිය කියන්නේ එතනට සෙට් වෙන්නේ සිංදු කියන අහන අය. කොවිඩ් ආවායින් පස්සේ අපි සිංදු කියන එක නැවැත්තුවා. කතා බහ කරනවත් අඩු වුණා. හෙඩ් සෙට් එක ගහගෙන සිංදුවක් අහගෙන යනවා.

කොරෝනාවලට කලින් නම් කෝච්චියේ සැන්විච් කේක් එහෙම බෙදා ගත්තා. කෝච්චි පෙට්ටිය පුරාම අතින් අත මාරු වුණා. දැන් ඒවා මොකුත් නෑ. ලොකුම ප්‍රශ්නේ කෙල්ලෙක්වත් අඳුරගන්න බෑ. හැමෝම මූණ වහගෙන. දැනටමත් එෆෙයාර් තිබ්බ අයටනම් අවුළක් නෑ. ඒත් ක්‍රෂ් එහෙම නැති වුණා. ලොක්ඩවුන් කාලේ හම්බ වුණේම නෑනේ.’ එසේ කියන්නේ නිරෝෂන් විදුසරය.

දුම්රිය තුළ එකතු වෙන්නේ මිනිස්සුය. හැමදාම එකම විදිහට හමුවෙන මිනිසුන් අතරේ අන්තර් සබඳතා ඇති වීම වළක්වන්නට කාටවත් බැරිය.

‘මම දැන් අවුරුදු තුනක් තිස්සේ ට්‍රේන් එකෙන් වැඩට යන්නේ. ‘කල්ලි’, ‘කල්ලි’ කියලා කිව්වට මෙතන සංවිධානාත්මක කිසි දෙයක් වෙන්නේ නෑ. ඔය හැමදාම එකට වැඩට යන මිනිස්සු එකතු වෙනවා. මිනිස්සු ට්‍රේන් එකට නගින්නේම ලොකු පීඩනයකින්. ඒ පීඩනය පිට කරගන්න තමයි සිංදුවක් කියලා. විනෝදයෙන් ඉන්නේ. හැමදාම වැඩට එන මිනිස්සු මේ දේවල් ප්‍රශ්නයක් කරගන්නේ නෑ. හැමදාම දකින කුකුළාගේ කරමල වගේ ඒක. ඒක මැජික් වෙන්නේ ඉඳලා හිටලා නගින මනුස්සයෙක්ට. මොකද මේ දේ ඒගොල්ලන්ට අලුත් දෙයක් වෙනවා. එසේ කියන්නේ පැතුම් ආසිරිය.

කොවිඩ් ආවායින් පස්සේ නැවතී ඇති සුවහසක් දේ අතරේ ඇත්තේ කල්ලි ගැසීම පමණක් නොවේ. මුහුණට මුහුණ අසුන් පනවා ඇති දුම්රිය ආසන මැද්දේ හිටගන්න වනිතාවෝද දැන් එසේ කරන්නේ නැත. චීන මහා ප්‍රාකාරය බැන්දාක් මෙන් ජනේලය ඉස්සරහින් හිට ගන්නා ඔවුන් නිසා නවතින දුම්රිය මැදිරි තුළට හුළං ඒමද නැවතෙන්නේය. දැන් තත්ත්වය වෙනස් නිසා දුම්රිය මැදිරි තුළට හුළං පොදක් හෝ එන්නේය.

ඉස්සර දුම්රියෙන් බැස්ස හැටියේ ඇඳුම් පැලඳුම් කොණ්ඩේ හදන ගෑනු පිරිමි දෙපාර්ශ්වයම දැන් දැන් විෂබීජනාශක දියර යොදා අත් පිරිසිදුකර ගනිති. මේ අතරේ තවත් අයගේ සයිඩ් බිස්නස් නැවතී ඇත. ඒ කිව්වේ පාර්ට් ටයිම් වෙළෙඳාම්ය. කන්තෝරුවට වැඩට එන්න කෝච්චියට නගින සමහරු ගෙදරින් ඉඳිආප්ප මුල් දහයක් පහළොවක් බැඳගෙන එති. ඔවුහු එය දුම්රිය මැදිරියේදී විකුණා අතට කාසිපනම් කිහිපයක් සොයා ගත්හ. තවත් අය කොළොම්පුරේ අඩුවට ගන්න පුළුවන් දේ ගමේ ගෙනියති. ගමේ දේ කොළොම්පුරයට ගෙනියන්නේය. ඒ ගේන්නේ ගෙනියන්නේ උදේ හවා යනෙන කාර්යාල දුම්රියේය. දැන් ඒවා නැවතී ඇත.

කෝච්චි ඇතුළේ වූ උපසංස්කෘතිය දශක ගණනක් පුරා ආවේය. හිටි හැටියේ ආ කොවිඩ් ඒ සියල්ල කණපිට ගැසුවේය. මුඛ වැසුම කතාබහ සීමා කළේය. ආයතන පටන් ගත් වේලාවන් වෙනස් කර ඇති නිසා කොවිඩ්වලට පෙර එක දුම්රියේ ගමන් කළ අය දැන් යන්නේ වෙනත් දුම්රියවලය. කේක් බිස්කට් සැන්විච් කා සැමරූ බර්ත්ඩේ පාර්ටි දැන් නැත. එහෙත් ආයෙත් තැනින් තැන ඒ දේ සිදුවන්නේය. මීටරේ සෙන්ටිමීටරේ වන්නේ, නැවැත්තූ තැන්වලින් පෙර කී කළ කී දෑ නැවත පටන්ගෙන ඇත්තේ කන්දකාඩුවෙන් කොවිඩ් පොකුරක් වාර්තාවේද්දීය.

මධුෂාණි කොඩිතුවක්කු

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top