Nov 09, 2020

කොමර්ෂල්හි SMS තෙවැනි පාර්ශවයක් බැලුවාද?: අපේ SMS විදෙස් රටක් කියවනවද? Featured

මෙරට ජංගම දුරකථන ජාල ඔස්සේ සංසරණය වන කෙටි පණිවුඩ (SMS) අවශ්‍ය නම් තෙවැනි පාර්ශවයකට කියවීමේ හැකියාවක් ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඒ මෙරට ජංගම දුරකථන සේවා සපයන ආයතන විසින් දේශීය හා විදේශීය කෙටි පණිවුඩ හුවමාරු කිරීම අධීක්ෂණය කිරීමට යොදා ඇති Firewall (ෆයර් වෝල්) එකක් නිසාය.

සරලවම Firewall එකකින් සිදු කරනු ලබන්නේ ජාලයේ ආරක්ෂාව සැපයීමේ (Network Security device) පද්ධතියක් ලෙස ක්‍රියා කිරීමයි.

ඒ අනුව අදාළ ජංගම දුරකථන සමාගම්වල කෙටි පණිවුඩ incoming සහ outgoing network traffic එක අධීක්ෂණය (monitor) කිරීම අප සඳහන් කරනු ලබන Firewall එකෙන් සිදුවේ.

මේ තත්ත්වය අනුව අදාළ Firewall එක කෙටි පණිවුඩ සඳහා (SMS) අවසරදීම (permission) සහ අවහිර කිරීම (Block) මූලික කරගෙන ඇති ආරක්ෂිත අරමුණු අනුව ක්‍රියාත්මක වේ.

මෙරට ජංගම දුරකථන සේවා සපයන සියළු සමාගම් මෙසේ යොදාගෙන ඇති Firewall අපේ රටට බලපෑම් කළ හැකි විදෙස් රටවල සමාගම්වලින් ලබාගත් ඒවා වීම මේ අනතුරුදායක තත්ත්වය තවත් තීවුර කර තිබේ.

අදාළ ජංගම දුරකථන සම්බන්ධතා සපයන ආයතන මෙසේ විදෙස් සමාගම් යොදාගෙන ඇත්තේ ලොව දියුණුම රටවල්වල ජංගම දුරකථන සම්බන්ධතා සපයන ආයතනවලට SMS Firewall සපයන ප්‍රධාන දේශීය ආයතන දෙකක් තිබියදීය.

එම ආයතන SMS Firewall ව්‍යාපාරය තුළද ඉහලින්ම සිටින ආයතන දෙකකි.

ලංකාවේ SMS එක්ක සෙල්ලම් දාන Infobip

ඒ අතරින් මෙරට ජංගම දුරකථන සමාගම් වැඩි ප්‍රමාණයක් කෙටි පණිවුඩ සඳහා යොදාගෙන ඇති Firewall සේවාව ලබාගෙන ඇත්තේ Infobip නම් සමාගමෙනි.

මෑතක්වනතුරුම ජාතික ජංගම දුරකථන සේවා කරුවාද අදාළ සේවය ලබාගෙන තිබුණේ Infibip වෙතිනි.

එම කේෂත්‍ර තොරතුරු අනුව ලංකාවේ Firewall සේවා කරුගේ සහය ලැබෙන්නේ වැඩි වශයෙන් ඉන්දියානුවන්ගෙන් බවද පැවසේ.

තොරතුරු පිටයන බවට සාක්ෂි

මේ අතර, SMS පණිවුඩ මගින් සිදු කරෙන ගනුදෙනු වඩාත් අනතුරු දායක බව මතුවූයේ පසුගිය දිනවල කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් වෙත ලැබුණු කෙටි පණිවුඩයක් නිසාය.

"Dear Customer, Please refrain from providing confidential information such as User IDs, Card details, PINs and OTPs (One Time Passwords sent via SMS) to any third party. Commercial Bank WILL NOT request such confidential information at any time from our customers.”

