Nov 13, 2020

රෝහණ විජේවීර වියෝවී 31 වසරයි Featured

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා ඝාතනයට ලක්ව අදට වසර 31 කි.

1989 වසරේ නොවැම්බර් 13 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක විජේවීර මහතා අත්අඩංගුවේ දී මියගිය බව සඳහන් කරමින් එවක බලයේ සිටි රජය නිවේදනයක් නිකුත් කර තිබිණි.

කෙසේවුවද, මරණය සිදු වූ ආකාරය පැහැදිලිව ප්‍රකාශ වී නොතිබිණි.

1943 ජුලි 14 දින උපත ලද රෝහණ විජේවීරගේ සැබෑ නම පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර නම් විය.

ගොඩඋඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ගොඩඋඩ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද විජේවීර උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි.

1960 දී ලුලුබ්මා මිත්‍රත්ව සරසවියෙන් ඔහුට ශිෂ්‍යත්වයක් පිරිනැමුණු අතර, වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් වූයේය.

වෛද්‍ය විද්‍යාවට අමතරව රුසියාවේ ගත කළ කාලය ඇතුළත දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හොඳින් අධ්‍යනය කළ විජේවීරට, භාෂා කීපයක් චතුර ලෙස හැසිරවිය හැකි විය.

ඔහු නිතර පොත් පත් පරිහරණය කරමින් විවිධ විෂයන් ගැන ස්වයං අධ්‍යනයක යෙදුණු පුද්ගලයෙකු ලෙස ප්‍රකටය.

ඔහු රුසියානු භාෂාව මාස 7 ක් වැනි කෙටිකාලයකින් නිම උගත් බව පැවසේ.

වසර තුනක් වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලාව සාර්ථකව හදාරන අතර නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි විට එවකට බෙදී තිබුණු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල හා ඔහු සම්බන්ධ විය.

එම තත්ත්වයත් සමඟ ඔහුට රුසියාවට යාමට නැවත වීසා නොලැබිණි.

මේ අතර විජේවීර කටයුතු කළ කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙන් ද ඔහු නෙරපනු ලැබීමෙන් පසු, එවකට පැවති සමාජවාදී කඳවුරේ වාමාංශික පක්ෂවලින් ඉවත්වී වෙනම දේශාපලන පක්ෂයක් පිහිටුවීමට ඔහු මුල් විය.

විජේවීර “අත්දැකීම් කිහිපයක් පොතේ” මෙසේ සඳහන් කර තිබේ.

“මම 1964 දී ලංකාවට එන විට සැබෑ විප්ලවවාදී ව්‍යාපාරයක් ලංකාවේ තිබුණේ නැහැ. මුළුමහත් වාමාංශික ව්‍යාපාරයම සංශෝධනවාදී සහ ප්‍රතිසංස්කරණවාදී මඩගොහොරුවේ එරිලයි හිටියේ. කොටින්ම කිවහොත් ජවිපෙ අනාගතයේ දී ගොඩනැගෙන කොමියුනිස්ට් පක්ෂය සඳහා සදාචාරයෙන් සහ ජීව ගුණයෙන් යුත් සැබෑ මාක්ස් ලෙනින්වාදීන් බිහිකරන පක්ෂ පාසලක් බවට පත්කිරීමයි මගේ අභිප්‍රාය වුණේ”

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top