Nov 13, 2020

මීටරය සෙන්ටිමීටරය වූ කොළඹ දෙවැනි රැල්ල නැවැත්විලි බොරු! Featured

මීටරයක සමාජ දුරස්තභාවයත් සනීපාරක්ෂක දියර යොදාගෙන අත් සෝදනයත් කොළඹ මහ නගරයේ පදිංචිකරුවන්ගෙන් සියයට 50ට ප්‍රයෝගික නොවන ආරක්ෂණ පිළිවෙත් ය. 

කොළඹ මහ නගරයේ පදිංචිකරුවන්ගෙන් සියයට 50ක් ජීවත් වන්නේ, නාගරික සංවර්ධන අධිකාරය නිල වශයෙන් ඔවුන්ගේ වෙබ් අඩවියේ සටහන්කර ඇති අයුරු ඌණ පහසුකම් සහිතවන මුඩුක්කු වතු 1,499 කය. නාගරික සංවර්ධන අධිකාරය දැනට කරගෙන යන සමීක්ෂණයකට අනුව පවුල් 68,812ක් පදිංචි එම ඌණ පහසුකම් සහිත මුඩුක්කු වතුවල "....මනුස්ස පදිංචිය සඳහා යෝග්‍ය සෞඛ්‍ය පරිසරයක් නැත. ඒවායේ පිරිසිදු ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් වැනි මූලික අවශ්‍යතා නොමැත." යැයි ඔවුන් සටහන්කර ඇත.

කොළඹ මහ නගර සීමාව තුල අධික ජනගහනයක් ඉන්නා කොළඹ උතුර, මැද කොළඹ හා බොරැල්ල/දෙමටගොඩ ප්‍රදේශයේ පොකුරු ගැසුණු මේ බහුතර මුඩුක්කු වතුවල දුප්පත් ජනතාවට එම හේතු නිසාම කෝවිඩ්19 කාර්ය සාධක කමිටුව හා සෞඛ්‍ය බලධාරීන් පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් හා මාර්ගෝපදේශ කිසිත් අදාල නැත. ඒවා බලහත්කාරයෙන් හෝ ඔවුන් මත පැටවිය නොහැක. ඔවුන්ට ජීවත් වන්නට හැකි ආදායම් උපයා ගැනීමද දැන් අහෝසි වී ඇත.

නිදා ගැනීමටවත් කිසිදු ඉඩ කඩක් නැති කොළඹ නගරයේ සියයට 50ක් පොදි ගැසුණු මේ මුඩුක්කු වතුවල මීටරයක් දුර තියා ගැනීම හීනෙකින්වත් කළ නොහැක්කකි. ජල පහසුකම් නැති මේ ජනතාවට අත් සෝදා ගන්න යැයි කීම, තේ කහට එකක් බොන්නට කීයක් හරි යදින යාචකයෙකුට සමතුලිත ආහාර වේලක් ගන්න යැයි කියන්නාක් වැනිය.

ආණ්ඩුව බලහත්කාරයෙන් ක්‍රියාවට නැගීමට උත්සාහ කරන මීටරයක සමාජ දුරස්ථ භාවය, අත් සෝදන සනීපාරක්ෂක දියර භාවිතය, මුහුණු ආවරණ පැළඳීම, ස්වයං නිරෝදායනය වැනි කෝවිඩ්19 පාලනය කිරීමේ පිළිවෙත් නාගරික මැද පංතිය වෙනුවෙන් සැකසූ පිළිවෙත්ය. ඒ කිසිත් බහුතර සමාජයේ ප්‍රයෝගිකව පිළිපැදිය හැකි නොවේ.

කොළඹ ඌණ පහසුකම් සහිත මඩුක්කු වතුවල පමණක් නොව, මේ කිසිත් නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව සහ උඩරට වැවිලිකරයේ ලයින් කාමර ජීවිත සඳහා මොනම ආකාරයකින්වත් ක්‍රියාත්මක කළ හැකි පිළිවෙත් නොවේ.

මේ දෙවන රැල්ල පාලනය කර ගැනීමට නොහැක්කේ කොළඹ විශේෂඥ බලධාරීන්ට නාගරික මැද පංතියෙන් එහා දුප්පත් බහුතර ජනතාවක් ඇතැයි කිසිදු හැඟීමක් නොමැති හෙයිනි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතාගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top