("හිතවත් පාරිභෝගිකයෙනි, කරුණාකර ඕනෑම තෙවන පාර්ශවයකට පරිශීලක හැඳුනුම්පත්, කාඩ්පත් විස්තර, PIN සහ OTPs (කෙටි පණිවුඩ හරහා යවන එක් වරක් මුරපද) වැනි රහස්‍ය තොරතුරු ලබා දීමෙන් වළකින්න. කොමර්ෂල් බැංකුව එවැනි රහස්‍ය තොරතුරු අපගේ ගනුදෙනුකරුවන්ගෙන් කිසි විටෙක ඉල්ලා නොසිටිනු ඇත.”)

යනුවෙන් කොමර්ෂල් බැංකුව අදාළ කෙටි පණිවුඩය යොමුකර තිබිණි.

මේ කෙටිපණිවුඩය සමඟ මතුවන ප්‍රධානම ප්‍රශ්නය වන්නේ තෙවැනි පාර්ශවයක් විසින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් හඳුනාගත්තේ කෙසේද යන්නය.

ඒ අනුව අපට ලැබෙන SMS වෙනත් පාර්ශවයක් කියවන බවට සැකයක් මතුවේ.

Bigdata බිස්නස්

මේ අතර, මෙරට ජංගම දුරකථන සමාගම් හා සම්බන්ධ ඒ ඇසුරේ කටයුතු කරනු ලබන සමාගම් කිහිපයක් සම්බන්ධවී සිටින බිග් ඩේටා ව්‍යාපාර ද මේ සැකය තවත් වැඩිකරන තැනකි.

අදාළ සමාගම් පුද්ගල රුචිකත්වය අනුව SMS යැවීමේ කොන්ත්‍රාත් බාර ගැනීම සිදුකරනු ලබයි.

එසේ නම් ඒවාට පුද්ගල රුචිකත්වය තේරුම් ගැනීමට හැකි වන්නේ කෙසේද?

මේ අනුව අපට ලැබෙන හා අප යවන කෙටි පණිවුඩ තෙවැනි පාර්ශවයක් විසින් කියවන බව නොරහසකි.

චැනලින් මාරුව

මේ අතර, මෙරට මුලින්ම කෙටි පණිවුඩ හරහා දොස්තරවරු චැන්ල් කිරීමේ සේවාව පටන්ගත් ජංගම දුරකථන සමාමේ තොරතුරු තෙවැනි පාර්ශවයක් වෙත ගමන් කිරීමද SMS තෙවැනි පාර්ශවයක් කියවන බවට වන ප්‍රබල සාක්ෂියකි.

කෙටි කලකට පසුව අදාළ SMS සේවාව මගින් චැනලින් සේවාව ලබාගත් විගස පාරිභෝගිකයන්ට තවත් ජංගම දුරකථන සේවා ජාලයක් විසින් වෙනත් නමකින් ආරම්භ කරන ලද එම සේවාවම ඔවුන්ගේ ඡාලය ඔස්සේ ලබා ගන්නේ නම් ඒ සඳහා විශේෂ වට්ටම් දෙන බවට කෙටි පණිවුඩ ලැබිණි.

ඒ අනුව අදාළ SMS එක වෙනත් පාර්ශවයක් කියවන බවට ඉන් සැකයක් මතුවේ.

මේ අනුව, SMS පණිවුඩ හරහා බැංකු ගිණුම් පවත්වාගෙන යන හා වෙනත් එදිනෙදා වැදගත් සේවාවාන් සඳහා SMS භාවිතා කරන්නන්ගේ තොරතුරු තවදුරටත් සුරක්ෂිත නොවන බව පෙනී යන බව එම තොරතුරු කේෂත්‍ර ප්‍රවීනයෝ කියා සිටිති.

මේ තත්ත්වය මත කෙටි පණිවුඩවලින් ප්‍රවේශම්වීමේ වගකීම ඇත්තේද එය භාවිතා කරනු ලබන ඔබටමය.

- ශ්‍රී ලංකා මිරර් ගවේශන කණ්ඩායමේ වැඩක්
(අප වෙබ්අඩවියේ නම සඳහන් නොකොට තොරතුරු උපුටා ගනුලබන හෝ තොරතුරු විකෘතිකරන කිසිදු පාර්ශවයක් වෙනුවෙන් නීතිමය කරනුවලදී පෙනී නොසිටින බව කරුණාවෙන් සලකන්න.)

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top